අමන්දී ගී ගයන කුඩා දැරිය දෙස බලා හුන්නේ ආසාවෙනි.ඇය හැකියාව පමණක් නොව කුමක් හෝ සංසාරගත හැකියාවක් සහිත දැරියක බව අමන්දී සිතුවා ය.ඒ කිංකිණි හඬ පාසල පුරා පැතිර යද්දී සියල්ලන්ම දැරිය වර්ණනා කරන්නට ගත්තේ එක හිතිනි.
“රූ ටීවි එකේ කිඩ්ස් ස්ටාර් එකට ඇප්ලිකේෂන් කෝල් කරලයි තියෙන්නේ”
අමන්දී සමඟම පත්වීම් ලැබූ ගණිත ගුරුවරයා වූ ආලෝක සිහි කළේ ය. මේ ගී ගයන කුඩා දුලනි දකින වාරයක් පාසා අමන්දීට ඒ දැන්වීම සිහි විණ.නමුත් ඈ එය අමතක කරන්නට තැත් දැරුවා ය.
“මං ළමයින්ව ස්ටාර් තරගවලට යවන්න හරි විරුද්දයි ආලෝක..”
ඈ අනතුරුව පැවසුවා ය.
“ස්ටාර් කියන්නෙ ඕන මනුස්සයෙක්ට අමතර බරක් අමන්දී.ඔයා හරි.හැබැයි මේ මම හිතන විදිය..”
ආලෝක ඈ වෙන නැඹුරු වූයේ දිගු කතාවක් කියන්නට ඇති බව සිතමිනි.
“ස්ටාර් තරගවලට ගිහින් ගොඩ යන්න පුලුවං කොටසකුත් මේ රටේ ඉන්නව අමන්දි.දුලනි දුව අයිති වෙන්නෙ ඒ කොටසට..කොළඹ ලොකු ඉස්කෝලෙක දරුවෙක් ස්ටාර් තරගෙකට යන්න ඕන නෑ කියල අපට තර්ක කරෑකි.නන්දා මාලිනි මිස්ගේ ඉඳලා.කසුන් කල්හාරගෙ වෙනකන් මියුසික් ක්ලාස් යන්න, මියුසික් ඉගෙන ගන්න ඒ ළමයින්ට චාන්ස් තියනව.”
එහෙත් අමන්දී කිසිත් නොකීවා ය.දුලනි වෙළඳ භාණ්ඩයක් වෙනවා දකින්නට ඇගේ කැමැත්තක් තිබුණෙ නැත.
“අමන්දි මිස්, මම මේ හුඟක් සීරියස් කියන්නෙ.අපි ප්රතිපත්තිවල ඉන්නව තමයි.ඒත් ඒවා මේ දුප්පත් දරුවන්ට වැඩක් නෑ..ඔය දරුවා ස්ටාර් තරගෙට ගිහින් දිනන එකක් නෑ.ඒත් එයා කොහොම ළමයෙක්ද කියල දැනගත්තම මේ රටේ යමක් කමක් තියන මිනිස්සුන්ගෙ හිත් උණු වෙන්න ගන්නව.ගෙයක් හරි ලැබෙයි. ඒ මදිද?”
ආලෝකගේ කතාවේ සිතන්නට දෙයක් ඇති බව අමන්දී සිතුවා ය.ඊළඟ කාලච්ඡේදයට සංගීතය නොව සිංහල ඉගැන්වීමට යන්නට සැරසෙමින් ඇය ආලෝක ඇමතුවා ය.
“ඒකත් ඇත්ත.මං කැම්පස් ඉන්න කාලෙ යාලුවො ස්ටාර් තරගවලට යනකොට හරියට විරුද්ධ වුණා.ඒත් එයාලා වුණත් තමන්ගෙ පාරක් තෝරා ගන්න ඇති.එක්කො කරන්න ලේසිම දේ හිතන්න ඇති.ඒත් ආලෝක මට බය තියෙන්නෙත් එයාලට ලැබුණු දේට වඩා නොලැබුණු දේවල් වැඩි..”
ආලෝක නිසංසල සිනාවකින් බලා හුන්නේ ය.ඉඳුවර සමඟ අතීතය අලුත් මිතුරාට හෙළි කළ නොහැකි නිසා අමන්දී ඉන් එහා වචනයක්වත් කියන්නට ගියේ නැත.
“මගෙ අක්කාගෙ පුතා ගිය අවුරුද්දේ ශිෂ්‍යත්ව විබාගෙ ලිව්වෙ.දැනටමත් හොඳ ඉස්කෝලෙකුත් තියන නිසා ආදාරත් නොලැබෙන නිසා කොල්ලව ක්ලාස් යවන්නයි මහන්සි කරන්නයි එපා කියල අක්කට නීතියක් දැම්මෙ මම..එහෙව් මම අද ගණං ඉගැනිල්ල අහක දාලා පහේ ළමයින්ට ශිෂ්‍යත්ව ගණං උගන්නනව.මේ ළමයින්ට අපිවත් හවසයි රෑයි පන්ති කර කර ඉගැන්නුවෙ නැත්තං ගොඩ යාමක් නෑ අමන්දි..”
ආලෝක පවසන දේ කිසිම අසත්‍යයක් නැති බව අමන්දි සිතුවා ය.සැබෑවකි.මෙහි දරුවන්ට උවමනා කෙසේ හෝ මේ කාන්තාරය හැර දා එතෙර විය යුතු මාවතකි.
“මං දුලනිව එහෙම දේකට යවන එක වැරැද්දක් ද..ඉස්කෝලෙම ටීචලයි ලොකු සරුයි කැමතියි..”
අමන්දී අවිශ්කගෙන් ඇසී ය.ඔහු ඈ දෙස බැලුවේ කාරුණික බැල්මකි.
“ඔයාගෙ පඩිය කොහොමත් අපිට වියදමට ඕන නෑනෙ.ඒකෙන් ඒ ළමයට තරගෙට වියදම් කරන්න..”
මේ මිනිසාගේ හදවතේ ඇති තෙත් බවත් විශාල බවත් අමන්දී විඳ ගත්තේ ආදරයෙනි.ඔහු පවසන්නේ ඈ අපේක්ෂා නොකරන අන්දමේ පිළිතුරු ය.
“ලලිත් අයියල දුප්පත් මිනිස්සු අමන්දි..කෙල්ලට මොකක් හරි අනාගතයක් හදලා දෙනව නම් උන් ඔයාට පින් දෙයි..”
විදුහල්පතිතුමා දුලනිගේ දෙමාපියන්ට පාසලට එන්නැයි පණිවිඩයක් යවා තිබිණ.පාසලට ආ දුලනිගේ තාත්තා ඉන් නොනැවතී එදා හවස් යාමයේ අමන්දීගේ නිවසට ද ආවේ ය.
“අපි හීනෙකින්වත් නොහිතන දේවල්නෙ මලේ.ටීචට මෙහෙම දේවල් හිතුවටත් පිං අයිති වෙන්න ඕන..”
අවිශ්ක කුලී කටයුතු සඳහා කැඳවන දුප්පත් ගොවියා රළුව ගිය දෑත් පිරිමදිමින් කියද්දී අමන්දීගේ ඇසට කඳුළු ඉනී ය.ශාන්ති බොහෝ වෙලාවක් අමන්දීගේ පුරාජේරුව ලලිත්ට පැවසී ය.ඉන් ලැජ්ජාවට පත් අමන්දී ලලිත් පිටත් කරන්නට සිතුවා ය.
“මං දුලනිට පුහුණු කරන්න පටන් ගන්නව එහෙනං..අයදුම් පත්‍රයක් නම් ඉන්ටර්නෙට් එකෙන් යවන්න පුලුවං.ඒක මම හෙට දාන්නම්..”
ලලිත් ගියේ බොහෝ වෙලාවක් ශාන්ති හා කියවමින් හුන් පසු ය.ඔහු යනවාත් සමඟම නයනි පරල වන අන්දම අමන්දීට ඇසිණ.
“මේකෙ හිඟන පැටව් රජ කරන්න හදන්නෙ..මේ ගෙදරත් ඉන්නෙ පොඩි උං..එහෙම බෑනෙ..ඩයනා කුමාරිට අඳින්නනෙ කල්පනාව..”
සඳුනි දෑත් ඉනේ ගසාගෙන අක්කා ඉදිරිපිට පෙනී සිටියා ය.
“ඒවා තරග.එව්වට යන්නෙ දස්ස ළමයි..අපරාදේ කියන්න බෑ මේ කෙල්ලන්ටත් පුලුවං අම්මා වගේ බෙරිහං දෙන්න විතාරයිනෙ..”
නයනි අරඹන හැම වියවුලම විසඳන්නට සඳුනි ඉදිරිපත් වීම නිසා අමන්දිට දැනුණේ සැනසීමකි.ඇය මඳ සිනාවකින් ඒවා අසා හුන්නා ය.
දුලනිට ඉගැන්වීම අරඹා ඇය තරගයේ ජයග්‍රහණය දක්වා ගෙන යන්නට අමන්දීට උපන්නේ ආසාවකි.අයදුම් පත්‍ර යැවූ තැන සිට තෝරා ගැනීමේ පරීක්ෂණයට දුලනි යොමු කරන තෙක්ම අමන්දී ඒවා ඉමිහිරි සතුටකින් ඉටු කළා ය.පළාතේ ජනප්‍රිය තරු හෝටලයක පැවති තෝරා ගැනීමේ පරීක්ෂණ වෙත දුලනි රැගෙන ගිය ආලෝක අමන්දී ඇමතුවේ සතුටිනි.
“අමා..අපේ කෙල්ල තේරිලා..”
තරගය ඇරඹෙන්නේ දැන් බව අමන්දී දැන සිටියා ය.දුලනිට දන්නා සෑම ශිල්පයක්ම උගන්වන උද්යෝගයකින් පිරුණු ඇගේ සතුට පහළටම ඇද දමන දේ ඈ දුටුවේ අහම්බයකිනි.
“අක්කා අර..අනේ නියමයි නේද?”
සඳුනි අතින් ඇද රූපවාහිනිය පෙන්වන තුරුම අමන්දී එය දුටුවේ නැත.නමුත් එය දුටු මොහොතේ සති කිහිපයක් ආපස්සට ගොස් සිදුවීම් සියල්ල වෙනස් කරන්නට අමන්දීට උවමනා විය.