“ඕකාගෙ කන පැලෙන්න දෙන්න ඕනෑ.”
සඳරැස් ඕනෑවටත් වඩා කලබල වී සිටියේ ය. පාසල් කාලයේ පටන් අතපය විසි කිරීම ප්‍රශ්න විසඳා ගන්නට ඇති පහසුම මඟ බව සිතූ කොලුවා ඔහු තුළින් වේගයෙන් නැගිටිමින් සිටි අතර සඳරැස් කෝපයෙන් නළල පොඩි කරන්නට වූයේ ය.
“ඕකාට මම ඇත්තටම ගහනව.”
ඔහු පිළිණ දුන්නේ ය. දුලන්‍යා කලබල වූවා ය. පාසල් කාලයේ දී ඇයට සරදමක් කළ කොලුවෙකුට පහර දෙන්නට ගිය දහයේ පන්තියේ මල්ලි ගැන කතාව සඳරැස්ට කියන්නට ඇයට ඕනෑ විය. මේ ඒවාගේ සරල කතාවක් නොවේ. අනෙක් අතට ඔහු දහයේ පන්තියේ කොලුවෙකු ද නොවේ.
“මං ඔය වගේ එකෙක්ට දුන්නා එක පාරක්.”
ඒ අතීත කතාවකි. සඳරැස් ඒ කතාව කියන්නට පටන් ගත්තා ය. ඇය අසා හුන්නා ය.
ඒ ඔහු උසස්පෙළ පන්තියේ උගත් කාලයකි.හද පැහැර ගත් යුවතියකට ආදරය කරන බව නොකියා හිඳින්නට ඔහුට නොහැකි විය. ගැහැනුන් ළඟ ආදරය නැති බව සිතන්නට පුරුදු වී සිටි සඳරැස් ඇගේ ආදරය ළඟ දියවෙමින් සිටියේ ය. ආදර කතාව ගලා ගියේ කාබනික රසායනය, ඉලෙක්ට්‍රොනික විද්‍යාව වැනි බරසාර පාඩම් ඉගෙන ගන්නා අමතර පන්ති තුළ ය. කොහොමටත් ඉගෙන ගැනීම බොහෝ පහසු දෙයක් කරගෙන සිටි දක්ෂ කොලුවාට මේ ආදර කතාව පාඩම් කරන්නට පවා බලයත් ජවයත් සපයමින් තිබිණ.
“මම මැත්ස්,ඉසුරි බයෝ. මම නොදන්නවට එයාට බයෝ ක්ලාස් එකේ තව බෝයි කෙනෙක් ඉඳල. ඒ කොල්ලා පස්සෙන් එනවා හරි කරදරයක් වෙලා හරි නෙවෙයි ඇත්තටම උන් දෙන්නා ආදරේ කරනව කියලා දැනගත්තම මං පිස්සු වැටුණා.”
නමුත් ඔහුගේ ක්‍රෝධය ඇය වෙත නොව තෙවැන්නාට යොමු විය. සඳරැස් ඔහුට පහර දුන් අතර එය ඉතා විශාල ගැටුමක් නිර්මාණය කරන්නට පවා හේතුවක් විය.
“මං ඉස්කෝලේ ස්ටාර් කෙනෙක්. කෙල්ලක් හින්දා මම ඒ තත්වෙකට පත් උනා කියන එක ගුරුවරුන්ට පවා පුදුමයක් වුණා. මට ඉස්කෝලෙ තිබ්බ තැන පවා නැති වුණා. ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙන්න හිටිය මනුස්සයෙක් මම.”
පීඩනයෙන් සහ වේදනාවෙන් මිදෙන්නට අධ්‍යාපනය ම තෝරා ගැනීම නිසා ඔහුට සරසවි වරම් සිහිනයක් වූයේ නැත. නමුත් ඔහු ජීවත් වූයේ පීඩනයකිනි.
“පස්සෙ පහුවෙලා තේරුම් ගියා ඒ ගෑනු ළමයා මමයි ඒ කොල්ලයි දෙන්නම රවට්ටලා කියලා.”
අක්කා පමණක් විශ්වාස කළ ඔහු තවත් තරුණියක විශ්වාස කරන්නට තීරණය කළ මොහොතේම ඇය ඔහුගේ විශ්වාසය බිඳ දමා තිබිණි. ගැහැනුන් කියන්නේ මායාවක් බවත් ඔවුන්ගේ ජීවිතයේ තේමාපාඨය අනිකා රැවටීම බවත් සඳරැස් නැවත නැවත විශ්වාස කරන්නට පටන් ගත්තේ එදා සිට ය.
“දෙන්නෙක්ට ආදරේ කරන්න පුලුවංද එහෙම? ආදරේ කියලා රැවටීම තෝරා ගන්න මිනිස්සුන්ට පුලුවංද කියලා මං හැමදාම හිතනවා.”
ඒ ක්‍රමය සාර්ථක වන්නේ නැති අතර අවසානයේ දී එක් අයෙකු තෝරා ගැනීමට සිදුවන බව සඳරැස් දනියි. අම්මා සිදුකළේ ද ඒ දේ ය.ඇය යන්නට ගියේ ජීවිත තුනක් අත්හැර දමමින් ය.
“මොන හේතුවක්ද මන්දා මම ලං වෙන ඕනෑම ගෑනු ළමයෙක්ට කරදරයක් වෙන හරි ඇත්තටම ආදරේ කරන හරි තව කොල්ලෙක් ඉන්නවමයි.”
සඳරැස් එසේ පැවසුවේ සිතා බැලීමකින් තොරව ය.නමුත් දුලන්‍යා ගැස්සී ගියා ය.
“මං සහස්ට කැමති නෑ.”
ඔහු ඇයට ආදරය කරනවාද නැද්දැයි සිතා නොබලාම කියන්නට ඇය වග බලාගත්තා ය. ඇයට ඒ ගැන දැන ගන්නට ඕනෑ නැත. ඔහු ඇගේ ප්‍රථම සහ අවසන් ප්‍රේමය ය. සඳරැස්ට ආදරය සම්බන්ධයෙන් අප්‍රමාණ අඳුරු මතක ඇති බව ඇයට හොඳින් වැටහේ. දැන් දුලන්‍යාට උවමනා ඔහුගේ ජීවිතය තුළ වර්ණවත්ම මතකය වීමට ය.
“ඔයා මීට පස්සෙ හැමදාම කැම්පස් යන්නේ මාත් එක්ක. කලින් ගෙදර එන්නෙ නැති හැම දවසකම ඔයාව එක්කන් එන්නෙත් මම.”
ප්‍රේමවන්තයෙකුගේ ස්වරය නොව වැඩිහිටි සහෝදරයෙකුගේ ස්වරය මතුව ආව ද දුලන්‍යා හිස සැලුවා ය. ඔහු එතරමට ආදරයකින් ඇය රැක බලා ගන්නේ නම් ඇයට වෙන කිසිවක් ම උවමනා නැත. සහස් හන්දා හදවත ඉතා රිදවීමට ලක්වී තිබේ. කෙනෙකුගේ ජීවිතයට එතරම් බලහත්කාරයකින් ඇතුළු විය හැකිදැයි දුලන්‍යා සිතමින් සිටියා ය.
සමහර දවසට ලෝකය කළු සුදු ය. වර්ණ ගන්වා බලන්නට තරම් දෙයක් නැති තරමට අපහැදිලි ය. හිත රිදවන්නටම දන්නා වෙනකෙකුගේ සතුටකට දෑසේ කටු ඇන ගන්නා අය අතර රිදුම් ලබමින් ඇවිද යාම මොනතරමට අපහසුදැයි දුලන්‍යා සිතුවා ය.
“හිත රිදෙනවා වැඩියි”
එසේ කියා හඬන්නට සිතුණත් සහස්ව සිහි කරමින් සඳරැස් හිනැහෙන්නේ වගකට නැතුව ය. සහකම්පනය ගැන පාඩමක් උගන්වන තරමට කෝපයකින් දැවෙද්දී හඬන්නට ඕනෑ වුණත් දුලන්‍යා ඉවතට හැරුණා ය. කළු සුදු ලෝකය වර්ණ ගන්වන්නට සායම් ඔහු අත ඇතැයි හිතෙන මොහොතක ඔහුට හිනැහෙන්නට කිසිම අයිතියක් නොමැත.
“තමන්ගේ ලෝකෙට අයිති නැති කවුරුත් හින්දා හිත රිද්දා ගන්න එපා!!”
දුලන්‍යාගේ කදුළ දුටු ඔහුගෙන් හිත හැදෙන වචනයක් නොව හදවත ශක්තිමත් වෙන කතාවක් ඇසෙමින් තිබිණ.බොළඳකම් වෙනුවට මේ ප්‍රමාණවත් බව ඇය සිතුවා ය.ඇය නිවස තුළට යන්නට හැරුණේ සඳරැස් කෙරෙහි අමනාපයෙනි දෙතොල් පෙති ලිහී පිපෙන සිනාවෙන් ඔහු ඇය දෙස බලමින් සිටියේ ය.
හැරී වැළඳ ගන්නට තරමේ ආවේශයකින් යුවතිය දැවෙන්නට වූවා ය.