පමා වූ වසන්තේ

නිමාලි වතුර වීදුරුවක් එක හුස්මට බීලා කල්පනා කරන්න පටන් ගත්තේ දැන් ආව ආරංචිය දරා ගන්න බැරුව.ටික වෙලාවකට කලින් ලක්මාලි මුණ ගැහෙන්න ඉස්සරලා මේ අවුරුදු හත තමන් ගෙවුවේ මොනතරම් සන්සුන් ජීවිතයක් ද කියලා නිමාලි හිතුවේ ලක්මාලි අරන් ආව පණිවිඩේ ගැන ආයේ ආයෙම මතක් කරන ගමන්.ඒ වචන කිහිපය මේ තරම් කම්පනයක් ද?

“ඔයා වගේම තමයි අනේ නාරද අයියත්.එයා තාම මැරි කරලා නෑ.කියන හැටියට නාරද අයියට මැරි කරන්න උවමනාවක් ඇත්තෙත් නෑ.”

මීට අවුරුදු හතකට කලින් රාජකාරි කරපු ආයතනයේ සේවය කරන ලක්මාලි නිමාලිට මුණ ගැහුණේ අහම්බයකින් වගේ.නිමාලි රජරටට ආවේ කොළඹ පරිසරයෙන් හැංගෙන්න.තනියම ජීවත් වෙන්න.සේරටමත් වඩා නාරදගේ ඇස් දෙකෙන් හැංගිලා ජීවත් වෙන්න.අඳුනන අයගෙන් ඈත් වෙලා පාඩුවේ රස්සාව කරගෙන ජීවත් වෙන ගමන් පිනක් දහමක් කරගෙන ජීවත් වෙන්න විතරයි නිමාලිට ඕනෑ වුණේ.ඒ තමන්ට උරුම ජීවිතය කියල නිමාලි දසදහස් වාරයක් ඇයටම කියාගෙන ඇති.

“හානේ නිමාලි අක්කා..”

ලක්මාලි එහෙම කියලා අතකින් අල්ලා ගන්නකොට තමන් හැංගෙන්න තෝරා ගත්තේ රටේ හැම කෙනෙක්ම චාරිකා එන පළාත බවත් මෙච්චර කාලෙකට මේ දන්න කියන අයගෙන් හැංගිලා ජීවත් වුණු එකත් ආශ්චර්යයක් බවත් නිමාලිට හිතෙන්න ගත්තා. ලක්මාලිගේ හමුවීමත් එක්ක වළදාපු අතීතයක් ආයෙම ගොඩට එන්න මහ වෙලාවක් ගියෙත් නෑ.ලක්මාලි කතා කළේ කණස්සල්ලෙන් ද තමන් ගැන කලකිරීමෙන් ද කියලත් නිමාලිට පැහැදිලි නෑ.

“අනේ මන්දා නිමාලි අක්කේ.මට නම් හිතෙන්නේ නාරද අයියා ඉන්නේ තවමත් ඔයා ගැන බලාපොරොත්තු ඇතිව.අපි වුණත් ප්‍රපෝසල් හෙව්වට එයා ඒ කිසිම දේකට කැමති නෑනෙ.”

ඒ වචන නිමාලිට තවම ඇහෙනවා වගේ.දැන් තමන්ට තිස් පහක් බවත් නාරදට තිස් හතක් බවත් ඇයට මතක් වුණා.නාරදගේ ඇස් හොයන්නේ ආදරේ බව නිමාලිට වැටහෙනකොට නාරද තිස් හැවිරිදි කඩවසම් ඉලන්දාරියෙක්.අවුරුදු විසි අටක ගෑනු ළමයෙකුට නාරද වගේ යහපත් තරුණයෙකුට ආදරේ කරන්න බාධාවක් හරියට බැලුවොත් තිබුණේම නෑ.නාරද කියන්නේ දාහකින් හොයා ගන්න බැරි කොල්ලෙක් කියලා මිතුරියෝ වරින් වර කියනකොටත් නිමාලි හිටියේ බීරෙක් ගාණට.

“පිරිමි විස්වාස කරන්නේ කොහොමද? අනිත් එක ඒ රහස නාරදට කියන්නේ කොහොමද?”

නිමාලි හැම තිස්සෙම හිතුවේ එහෙමයි.අවිශ්වාස කරන්න තරම් දෙයක් නාරදගේ නැහැ කියලා හිතෙනකොට පවා නිමාලි අතීත දවස් මතක් කළා.එතකොට මහා අඳුරු මතකයක් පිරිමින්ව විශ්වාස නොකළ යුතු බව නිමාලිට මතක් කරලා දුන්නා.නාරද වුණත් සිංහ හමක් පොරවා ගත්තු හිවලෙක් වෙන්න ඇති බව කියමින් ඇය ඇයටම තරවටු කරගත්තා.

“ඔයා මාව කවදාවත් දාලා යන්නේ නෑ නේද?”

නිමාලි එහෙම ඇහුවේ මීට අවුරුදු පහළොවකට විතර කලින් ගයන්තගෙන්.එහෙම අහන වෙලාවට ගයන්තගේ හැම හාදුවකින්ම කියවුණේ ඒ ආදරේ මරණය දක්වාම ගමන් කරන සහතිකය මිසක් වෙන දෙයක් නෙවෙයි.ඒ නිසාම ගයන්තව අසීමිතව විශ්වාස කරන්න නිමාලි පෙළඹුණා.

“ආදරේ අන්ධයි.ආදරේ ළඟදි සමහර ගෑනු ළමයි කොහොමත් අන්ධයි.”

කොහෙන්දෝ අහපු කතාව මොන තරම් ඇත්තද කියලා නිමාලිට හිතෙනකොට ගයන්තව අන්ධයෙක් වගේ විශ්වාස කරලා තමන් රැවටිලා හමාරයි කියලත් අවබෝධ වෙලා ඉවරයි.කෙළවරක් නැතිව එහෙ මෙහෙ ගිය ගමන් වලදි තමන්ගේ “වටිනාම දේ” ගයන්තට දුන්නු එක ගැන ඉන්පස්සේ නිමාලි ජීවත් වුණේ වේදනාවෙන්.තමන්ගේ හැම වටිනාකමක් ම අහවර බවත් ආයේ කිසිම දවසක ආදරයක් හෝ විවාහයක් ගැන හිතන්න බැරි බවත් ඇය හිතන්න පටන් ගත්තා.

“චරිතයක් නැති ගෑනු ළමයි පෝරුවෙදි අෂ්ටක අහලා කලන්තෙ දානවලු.”

විවාහය දා කුමරි බඹසර ඔප්පු කිරීම ගැන ඒ වගේ කතා අහනකොට චරිතයක් නැති පිරිමින්ට වෙන්නේ මොකක්ද කියලා ආපස්සට අහන්න හෝ හිතන්න නිමාලිට හිතුණේ නෑ.ඇය ඒ වෙනුවට තීරණයක් ගත්තා.ඒ කිසිම දවසක විවාහ නොවෙන්න.වටිනාම දේ අහිමි කරගෙන විවාහ වෙලා මැරෙන තුරුම සැමියාගෙන් නින්දා අහන්න වෙයි කියලා ඇය තදින්ම විශ්වාස කරන්න පටන් ගත්තා.

“අතීතයක් නැති ගෑනියෙක්ට අනාගතයකුත් නෑ.”

ආයේ ආයෙම එහෙම හිතලා හිත රිද්දා ගන්න ගමන් කවදාවත්ම විවාහ නොවෙන තදබල තීරණයක එල්බ ගන්න නිමාලි වග බලා ගත්තා.

“ඇත්තටම ඇයි නිමාලි ඔයා මට අකමැති?”

නාරද එහෙම අහපු දවසේ නාරදට අකමැති වෙන්න හේතුවක් නැති බවත් ඒත් පෞද්ගලික තීරණයක් නිසා විවාහ නොවෙන්න තමන් තීරණය කරලා අහවර බවත් නිමාලි කියා ගත්තේ බොහොම අසීරුවෙන්.

“ඔයා ඉන්නේ පරණ අෆෙයා එකක් ගැන වේදනාවෙන් නම් හෙමින් හිත හදා ගන්න.මම බලන් ඉන්නම්.”

නාරද එහෙම අහනකොට ඔහුට ගයන්ත ගැන කියන්න නිමාලිට හිතුණා.ඒත් එහෙම කියලා ආයේ නාරදගේ මුහුණ බලන්න පුළුවන් වෙයිද කියලා නිමාලිට තිබුණේ බරපතල සැකයක්.වටිනාම දේ තමන් සතුව නැති බව කිව්වාම නාරද තමන් දිහා පිළිකුළෙන් බලන්න පුලුවන් කියලා නිමාලිට සහතිකයි.ඒ නිසාම නිමාලි තීරණයක් ගත්තා.

ඒ හැම දෙයක්ම අත් ඇරලා ඈත පළාතක රැකියාවකට එන්න.ඇවිල්ල ලෝකෙන්ම හැංගිලා ජීවත් වෙන්න.මංගල කිංකිණි බලමින් මනමාලයෝ හොයන අම්මාගේ කරදරයෙන් ගැලවෙන්න වගේම පවුලේ මංගල උත්සව වලදී “ඊළඟට ඔයා” කියන නෑදෑයන්ගෙන් තුරන් වෙලා ජීවත් වෙන්න ඒ තීරණය ප්‍රමාණවත් වුණා.

ඒත් සැඟවීම හැමදාම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.නිමාලිට ඒ කාරණාව ගැන හරියටම තේරුණේ ලක්මාලි මුණ ගැහුණු දවසේ නෙවෙයි.ඊට දවස් පහ හයකට පස්සේ දවසක.

“මිස් නිමාලිට විසිටර් කෙනෙක්.”

ඒ කවුද කියන පුදුමයෙන් ඇවිත් බලනකොට නිමාලිගේ දෙපා අවසඟ වුණා.නාරද! අවුරුදු හතකට පස්සෙත් ප්‍රියමනාප හිනාවකින් නිමාලි දිහා බලාගෙන හිටියා.

“ඔයා හැංගෙන්න මොකක්ම හරි හේතුවක් ඇති කියලා මට හිතුණේ ඔයා තාමත් මැරි කරලා නෑ කියලා ලක්මාලි කිව්වම.සමහර රහස් හංගගෙන හිටියට කිසිම තේරුමක් නෑ නිමාලි.මං කැමතියි ඔයා මට අකමැති වුණු ඇත්තම කතාව දැන ගන්න.”

විවාහයකට අකමැති වෙන්න තමන්ට හේතුවක් තිබූ බවත් එය නාරදගේ වරදක් නොවන බවත් කියලා නිමාලි නිහඬ වුණා.

“ඔයාට බඳින්න තිබුණනෙ.”

නිමාලි එහෙම කියනකොට නාරද කළේ හිනාවෙන එක.ඊටත් පස්සේ නාරද කියපු කතාවට නිමාලිට ඇඬෙන තරම් වේදනාවක් ඇති වුණා.

“මගේ හිතට අල්ලපු කෙනා ඔයා.ඔයාගේ ආදරේ දිනා ගන්න නොලැබුණු නිසා මට හිතුණා තනියම ඉන්න.”

මේ කතා ගයන්තගේ කතාවලට වඩා වෙනස් කියලා නිමාලිට හිතෙන්න ගත්තා.දැන් තමන් ළාබාල යුවතියක් නෙවෙයි.ඒ නිසාම පරිණත විදියට නාරදව ප්‍රතික්ෂේප කරපු ඇත්තම හේතුව ඔහුට කියන්න ඇය තීරණය කළා.

“ඇයි ඔයා ඔය තරම් මෝඩ?”

නාරද අහනකොට නිමාලිට දැනුණේ ලැජ්ජාවක්.ඔව්! තමන් මහ මෝඩියක්.ඒ නිසා ජීවිතේ වටිනාම දේ අහිමි කරගෙන ඉවරයි.ඒත් නාරද කතා කරන්නේ වෙනත් දෙයක් කියලා නිමාලිට හිතෙන්න ගත්තේ ඔහු දිගින් දිගටම කතා කරනකොට.

“ඔයා වැඩිහිටි ගෑනු ළමයෙක් විදියට ජීවිතේ ගත්තු සමහර තීරණ ඔයත් එක්ක රණ්ඩු වෙන්න මට බලපාන්නේ කොහොමද? නීරෝගි මනුස්සයෙක් හැටියට ඔයාට හැඟීම් දැනීම් තියෙන්න ඕන.ඒ නිසා ඔයාගේ පරණ සම්බන්ධය මොනතරම් දුරකට ගිය එකක්ද කියලා හොයනවා නම් මම මහ නරුමයෙක් වෙන්න ඕනනෙ.”

පෝරුව මත කලන්තේ දාලා ඇදගෙන වැටෙයි කියන බයත් නාරදගෙන් හැමදාම නින්දා විඳින්න වෙයි කියන බයත් මත ජීවිතේ අවුරුදු ගාණක් පස්සට දාගත්තු නිමාලි නාරද දිහා බලාගෙන හිටියේ පුදුමය පිරුණු දෑසකින්.

“ඔයාගේ ජීවිතේ වටිනාම දේ කියලා කිසිම වැඩකට නැති හේතුවක් ගැන හිතාගෙන ඔයා ඔයාගෙන්ම පලි ගන්න හදපු එක කිසිම තේරුමක් නැති වැඩක්.ඔයාට මාත් එක්ක ජීවත් වෙන්න බැරි නිසා මගෙන් ඈත් වුණානම් ඒකට කමක් නෑ.ඒත් මේ වැඩකට නැති දේකට ඇයි ඔයා ඔයාටම දඬුවම් කරගන්නේ?”

වටිනාම දේ වෙන්නේ යහපත් වර්තමානය මිසක් අතිශය පෞද්ගලික සිදුවීම් සහිත අතීතය නොවන බව නිමාලිට උගන්වන්න නාරදට ඒ තරම් වෙලා ගියේ නැහැ.මඟ හැරුණු සත් අවුරුද්දක සතුට දෝතට එන්න පටන් ගත්තේ එහෙමයි.නාරද ආපහු ගියේ ආයේ ඉක්මනින්ම නිමාලිව දකින්න එන පොරොන්දුව මත.

“ඉක්මනින්ම නාරදව මැරි කරන්න ඕන.අපරාදේ මට ඒ කාලෙම එයා එක්ක මේ ගැන කතා කරන්න තිබුණේ.”

මඟ හැරුණු සත් අවුරුද්ද ගැන සන්තාපයෙන් නිමාලි එහෙම හිතුවා.ඒත් පමා වූ වසන්තය වෙන කවරදාටත් වඩා ජීවිතය මිහිරියාවෙන් පුරවන බව ඇය විශ්වාස කළේ උතුරා යන තරමේ සතුටකින්.

More Stories

Don't Miss



Latest Articles

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...