“ඔයා ඒක තවත් හංගගෙන ඉන්නෙ ඇයි?”
අමායා ඇසුවේ සියුම් කෝපයකින් නොවේදැයි රවිඳුට සිතිණ.නමුත් ඒ බව හිමාෂාට පවසන්නට ඔහුට තවමත් ධෛර්යයක් ඇත්තේ නැත.එවැනි කාරණාවක් නිදහසේ පැවසීමට නොහැකි තරම් බාධා තමන් අතර ඇති බව සිතෙද්දී රවිඳු කල්පනාවට වැටිණ.
“ඔයා බයයි නේද?”
නිහඬ තැන්පත් යුවතියකට මෙපමණ කට සැර නැගණියක් ලැබුණේ කෙසේදැයි සිතද්දී රවිඳුට සියුම් සිනාවක් නැඟිණ.නමුත් ඒ ප්‍රශ්නය පිළිතුරු ලබා දිය යුතුම ප්‍රශ්නයකි.
“ඇත්තටම බය හිතෙනවා.මොකද එයාට එහෙම අදහසක් නැතුව ඇති.අනිත් එක එයා හිතුවොත් මම එයාව යූස් කරනව කියලා.ඒක හරිම නරකයි.”
අමායා රවිඳු දෙස බලා සිටියේ සිනාවක් සහිතව ය.අක්කා ඈ සම්බන්ධයෙන් බොහෝ සීමා රකින්නියක බව අමායා දනියි.නමුත් මේ මොහොතේ අක්කා ගැන බරපතල රහසක් එළි කළ යුතුම වේ.එසේ නොකර හිඳීම අක්කාට කරන අසාධාරණයක් බව ඇය සිතුවා ය.
“එයා එහෙම හිතන් නෑ.එයත් ඔයාට ආදරෙයි.”
අමායා මේ කරන්නේ සරදමක්දැයි සිතමින් රවිඳු තත්පර කිහිපයක් ගෙවා දැම්මේ ය.නැත!ඇය එවැන්නක් කරන වගක් පෙනෙන්නට නැත.සතුට සහ කම්පනය අතරමැද තැනක තමන් හිඳින වග සිතෙද්දී රවිඳුට කතා කරන්නට වචන සොයා ගැනීම අපහසු විය.
“ඒත් එයා ඒක ඔයාට කියන්න කැමැත්තක් නැහැ.”
හිමාෂා එයට පැකිලෙන හේතුව රවිඳුට සිතා ගන්නට අසීරු නොවේ.වෙනුරි අත්හැර දමා ගිය ලෝකයේ ඉතා සංවේදනාවෙන් කල්ගෙවූ රවිඳු ගැන ඔහුගේ පවුලේ උදවිය විස්සෝප වූ අන්දම හිමාෂාට අමතක වන්නට ඉඩක් නැත.ආදරය නිසා ඔහුට නැවත වතාවක් විනාශ වන්නට ඉඩ නොදෙමි යැයි අම්මා ඔවුන් ඉදිරියේ සපථ කළ මොහොත රවිඳුට මැවී පෙනෙන්නට විය.
“හිමා හිතන්නේ අපිට කිසිම දවසක එකතු වෙන්න ඉඩක් නොලැබෙයි කියලා එහෙම නේද නංගි?”
අක්කා ළාබාල යුවතියක නොවේ.ඇයට රකින්නට තවත් ජීවිතයක් පවා තිබේ.සහන්ගෙන් දික්කසාද වූ පසු අම්මා ගෙනා කිසිම විවාහ යෝජනාවකට ඇය අකමැති වූයේ ද කුඩා දියණිය ගැන සිතමිනි.පුවත්පත්වල පළවන සමහර කතාන්දරවල මෙන් දෙවැනි විවාහයේ සැමියා පළමු විවාහයේ දරුවාට අඩන්තේට්ටම් කිරීම වැනි සාම්ප්‍රදායික භීතිකාවන් ඇයට නොතිබිණ.නමුත් පියෙකු වූ පසු දෙවැනි සැමියා දියණියට තාත්තා කෙනෙකුගේ ආදරය පෙර පරිදිම ලබා දේවිදැයි බියකින් හිමාෂා දැවුණා ය.
“අම්මා කෙනෙකුට තමන්ගේ දරුවාට එහා ලෝකයක් නෑ.ඒ දරුවාගේ රැකවරණයට කියලා ආයෙ කසාදයක් බැඳගෙන දරුව තවත් අසරණ වුණොත් අම්මා මොනව කරන්නද?”
හිමාෂා හැම විවාහ යෝජනාවක් ප්‍රතික්ෂේප කළේ එසේ කියමින් බව අමායා රවිඳුට පැවසුවා ය.
“ආදරේ කියන දේ බලහත්කාරයෙන් ඇති කරන්න අමාරුයි.ඒක දරුවෙක් සම්බන්ධයෙන් වුණත් එච්චරම තමයි.තමන්ගේ ලෙයින් උපදින දරුවෙකුට ආදරේ කරන තරමටම තවත් දරුවකුට ආදරේ කරන්න ඕනෙම මනුස්සයෙක් පුළුවන් වෙන්න ඕන. දරුවෙක් කියන්නේ දරුවෙකුට.”
ඒ දියණිය තමන්ගේ දියණිය බවට පත් කරගන්නට බොහෝ බාධක ඇති වන බව රවිඳු හොඳින් දනී.කුඩා දියණියක සිටින අම්මා කෙනෙකු නිවසේ පොඩි ලේලිය කරගන්නට ඉඩ දිය නොහැකි බව පවසමින් අම්මා පරසක්වල ගැසීමේ ඉඩ ඉතා ඉහළ ය.එක් යොවුන් අම්මා කෙනෙකුගේ මුවට සිනාවක් ලබාදිය හැක්කේ තමන්ගේ අම්මාගේ දෑසට කඳුළු ඉතිරි කරමින්දැයි රවිඳු සිතුවේ ය.
නමුත් මේ ඇරඹිය යුතු සටනකි.සටන් නොකර ලබාගන්නයි ජයග්‍රහණ නොමැති බව ඔහුට සිතුණේ අමායාගේ බලාපොරොත්තු පිරි මුහුණ දෙස බලා සිටිද්දී ය.
“අපේ ගෙදර පිරිමියෙක් නැතුව අපි ගොඩක් කල් ජීවත් වුණා.සහන්ට කවදාවත් අපේ තාත්තාගේ අඩුව පුරවන්න බැරි වුණා.තාත්තගේ අඩුව පුරවන එක කාටවත් ලේසි දෙයක් නෙවෙයි තමයි.ඒත් දැන් අපට හරි මහන්සි රවිඳු අයියේ.ඔයාට පුළුවන් වෙයිද මට හොඳ අයියා කෙනෙක් වෙන්න.අපේ අම්මට හොඳ පුතෙක් වෙන්න.අක්කාවයි චූටි කෙල්ලවයි ආදරෙන් බලාගන්න? මට මැරි කරන්න තව සෑහෙන කාලයක් තියෙන නිසා ඔයාට අපේ ගෙදර එකම පුතා වෙලා ඉන්න තව සෑහෙන දවස් ඉතුරුයි.”
සුහද බැල්මකින් තමන් සමග කතාව ඇරඹූ අමායාගේ දෑසේ දැන් ඇඳී ඇත්තේ සහෝදරත්වයක ප්‍රේමය බව රවිඳු කියවා ගත්තේ ය.දැන් හදවතේ ඇති විශාල ම බර බිම තබා අවසන් ය.හිමාෂාට පවසන්නට ඉතිරිව ඇත්තේ ඇය ද දරා සිටින ප්‍රේමයක් ගැන ය.ඒ ආදරයට තවදුරටත් ප්‍රමාද විය යුතු නැතැයි රවිඳු සිතන්නට විය.