තාරකගේ අම්මා ටික දවසකට ගෙදර එනවා කියලා දැනගත්තාම හසරැලි හරි සතුටින් සූදානම් වුණා. පොඩි කාලේ ඉඳන්ම පවුලෙන් ඈත් වෙලා ඉඳලා, විවාහ වුනාට පස්සේ තාරක එක්ක ගෙවන්න වුණ කොළඹ ජීවිතේ ඇත්තටම හසරැලිට හිඩැසක් තිබුණා. තාරක ස්ටේෂන් එකට ගිහින් අම්මාව එක්කගෙන එනකල් හසරැලි මඟ බලාගෙන උන්නේ.
” උඹේ ගෑණිට මොකෝ ගෙදරින් එලියට බහින්න බැරිද ?…”
අම්මා එක පාරටම එහෙම අහනකොට තාරක අම්මා දිහා බැලුවේ පුදුමෙන්. තාරක හොඳින්ම දැනගෙන හිටියේ හසරැලි අම්මා එනකල් ආදරණීයව මඟ බලන බව.
” මොනවාද අම්මේ මේ අහන්නේ ?….”
තාරක අමනාපයත් මෝදු වෙන්න දීලම එහෙම කිව්වා.
” ඇයි අහන්නේ ?… මෙච්චර දුර බැහැරක ඉඳන් තමන්ගේ නැන්දම්මා එනකොට මිනිහාව විතරක් එවලා ගෙදර ඉන්නේ ඒ ගෑණිගේ උද්දච්චකමට …”
“අනේ අම්මේ … කටට එන පලියට ඔහේ කියවන්න එපා… අම්මා එනවා කිව්ව දවසේ ඉඳන් හසරැලි ලෑස්ති වෙනවා.. එයා උදේ කෑම හදලා ලෑස්ති වෙන්න පරක්කු වුන නිසා මමයි දාලා ආවේ.. නැත්නම් එන්න ලෑස්තියෙන් උන්නේ …. අනෙක, අම්මා එයාට නැන්දම්මා වෙන්න හිතුවට එයාට නම් අම්මාව අම්මා …”
තාරක එහෙම කියලා අම්මා දිහා නොබලාම වාහනේ අරගෙන ගියා. තාරකගේ අම්මාත් ඒකට මුකුත් කිව්වේ නෑ. ඒත් ලොකු පුතාගේ බිරිඳට අම්මා කෙනෙක් වගේ ආදරේ කරන්න ගිහිල්ලා තමන් ජීවිතේ ඉගෙනගත්ත දේවල් අත්දැකීම් විදියට තාරකගේ අම්මාගේ හිතේ තිබුණා.
” කොයි ලේලිත් එකයි නිල්මිණි … හොඳම වැඩේ අපේ දරුවෝ අපේ කියලා හිතලා, ඔය ලේලිලා පිටින් ආව විදියෙන්ම සලකන එක… දැන් බලන්න, තරුෂ පුතාගේ නෝනා අන්තිමේදී අච්චර ආදරෙන් එයාට සලකපු ඔයාව වැරදිකාරයා අක්රලා, අමාරුවෙන් හදාගත්ත ගෙවල් දොරවලුත් විකුණලා දාලාම තරුෂ පුතා එක්ක දුරට ගියානේ … ඒ ඔක්කොමත් හරි, ඔයාම කියන විදියට නිල්මිණි, තරුෂ පුතා ඔයා එක්ක ඉන්නේත් අමනාපෙන් නේ …. ඒ ඔක්කොම අපි අපේ සීමාව මතක තියාගන්නේ නැති වුනාම… මම නම් යනකොට කෑමක් බීමත් ගෙනිච්චත් පුතාටයි, පොඩි උන් දෙන්නාටයි විතරයි ගෙනියන්නේ … එතකොට ලේලිලා තේරුම් ගන්නවා ඒගොල්ලෝ පවුලේ ඒගොල්ලන්ට අයිති තැන හදාගන්න ඕනි කියලා.. අන්න එතකොට යාප්පුවෙන් හරි අපි එක්ක ඇලවිලා ඉන්න බලනවා…”
තමන්ගේ අසල්වැසි මිතුරියගේ උපදෙස් තාරකගේ අම්මා ආයෙම කල්පනා කරගත්තා. තාරක වාහනේ නවත්තනකොටම හසරැලි මිදුලේ. අම්මා වාහනෙන් බහිනකොටම ඇවිල්ලා අම්මාට වැඳලා ඉතාම ආදරෙන් වැලඳගෙන හාදුවක් දෙන එක ඉබේම හසරැලි අතින් සිදු වුනා. තාරක අම්මා දිහා බැලුවා. අම්මාගේ මූණේ හිනාවක්වත් නැති බව තේරුණාම, අම්මා හසරැලිට බෙදන්න යන්නේ අයියාගේ බිරිඳ නිසා අම්මාට වුණ සිත් තැවුලේ පලිය යන්නේ හසරැලි පිටින් බව තාරක අවධාරණය කරගත්තා.
හසරැලි අම්මාගේ කාමරේ සූදානම් කලේ පහල තට්ටුවේ. අම්මා එතැනින්ම ඇණුම් පදයක් ඉතුරු කලා. හසරැලි තාරක දිහා බැලුවේ කිසිම දෙයක් වටහා ගන්න බැරුව. තාරක හිස සලලා සන්සුන් වෙන්න කියලා හසරැලිට ඉඟි කලා.
” අපිට ඉතින් පල්ලේ, අස්සේ කාමර..”
තාරක සන්සුන් වෙන්න කිව්වාත් හසරැලිට මුකුත්ම නොකියා ඉන්න හිත දුන්නේ නැහැ.
” මම හිතුවේ අම්මාට උඩට නඟින්න අමාරු වෙයි කියලා… මේකේ බාත් රූම් එකත් තියෙනවානේ… නැත්නම් ,උඩ කාමරත් තියෙනවා අම්මේ…”
හසරැලි එහෙම කිව්වා.
” හරි හරි … උඹලාට ඕනි හැටියක් ..මං ඇඟට වතුර දෙකක් දාගන්නම් .”
අම්මා එහෙම කියාගෙනම කාමරය ඇතුලට ගියාම හසරැලි ආයෙම තාරක දිහා බැලුවා. ඒ පත්තු වුන බෝම්බේ ගැන හසරැලිට හිතා ගන්න බැහැ. අම්මා එකපාරටම මෙහෙම වෙනස් වෙලා තියෙන්නේ ලොකු නෑනාගේ ප්රශ්නේ නිසාද කියලත් හසරැලිට හිතුණා.
” ඇයි අම්මා එහෙම ?…”
හසරැලි ඒත් තාරකගෙන් ඇහුවා.
” ඔයා හිතනන් එපා එව්වා… අයියලාගේ ප්රශ්නෙන් පස්සේ අම්මා ටිකක් අමුතු වෙලා …. නංගි කිව්වා මල්ලිගෙත් හිත රිදෙන කතා දෙක තුනක්ම කිව්වා කියලා…. ඕකට ලොකුම හේතුව පිටිපස්සේ ගෙදර චම්පිකා ඇන්ටි … උදේ හවස ගෙදරට රිංගගෙන අම්මාගේ ඔලුව කනවා..”
” ඉතින් අනේ.. අක්කා එහෙම කලාට අපි මොකක් කරන්නද ?… අනෙක ඒ අක්කාගේ හැටි .. මතකනේ මෙහෙ ඇවිල්ලා අන්තිමේ මා එක්කත් නොහොඳක් හදා ගත්තා.. මං මොකවත් කියලාවත් නෙවේයිනේ ඒ .. අක්කා ඉන්නේම ඇරියස් එකක .. අයියා එයාගෙම විතරයි කියලා මවාගෙන හෙනම ෆැන්ටසි එකක …”
“: ඔය කතාව ඔයාටයි, මටයි , නංගිටයි මල්ලිටයි තේරුණාට අම්මා තේරුම් ගන්නේ නෑනේ හසරැලි .. ඒකනේ අවුල … මම අම්මාට කලින් කතා කල වතාවකත් කිව්වා, ජීවිතෙන් යන මිනිස්සුන්ට යනන් දෙන්න, ඉන්න අය එක්ක සතුටින් ඉන්න කියලා… අම්මා එවෙලේට ඒක තේරුම් ගත්තාට, අර චම්පිකා ඇන්ටි ඔලුව කනවා…”
” මට නම් බයත් එක්ක …”
” පිස්සුද හසරැලි ..ඔයා මොකටද බය වෙන්නේ ..ඔයාගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්න ඔයා.. මාස තුනක් නේ අම්මා මෙහෙ ඉන්නේ..වීස් එක එක්ක අම්මාව එහෙ තියාගන්න තාත්තා කැමතිනෑ ….මම කිව්වානේ …. ගේ රෙපෙයාර් කරාම එයා ආයේ ගෙදර යනවානේ… “
” මට අම්මායි තාත්තයි එක්ක හැමදාම වුනත් ඉන්න තියෙනවා නම් මම කැමතියි අනේ…”
” නෑ එහෙම ඕනි නෑ.. අම්මා ට මේ පුලුවන් කාලේ නේ .. එහෙ සිරියාවතියි, ගුණපාලයි ඉන්නවනේ අම්මාගේ තාත්තාගේ තනිවට … බැරි කාලයක් වුනාම අපි අම්මාව එක්කගෙන එමු…”‘
තාරක එහෙම කිව්වේ, ජීවිත වල තියෙන්න ඕනි නිදහස් සීමාව ගැන අවබෝධයෙන්.
පහුවෙනිදා උදේ අම්මා එක්ක බෙල්ලන්විල පන්සල් යන්න හසරැලි සැලසුම් කරගෙන හිටියේ. ඒත් අම්මා ඒකට අකමැති වුනේ තාරක නැතුව එහෙ මෙහෙ යන්න බැරි බව කියලා.
” ඉතින් අම්මා හසරැලි එක්ක ගිහින් එන්නකෝ … ආයේ මම මොකටද ?.. එයාට කාර් එක හුරුයි /…”
” නෑ නෑ..පොඩි පුතා ඉන්න දාක යමු …”
අම්මාගේ මේ නොසලකා හැරීම් නිසා හසරැලි උන්නේ නොතිබුණ පීඩනයක් හදාගෙන. හීනෙකින්වත් නොහිතපු විදියට ආයාසෙන් අම්මා එක්ක හැසිරෙන්න සිදු වීම ගැන හසරැලි උන්නේ කලකිරීමෙන්.
දවසින් දවස අම්මාගේ මේ හැසිරීම් වැඩි වෙද්දී අන්තිමේදි හසරැලි තීරණය කලා අම්මා එක්ක ඒ ගැන කතා කරන්න.
” අම්මේ …”
” කියන්න ළමයෝ ..”
” අම්මා මෙහෙ ඉන්නේ අකමැත්තෙන්ද ?…”
” කැමැත්ත අකමැත්ත වැඩක් නෑනේ ළමයෝ .. එහෙ ගෙදර වැඩ ටික ඉවර වෙනකල්නේ ..”
“මම අම්මා එනකල් හරි ආසාවෙන් හිටියේ .. මම තාරකව බැඳලා එහේ ගෙදර උන්න මාස තුන තමයි මගේ ජීවිතේ සතුටෙන්ම උන්න මාස තුන .. ඔයා, තාත්තා, තාරක, නංගී, සිරියාවතී ඇන්ටි, ගුනපාල අංකල්, අපේ ලුසී .. , ඒ හැමදේම මම ප්රාර්තනා කරපු ජීවිතේ කොටස් .. අපේ අම්මාලාට සල්ලි තිබුනට අම්මේ, පවුලක් තිබුනේ නෑ.. අවූරුදු ගානකින් මම අම්මාලා එක්ක එක මේසේ කෑවේ අපි බැඳලා එහෙ ගිය දවසේ.. ඒත් මඟදී තාත්තට බිස්නස් කෝල් එකක් ඇවිල්ලා නැගිට්ටා .. මගේ ජීවිතේ හරි හිඩැසක් තිබ්බේ අම්මේ..
මං දන්නවා අම්මගේ මේ වෙනස තරුෂ අයියාගේ ප්රශ්න නිසා කියලා… කවුරු හරි අම්මාට කියන්න ඇති, ලේලිලා කියන්නේ පිට උන්, උන්ට ඒ විදියටම සලකන්න කියලා .. ඒත් අම්මේ අම්මා මේ හැසිරෙන විදිය අක්කට නම් ඩිසර්ව් ඇති .. මට නම් ඩිසර්ව් නෑ ..”
හසරැලි ට ඇඬුණා. තාරකගේ අම්මටත් හිතාගන්න බැරි වුනා. තාරක හසරැලි එක්ක විවාහ වෙලා නුවර මහ ගෙදර උන්න මාස තුන සිහි වුණා.
” එහෙනම් හෙට උදෙන්ම අපි දෙන්නා එක්ක බෙල්ලන්විල ගිහිල්ලා එමුද දුව ?…”
කුස්සියේ පුඩිමක් හදන්න සූදානමින් ඉන්න හසරැලි දිහාවට එබිලා අම්මා එහෙම අහනකොට හසරැලි ජීවිතේ හදන රසම පුඩින් එක වෙනුවෙන් කලමණා එකතු කලා.
ReplyForwardAdd reaction |