හසරැලි වැස්සේ -12

උසස්පෙළ විභාගය අවසන් වන තුරුම මා සිටියේ ඉතා කාර්යබහුල ජීවිතයක ය.මා හොඳින් විභාගයට මුහුණ දෙන බවට මගේ සමීපතමයන් ද ගුරුවරුන් ද දැඩිව විශ්වාස කළ නිසා මට ඒ විශ්වාසය රකින්නට ඕනෑ විණ.කොහොමටත් මා ඉගෙනීම ප්‍රිය කළ දැරියක් නිසා මට පාඩම් කිරීම අපහසු වූයේ ද නැත. එකල දෙනෙත් ගැන සිතීම ද ඔහු අපේ නිවසට එනතුරු මඟ බැලීම ද මා කළේ ඒ සියළු වැඩ අතර ය.නමුත් දැන් තත්ත්වය වෙනස් ය.මට කරන්නට දෙයක් ඇත්තේ නැත.එනිසා අවදිව සිටින සෑම තත්පරයකම හදවතේ රැඳුණේ ඔහු ය.

“මිනිස්සු ඔහොම පිස්සුවෙන් ලව් කරන්න ගියාම ලෙඩ වෙනවා..”

දෙමිතුරියෝ මට බැන වැදුණ හ.ඔවුන් සිටියේ මා සචිර අයියාගේ පෙම්වතිය වන දවසක් ගැන ඇඟිලි ගනිමිනි.ඔහු ගැහැනු ළමයෙකු ආදරය කළ යුතු වර්ගයේ කොල්ලෙකු බව යෙත්මි නිරන්තරයෙන්ම පැවසුවා ය.

“සචිර අයියා කෙලින්ම හස්බන්ඩ් මෙටීරියල් එකක්.ඒ මනුස්සයා මේකි ගැන හිතනව කියල පේන නිසා නෙවෙන්න මං එයාට ලව් කරලා ඉවරයි..”

ඇය එසේ කියද්දී මා ඇයට බැන වැදුණ ද මගේ සිතට බයක් නොදැනුණා නොවේ. නමුත් සචිර අයියා අසල මට දැනෙන්නේ අයියා මා අසල ඇති විට දැනෙන රැකවරණය සහ ආරක්ෂාව පමණකි.මා ඔහුට අප්‍රමාණ ලෙස ආදරය කරන බව ඕනෑම විටක මම එළිපිට පැවසීමි.

“මං ඔයාට වඩානම් සචිර අයියට ආදරෙයි..”

අයියාගේ විවිධ ගැහැට වලට ලක් වී හඬද්දී මා එසේ කීවේ කුඩා දැරියක කාලයේ පටන් ය.තවම එය කිසිදු පැකිලීමකින් තොරව කියන්නට මම නොපසුබට වන්නෙමි.

“ඔව්,මං දන්නවා ඒක එහෙම වෙන්න තිබ්බ දෙයක් කියලා..”

දැන් මා එසේ කියද්දී අයියාගේ ප්‍රති උත්තරය එවැනි එකකි.ඒ ඔහු තමන්ගේ මස්සිනා තනතුරට සචිර අයියා කැමැත්තෙන් බාර ගැනීම නිසා බව යෙත්මි සහතික කර කියන්නී ය.

“අයියාට ඕන ඔයාට යහපතක් වෙනව දකින්න.ඒකනෙ එයා දන්න හොඳම මනුස්සයෙක් එක්ක ඔයා යාලු වෙනවට කැමති..”

කිසිවෙකුට මගේ ජීවිතය ගැන අතිශය පෞද්ගලික තීරණවලට එළඹෙන්නට නොහැකි බව මම සිතුවෙමි.ඒවා තීරණය කළ යුත්තේ මා විසිනි.මා ප්‍රේම කළ යුතු මිනිසා අයියාගේ තීරණයක් නොව මගේ තීරණයක් විය යුතු ය.

“මට ඉස්සර දෙනෙත් ගැන බයක් තිබ්බෙ නෑ..ඒකත් අපි තුන්දෙනාගෙ කෙළවරක් නැති පිස්සු විහිළු වලින් එකක් කියල හිතුවේ.දැන් තේරෙනවා එහෙම නෑ කියල.ඔයා එයාට ක්‍රෂ් නෑ.ආදරෙයි.මට ඒ ගැන බයයි..”

උවනි බැරෑරුම් මුහුණක් ඇතිව කියද්දී මගේ තත්ත්වය සැබෑවටම අවුල් සහගත බව මට නොසිතුණා නොවේ.ඔහු මට ආදරය කරන්නේදැයි නොදැන මා ආදරයෙනි.එය ඔහුට දනවන්නට ක්‍රමයක් පවා සිතා ගත නොහැකිව මා වේදනාවෙනි.ඉතා ඉක්මනින් ඔහුගේ ආදරවන්තියගේ තැනට වෙනත් කෙනෙකු පැමිණියහොත් මට ජීවිතය පහසු නොවන බව මම දනිමි.මේ වේදනාව ද එනිසා ය.

“මට ඇත්තටම හිතෙනව එයාට ඕක කියන්න..”

උවනි හදිසියේ පැවසුවා ය.යෙත්මි දිනක් එයට එරෙහි වූ අන්දම මට සිහි විණ.මා ඇය දෙස බැලුවේ එය සිහි වූ නිසා ය.

“එපා..ඇත්තටම මං නම් කැමති නෑ ඒකට..”

යෙත්මි වහා කියද්දී මට දැනුණේ කෝපයකි.ඇයට උවමනා මෙය වළක්වන්නට ය.

“දෙනෙත් ඕකට කොහොම රිඇක්ට් කරයිද කියල මං හිතන්නෙ.ඒක අපේ හසරැලිව ලැජ්ජා කරන දෙයක් වුණොත්..බෑ කීවට කමක් නෑ.ඒත් හසරැලි එයා ගැන බලාපොරොත්තුවෙන් ඉන්නව කියල ඔය මනුස්සයා හැමතැනම කිව්වොත්…”

යෙත්මිගේ හඬ සැකයෙන් පිරී ගොසිනි.ඔහු අවංක මිනිසෙකු නොවන බවට මෙතරම් තහවුරු කරන මිතුරියන් සිටියදී පවා මට එය පිළිගන්නට නොහැකි ය.අප ඔහුව වඩා සමීපව නොදන්නා බැවින් මේ සියල්ල අපේ හිතළු නොවේදැයි මම සිතුවෙමි.

“අපි සචිර අයියට කියල උදව්වක් ඉල්ලමු..”

උවනි අලුත් අදහසක් ගෙන ආවා ය.යෙත්මි ඇය දෙස බැලුවේ කෝපදීප්ත දෑසකිනි.එය මුල් අදහසටත් වඩා අමන එකක් බව ඇය සිතන හැඩකි.

“සේරම ඉවරයක් වුණු දාට හරි මෙයාට ඇත්ත තේරෙන්න ඕන..ඒ නිසා දෙයියන්ගෙ නාමෙට සචිර අයියගෙ හිත කඩන්න එපා..”

යෙත්මි කියන්නේ තර්ජනයක ස්වරූපයෙනි.අප දෙස මොහොතක් බලා සිටි උවනි නැගී සිටියේ අලුත් අදහසක් සිහි වූ හැඩයකිනි.

“මට නිකමට දෙයක් හිතෙනව.ඔයා පොඩි කාලේ වගේ සචිර අයිය එක්ක තියන ඇයිහොඳයිය නවත්තන්න..ගාණකට ඉන්න..මොකද ඔයා එයාවයි හසරැල් අයියවයි වෙනසක් නොකරන එකෙන් දෙනෙත් හිතනවද දන් නෑ ඔයා ආදරේ සචිර අයියට කියලා..”

නමුත් ඔහු නොසිතිය යුත්තේ ද එය නොවේදැයි මම සිතුවෙමි.මගේ අයියාගේ තරමටම සචිර අයියාට සලකන එකට එක කියමින් රණ්ඩු කරන මා කෝල වන්නේ දෙනෙත් ඉදිරියේ ය.සචිර අයියාගෙන් වැඩ ගත්තද දෙනෙත්ට තේ කෝප්පයක්වත් සෝදන්නට ඉඩ නොදෙන්නට මා ප්‍රවේසම් ය.සචිර අයියාගේ පංගුව ද උදුරාගෙන කන්නට මැලි නොවන මා දෙනෙත්ට ඉහලින් සංග්‍රහ කරන බව ඔහුට නොදැනෙන්නට හේතුවක් නොවේ.

ඉතින් විශේෂත්වය ඔහුට බව ඔහුට නොවැටහෙන්නේ ඇයිදැයි මට ගැටලුවකි.පීඩාවකි.ඔහු සැබෑවටම උවනි කියන ලෙස මගේ සහ සචිර අයියාගේ සහෝදරත්වය ගැන වැරදි අවබෝධයකනම් එය ඉක්මනින් නිවැරදි කරන්නට මට ඕනෑ විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles