නිබ්බුත ගීත – 07

උදයෙන් ම මම මධාරා අක්කා දකින්නට ඔවුන් ගේ ගෙදරට ගියෙමි. ඇය රැකියාව සඳහා පිටත් ව යාමට පෙර ඒ හමු වීම කළ යුතු වූයේ ය. උසස් පෙළ වසර දෙකක් වූ කාලය පුරාවට භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව වෙනුවෙන් මගේ උපකාරක පන්ති ගෙවීම් කළේ ඇය ය. සත්ව හා උද්භිද විද්‍යාව විෂයයන් සඳහා මා අමතර පන්ති නො ගිය අතර පාසලේ උගන්වන දෙයින් උපරිම ප්‍රයෝජන ලබමින් තනිව පාඩම් කළෙමි. මට අවශ්‍ය විෂය සටහන් ද ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පසු ගිය වසර වල ප්‍රශ්න පත්‍ර ද තොගයක් ම සඳනි ඇගේ ඥාති සොයුරියක ගෙන් ඉල්ලා මවෙත ලබා දුන්නා ය. ඒවා මගේ මේ ප්‍රතිඵලය කෙරේ දැඩි ව බලපෑ බව අදද මම සිහිපත් කරමි.

මධාරා අක්කා මා වැළඳ සුභ පැතුවා ය. 

“ඔයා ඒක කරන්නම ඕන නිබ්බුතා. කොහොම හරි අන්තිමට ඔයා ඒක කළා”

පෙර දිනය පුරා ම හිර කර ගෙන උන් කඳුළු දිය වී ගලන්නට ගත්තේ මධාරා අක්කා ගේ උණුහුමේ දී ය. අන්ත දුක්ඛිත ජීවිතයකට උරුමකම් කියූ මට ඇය මව්වත් සෙනෙහසකින් සහෝදරත්වයේ සුරත පෑවා ය. ඇය නොවන්නට, හමු වූ හැම වතාවක ම ඈ වචනයෙන් දුන් දිරිය නොවන්නට මා කඩා වැටෙන්නට තිබි අවස්ථා ඕනෑ තරම් ය. ඒහැම විටෙක ම හිත හදා දෙන්නට ඈ නො හිටියා නම් නිබ්බුතා වීරසේකර අද මෙහෙම ඈ වැළඳ නො හඬන්නට තිබිණ.

“ඉකේ…ඉතින් මේ මොකෝ පොඩි ළමේක් වගේ අඬන්නෙ…තව අවුරුදු හතර පහකින් දොස්තර නෝනා කෙනෙක් නේද මේ…හිනා වෙන්න නිබ්බුතා…උඩ පැන පැන හිනා වෙන්න. මුල ඉඳන්ම මං දැනං හිටිය ඔයාව. අර බාච්චු ගවුමකුත් ඇඳගෙන ඔයාගෙ අම්මත් එක්ක මෙහෙ ඇවිත් පොඩි පොඩි වැඩ කරන කාලෙත් ඔයාගෙ ඇස් වල තිබුණ එළිය මං දැක්කා. ඒක සාමාන්‍ය ගෑනු ළමේක්ගෙ ඇස් වලට අයිති එළියක් නෙවෙයි. ඒක විශේෂ ගෑනු ළමේක්ගෙ ඇස් වලට අයිති එළියක්. ඒක පාර කියන එළියක්. ඒ එළිය දිගේ ඔයා දුර ගමනක් යනව කියල මං දැනං හිටිය”

“අක්ක නොහිටියනං…මං..මං…”

“නෑ පැටියො. එහෙම හිතන්න එපා. මං මුකුත් කළේ නෑ. ඔයාට ටියුෂන් එකකට මාසෙකට කීයක් හරි දීපු එක මහ දෙයක්ද…මං ඒක නොදුන්න කියල ඔයා මේක නොකර ඉන්නෙ නෑ. මං ඒ කළේ පොඩි සහයෝගයක් දෙන එක විතරයි. වැඩේ කළේ ඔයා. ඒක ඔයා කොහොමත් යන්න නියමිත ගමනක්. මේක තමයි අමාරුම කඩුල්ල. ඒක පැන්නා කියන්නෙ…දැන් ඉතින් ගේම් එකක් නෑ”

රතු පාට කොට සායකට යට කොට ඇය හැඳ සිටි සේද සුදු බ්ලවුසය මගේ කඳුළු වලට තෙත පැල්ලම් ඇති කොට ද එය තරමක් පොඩි වී ගොස් ද තිබිණ. නමුත් මධාරා අක්කා ඒ ගැන කිසිදු අපහසුතාවයක් පෙක්වූයේ නැත. ඇය සතුටින් වග ඒ දෑසින් ද මුහුණින් ද දෙතොලින් ද පෙනුණේ ය.

“තව මාසෙකින් වෙඩින් එක ගත්තට පස්සෙ මං මෙහෙ නෑනෙ නිබ්බුතා. ඒ වුණත් ඔයාට පුළුවන් මට ටෙලිෆෝන් කරල ඕනම දෙයක් කියන්න. තේරුණා නේද…”

මම යන්තම් හිස සැළුවෙමි. ඇය යනවා කියන එක, ඒ බව දැන ගත් දා පටන් ම මට දරා ගත නො හැකි වේදනාවකි. නමුත් එසේ නොකර සිටිය නොහැකි ය. වාරුවක් අවශ්‍ය වූ කාලයක ඇය පහන් ටැඹක් සේ මා වෙනුවෙන් පෙනී සිටියා ය. 

“මහපොලත් හම්බ වෙනවනෙ. මමත් පුළුවන් හැම වෙලාවෙම උදව් කරන්න ඉන්නව. බය නැතුව ඔයා ඉස්සරහට අඩිය තියන්න. ම්”

දෙතොල් තද කර සිනහ වෙන ගමන් මම දෑසින් ඒ ලස්සන ස්ත්‍රී රූපය විඳ ගතිමි. 

මගේ ජීවිතයේ ලස්සන ම කාලය ගෙවුණේ ඇය ඇසුරේ ඒ මන්දිරය තුළ බව තව වසර කීයක් ගත වුණත් මට කියත හැකි වනු ඇත. ඒ කාලේ මම සති අන්තය උදා වන තුරු බලා සිටියෙමි. සාමාන්‍ය පෙළ විභාගය ට සම්මුඛ ව හිඳිනා වයස අවුරුදු දහසයක ගෑනු ළමයෙකු කියන්නේ නව යෞවනයේ පොපියනා සමයේ පසු වන්නියකි. මගේ පාසලේ සම වයස් බාලිකාවන් වෙත වූ නව යෞවනයේ ප්‍රබෝධය මම මගේ දෑස් වලින් මොනවට දුටිමි. නමුත් නිබ්බුතා කියන්නේ ස්වභාවයෙන් ම ඒ වාගේ දඟකාරියක නොවුණා ය. බාහිරයෙන් කෙතෙක් තැන්පත් වී ද මගේ සිත ද නව යෞවනයේ සුළි සුළඟ ට හසු වී නො තිබුණා නොවේ. එවන් යෞවනියක ගේ චිත්ත චමත්කාරයට තටු දිය හැකි පාරාදීසයක් සේ, අද මෙතැන සිට ආපසු හැරී අතීතය දෙස බලත්දී මදුරාපුර මැදුර මට දකිත හැක.

මෙහෙකාර ගැහැනියගේ දියණිය ය කියා මගේ තටු කපා මුල්ලකට කරනා කෙනෙකු ඒ මැදුරේ සිටියේ නැත. සිනහ වෙන්නට දන්නේ නැති විශ්ව විද්‍යාලාචාර්ය නෝනා ඉඳහිටෙක දුටු විට පමණක් මම හැකිළෙමින් මුළුගැන්වුණෙමි. නමුත් ඇය මට වචනයක් හෝ පවසා තිබුණා නොවේ. ඇගේ පෞරුෂයෙන් හෙබි බාහිර පෙනුම ද සිනහවක් නැති මුහුණ ද මා තුළ මුල සිට ම ඇති කොට තිබූ තිගැස්මක් කියා සිතමි. 

මධාරා අක්කා ලොකු අක්කා කෙනෙකු වී මට පුංචි නංගියෙකුට සේ ආදරය පෑවා ය. ඇගේ කාමරය තුළ දී මට අසීමිත නිදහසක් තිබිණි. එහිදී සිංහලයෙන් කතා කිරීම ද ටික දිනකදී ඈ මට තහනම් කළේ ඉංග්‍රීසි කථනය කෙරේ මා පෑ කුළෑටි බව නිසා ය. දැඩි උනන්දුවකින් ඉංග්‍රීසි වචන හා ව්‍යාකරණ කොටස් ඉගෙන ගත්ත ද කථනයට වන සබකෝලය නතර කරන්නට ඇය ට ඕනෑ විය. මධාරා අක්කා ගේ කැපවීමත් මගේ උනන්දුවත් නිසා අවසන දර මඩුවේ දුප්පත් කෙල්ල ඉංග්‍රීසි විෂය ඇතුළු විෂයයන් අටට ම අධි සාමාර්ථ ලැබුවා ය.

ලෝචන මදුරාපුර මගේ ලෝකයට වැඩිපුර ලං වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයට මාස හය හතක් තිබියදී ය. එදා මා මධාරා අක්කාට සාදා ගෙන ගිය සිහින පෙරණය උදුරා ගෙන යාමෙන් පස්සේ වෙනදාට වඩා වැඩිපුර ඒ ගෙදර දී මට ලෝචන දකින්නට ලැබෙනා බවක් දැනිණ. ඔහු ගේ ඇස් වල වෙනසක් වන බව ද ටික ටික මට දැනුණේ ය. මගේ වයසේ ගෑනු ළමයෙකුට ඒ වගේ වයසක හා ඒ තරම් කඩවසම් පෙනුමක් දරා ගෙන උන් යෞවනයෙකු ගේ ඇස් වල එහෙම වෙනසක්, එවැන්නක් නැතිව වුව පෙනෙන්නට පුළුවන. ඒ නිසා මම හැකි තාක් එවැන්නක් ඇති බව නො සිතා හා නො දැනෙන සෙයින් එහි ඉන්නට බැලුවෙමි. සඳනි කීවා සේ ලෝචන ඇය ව ප්‍රතික්ෂේප කළේ විශ්ව විද්‍යාලය තුළ හෝ ඉන් පිටත හෝ ඔහු ට පෙම්වතියක සිටිනා නිසා විය යුතු ය. අනිත් අතට සඳනි දෙස ප්‍රේමයකින් බලන්නට උනන්දුවක් නැති පිරිමි ළමයෙක් මදෙස බලනා ඇස් වල වෙනසක් ඇතැයි සිතීම ම මොන තරම් විහිළුවක් ද? ඇය ළඟ දී මා නව දැළි හේනක පෑ වැඳිරි රුවක් සේ විය යුතු ය. සඳනි කියන්නේ වරක් බැලූවෙකුට දෙතුන් වරක් හැරී බලන්නට සිතෙනා විදිහේ රුවැත්තියකි. ඒ නිසා ලෝචන ගේ ඇස් බැල්මේ වෙනසක් ඇතිය කියා දැනෙනා එක තනිකර ම මගේ හිතළුවක් කියා ප්‍රතික්ෂේප කරන්නටත්, මගේ අධි තක්සේරුව ගැන කිහිප වර මට ම ටොකු ඇන ගන්නටත් මම පෙළඹුණෙමි.

කෙබඳු ඇස් දෙකකින් බැලී ද ලෝචන වැඩිපුර මා හා කතා බහකට නම් පැමිණියේ නැත. ඒ නිසා මධාරා අක්කා ගැන දැනුණ සමීප හැඟීම මට ඔහු ගැන දැනුණේ ද නැත.

මේ කියන දවසේ මා මධාරා අක්කා ගේ මේසය ළඟ හිඳ ඉංග්‍රීසි අභ්‍යාසයක නිරත ව සිටියදී කාමරයේ දොර හැරුණේ ය. ඊට මඳ වෙලාවකට පෙර කාමරයෙන් නික්ම ගිය මධාරා අක්කා යළි පැමිණෙන්නට ඇත ය කියා හිස නො ඔසවා ම සිටිය ද, මධාරා අක්කා ගේ හඬක් නො ඇසුණ නිසා ද නැත්නම් වෙනයම් හේතුවක් නිසා ද මන්දා මා වැඩේ කරමින් ම හිස නගා බලත්දී එකතකින් දොර අගුල අල්ලා ගෙන ම මවෙත යොමු කර ගත් දෑසින් සිටියේ ලෝචන ය. ක්ෂණික ව හදවතේ ඇති වූ භූමි කම්පාවක් වන් පෙරළිය ඊට පෙර කිසි දා ක පිරිමියෙකු නිසා මා අත් විඳ නැති දෙයකි. ඇස් කණ්ණාඩි අතරින් පෙනෙනා ඔහු ගේ දෑසට මගේ ඇස් නිමේෂයකට හසු විය. මම පුටුව පස්සට දමා නැගී සිටින්නට ගියෙමි. මධාරා අක්කා සින්දු කෑල්ලක් ද කියාගෙන පැමිණියේ එතකොට ම ය. ඇය එහෙම ම නතර වී ලෝචන දෙස බැලුවේ “ඇයි මොකද” වැනි ප්‍රශ්නාර්ථයකිනි. මම වඩාත් බිය වීමි. මගේ කිසි ම වරදක් නැත ද මා තනිව සිටිනා කාමරයේ දොර හැර ගෙන ලෝචන එහි ආවේ කිම ද කියන සැකයට ඔහු පමණකුදු නොව මා පවා භාජනය විය හැකි ය.

“කොහෙද යන්නෙ…මං හිතුවෙ රූම් එකේ ඉන්නව කියල”

මධාරා අක්කා ට පෙර ම ලෝචන වචන වලින් දමා ගැසුවේ ය.

“ආ…ඇයි දැං මං ඔයාගෙං පර්මිශන් ගන්න ඕනද රූම් එකෙන් එළියට යන්න…”

“මේ..අක්ක…නවල්ස් නැද්ද අනේ ඔයා ළඟ…”

යනුවෙන් අසා ගෙන ඔහු මධාරා අක්කා ගේ පොත් රාක්කය වෙත පැමිණියේ ය. පොත් රාක්කය තිබෙන්නේ ලියන මේසයට යාබදව ය. මා පුටුවෙන් නැගිට ගෙන සිටි නිසා ලෝචන ගේ උණුසුම් සුවඳ පවා මට දැනිණ.

“නවල්ස්…ඒ ගමන ඔයා නවල්ස් කියෝනවද…”

“මට නෙවේ අප්ප ගර්ල් කෙනෙක්ට”

“ගර්ල් කෙනෙක්ට…”

“ඔව් කැම්පස් එකේ. වදේ නවල්ස් තියනවනං ගෙනත් දෙන්න කියල”

“ඒ ගමන දැං කෙල්ලන්ට නවකතා අදිනවද…”

“සවුත්තු විදිහට අහන්න එපා එහෙම ඉතිං…”

මම මධාරා අක්කා දෙස බලා යන්තම් සිනහවක් නගා ගතිමි. මීට ටික කලකට පෙර ලෝචන ට සඳනි ගැන යෝජනාව කළ මොහොත සිහි වී මට මා ගැන ම ලැජ්ජාවක් දැනුණේ ය. ඒ වෙලාවේ ඔහු මොනවා සිතන්නට ඇත්ද? මා වන් ඇටිකිති කෙල්ලක එහෙම නොකර ඉන්නට තිබිණ. මා අගහිඟ ඇති ගෙදරක ළමයෙකු වී ද වයසට වඩා පැහුණ එකියකැයි ඔහු සිතන්නට ඇත්ද යන ලැජ්ජාව දරුණුවට මා පෙළුවේ ඒ වෙලාවේ ය.

“නිබ්බුතා වාඩි වෙලා වැඩේ කරන්න. මේ මල්ලා යනවකො අපිට ඩිස්ටර්බ් නොකර”

කියමින් මධාරා අක්කා යහන කොනක හිඳ ගත්තා ය. හඬ නො නැගෙන සේ ඉතා හෙමිහිට පුටුව ඇදගෙන මම යළි හිස පොතට හරවා ගතිමි. නමුත් හිත තුළ සීතල සුවඳක් කැරලි ගසමින් තිබුණේ ය.

“වැඩක් නැති වෙලාවට කෙල්ලන්ට පොත් ඇද ඇද ඉන්නෙ නැතුව මෙන්න මේ ළමයට මැත්ස් ටිකක් කියල දෙනවකො”

මධාරා අක්කා එසේ කියත්දී මා අලුතෙන් ම තිගැස්සී ගියේ ය. එය මා කෙහෙත් ම බලාපොරොත්තු නොවූ දෙයකි. පොතක් ද අතින් ගෙන මධාරා අක්කා වෙත ගිය ලෝචන යටැසින් මදෙස බැලුවේ ය. ඔහු ගේ දෙතොලතර අඩ සිනහවක් වූයේ ය.

“ගෙවනවද…”

මම බිම බලා ගතිමි.

“ගෙවන්නං පස්සෙ. දැනට වැඩේ කරල ඉන්නවකො. එග්සෑම් වලට තව චූටි කාලෙනෙ තියෙන්නෙ”

ගණිතය විෂයේ සමහර කොටස් වල මට නො පැහැදිලි තැන් තිබිණි. පන්තියේ මිතුරියකගෙන් අසා ගෙන ද වැටහුණේ නැති එවැන්නක් මම මධාරා අක්කා වෙත ගෙන එන්නට පුරුදු වීමි. ඇය උසස් පෙළ ට වාණිජ අංශයෙන් උගෙන ඇති අතර සාමාන්‍ය පෙළ ගණිත කොටස් මතක නැති බව ද ඇතැම් විටෙක කීවා ය. ඈ මට උපකාරක පන්තියකට යන ලෙස කීව ද මා ඊට පෙළඹුණේ නැත. ඇය උපයනා මුදලින් පන්ති ගාස්තු ගෙවන්නට මට හිත හදා ගත හැකි වූයේ ම නැත.

“කෝ මැත්ස් පොත ගෙනත්ද තියෙන්නෙ…”

ලෝචන ගේ එම පැනය යොමු වූයේ කෙළින් ම මා වෙත ය. මම හිස ඉහළ පහළ යවමින් ගණිතය පෙළ පොත අතට ගතිමි.

“ඔව් බබා”

“අනේ නිබ්බුතා මූට බබා කියන්න ඕන නෑ ඔයා. අයිය කියන්න ඒ හොඳටම ඇති”

මධාරා අක්කා වහා මැදිහත් වී කීවා ය.

“ආ…ඒ ළමයට මාව බබෙක් වගේ පේනවට මෙයාට ජෙලස්”

“ඒ ළමය බය වෙලා ඉන්නෙ. පොලිස් කාරයෙක් වගේ කතා කරන්න එපා අනේ”

“මට තව පැයෙන් ගමනක් තියනව. කෝ එහෙනං ගන්නකො පොත”

කියාගෙන ලෝචන මවෙත ආවේ ය.

“හොඳ කොල්ල”

කියමින් මධාරා අක්කා ඔහු වෙතට පුටුවක් ලං කළා ය.

ඒ වෙත්දී සාමාන්‍ය පෙළ විභාගයට ඉතිරි ව තිබුණේ මාස හයක පමණ කාලයකි. වසර තුනක විෂය නිර්දේශයක් මුල සිට ඉගැන්වීමට තරම් ඒ කාලය ප්‍රමාණවත් නොවන බව පෙනුණේ ය. ඒ නිසා මට දුෂ්කර තැන් වන පාඩම් පමණක් කියා දෙමින් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නට ලෝචන තීන්දු කළේ ය. ඔහු මේ කාරිය කළේ වගකීම් සහගත ගුරුවරයෙකු ලෙස බව මට ඉක්මනින් ම වැටහිණ. මගේ අවධානය විසිර යන හෝ බිඳ වැටෙනා බැල්මක් හෝ ඒ වෙලාවට ඔහු මවෙත නො හෙලු බව කිව යුතු ය. ප්‍රශ්න පත්‍ර වල වැඩි ගණන් ප්‍රමාණයක් නිවැරදි ව සාදා ඔහු ට වැඩි ලකුණු ප්‍රමාණයක් පෙන්වීමේ අභියෝගය ඔහු මට දුන්නේ ය. ඉතින් මගේ අරමුණ වූයේ මගේ ගුරුවරයා ව සතුටු කරනා එක පමණකි. ඒ නිසා ලෝචන මට ගණිතය උගන්වනා වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන මම දුර්වල තැන් වහ වහා පිළිසකර කර ගතිමි. පසු ගිය ප්‍රශ්න පත්‍ර වලට මගේ ලකුණු මට්ටම බලා සිටියදී ඉහළ ගියේ ය. ගණිතය විෂයට මට අහිමි ව යන්නට තිබූ අධි සාමාර්ථය ඔහු මවෙත ගෙනැවිත් දුන් බව කිසි දා ක මට අමතක නොවේ.

“දැන් ඉතින් ගෙවන්න වෙයි”

ප්‍රතිඵල ආ දා ඔහු කීවේ අපේ ගේ දොරකඩට ම ඇවිත් ය. මේ වෙත්දී ඔහු මල්ලී ව මිතුරු කර ගෙන සිටි බවත්, මල්ලී සමග අපේ ගේ ළඟ ගුරු පාරේ ක්‍රිකට් ගසන්නට හැන්දෑ කාල වල පැමිණි බවත් ඔබට කියනා එක මට අතපසු විය. ඒ අතරේ සිදු වූ බොහෝ දේවල් ද මගහැරී තිබෙනා බැවින් පසුවට මම ඒවා කියන්නෙමි. 

“අයිය දන්නවනෙ අපිට ගෙවන්න දෙයක් නැති බව”

මා කීවේ ඔහු ගේ ඇස් වලින් මුදා ගත් මගේ ඇස් වලින් පොළොව හාරන්නට ගනිමිනි.

“මට දෙන්න තියෙන්නෙ පින් විතරයි”

මගේ හඬ බිඳී යන්නට ගත්තේ ය. ඒ වෙලාවේත් මගේ කොණ්ඩා කරලක කහ පාට තාරුකා මල් කිහිපයක් ගැවසී තිබි බව මට සිහි වූයේ, ලෝචන ඉන් එක මලක් ඇඟිලි තුඩින් මුදවා ගත් විට ය. ඔහු එය පරිස්සමෙන් ගෙන කලිසම් සාක්කුවක දමා ගත්දී ජීවිතයේ ප්‍රථම වතාවට මම එහෙව් සුන්දර කැළඹීමක් අත් වින්දෙමි. අඩ සිනහවකින් අඩියක් පසු පසට තබා ඔහු ආපසු හැරී ගියේ මගේ හදවත ගිඩි ගිඩි ගා ගැහෙත්දී ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles