හිමගිරි අරණ -54

“මට එයාව රවට්ටන්න ඕන වුණේ නෑ කොහොමටවත්ම.”

රවිඳු අසීරුවෙන් පවසා ගත්තේ ය.ඒ වචන පැමිණියේ අසීරුවෙනි.හිමාෂාට සැක ඇති කර ගන්නට එයම හේතුවක් විය.ඔහු මේ තරම් තැතිගැන්මෙන් සිටින්නේ ඇයිදැයි ඇයට සිතන්නට හෝ අනුමාන කරන්නට නොහැකි ය.පාරමීට නොකැමති බව හැඟවූවාට ඔහු ඇගේ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කර නොමැත.දැන් එය ප්‍රතික්ෂේප වී ඇත්තේ කේන්දර නොගැළපීමක් නිසා බව සිතද්දී හිමාෂාට පාරමී ගැන ඇති වූයේ වේදනාවකි.

රවිඳු ආකර්ෂණීය ගතිගුණ ඇති තරුණයෙකු බව ඔහු කාර්යාලයට පැමිණි මුල් කාලයේ හිමාෂාට කිසි දිනයක සිතී නැත.ඔහු සමීප වන්නට එකම හේතුව ඔහුගේ අනතුර බව ඇය හොඳින් දනියි.පාරමී නම් දිගු කාලයක් තිස්සේ ඔහු සමඟ මිතුරු වන මාර්ගයක් සොයමින් සිටියා ය.නමුත් ආසන්න කාලයකදී ඇරඹුණු මිත්‍රත්වය නොවුනානම් ඔහුට පාරමීගේ සිතුම් පැතුම් පවා කියන්නට තමන් ක්‍රියා නොකරන බව හිමාෂා හොඳින් දන්නී ය.

“අහම්බෙන් ජීවිතේට එන මිනිස්සු ආපු වේගෙන්ම ආයේ යන්න යනව.ජීවිතේ කියන්නේ ඒකට.මං නිකං බොරුවට දවස් ගාණකට හරි හීනයක් දැක්කා.”

ඇය එසේ සිතමින් හිත රිදවා ගැනීම ඇරඹුවා ය.කෙටි කාලයක් තුළ සමීප වූ කෙනෙකු සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කර ගන්නට තරම් අනුවණ වීම ගැන ඇය තමන්ටම දොස් නගන්නට වූවා ය.සන්තෝසය පිණිස කිසිම හේතුවක් නොවූ නිසා අහඹු හේතු සොයමින් සතුටු වන්නට ගිය තමන්ගේ හිත ගැන ඇය තමන්ටම දොස් නඟා ගන්නට වූවා ය.

“තනිකම මට දැනෙන්නෙ නෑ කියලා මම මාවම රවට්ටගත්තට මං තරම් රැවටිලාද කියලා මට තේරෙන්නේ මේ වගේ වෙලාවකදි.පාරමීට කැමති නෑ කියලා රවිඳු මට පෙන්නන්න උත්සාහ කරේ මොකටද?”

වචනයෙන් නො පැවසුවද ඇතැම්විට දෑසෙහි ඇඳෙන කතා කියවා ගන්නට  පිරිමින්ට හැකියාව ඇතැයි කොහෙන්දෝ කියවූ කතාවක් ඈ සිහිපත් කළා ය.පාරමී සම්බන්ධයෙන් දිගින් දිගටම පවසද්දී පවා තම හදවත ඔහු වෙනුවෙන් උත්කර්ශයට පත්වී සිටි අන්දම රවිඳු වටහා ගන්නට ඇත.

“කසාදයක් කඩාගෙන ගෑනියෙක්ව බාර ගන්න මිනිස්සු ලෑස්ති නෑ පුතේ.ඔයා ඔය කසාද කඩාගන්නේ නැතුව ඔහොම හිටියොත් අඩුම තරමේ ඔයාට රැකවරණයක් හරි තියනවා ලෝකෙට පේන්න.දික්කසාද ගෑනියෙක්ගෙන් ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න මිනිස්සු මේ ලෝකෙ වැහි වැහල.එහෙම මිනිස්සු ඔයා පස්සේ වැටෙනවට මම කැමති නෑ.”

සහන්ගෙන් දික්කසාද වන්නට සැරසෙද්දී අම්මා මන්ත්‍රයක් සේ මැතිරූ වදන් හිමාෂා සිහි කළා ය.අම්මාට ජීවන අත්දැකීම් බොහෝ තිබේ.මෙවැනි දෑ සිදුවන්නට හැකි බව ඇය විශ්වාස කරන්නට ඇත.

එතරම් බියකින් පසු වූ අම්මට පවා රවිඳු සම්බන්ධයෙන් බලාපොරොත්තු දෙන්නට සිදු වීම ගැන දැනෙද්දී හිමාෂාට ඇති වන්නේ හඬන්නට තරම් ශෝකයකි.

විශ්ව විද්‍යාලයේ දේශනයක් අහවර කර දිවා ආහාරය ගන්නට සැරසෙමින් හුන් අමායා අක්කාගෙන් පැමිණ තිබූ කෙටි පණිවිඩයක් දුටුවා ය.වට්ස් ඇප් වෙත ආ එය කෙටි පණිවිඩයක් වූයේ නැත.එය ලිපියක් තරමේ දිග පණිවිඩයකි.අක්කා තමන්ට මේ තරමට විවෘත වූ මුල්ම අවස්ථාව මෙය බව දැනෙන තරමට ඇය තමන්ගේ හදවත විවෘත කර ඇත අමායාට සිතිණ.කියවන්නට පවා විනාඩි ගණනක් වැය වූ ඒ පණිවිඩය කියවද්දී අමායාට අක්කා පිළිබඳව මහත් වේදනාවක් ඇති විය.

“ජීවිතය දෙවැනි පාරටත් රැවටුණා කියලා දැනෙන එක මහම මහ දුකක් නංගි.මං රවිඳුට කැමැත්තෙන් හිටියා කියලා ඔයාට තේරුම් ගියාට ඒක එයාට වත් හරියට තේරුම් නොගියපු එක ගැන මට තියෙන්නේ සතුටක්.නැත්නම් මම පාච්චල් වුණු වේදනාව මට කිසිම දවසක අමතක කරන්න බැරි වෙයි.”

තමන්ගේ අභිමානය සිඳීගිය වේදනාව අක්කාට දරාගන්නට අසීරු බව අමායා තේරුම් ගත්තේ අවසානයේ ලියා තිබූ ඒ වාක්‍යය කිහිපය නිසා ය.කරන්නේ කුමක් දැයි සිතමින් සිටි අමායාට හදිසි කල්පනාවක් පැන නැඟිණ.මෙය මෙලෙස අවසන් විය යුතු කතාවක් නොවේ!

“එයාල අතර මොකක් හරි සම්බන්ධයක් තිබුණනම් ඇයි පාරමී අක්කා අපේ අම්මට කතා කරල ඔයාල ගැන සම්බන්ධයක් ගැන කියන්න හිතුවෙ”

ඒ ප්‍රශ්නය විසඳා ගන්නට හැකි නම් සැබෑ වැරදිකාරයා රවිඳු ද නැතහොත් පාරමි ද යන්න විසඳාගැනීම බොහෝ පහසු බව අමායා සිතුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles