නොගැලපෙන තැන්

” රහල් , මේ දවස් ටිකේ ෆැෂන් හවුස් එකේ සේල් එකක් තියෙනවා. යමුද ? “

ඔෆිස් ඇරිලා ගෙදර යන ගමන් මනීශා ඇහුවේ රිය පදවන රහල් දිහා බලලා

” සේල් එකක් ? ඔයාට ලැජ්ජ නැද්ද මනීෂා සේල් වලින් බඩු ගන්න ? “

” ඇයි ඒවායෙන් බඩු ගන්නෙ මිනිස්සු නෙමෙයිද ? “

මනීෂා ඇහුවෙ තරමක තරහෙන්. තමන් ආස කරන සමහර දේවල් රහල් තරයේම ප්‍රතික්ෂේප කරද්දී ඇයට දැනුනේ දුකක්.

” ඇඳුම් ගන්නවානම් හොද තැනකින් ගන්න.ඔයා ඕවයේ ඉන්නවා මගෙ යාලුවෙක් වත් දැක්කොත් මම ඉඳලා ඉවරයි “

උපතින්ම පොහොසත් පවුලක දරුවෙක් උන රහල් හැම වෙලාවෙම බැලුවේ සුඛෝපභෝගී විදිහට ජීවත් වෙන්න. කිසිම දෙයක උස් මිටිකම් බලපු නැති මනීෂාට ඒක තරමක් අමුතු දෙයක් වුනා

” මනීෂා ඔයා මගේ බර්ත්ඩේ පාටි එකට එනවා නේද? ඔන්න මම ඉන්වයිට් කළේ රහල් ටත් එක්කමයි “

මනීෂා ගේ කාර්යාලයේ මිතුරියක් වුන නිරංජලා ඇගේ උපන් දින සාදයට මනීෂාට ආරාධනා කළේ රහල්වත් එක්කගෙන එන්න කියලා විශේෂයෙන්ම කියන ගමන්

” රහල් බිසී වුණේ නැත්තම් අනිවාර්යෙන්ම එක්කගෙන එන්නම් නිරංජලා.මම නම් කොහොම හරි එනවා “

තමන්ගේ පෙම්වතාව යාළුවන් ගොඩ දෙනෙක් සහභාගි වෙන උපන් දින සාදයට එක්කගෙන යන්න මනීෂා දින ගැන්නා

” ඔයාගේ කරදරේ නිසාමයි ඔන්න මම එන්නෙ. ඔය පාටි එක තියන හොටෙල් එක වගේ තැන්වලට යන්න මම පොඩ්ඩක්වත් කැමැති නැහැ “

මනීෂා ගේ ඇවිටිලි කිරීම නිසාම සාදයට සහභාගි වෙන්න රහල් අන්තිමට කැමති වුණා.හැමෝමත් එක්ක කතා බහ කරල මනීෂා සුහදව ඉන්නකොට රහල් හිටියේ ඒ තරම් සතුටකින් නෙවෙයි

” අනේ රහල් පොඩ්ඩක් හිනා වෙලා ඉන්නකෝ “

මනීශා හෙමින් සීරුවෙ රහල්ගේ කනට කරලා කිව්වා

” බලන්නකෝ මනීෂා. මෙතන බොන්න තියෙන්නෙ ජූස් විතරයි.කොල්ලො කෙල්ලො එන තැනක් මීට වඩා හොඳට තියෙන්න එපැයි.මේ නම් ජීවිතේට පාටි දාපු මිනිස්සු නෙමෙයිද කොහෙද “

රහල් කතා කළේ පිළිකුලෙන් වගේ

” එයාලට පුළුවන් හැටියට නේ කරන්නේ රහල් “

” බැරි වැඩ නොකර ඉන්න ඕනේ එහෙනම්.මාර බෝරින් නෙ අප්පා මෙතන.අඩු ගානේ සිංදුවක් වත් නෑ “

මිතුරියගේ උපන් දින සාදයේ වැඩි වෙලාවක් ඉන්න මනීෂාට හිත දුන්නේ නැහැ.වෙනත් වැඩක් හදිසියේ යෙදුන බව කියමින් මනීෂා රහල් එක්ක ආපහු එන්න පිටත් උනේ රාත්‍රී ආහාරය වත් නොගෙනයි

” එනවනං එන්න ඕනේ මේ වගේ hotels වලට මනීෂා “

මනීෂා වත් රැගෙන සාදයෙන් පිටත් වුණ රහල් මෝටර් රථය නතර කළේ සුඛෝපභෝගී හෝටලයක් ඉදිරිපිට

” ඔය කියන විදිහට ඔෆිස් එකේ අය ඔයා ගැන මොනව හිතුවද දන්නේ නැහැ මනීෂා “

හිතේ අමාරුවෙන් හිටපු මනීෂා ගෙදර ආව ගමන් දුරකථන ඇමතුමක් ගත්තේ තමන්ගේ හොඳම මිතුරියවුන සේමිණීට.

” වෙලාවකට මට හිතෙනවා රහල්ට මාව ගැලපෙන්නෙ නැද්ද කියලත් “

” ගැළපෙන්නෙ නැත්තම් නැත්නම් කොහොමද මනීශා අවුරුදු දෙකක් තිස්සේ ඉන්නේ ? අනික රහල් ඔහොම නෑ ඉස්සර.එයාට මේ හොඳ ජොබ් එකක් හම්බවෙලා වාහනයක් එහෙම ගත්තට පස්සේ තමයි ඔහොම උනේ . පවුලෙ සල්ලි තිබුණා කියලා ඉස්සර ඔහොම ලොකුකම් තිබ්බේ නැහැනේ “

සේමිණී කියපු දේ ඇත්ත කියල හිතුනත් ආපහු හැරෙන්න මනීෂාට ඕන වුණේ නැහැ

” අපි දෙන්නගෙ තුන්වෙනි ඇනිවසරි එකට දානයක් දෙමු ද රහල් ? මම දන්න ළමා නිවාසයක් තියෙනවා වැල්ලවත්ත පැත්තේ “

” දාන දෙන්න ඇනිවසරි එකට ? ඔයාට කොහෙන්ද මනීෂා ඔයවගේ ගොඩේ අදහස් එන්නේ ? “

මනීශාගේ සමහර ආසාවන් ප්‍රතික්ෂේප කරන්න රහල් දෙපාරක් හිතුවේ නැහැ වගේම ඒවායෙන් මනීෂා ගේ හිත රිදෙන බව වත් ඔහුට වගක් වුණේ නැහැ.

” අපේ ඔෆිස් එකේ get-together එකක් තියෙනවා.මම හිතුවේ ඒකට ඔයා වත් එක්කගෙන යන්නයි මනීෂා “

රහල් කියපු දෙයින් මනීෂා ගේ සතුට ඉහවහා ගියා

” හැබැයි ඒකට අඳින ඇඳුම සිලෙක්ට් කරන්නෙ මම හරිද ? නැත්තං ඔයා මොකක් ඇඳගෙන එයිද දන්නේ නැහැනේ “

කොළඹ පිහිටි සුපිරි ඇඳුම් විලාසිතාගාරයකට රහල් මනීෂා ව එක්කගෙන ගියා.රුපියල් දස දහසකටත් වඩා වටින විසිතුරු විලාසිතාවකින් හෙබි ගවුමක් තමයි රහල් තේරුවේ.හැබැයි මනීෂා නම් ඒකට පොඩ්ඩක්වත් කැමති උනේ නැහැ

” අනේ මේක දිලිසෙනවා වැඩියි නේ රහල්.අපි වෙන එකක් බලමුද ? “

” මේක කොච්චර හොඳ design එකක්ද මනීෂා? ඔයාව හරියන්නේ අර ගොඩේ යාලුවෝ ටිකටම තමයි අනේ “

අකමැත්තෙන් උනත් රහල් මිලදීගෙන දුන්න වටිනා ගවුම අඳින්න මනීෂාට අන්තිමට සිද්ධ වුණා.

සාදයට සහභාගි වුන රහල් ට තමන් එක්ක මනීෂාත් සහභාගී වුන බව විනාඩි කිහිපයකින් අමතක වෙලා ගියා.මිතුරන් සමග රිසිසේ මත්පැන් පානය කරමින් නර්තනයේ යෙදෙන රහල් දිහා මනීශා බලාගෙන හිටියේ කෝපය මුසු වුණ දුකෙන්.නන්නාදුනන මිනිසුන් පිරිසක් මැද තනිවුන මනීෂා රහල් ටත් නොකියාම ගෙදර ආවා

” තමුසෙ මට නොකියා ආවෙ කොහොමද එහෙම ? “

මධ්‍යම රාත්‍රිය ගෙවුනට පස්සේ රහල් ගෙන් ඇමතුමක් ආවා

” එතකොට නොදන්න මිනිස්සු ගොඩක් මැද්දෙ ඔයා මාව තියලා ගියේ කොහොමද ? “

” එතන හිටපු සේරම මගේ යාලුවෝ. තමුසෙව ගිලින තරං යක්කු හිටිය නැහැ එතන “

” අඩු ගානේ ඔයා මාව කාටවත් introduce කරලා වත් දුන්නද ? ගිය වෙලේ ඉඳන් ඔයා බිබී නටපු එක විතරයි කලේ “

මනීෂා ගේ කටහඬ බොඳ වෙලා යද්දිම ඇය දුරකථන ඇමතුම විසන්ධි කළා.

” මම ඉන්නේ ඉස්සර වගේ සතුටෙන් නෙමෙයි සේමිණී.රහල් ලගදි මට දැනෙන්නෙ මොකක්දෝ බයක්.මම එයාට දේවල් කියන්නෙත් හරිම පරිස්සමෙන් “

එක්තරා හවසක කෝපි කෝප්පයක් තොල ගාන ගමන් මනීෂා තමන්ගේ සිතුවිලි හොඳම මිතුරිය වුණු සේමිණි එක්ක බෙදා ගන්න පටන් ගත්තා

” ඉස්සර වගේ නෙමෙයි.මට මං විදිහට රහල් ලග ඉන්න බැහැ.පිට තැනකදි වත් මාව පරිස්සම් කරගන්න බැරි එයා ඉන්නේ වෙනමම ලෝකෙක.ඒ ලෝකෙ මට පුරුදු නැහැ සේමිණී”

” ඔයා මේ දේවල් කෙලින්ම රහල් එක්ක කතා කළොත් හොඳ නැද්ද මනීශා ? “

” මම ආස දේකටවත් ආස නැති එයා මම කියන දෙයක් අහන් ඉන්න කැමති වෙයිද සේමිණි ? “

ජීවිතය පුරාම අඳුරු වළාකුලු පැතිරීගෙන යනවා කියලයි මනීෂාට දැනුනේ.

” හෙට අනිද්දා ඔයාලා පිළිවෙලක් වෙන්න ඕනේ.ඔයාලගේ දෙමව්පියෝ එක්ක කතා කරන්න ඕනේ.ඒවට කොහොමද ඔයා මුහුණ දෙන්න හිතාගෙන ඉන්නේ ? “

” මට දැන් තියෙන බයත් ඒකම තමයි සේමිණි.මේ යන හැටියට රහල් ට අපේ අම්මල තාත්තල ව මදි වෙන්න බැරිකමකුත් නැහැ “

” ඒත් ඔයාට කවදා හරි මේකට මොන දෙන්නම වෙනවානෙ.ඒ නිසා හොඳ දෙයක් ඉක්මනින් තීරණය කරන්න “

රහල්ගේ හැසිරීම මාස ගණනාවක් පුරාවටම ඉවසගෙන හිටපු මනීෂා රැකියාවෙනුත් දින කිහිපයක් නිවාඩු අරගෙන තීරණයකට එළඹෙන්න හිතාගත්තා.අවසානයේ දී මනීෂා තීරණය කළේ තමන්ට නොගැලපෙන ලෝකයෙන් එළියට එන්නයි.දුක දරාගන්න අපහසු වුණත් තමන්ගේ අනාගතය වෙනුවෙන් හැමදේම දරාගන්න මනීෂාට සිද්ධ වුණා.එතරම් ලේසි පහසු දෙයක් නොවුනත් තමන් වෙනුවෙන් ඒ දේ කරන්න තරම් මනීෂා ගේ සිතුවිලි ශක්තිමත් වුණා

රහල්ගේ බලපෑම්, ඇවිටිලි කිරීම් සහ තර්ජනය කිරීම් මැද වුණත් මනීෂා ගේ තීරණය පිළිගන්න රහල්ට සිද්ධ වුණා

” නොගැලපෙන තැන් වලින් ඈත් උනහම දැනෙන සැනසීම කියල නිම කරන්න බැහැ සේමිණි “

අසීරුම සති ගණනාවක් ගෙව්වට පස්සෙ මනීෂා ඒ විදියට සටහන් කරලා සේමිණීට කෙටි පණිවිඩයක් යැව්වා

More Stories

Don't Miss


Latest Articles