නිමිඇඳුම් ප්‍රදර්ශනාගාරයේ හයවැනි මහල තෙක් යන්නට මේඝ සේනාධීර විදුලි සෝපානයට ගොඩ වූයේ ය.ඔහු ජංගම දුරකථනය නෙත් අලවාගෙන එහි සිටිය ද මේඝගේ මිතුරා වූ විදුක සිටියේ වෙනත් කල්පනාවකට බව මේඝට පෙනුණේ නෙත් කොණකිනි.
“ඇයි..”
මේඝ එය ඇසුවේ දෑසිනි.මුවින් පිටතට පනින්නට ආ සිනාව මුව තුළම සිර කරගත් විදුක දෑසින් ම සෝපානයේ සිටි යුවතිය ඔහුට පෙන්වී ය.කැරලි හිසකෙස් කලඹ පිට මත මුදා හළ යුවතියට ඇත්තේ කඩා හැලෙන ලස්සනක් නොවේ.එහෙත් ඇය ආකර්ෂණීය ය.ආකර්ෂණීය වීම හෝ නොවීම විදුකට කොහොමටත් අදාළ කාරණාවක් නොවේ.සෑම මොහොතකම යුවතියක සමඟ හාද වන්නටත් ඉනික්බිතිව කෙළවරක් නැති කරදර පටලවා ගන්නටත් විදුක තරමට සමතෙකු මේඝ නොදන්නා තරම ය.
යුවතිය එක්වරම දෑස් ඔසවා බැලුවේ විදුක දෙස නොවේ.මේඝ දෙස ය.වහා ක්‍රියාත්මක වන්නට තරම් දඟකාරකමක් විදුකට උපන්නේ එබැවිනි.
“නේහාට ඇඳුම් තෝරලා තෝරලා අද ගෙදර යන්න නෙවෙයි හැබැයි..”
විදුක එසේ පවසද්දී මේඝ මිතුරා දෙස බැලුවේ කුහුලිනි.පෙම්වතියට ත්‍යාගයක් ලබා දීමේදී ප්‍රේමාන්විත විය යුතු බවට විශාල කරදරයක් වූයේ විදුක ය.මේඝට ඕනෑ වූයේ නේහාට රන් මාලයක් ලබා දෙන්නට ය.
“ඔය රත්තරං කෑලිම මදි.උඹ එයාව ගාණට මිම්මට දන්නව කියන්න ඇඳුමක්,ෂූෂ් දෙකක්..තව අන්ඩර්වෙයාස්..” විදුක හෑල්ල පිරූ අන්දම සිහි වෙද්දී මේඝගේ තොල් මත සිනාවක් පිපී එයි.විදුක එපමණකට නේහා වෙනුවෙන් කතා කළ ද නේහා විදුක ගැන සෑම මොහොතකම කතා කරන්නේ අප්‍රසාදයෙන් ය.
“ෂිහ්..මේඝ! ඔයා අර සෝප් ඔපෙරා වල මේන් ඇක්ටර් වගේ.ජෝකර් කෙනෙක්ව බෙස්ට් ෆ්‍රෙන්ඩ් කරන් නිකන් විකාර වෙනවා.විදුකගෙ කට බලන්න..අනික යනයන තැන කෙල්ලො..”
නේහා විදුකට සරදම් කරන්නී ය.ඔහුව අප්‍රිය කරන්නී ය.විදුක ඇසුරු කිරීම ම මේඝගේ ක්ලාස් එකට හානියක් බවට දොස් පවරන්නී ය.සැබෑවටම නේහා තමන්ට ආදරය කරන්නේද ඒ පන්තියේ බලය නිසා නොවේදැයි නාසා මේඝ සන්සුන් ව හිඳියි.ඇය සමඟ කතා කිරීම ම හිසරදයක් වන තැන් අනන්ත ය.වාද කරන්නට යාම ඊටවඩා බොහෝ බරපතල බව මේඝට සිතේ.
“සමහර මිනිසුන් හිසරද හා සමාන ය.දැකීම පවා වේදනා නාශක පෙති අහුරු පිටින් බොන්නට හේතුවකි.”
මේඝට හදිසියේ ඒ වචන සිහි විණ.කටපාඩම් නවකතාවක කටපාඩම් වචන කිහිපයක් සිහි වෙද්දී ඔහු වහා තරුණිය දෙස බැලුවේ ය.යමක් අසුරු සැණින් මතකයට පැමිණේ.නමුත් යුවතිය සෝපානයෙන් නික්ම ගියා ය.ඇය රැඳුණේ පිරිමි ඇඳුම් ඇති මහලේ ය.
“අපි කෙල්ලන්ට ඇඳුං තෝරනකොට කෙල්ලො කොල්ලන්ට ඇඳුම් තෝරනව.මටයි කියල හරිහමන් ගෑනියෙක් නැති වුණාට ලෝකය ප්‍රේමයෙන් පිරිලා නේද මචං තියෙන්නේ?”
මේඝට එයට දෙන්නට වෙනදා මෙන් කවට වදනක් සිහිව නො ආවේ ය.ඔහු තද සිතුවිල්ලක කල්පනාකාරීව ගිලී යන්නට විණ.
ආරණ්‍යා මල්ලවආරච්චි සෝපාවෙන් පිට වූයේ කල්පනාකාරී හැඟීමකිනි.මල්ලිගේ උපන්දින ත්‍යාගය වෙනුවෙන් ඇය මේ ගමන ආවේ හදිසියේ ය.
“මාත් එන්නං?”
නිසලි එසේ අසද්දී ආරණ්‍යා එය ප්‍රතික්ෂේප කළා ය.ඇය ඇඳුම් තෝරන්නට කැමති තනිවම ය.අදහස් රොත්තක් ක්‍රියාත්මක කරන්නට ආරණ්‍යා කොහොමත් මනාප නැත.
“මල්ලිට නෙවෙයි වෙන්න ඇති මෙලහට.වෙන කාටහරි ගන්න වෙන්න ඇති.ඒකනෙ අපිව දාලා යන්නෙ.”
නිසලි දිගින් දිගටම සරදම් කරන්නට වූවා ය.නමුත් ආරණ්‍යා එය නොදැනුණා සේ එන්නට ආවා ය.ඇයට අවශ්‍ය තනිව මෙවැනි ගමන් එන්නට ය.පිරිමි නිමි ඇඳුම් අතර තනි වෙද්දී ඇයට ලා සිනාවක් ඉපදිණ.
“කවුරුහරි හිටියනම් ඇඳුම් තෝරල දෙන්න තිබ්බා..”
ඇයට සිතෙන්නේ සිනාව අතරින් ය.අහඹු ලෙස හමු වී සෝපානයේ විකාර කළ තරුණයන් දෙදෙනා සිහිව ඒ සිනාව පුළුල් ව නැඟ එයි.
“මේඝ!”
ඔහු දෙස බලා කියන්නට දෙයක් ඇයට තිබේ.නමුත් එය කියන්නට තරමේ දෙයක් ද නොවේ.
“ඔයාගේ නම තමයි අපේ අම්මගෙ පළවෙනි නවල් එකේ ඉන්න කෙනාගේ නම..”
එසේ කියන්නට තරමේ හුරුවක් ඇයට ඔහු ගැන දැනේ.නොදන්නා තරුණයෙකු ගැන එසේ දැනෙන්නේ ඇයි? අම්මාට සියල්ලම ලැබුණු ඇගේ මුල්ම පොතෙහි ප්‍රධාන චරිතය ඔහුගේ නම වන නිසා ද?
“අම්මා එයාගේ ඊළඟ පොතේ නම මට දැම්මා..ඒ වුණාට මල්ලිට මේඝ කියලා නමක් තිබ්බේ නැත්තෙ ඇයි?”
එය ආරණ්‍යා අම්මාගෙන් අද අසන්නට නියමිත ප්‍රශ්නයක් නොවේ.ඇය එය නිතරෝම අම්මාගෙන් ඇසුවා ය.අම්මා එයට පිළිතුරු දෙන්නේ මන්දස්මිතයකිනි.
“ඔයාට ආරණ්‍යා කියලා නම තියාගන්නත් බැරි වෙයි කියල මම හිතුවේ..”
ඒ වචනවලට කුමක් හෝ දිගුදුර කතාවක් ඇතිදැයි ආරණ්‍යාට සිතෙන්නේ තරුණයා ගැන ඇති හුරුව නිසා ය.ආරණ්‍යා ඇඳුම් තේරීම නවතා දුරකථනය අතට ගත්තා ය.එක් නමක් පවා සමහර සෙවීම් සඳහා ප්‍රමාණවත් ය.ආරණ්‍යා ෆේස්බුක් සෙවුම් තිරයේ නැවතුණා ය.
“මේඝ”
ඒ හුරුපුරුදු රුවකි.ඇය ඔහු ගැන සොයද්දී ඇගේ රුව මතක කොහේදැයි සිතමින් මේඝ ද පටලැවිල්ලක සිටියේ ය.නේහා වෙනුවෙන් සියලුම තේරීම් විදුකට පවරා ඔහු ඔහේ ඇවිදින්නට පටන් ගත්තේ ය.