මුතුබෙලි හදවත -2

රිය පදවන ගමන් විකුම් ගේ සිත තුළ මාරුවෙන් මාරුවට ආදි ගේ ත් මින්දුල ගේ ත් මුහුණු මැවිණි. ආදිත්‍යා ට අවසාන වශයෙන් කී කතාව දරුණු වැඩි බව ඔහු ට නො දැනුණා නොවේ. නමුත් තව දුරටත් ඔහු සිටින්නේ සිය පාලනය තුළ නො වන බව විකුම් ට වැටහිණි. ආදිත්‍යා කෙරේ අනුකම්පාවක් ඔහු තුළ නොමැතිව ම නොවේ. නමුත් ඇගේ මේ අකීකරු දැඩි ප්‍රතිපත්තිය ට එකඟ වීමේ හැකියාවක් දැන් විකුම් ට ඇත්තේ නැත.ඔහු බලාපොරොත්තු ව සිටිනුයේ එළැඹෙන මහ මැතිවරණයේ දී තරඟ කරන්නට ය. දේශපාලනයත් දැන් අමුතු විදිහේ සෙල්ලමක් බවට පරිවර්තනය වී තිබේ. අවුරුදු පහෙන් පහට බලයට පත් වන ආණ්ඩු මාරු වෙමින් ද එක ම නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුව තුළ අසුන් ගනිමින් ද සිටිති. පියා ගෙන් පුතා අතට බලය ගලා යාමත් සාමාන්‍යයෙන් සුලබ සිදුවීමක් බවට පත් වී තිබේ. ඒ අනුව විකුම් ට පාර්ලිමේන්තුවේ අසුනක් හිමි කර ගැනීම කියන්නේ අසීරු කටයුත්තක් නොවේ. එවන් සුබ සිහිනයක් දකිමින් සිටිනාතරවාරයේ ඔහු ට සිටින්නේ ඔටිසම් දරුවෙකු ය යන්න රටේ ප්‍රචලිත වීම සිය ඉදිරි ගමනට දැවැන්ත හානියක් සේ විකුම් ට දැනෙන්නට ගති. 

කෙසේ හෝ ආදිත්‍යා ගේ සිත වෙනස් කර ගන්නෙමැයි ඔහු සිතා ගත්තේ ය.

ඒ රාත්‍රියේ විකුම් සියුම් ලෙස සිය පතිණිය ගේ හිත ට සමීප වීමේ උත්සාහයක් දැරුවේ ය. ආදිත්‍යා කියන්නේ බොහෝ සංවේදී ළද බොළඳ සිතැත්තියක් බව ඔහු දැන සිටියේ ය. ඇය ව රවටා ගැනීම පහසු බව ද ඔහු සිතුවේ ය.

“අපිට ආයෙ බබෙක් හදා ගන්න පුළුවන් ආදි…හැබැයි මින්දුල නිසා මගෙ ගමනට වෙන්න පුළුවන් ඩැමේජ් එක හදන්න පුළුවන් කමක් නෑ”

ආදිත්‍යා ගේ කෙහෙ රැලි අතරේ විකුම් ගේ අතැඟිලි දුවමින් තිබිණි. සියුම් මිහිරකින් නෙතු පියවෙන්නට ගියත්, සිහි කල්පනාව ගිලිහී යන්නට ඇය ඉඩ තැබුවේ නැත.

“ඔයා කිව්වනෙ පොලිටික්ස් වලට යන්නෑ කියල”

විකුම් දේශපාලනයේ සක්‍රිය සාමාජිකයෙකු වෙන්නට හිතු එක ගැන ආදිත්‍යා ගේ කැමැත්තක් වූයේ නැත. ඔහු ගේ ප්‍රේමාලිංගන වලින් යහන උණුහුම් වූ එක් රාත්‍රියක ඇය විකුම් ගෙන් ඒ පොරොන්දුව ගෙන තිබිණි. නමුත් ඒ අවස්ථාවේ හැටියට මිස වැඩි දුර හිතා මතා වූ පොරොන්දුවක් නො වන බව විකුම් සිහි කළේ හිත කොනක වන සිනහවකිනි.

“පොලිටික්ස් වලට ගියත් නැතත්…මේක අපිට මාර බ්ලැක් මාක් එකක් ආදි”

“අනේ ඉතිං…අපේ දරුවනෙ…එහෙම හිතන්නෙ ඇයි…ඒක අසනීපයක්නෙ…මිනිස්සුන්ට ලෙඩ හැදෙනව කියන එක ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයිනෙ විකුම්”

“ඔයාට මේක තේරන්නෑ. මේ ළමය තව ලොකු වෙනකොට එයා මොන විදිහෙ ළමයෙක්ද කියල ලෝකෙට පේනව. අපි කොහොමද ආදි…එහෙම තත්වෙකිං ලෝකෙට මූණ දෙන්නෙ…”

“ඉතිං අර ට්‍රේනිං සෙන්ටර් එකේ උදව් ගත්තොත්…”

“ආදි මේ…ඔය ගැන කොච්චර කතා කළත් වැඩක් නෑ. මං කැමති නෑ අපිට මෙහෙම ළමයෙක් ඉන්නවට”

ආදිත්‍යා ට ඉක්මනින් ම සිය මතයට එකඟ වන්නට සිදු වනු ඇතැයි විකුම් සිතුවේ ය. ටිකක් කල් ගත වී හෝ විකුම් සිය දරුවා පිළිගන්නට හිත හදා ගනු ඇතැයි ආදිත්‍යා සිතුවා ය. නමුත් සිදු වූයේ දිනෙන් දින ම විකුම් සිය පුත්‍රයා ප්‍රතික්ෂේප කරමින් ඔහු ට වෛර කරන්නට පටන් ගැනීමයි. මින්දුල ද පියා කෙරේ හැසිරුණේ ආගන්තුකයෙකු පරිද්දෙනි. විකුම් ටිකක් හඬ නගා කතා කළත් ඔහු විශාල කලබලයක් කරමින් හඬන්නට ගනී. මේ තත්වය ආදිත්‍යා ට දැඩි මනසික ව්‍යාකූලත්වයක් නො දැනවූවා නොවේ. නමුත් ඔටිසම් දරුවන් ගැනත් ඔවුන් රැක බලා ගැනීමේ ක්‍රියාවලිය ගැනත් අන්තර්ජාලය පීරමින් කරුණු සෙවූ ඇය, කෙසේ හෝ දරුවා ලොකු මහත් කර ගැනීමට අවශ්‍ය ධෛර්යය සිත තුළ උපදවා ගත්තා ය.

“මං ඕෆනේජ් එකක් බැලුව. අපි මින්දුලව ඒකට දාමු”

දිනක් විකුම් යහනට ආවේ ඒ ආරංචියත් අරගෙන ය. 

“අනේ විකුම්”

ආදිත්‍යා සිය පෙම්බර සැමියා ගේ බඳ වටා සුරත යවමින් ඔහු ගේ ළැම සිය හිස හොවා ගත්තා ය.

“මං දන්නව ඔයාට මේක ලේසි නෑ කියල. ඒත් ආදි…සමහර දේවල් තියෙනව අපි අමාරුවෙන් වුණත් කරන්න ම වෙන…”

ආදිත්‍යා විකුම් ගේ උරහිසක් තද කොට අල්ලා ගෙන සිටියා ය.

“මේ හැම දේම අමතක වෙන්නත් එක්ක අපි කොහෙ හරි ටුවර් එකක් ගිහිං එමු. තව දරුවෙක් හම්බ වුණාට පස්සෙ ඔයාට හිතෙයි අපි ගත්ත තීරණේ හරි කියල”

ආදිත්‍යා මුවින් නො බිණුවා ය. නමුත් ඇගේ ඇස් ද හිත ද කතා කරමින් තිබිණ. ඇසින් ගිලිහුණ කඳුළක් විකුම් ගේ නිරුවත් ළමැදේ ඝණ රෝම තට්ටුව අතරෙහි සැඟවී ගියේ ය.

“මං එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නෑ. පුතාගෙ තාත්තට ඔයාව එපා නං හිඟා කාල හරි මං ඔයාව හදා ගන්නව පුතේ”

ඇගේ හිත මුමුණමින් තිබුණේ එසේ ය.

මේ කාරණය මත ආදිත්‍යා හා විකුම් අතරේ දිගින් දිගට ම ගැටුම් ඇති විය. විටෙක හොඳින් ද විටෙක නරකින් ද ඔහු එක ම දේ ඇයට අවධාරණය කිරීමේ උත්සාහයක් ගත්තේ ය. ඒ සියල්ල මුණින් අතට නැවූ කළයකට පුරවන වතුර සේ අපතේ ගියා විතර ය. පියා ගෙන් ඔහු ව ප්‍රතික්ෂේප වන්නට වන්නට පුතා ද ඔහු ව ප්‍රතික්ෂේප කළේ ය. විකුම් ව දුටුවත් මින්දුල කලබල කරමින් හඬන්නට පටන් ගත් තත්වයකට ප්‍රශ්නය ඔඩු දිව්වේ ය. අවසානයේ සිදු වූයේ විකුම් ඔවුන් ගේ නිදන කාමරයට පිවිසෙන එක නතර කර දැමීමයි.

“මේක කරුමයක් වුණා”

විකුම් දැඩි ව කෝප ගත්තේ ය. නො සන්සුන් වූයේ ය.

“එහෙම කියන්න එපා. ඒ ඔයාගෙ පුතා”

“මන්ද බුද්දික එකෙක්ගෙ තාත්තා වෙන්න මට ඕන නෑ”

ඔහු අඩි පොළොවේ හප්පමින් කෑ ගැසුවේ ය.

“ඔටිසම් කියන්නෙ මන්ද බුද්දික කියල මිනිස්සු හිතන දේ නෙවෙයි විකුම්. මේක ස්නායු ප්‍රශ්නයක්. එයාල අනිත් බබාලට වැඩිය ටිකක් වෙනස් තමයි. කතා කරන්න ප්‍රමාදයි. අපේ පුතා තාම අම්ම කියල බහ තෝරන්නෙ නෑ. ඔයා හිතන්නෙ මට දුක නැද්ද…මගෙ පපුව කඩාගෙන වැටෙනව. ඒ මොනා කරන්නද…අපි මේ ජීවිතේට මූණ දෙන්න ඕනෙ මේ දරුවත් එක්කමයි විකුම්”

“ඇති ඇති නවත්ත ගන්නව”

එයින් පසු ඔහු වෙනත් කාමරයක් සිය වාස භූමිය කර ගත්තේ ය.

“අපි එකට ජීවත් වෙන්නනං ඔයා ඔය ළමයව ඕෆනේජ් එකකට දාන්න හිත හදා ගන්න ඕනෙ”

ඔහු තර්ජනය කළේ ය. 

ආදිත්‍යා ට දැනුණේ ඇය කබලෙන් ලිපට වැටුණා ය කියා ය. මින්දුල එක්ක දවස ගත කිරීම පහසු නැත. ඇතැම් විට ඔහු ගේ ආක්‍රමණශීලී හැසිරීම් නිසා ඇය හෙම්බත් වේ. ඒ වෙහෙස බෙදා හදා ගන්නට හෝ විකුම් ළඟින් හිටියා නම් හොඳ ය. ආදරයෙන් හිස පිරිමැද හාදුවක් දුන්නා නම් හොඳ ය. නමුත් ඇගේ ජීවිතය වෙත ආවාටත් වැඩි වේගයෙන් ඔහු ඈ වෙතින් දුරස් වෙමින් සිටියේ ය.

“පුතාව ඕෆනේජ් එකකට දානකල් එයා රූම් එකට එන්නෑ කියනව”

ආදිත්‍යා සිය නැන්දනියට කීවා ය. සැබවින් මෙහෙම දෙයක් කතා කරන්නට තරම් ඇය ට දැන් සිටින එක ම විශ්වාසවන්ත හිතවතිය ඇයයි. නැන්දම්මලා ගැන අසා දැක තිබූ සියලු කාරණා අසත්‍ය බවට පත් කරමින් සඳසීලී විජයවික්‍රම ආදිත්‍යා ට නැන්දම්මා කියන වචනාර්ථය ඉක්ම ගොස් අම්මා කෙනෙක් බවට පත් ව සිටියා ය. නැන්දම්මා හා ලේලිය අතරේ ලෝකය ඇරඹුණ දා සිට පැවති අරගලය ඔවුන් දෙදෙනා අතරේ වූයේ නැත. 

“හිත හදාගෙන මේ දරුවව අත්ඇරල දාන්නෙ කොහොමද අම්ම..”

“මට තේරෙනව දුව. ඒත් ගෑනු අපි වගේ නෙවෙයි පිරිමි හිතන්නෙ”

“විකුම් මේ වගේ අසනීපයක් එක්ක ඉපදුණානං අම්ම එයාව පැත්තකට විසි කරල දායිද….”

“ඒක ඇත්ත. ඒත් ඔයා පවුල් ජීවිතේ ගැනත් කල්පනාවෙන්. මොකද පිරිමි කියන්නෙ ගෑනු වගේ හිතන ජාතියක් නෙවෙයි. එහෙම වැඩ කරන අයත් නෙවෙයි. ඒගොල්ලො බලන්නෙ කොතනකට හරි පැටලෙන්න”

සඳසීලී විජයවික්‍රම වූ කලී ගෙයි ගෙම්බෙකු සේ ජීවත් වූ ගැහැනියක නොවේ. සමාජ සේවිකාවක ලෙස කටයුතු කරන්නට ඇයට ලැබී තිබූ මාහැඟි අවස්ථාවෙන් ඕ තොමෝ උපරිම ප්‍රයෝජන ලබා ගත්තා ය. රට වටා ඇවිදිමින් මිනිසුන් හා කතා බහ කළා ය. ඔවුන් ගේ අතිශය පෞද්ගලික කතන්දර වලට කන් දුන්නා ය. මිනිස් සන්තානයන් හි අතිශය සියුම්, සංවේදී සේ ම බියකරු අඳුරු ගුහා වල සැරිසැරුවා ය. ඒ නිසා ආදිත්‍යා ව සේ ම විකුම් ව ද වටහා ගන්නට බැරි කමක් ඇය ට නැත.

විකුම් ද පසු වූයේ මානසික ව්‍යාකූලත්වයක ය. සිය බිරිඳ ට ඇහුම්කන් දෙමින් පවුලක් ලෙස මේ තත්වයට මූණ දෙන සූදානමක් කිසි සේත් ඔහු ට උදා කර ගත හැකි වූයේ නැත. සදාකාලික ව අසාමාන්‍ය දරුවෙකු කියන්නේ ඔහු ගේ හිත බියෙන් හිරිවට්ටනා අද්භූත වූ යමකි. විකුම් ට ඕනා වූයේ ඒ බියකරු හීනයෙන් පලා යන්නට ය. ඒ සඳහා ඔහු සොයා ගියේ ආදිත්‍යා හා විවාහ වන්නට පෙර ඔහු ගේ පෙම්වතිය වූ ශිරෝෂි ව ය. 

ඈ ළඟ දී නැවතත් ඔහු ට පුරුදු සැහැල්ලුව දැනෙන්නට ගති. මේ තරම් සොඳුරු සුව බර ජීවිතයක් හිමි ව තිබිය දී ආදිත්‍යා වැනි ගැහැනුන් කුමට නීරස වූ දුෂ්කර මාර්ග තෝරා ගන්නවා දැයි ඔහු ට වටහා ගත හැකි වූයේ නැත.

“අපි යමුද විකුම් අර ට්‍රේනිං සෙන්ටර් එකට…ඔයා එක දවසක් විතරක් මාව එතනට එක්කං යන්නකො. ඊට පස්සෙ මට පුළුවන් පුතාව අරං තනියම යන්න…”

ආදිත්‍යා අහිංසක ඉල්ලීමක් කළා ය. විකුම් ද කෝපත් ව කලබල වෙන්නට ගියේ නැත.

“මට ඕවයෙ රස්තියාදු වෙන්න විදිහක් නෑ ආදි”

“ඔයාට අපේ පුතා ඕන ම නැද්ද…”

“නෑ”

ඒ තනි අකුරේ පිළිතුර කඩු තුඩක් සේ ආදිත්‍යා ගේ පපුවේ ඇමිණී ගත්තේ ය.

“කොටිංම ඒ ළමයට පුරුදු කරන්න එපා මට තාත්ත තාත්ත කියන්න. මං නැමති නෑ”

ආදිත්‍යා දිගු සුසුමක් ඉතා හෙමිහිට ගෙන සිය ළය පුරවා ගත්තා ය. පපුව පැළෙන්නට තරම් දුක වැඩි ය. දස මසක් කුස දරා හිඳ අප්‍රමාණ දුක් උහුලා ගෙන බිහි කළ කුළුඳුල් දරුවා වෙනුවෙන් දිවි පුදන්නට වුණත් ඇය ට පුළුවන. නමුත් ඔහු ට තාත්තා කෙනෙකු වෙන කැනකින් සොයා දෙන්නට ඇය ට නුපුළුවන.

“ඔයා දවසක දුක් වෙයි විකුම්”

එපමණක් කියා ඈ සිය හද දුක වාවා ගත්තා ය. 

සියල් දුක් දැඩි අධිෂ්ඨානයකට හරවා ගත් ආදිත්‍යා මින්දුල වෙනුවෙන් මුළු දවස ම කැප කළා ය. ඔහු ගේ චර්යාවේ වෙනස්කම් දින දින නරක අතට හැරෙමින් තිබේ. දැන් ඔහු ඒ තරම් ප්‍රබල නොවන ශබ්ද වලට පවා බිය වී කෑ ගසයි. මුළුතැන්ගෙයි විදුලි උපකරණයක් ක්‍රියාත්මක කරන හඬින් ද කලබල වෙයි. වෙනකක් තබා වැසිකිලියේ වතුර ෆ්ලෂ් කරනා හඬින් ද බිය වී සවන් වසා ගෙන කෑ මොර දෙයි. 

“අනේ ඇයි පුතේ අපිට මෙහෙම වුණේ…”

මින්දුල තුරුලු කර ගෙන සමහර වෙලාවක ආදිත්‍යා හඬයි. සුසුම් හෙළයි. යළිත් මොහොතකින් ඇය මෙලොව වසනා ශක්තිමත් ම අම්මා ගේ භූමිකාවට ප්‍රවිෂ්ඨ වෙයි.

“අම්ම ඔයාව අත් අරින්නෑ. තාත්තව නෙවෙයි මොනා නැති වෙලා ගියත් අම්මා ඔයාව අත් අරින්නෑ”

ඈ සිය බිළිඳු පුතු තදින් වැළඳ කියයි. අවාසනාව නම් මින්දුල එවන් වැළඳ ගැනීම් හා හුරතල් කිරීම් ද ප්‍රතික්ෂේප කිරීමයි.

එවක් පටන් විශේෂඥ වෛද්‍යවරයා වෙතට යන්නට පවා විකුම් පැමිණියේ නැත. සඳසීලී ඈ තනි නොකිරීම පමණක් ආදිත්‍යා ගේ සැනසීමට හේතු විය. සමාජ සේවිකාවක වශයෙන්, සමාජයට බරක් වී ඇති මෙවැනි දරුවන් ගැන ඇය ට යම් අවබෝධයක් වේ. ඇය කුළුඳුළේ ම දෝතින් ගෙන තුරුලු කර ගත් මුණුබුරා ට ද එවන් ඉරණමක් අත් වීම ගැන සඳසීලි ගේ හිතේ තිබෙන්නේ වේදනාවකි.

ඇය මේ පිළිබඳව විකුම් සමගින් ද කතා කළා ය.

“ඔච්චර නපුරු නොවී ආදිත්‍යා එක්ක ඉන්න. මට විශ්වාසයි එයා කොහොම හරි මහන්සි වෙලා මින්දුලව තරමක් හරි හොඳ තත්වෙකට ගනී”

නමුත් විකුම් ප්‍රතිචාර දැක්වූයේ ආවේගයෙනි.

“අම්ම තමයි මේ හැම දේට ම වගකියන්න ඕනෙ. අම්මා තමයි මේ කොහෙවත් යන කුණ්ඩවාලයක් මගෙ ඇඟේ එල්ලුවෙ. එහෙම නොවුණානං මං අද මෙහෙම විඳවන්නෑ”

ඒ කතාව ආදිත්‍යා ට ඇසිණ. තුවාල වී ඇති ඇගේ පපුව යළි යළි පෑරෙයි. ආදරයක් මත්තේ පළඟැටියෙකු සේ දැවී විනාශ වී යන්නට පුළුවන. නමුත් ආදරයක් නැති තැනෙක එසේ විනාශ වී ගියත් කුමට ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles