මීදුම් මාරුත -26

“මං ජොබ් එකෙන් අයින් වෙන්න හිතුවේ.”

බොහෝ දවසකට පසු රැකියාවට යන අතර කාව්‍යා සකුණට පැවසී ය.ඔහු ඇයට ඇරලවීමට පැමිණියේ කැමැත්තෙනි.සෙනුරට වඩා සරසවි කාලයේදී ද ඈ සමඟ පැමිණියේ සකුණ බව සිහි කරමින් ඔහු ඒ සඳහා අවස්ථා සොයා ගනියි.

“කැම්පස් කාලේ සෙනුර හිටියා.අපි ඔක්කොම හොඳම යාලුවෝ කියල හැමෝමලා දන්නව.සෙනුර මෙඩිසින් එයා බිසී.එහෙම හේතු කොච්චර තිබ්බද? දැන් සෙනුර නෑනෙ..”

කාව්‍යා ඔහුගේ කාරුණිකත්වය ගැන වද වෙන්නේ එසේ කියමිනි.

“සෙනුර නිසා නෙවෙයිනෙ අපි යාලුවෝ වුණේ.හැබැයි සෙනුර තමයි මගෙ හොඳම යාලුවා.මං ඔයාව බලා ගන්නෙම සෙනුර ගැන හිතලා.”

සකුණ ඔහුගේ විරුද්ධත්වය එසේ පළ කළේ ය.කාව්‍යා ඔහු දෙස බැලුවේ මුදු බැල්මකිනි.

“සෙනුර ඉන්න කාලේ ඔයාට පද හැදෙන්න හේතු තිබ්බෙ නෑ සකුණ.ඒත් දැන් තියනවනෙ.ඔයා නිකං කතන්දර අහගන්නවට මම ආස නෑ..”

කාව්‍යා කියන්නේ සැබෑ මිත්‍රත්වය පිරුණු හඬකිනි.නමුත් සකුණ ඈ දෙස විමසිලිමත්ව බැලුවේ ය.

“ඔයාට භාවනා මොකුත් කීවද?

ඇය කිසිත් නොකී බව කාව්‍යා කියන්නේ සහතික කරමිනි.නමුත් සකුණට එහි වැඩි විශ්වාසයක් නොවේ.භාවනා තමන්ගේ නිවසට කඩා වැදී අම්මාට කේලම් කී මොහොතේ සිට සකුණට ඇය ගැන දැනෙන්නේ දැඩි අප්‍රසන්නතාවයකි.
පිළිකුලකි.

“හරි ඒවයින් වැඩක් නෑ ඇයි ඔයා ජොබ් එකෙන් අයින් වෙන්නේ?”

කාව්‍යා සියල්ල හැරදමා හේමචන්ද්‍ර යුවල වෙත යාවියැයි සකුණට බියක් නොදැනෙනවා නොවේ.ඔවුන් ඇයට බොහෝ ආදරේ නිසා කාව්‍යා නොපිළිගන්නේ ද නැත.

“මට රස්සාවක් කරන්න මහන්සි වෙන්න තරම් ආසාවක් නෑ සකුණ.ජීවත් වෙන්න පොඩි ගාණක් අතට ආවම ඇති හිතෙනව.ගේ රෙන්ට් කරාම එතනිනුත් සල්ලි ලැබෙනවනෙ..”

කිසිවක් ගැන ආශාවක් රහිත වීමත්,දැඩි වෙහෙසක් දැනීමත් විශාදයේ ලක්ෂණයැයි සකුණ සිතී ය.කාව්‍යා සුවපත් වන්නට තව කොපමණ කලක් යා දැයි ඔහු සිතුවේ ශෝකයෙනි.

“මම කෙමෙස්ට්‍රි ක්ලාස් එකක් කරන්න හිතුවා.ගෙදරම.පොඩියට.ඊයේ අප්පච්චිට කිව්වම එයා කීවෙත් මට පුලුවන්ම දේනෙ කියල.ළමයි කීපදෙනෙක් මගෙ ඇඩ්වර්ටීස්මන්ට් එකට කතා කරා.මං ඒක කරන්න හිතුවේ.මං ආසයි.”

රසායන විද්‍යාවට තමන් ලැබූ ඒ සාමාර්ථයේ අයිතිය ඇත්තේ ඉගැන්වූ ගුරුවරුන්ට නොව කාව්‍යාට බව සිහි වූ සකුණ ඈ දෙස බැලුවේ සිනාමුසු දෑසකිනි.ඇය එතරම් එයට ප්‍රිය කළා ය.මිතුරන්ට ද ඈ ඉගැන්වූයේ බලහත්කාරයෙනි.ආශා කරන දෙයකින් ජීවිතය ඇරඹීම ඇගේ සෝ සංකා ඈතකට පලවා හරින්නට සමත් වනු ඇතැයි සකුණට බලාපොරොත්තුවක් නොතිබුණාම නොවේ.

“මං දන්නව හැමදාම අඬ අඬ ඉඳලත් බෑ කියල.ඒත් අනිත් අය මං ගැන අනුකම්පාවෙන් බලනකොට මට ජොබ් එකත් තිත්තයි..”

කාව්‍යා ඇයට දැනෙන අපහසුතාවයක් එසේ හෙළි කළා ය.වේදනාවෙන් බර මිනිසුන්ට දිය යුත්තේ අනුකම්පාව නොව ආදරය බව අමතක ලෝකයක ඔවැනි ගැටළු සාමාන්‍ය බව සකුණ සිතුවේ ය.ලෝකයා කැමති අනේ ඔයා කොච්චර පව්දැයි අසන්නට ය.තවමත් දුක ඈ කෙරෙහි ඇතිදැයි විමසිලිමත් වන්නට ය.

“මම ලා පාටක් අඳින්නැතුව පොඩ්ඩක් තදපාට ඇඳුමක් ඇන්දත් ඒ ගොල්ලො අහනව දැන් නම් ඔයා රිකවර් නේද කියල..ඇඳුමෙ පාටින් කොහොමද සකුණ මගෙ වේදනාවේ තරම මනින්නේ.”

සුදු පැහැ ඇඳුම් නොඇඳ ශෝකයේ රසය ලොවට පෙන්වන්නට බැරි බව සිතන මිනිසුන් ගැන විස්සෝපයෙන් කාව්‍යා පැවසී ය.

“හැමදාම සුදු අඳින්න බෑනෙ.අනික අපි බුද්ධාගම අදහන මිනිස්සු.මරණින් පස්සෙ තව ආත්මයක් තියනව කියල අපි දන්නව.සෙනුර බොහොම හොඳ මනුස්සයෙක්.එයාට අයිති හොඳ ආත්මයක්.ඒ නිසා ඇත්තටම අපි දුක් වෙන එක ටික ටික අඩු කරගන්න ඕන.”

සකුණ පැවසුවේ ප්‍රවේසමෙනි.ඔහු සෙනුර ගැන කාව්‍යා සමඟ කතා කරන්නේ බොහෝ ප්‍රවේසම්සහගතව ය.

“මට එයා අමතක වෙන් නෑ.ඒත් එයාව මතකද කියල මනින මිනිස්සු එක්ක හරි අමාරුයි සකුණ..”

කාව්‍යා එසේ පවස උදාරාව සිහි කළා ය.ඇය පාසලේ විස්තර පවා සිහි කරන මොහොතකදී මාතෘකාව වෙනස් කරන්නට හපනියකි.

“අකලංක මතක් උනාම ලේ රත් වෙනව කවී.ඊටපස්සෙ මට වෑංජන වලට ලුණු එහෙම දෙතුන්පාර වැටෙනව.”

උදාරා එහෙව් සරදම් කරමින් මාතෘකා වෙනස් කළාට ඈ ප්‍රවේසම් වන්නේ සෙනුරගේ මතක සිහි නොකරන්නට බව කාව්‍යා දනියි.ඈ උදාරා එපමණකට ආදරය කරන්නේ එනිසා ය.

“කාව්‍යා,ඔයාගේ දුක අහන මිනිස්සු ඇත්තටම ඔයාට වැඩක් නෑ.දුක තියනව.ඒක ආං කියල ඇඟිල්ලෙන් ඇන ඇන පෙන්නන මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න.මීදුමෙන් වැහිලා තියන පාරකින් එළියට ආවම හොඳ පැහැදිලිව පාර පේන්න ගන්නව.සමහරවිට පාරවල් කිහිපයක්.ඔයාට පහසු පාරක හෙමින් ඇවිදින්න පටන්ගන්න.ජීවිතේ ගැන අනාවැකි කියන්න බෑ.සමහරවිට ආයෙ ආයෙම මීදුම ඔයාව වට කරගන්න අවස්ථා එයි.ඒත් ඉර පායනව කියල විශ්වාස කරන්න..”

මනෝ වෛද්‍යවරිය කී ඒ වචන කාව්‍යා සිහි කළේ මෝටර් රථයේ වීදුරුවේ හැපෙන උදා හිරු කිරණ රස විඳිමිනි.හිරු එළියකින් පාර හොයා ගන්නට ඇයට ක්ෂණික සිතුවිල්ලක් උපන්නේ එබැවිනි.

“සකුණ,මාව හවසටත් ගන්න එනවද?”

ඒ හැඟීමෙන් හදවත පුරවා ගනිමින් ඈ සකුණගෙන් ඇසුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles