(අ)හිමි සිහින -130

පෙබරවාරි විසි වැනිදා!

ඒ සුදාරකගේ උපන්දිනය.මගේ ආදරණීය සැමියාට ඔහුගේ ජීවිතය තුළ ලැබුණු වටිනාම උපන්දින තෑග්ග ලැබුණු වසර තමයි මේ උදා වුණේ.ඔහුගේ උසස් වීමට අදාළ ආචාර පෙලපාලිය ඔහුට ලැබුණේ ඒ දවසේ.එය ඉතාම දෛවෝපගත සිදුවීමක්.ඒ ඇයිදැයි ඔබට දැන්ම පැවසීමට මට අදහසක් නැහැ.නමුත් මේ කතාව අවසන් වන දිනයකදී සමහර කාරණා දෛවෝපගත ලෙස ගැළපුණු අන්දම මම ඔබට නොකියා හිඳින්නේත් නැහැ.

එදා නිවසින් එළියට බහින්නට පෙර මතක එක්රැස් කිරීමේ දැඩි රුචියක් ඇති මම ඔහුගේ ඡායාරූපයක් මගේ ජංගම දුරකථනයෙන් ලබාගත්තා.මගේ සුදාරක  ඉතා කඩවසම් පෙනුමකින් ඒ ඡායාරූපයේ දිස් වුණා.ඔහුත් ඒ ඡායාරූපයට බොහෝ ආශා කළා.

“මැණිකේ, ඒක හරි ලස්සනයි.ඒක මගේ ෆෝන් එකටත් එවන්නකෝ”

මට එසේ ඇවිටිලි කරන්නට තරම් ඔහු ඒ ඡායාරූපයට ප්‍රිය කළා.

හැම දෙයක්ම දෛවෝපගත සිදුවීම්.මම එදා ඒ ඡායාරූපය මගේ ෆේස්බුක් ගිණුමේ පළ කළා.එයට බොහෝ උණුසුම් ප්‍රතිචාර ලැබී තිබුණා.සුදාරකගේ හැම ඡායාරූපය ම අතරින් බොහෝ දෙනෙකු ප්‍රිය කළ ඡායාරූපය වුණේ ඒ ලස්සන ඡායාරූපයයි.ඒ ඡායාරූපය ඉන් ටික කාලයකට පසුව දෛවෝපගත සිදුවීමකට ලක් වූ එකක්.එදා ඒ සේයාරුව ලබා ගැනීම ගැන මට ඇත්තේ මහත් සැනසීමක්.

ඔහුගේ ජීවිතය තුළ ඔහු පසු කරන ලද සුවිශේෂී දිනයක් ඒ! ඔහුගේ පනස්වෙනි උපන්දිනය යෙදී තිබූ එදා මාත් දියණියත් සුධාරකව වැළඳගෙන සුබ පැතුවේ ඉතාම සතුටකින්. අපි ඔහුගේ උපන්දිනය ඉතාම සුන්දරව සැමරුවා.මගේ පුංචි දියණිය ඇය අතින්ම සැකසූ උපන්දින කාඩ් එකක් අප්පච්චිට ලබා දෙමින් ඔහුට සුබ පැතූ අන්දම මගේ හිතින් කිසි දවසක මැකී යන්නේ නෑ.දියණිය ලබාදෙන පුංචි ත්‍යාගයක් පවා මහා විශාල තෑග්ගක් සේ භාරගන්නා ඔහු එදා ද බොහොම සතුටට පත් වුණා.

ජීවිතේ අපි තිදෙනාට ලබාදුන් සුන්දරම දවසක් තමයි ඒ දවස.

සුධාරක රැකියාව කළ ප්‍රදේශයේ හොඳ මුහුදු ආහාර, උම්බලකඩ, කරවල ආදිය ඕනෑතරමට තිබුණා.ඒවා විශාල වශයෙන් මිලදී ගෙන ඔහු අපිට එවන්නටත් කටයුතු කළා.ඒවා ස්වල්පයක් තබාගෙන මම ඒවා නෑදෑයන්ට පාර්සල් කර යැවූ බව මම අදටත් සිහි කරන්නේ සතුටකින්.අපි අපේ ජීවිතයේ සුන්දරම තැන්වලදී නෑදෑයන්ව අතැර නොදැමූ බව මට සැනසීමෙන් සිහි කරන්න පුලුවන්.සමහර වෙලාවට මම ඒවා “පමණ ඉක්මවා කරන වෙස්සන්තර වැඩ”බව කියමින් සුධාරක මට දොස් නැඟූ තැන්ද අනන්තයි.ඇතැම් වෙලාවට ඔවුන් මා නොසලකා හරින තැන් ඇති බව ද එහෙත් ඒ කිසිවක් ම හිතේ නොතබාගෙන දූටත් මටත් ලබා දෙන ආහාර ද්‍රව්‍ය පවා ඥාතීන් අතර බෙදා හරින මගේ හොඳහිතට සුදාරක තදින් දොස් පැවරුවා.නමුත් ඒවා මට සිත රිදවා ගන්නට හේතුවක් නොවේ.

ඒ වසරේ අලුත් අවුරුද්දට සුධාරක නිවසට පැමිණියේ නෑ.ඔහු ඒ වෙනුවට ඔහුගේ නිවාඩුව තරුණ නිලධාරීන් ලබා දී තිබුණා.ඊලඟ වසරේ විශ්‍රාම ලබා නිවසට වී අවුරුදු සැමරිය හැකි බව ඔහු පවසා තිබුණා.

“රිටයර් උනාට පස්සේ ඉතින් හැමදාම ගෙදරනෙ.මට ඊටපස්සේ හැමදාම අවුරුදු.ඒ උනාට උඹලට තව සෑහෙන කාලයක් මේ රස්සාව කරන්න වෙනවානෙ.” 

සුධාරක ඔහු යටතේ සේවය කළ නිලධාරීන්ට පැවසුවේ එහෙම කතාවක්.

සිංහල අලුත් අවුරුද්දෙන් දින දෙකකට පසු අපේ පුංචි සුරංගනාවි උපන්දිනය සමරනවා.නමුත් ඒ අවුරුද්දේ ඇගේ අප්පච්චි සිංහල අලුත් අවුරුද්දටවත් ඇගේ උපන් දිනයටවත් ගෙදර පැමිණියේ නැහැ.ඊළඟ වසරේ සිට හැම අවුරුද්දක ම ජයටම අවුරුදු සමරන බලාපොරොත්තුව අපට ලබාදෙමින් ඔහු විසි වෙනිදා ගෙදර එන බලාපොරොත්තුව මට ලබා දුන්නා.නිවසට පැමිණෙන්නට ඔහු ජයටම සැරසෙමින් ද සිටියා.අප්පච්චි ගෙදර නොපැමිණෙන නිසා මම දූගේ උපන් දිනයට පුංචි කේක් එකක් සාදා ගත්තා.වීඩියෝ ඇමතුමකින් ඔහු ද සම්බන්ධ කරගෙන අපි කේක් කපන්නට කටයුතු කරා.

ඒ කොරෝනා උවදුරද අපේ රටට පැමිණි කාලය.ජීවිතය ගඟක් සේ ගලා යනවානම් ඒ ගංගාව චණ්ඩ වීම ඇරඹුවේ ඉන් දින දෙකකට පසුවයි.මගේ ජීවිතයේ රිදීම් සහ රිදවීම් කියවමින් මගේ කඳුළු ඔබේ දෑසට ගත් ඔබට ඉතා රිදුම් දෙන කතාවක් හෙට සිට මම ඔබට කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles