පතිනියකගේ සටහන් -24

උපුලි දින කිහිපයක්ම ඔෆිස් ආවේ නෑ. ඇය කලකට ඉහත රෝගී වූ බව මතක නිසාම මම වරින් වර දුරකථන ඇමතුම් ලබා දුන්නත් ඇය ඒවාට පිළිතුරු දුන්නෙත් නැහැ.
අතිශය කාර්යබහුල නිසා ඉක්මනින්ම අමතන්නට පොරොන්දු වූ මැසේජ් එකක් පමණක් ලැබී තිබුණා.
ඒ පොරොන්දුව එලෙසම සුරකිමින් උපුලිගේ ඇමතුම පැමිණියේ රාත්‍රියේ. වෙනදා බොහොම නිශ්ශබ්ද උපුලිගේ ගෙදර පුංචි බබෙක් කෑගහන හඬ මට දුරකථනය හරහා ඇහෙනවා.
“නෑයෝ ඇවිත් බිසී ද?” මම ඇහුවේ කුතුහලයෙන්.
“හැමදාටම නවතින්න නෑයෙක් ඇවිත් තාරු” උපුලි බොහොම උද්දාමයෙන් කියන හඬ මට ඇහෙනවා.
වරින් වර ගබ්සා කිහිපයකට ලක් වී ඉන් අනතුරුව දරුවෙකු හදන්නට සිරුර ශක්තිමත් නොවන බව දැනගෙන මානසික ප්‍රතිකාර පවා ගන්නට සිදු වූ උපුලි හරිම අපූරු තීරණයක් අරන්.
ඇය දරුවෙකු හදා ගන්න අරන්.
ඒ පුංචි පැංචාගේ කෑගැසීම දුරකථනය හරහා ඇහෙනකොට මගෙත් දෙනෙත් තෙත් වෙනවා.
“මිනිස්සු නම් කතන්දර කියයි තාරු. මේ දරුවා ඉපදුණේ මගේ හදවතේ. මමයි එයාගෙ අම්මා.අපි පරිස්සමින් හිතලා මේ තීරණය ගත්තේ”
උපුලි සැනසීමෙන් කියනවා.
“මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද? අම්මා කෙනෙක් වෙන එක මොන තරම් මිහිරි අත්දැකීමක් ද?”
පුංචි අමුත්තා පෙරළි කරන මගේ කුසට අත තියන ගමන් මම හිතුවා. ඇත්තටම අපි දෙන්නාම අම්මලා..
-නිබන්ධිකා-