මවක වූ ඔබ…

දරුවන් හදාවඩා ගැනීම දෙමව්පියන් වන හැම කෙනෙකුටම පැවරෙන සමාජ වගකීමක්. වැලේ ගෙඩි වැලට බර වැඩි නෑ කියමින් දරුවන් හදන්නට අතීතයේ දෙමව්පියන් තමන්ගෙ කාලය ශ්‍රමය, ධනය සියල්ල ම නොමසුරුව වැය කළා. එහෙත් අද වනවිට අප වටා නිර්මාණය වී ඇති තරගකාරී වටපිටාව තුළ බොහෝ දෙමව්පියන් තමන්ට සිටින දරුවන් සංඛ්‍යාව වැඩි වනවාට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. කොහොම වුණත් දරුවන්ගේ වටිනාකම  නොදැනෙන දෙමව්පියන් ඉන්නෙ අතළොස්සක් විතරයි. සියල්ල දරුවන් වෙනුවෙන් මුල් තැන දෙමින් සිදුකරන්නට දරුවන නිසා අනෙක් සියල්ල දෙවැනි තැනට දමන්නට තවමත් බොහෝ දෙමව්පියන් නිතැතින් ම උත්සාහ ගන්නවා.

දරුවන් සම්බන්ධයෙන් වැඩිම වගකීම දරන්නේ මව ද පියාද? දරුවෙකු හදා වඩා ගැනීම  සම්බන්ධයෙන් පියාගේ වගකීම් සම්භාරය කිසිසේත් දෙවැනි නැතිවුණත් බොහෝ පියවරුන් පවා අවිවාදයෙන් එකඟ වෙන කරුණ වන්නේ මවකගේ කාර්යභාරය ඉතා විශාල බවයි. පෙම්වතියක් ලෙස සමාජගතවී විවාහ සංස්ථාවට එක් වීමෙන් අනතුරුව බිරිඳක් ලෙස ගත කරන කාලය තුළ සැමියා වෙනුවෙන් ඇයට පැවරෙන වගකීමට තවත් පියවරක් එකතුවන්නේ ඇය මවක් වීමෙන් පසුවයි.

මවක් වීමෙන් පසු ඇය සැමියාගෙන් වෙනදාටත් වැඩි සහයෝගයක් නිරන්තරයෙන් අපේක්ෂා කරනවා. දරුවන් හදාවඩා ගැනීම මවකගේ කාර්යයක් පමණක් ලෙස සලකන ඇතැම් ස්වාමි පුරුෂයන් මේ අවස්ථාවේ දී ඇයට අවශ්‍ය නිසි සහයෝගය ලබාදෙන්නට අපොහොසත් වෙනවා.

තත්වය කොයි ආකාරයෙන් පැවතුණත් මවක් වශයෙන් ඇයට පැත්තකට ‍වන්නට බැහැ. ඇගේ වගකීමෙන් මිදී කටයුතු කරන්නට බැහැ. දරුවන් වෙනුවෙන් ඇය තමන්ගේ ජීවිතය තුළ දරා සිටි අපේක්ෂාව, කරන ලද කැපකිරීම, දරුවන් බිහි කිරීමේ දී සහ බිහි කරන තුරු කුස තුළ දරා සිටීමේ දී ඇති වූ බැඳීම ඇයට දරුවන්ගෙන් ඈත්වී සිටින්නට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ.

කවර තත්ත්වයක සිටිමින් හෝ දරුවන් ඉතා සුරක්ෂිතව සහ ශාරීරිකවත් මානසිකවත් නිරෝගී අන්දමින් දරුවන් උස්මහත් කරගන්නට මවක් හැටියට ඔබ ශක්තිමත් විය යුතුයි. දරුවන්ගේ එක් එක් වර්ධන අවධි තුළ ඔබ ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක විය යුත්තේ කොහොම ද, දැනටමත් ඔබ ක්‍රියාත්මක වන ආකාරය නිවැරදිද යන්න අපි අපෙන් ම විමසා බලමු.

අද සිට ඉදිරියට මවක වූ ඔබ  විශේෂාංගය යටතේ අපි ඔබ සමග එක් වන්නේ ඒ ගැන කතාකරන්නටයි.

දෙමව්පියන් තම දරුවන් හදා වඩා ගැනීම මෙන්ම මාතෘත්වය හා සම්බන්ධව ගන්නා තීරණ දරුවාගේ ජීවිතය මතත් ඔහුගේ පෞද්ගලිකත්වය හැඩගැසීම මතත් විශාල මෙන්ම කල්පවතින බලපෑමක් ඇති කරනවා. මෙම තීරණ මගින් දෙමව්පියන්ගේ ජීවන රටාවේ විශාල වෙනස්කම් ඇති කළ හැකි නිසා ඒවා හදිසියේ නොගත යුතුයි. මීට ඇතුළත් වන ප්‍රශ්න කිහිපයක් වන්නේ මේවායි: මව නිවසින් පිට රැකියාවක් කළ යුතුමද? එසේ නම්, ඒ සඳහා කොතරම් කාලයක් වැය කළ යුතුද? මව නිවසේ නැති අතරතුරේදී දරුවන්ව බලාගන්නේ කවුද? කොහොම නමුත් අවසානයේදී, දෙමව්පියන් තම දරුවන්ට උපරිම යහපතක් අත් කර දෙන ක්‍රියා මාර්ගයක් ගත යුතුයි.

එහෙත් නැණවත් තීරණ ගැනීමේ අභියෝගයට තමන් තනියෙන් මුහුණ දිය යුතුයයි මව්වරුන් නොසිතිය යුතුයි. එංගලන්තයේ ලේඛිකාවක් මෙන්ම මවක් වන ජැනට් පෙන්ලි මෙහෙම කියනවා. “මම අම්මා කෙනෙක් වෙච්ච අලුත මට ලොකු ලොකු බලාපොරොත්තු තිබුණා. මං අනිත් හැම කෙනෙකුටම වඩා හොඳ අම්මා කෙනෙක් වෙන්නයි කල්පනා කළේ. මං ඒ ගැන තිබුණ හැම පොතක්ම වගේ කියෙව්වා. ප්‍රවීණයන්ගේ අදහස්වලට ඇහුම්කන් දුන්නා. හැබැයි අන්තිමට මං සාර්ථක, දක්ෂ අම්මා කෙනෙක් කියලා හැඟෙනවා වෙනුවට මට මං ගැනම කලකිරීමක් ඇති වුණා. මං මගේ වගකීම හරියට ඉටු කරන්නේ නැහැයි කියලා හැඟුණ හින්දා මගේ මනසට ලොකු පීඩනයක් දැනුණා” “අනිත් අයගේ අපේක්ෂාවන් ඉටු කරන්න හදද්දී හා ‘සර්ව සම්පූර්ණ මවක්’ වෙන්න හදද්දී ඕනෑවට වඩා වෙහෙසට පත් වී අපේ ප්‍රීතිය, උද්‍යෝගය නැති වී යන්න පුළුවන්. දේවල් ගැන අනවශ්‍ය ලෙස කරදර වෙනකොට වරදකාරී හැඟීම් ඇති වෙන්නත් ඉඩ තියෙනවා.”

  • ජීවිතය සරල කරගන්න

මෙම කාර්යබහුල වියරු වැටුණු ලෝකය දරුවන්ගේ ළමා වියේ අද්දැකීම් මෙන්ම පවුල් ජීවිතයේ ප්‍රීතියද සොරාගන්නවා. බොහෝ මව්වරුන් වඩා සරල ජීවිතයක් ගැන සිහින මවන්නේ ඒ නිසයි. ඔබට මෙය ඉටු කළ හැක්කේ කෙසේද? ප්‍රථමයෙන්, ඔබේ ප්‍රමුඛතාවන් මොනවාද කියා නිශ්චය කරගනිමින් දරුවන්ට අවශ්‍ය කාලය හා පෞද්ගලික සැලකිල්ල ඇතුළු “වඩා වැදගත් දේවලට” අවධානය යොමු කරන්න. දෙවනුව, ඔබේ ජීවන රටාව කිරා මැන බලන්න. එසේ කිරීමේදී අත්‍යවශ්‍ය නොවන ක්‍රියාකාරකම් හා ඔබට අයිති සමහර දේවල් පසෙක දමන්න සිදු වන බව ඔබට පෙනී යා හැකියි.

ඔබේ ජීවිතයේ වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද? ඔබට අවශ්‍ය වන්නේ සෑම දෙයක්ම එක විටම ලබාගන්නද? ඒ වෙනුවට සෑම ඉලක්කයක්ම එකවර අත් කරගන්න වෑයම් නොකර ඉලක්ක කිහිපයක් විතරක් ලුහුබඳින්න පුළුවන්ද? සීමිත ආදායමක් ඇති එක්තරා මවක් තමන් මුදල් පාලනය කරන අන්දම මෙසේ විස්තර කරනවා. “මං ජීවිතය පුළුවන් තරම් සරල කරගන්නවා. සල්ලි වියදම් කරන්නෙත් පුළුවන් තරම් අඩුවෙන්.” දරුවන් තුන්දෙනෙක් සිටින මවක් වන එක් මවක් මෙසේ සිහිපත් කරනවා. “අපිට ලොකු ලොකු සාප්පුවලින් අලුත්ම විලාසිතාවේ ඇඳුම් ගන්න සල්ලි තිබ්බේ නෑ. හැබැයි මං ළමයින්ට ඇඳුම් මහලා දුන්නා. වෙන කාටවත් ඒ වගේ ඇඳුම් තිබ්බේ නැති හින්දා ඒගොල්ලන්ගේ ඇඳුම් හරිම විශේෂයි කියලා මම ළමයින්ට කිව්වා.” ඇත්තෙන්ම මව්වරුන්ගේ හා දරුවන්ගේ කාලය කා දමන නිමක් නොමැති විනෝදාංශ, නොයෙක් බඩු මුට්ටු, මෙවලම් හා ප්‍රවණතාවන් අතර තෝරා බේරීමක් කිරීම සඳහා විචාර බුද්ධිය අවශ්‍යයි. වැල නොකැඩී එන අලුත් නිෂ්පාදනවලින්, දියුණු තාක්ෂණයෙන් හා වෙනත් සේවාවන් රැසකින් අපේ ජීවිතවලට නිතරම වාගේ බලපෑම් එල්ල වෙනවා.

“ඔබට අත්‍යවශ්‍ය හා ප්‍රයෝජනවත් වන්නේ මොකක්ද කියා තීරණය කරන්න ඕනේ. දරුවන්ටත් එවැනි තේරීමක් කරන්න උගන්වන්න.”

  •  කළ හැකි වෙනස්කම් කරන්න

“ස්ථානෝචිත ප්‍රඥාව හා නිවැරදි විනිශ්චය භාවිත කරන්න” ඔබ නිවසින් පිට රැකියාවක් කරනවා නම්, පවුලේ ඕනෑ එපාකම් සඳහා ඔබේ පුරුෂයාගේ ආදායම පමණක් ප්‍රමාණවත්ද කියා සලකා බලා තිබෙනවාද? මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබාගැනීම සඳහා අයබදු, දරුවන්ගේ අවශ්‍යතාවන්, ගමනාගමනය,  ඇඳුම් පැළඳුම්, නිවසින් පිට ගන්නා ආහාර හා අමතර වියදම් සඳහා වැය වන මුදල ඔබ දෙදෙනාගේ මුළු වැටුපෙන් අඩු කළ පසු කොතරම් මුදලක් ඉතිරි වෙනවාද කියා ගණන් කර බලන්න. ඒ වගේම ඔබේ පුරුෂයාගේ හා ඔබේ ආදායම්වල එකතුව නිසා ඔබ ඉහළ ආදායම් කාණ්ඩයට වැටුණොත් ඔබෙන් අය කරන බදු ප්‍රමාණයත් වැඩි විය හැකියි. මේ සියල්ල සලකා බැලීමෙන් පසු ඉතිරි වී ඇත්තේ කොතරම් සුළු මුදලක්ද කියා දැනගැනීමෙන් ඔබ පුදුමයට පත් විය හැකියි.

සමහර අය සුළු පැය ගණනක් වැඩ කිරීමට, නැත්නම් නිවස ආශ්‍රිතව රැකියාවක් කිරීමට තීරණය කරනවා. මෙයින් අඩු ආදායමක් ලැබුණත් දරුවන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට පුළුවන්. ඔබේ රැකියාව නතර කිරීමට තීරණය කළොත් සහ ඔබ රැකියාවක් කරමින් සිටියේ ආත්ම ගරුත්වය හා පෞද්ගලික තෘප්තිය වර්ධනය කරගන්න නම් නිවස තුළදීම මෙම වටිනා හැඟීම් පවත්වාගත හැක්කේ කෙසේද කියා සිතා බලන්න.

  • උපකාරය ඉල්ලන්න

මවක් උපකාරය ඉල්ලන විට ඇයට උපකාරය දෙන්න පුරුෂයා ඉදිරිපත් විය යුතුයි. පුරුෂයා ඔබ සමඟ සහයෝගයෙන් වැඩ කරන විට ගෙදර දොරේ වැඩ කටයුතු හවුලේ බෙදාගැනීමට ඔබට සැලසුම් යොදන්න පුළුවන්. මෙමගින් දරුවන්ට ඔබේ කාලය දීම වැනි ඔබ දෙදෙනාගේ ඉලක්ක අත් කරගැනීමට වැඩි කාල වේලාවක් තිබිය හැකියි. හැකි නම්, තමා හා සමාන ඉලක්ක ඇති මෙන්ම තමා උනන්දු වන දේවල් ගැන උනන්දු වන පවුල් සාමාජිකයන්ගෙන් හා හිතමිතුරන්ගෙන් මව උපකාර පැතිය යුතුයි.

  • විවේකය සඳහා කාලය වෙන් කරගන්න

මවක් හැටියට ඔබේ සාර්ථකත්වය රඳා පවතින්නේ පවුලේ වැඩ කටයුතු සඳහා ඔබේ කාලය, ශ්‍රමය හා අවධානය වැඩියෙන් අවශ්‍ය වන කාලවලදී සමබරව කටයුතු කිරීමට ඔබට හැකිවීම මතයි. ඔබේ දරුවන්ට ඔබව අවශ්‍ය බව ඇත්තයි. හැබැයි ඔබ සතුටින් හා තෘප්තිමත්ව සිටිනවා දකින්නත් ඔවුන්ට අවශ්‍ය බව අමතක නොකරන්න. ඔබට සාධාරණ ප්‍රමාණයකට විවේකය අවශ්‍යයි. බ්‍රයන් ලෙවන්ට් අධ්‍යක්ෂණය කළ Spy at the Next door චිත්‍රපටියේ එක් අවස්ථාවක මෙය ඉතා හොඳින් මතු කර පෙන්වනවා. එහි එක් තැනෙක දරුවන් තම මවගෙන් අසාමාන්‍ය ලෙස සහය සහ සතුට සහ අවධානය බලාපොරොත්තු වෙනවා. මව එක්වර ම My Happiness count too යැයි පවසනවා.  සැබැවින්ම හැම මවකටම තමන්ගේ සතුට පවත්වාගැනීම අත්‍යවශ්‍යයි.

එක්තරා මවක් විදේශීය සඟරාවකට අදහස් දක්වමින් මෙසේ කියනවා. “මම උදේට පැය භාගයකට විතර මටම කියලා නිස්කලංකව ඉන්න පුළුවන් කාලයක් වෙන් කරගෙන තියෙනවා. ඒ වගේම සතියකට දවසක් නැත්නම් දෙකක් හැන්දෑ වරුවේ මමයි මගේ මහත්තයයි විතරක් එකට කාලය ගත කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වෙලාවට අපේ ළමයි ගේ ඇතුලේ අපිට පේන්නේ නැති තැනකට ගිහින් නිශ්ශබ්දව මොකක් හරි වැඩක් කරන්න ඕනේ. ඒ හින්දා අපි දෙන්නට පැයක් විතර තනියෙන් ඉන්න පුළුවන්.” ඇගේ කතාව ගැන ඔබට කොහොම හිතුණත් එහි සත්‍යතාවක් ඇති බවට ඔබ එකඟවෙනවා නිසැකයි.

මාතෘත්වයේ අභියෝග වැඩි වන්නේ මවක් වීමේ අරමුණ අමතක වන විට හා ප්‍රමුඛත්වයන් නොමැති විටයි.  ඔබ මවක් නම් ඔබේ දරුවාගේ ජීවිතය මත ඔබ කොයිතරම් බලපෑමක් ඇති කරනවාද කියා කල්පනා කරනවා ඇති.

මවක් හැටියට ඔබට ඇති අභියෝග ජයගන්නා හැටි අපි ඉදිරි ලිපියෙන් කතා කරමු.

-නිරංජලා-

Related Articles

Don't Miss


Latest Articles