ආරාධ්‍යා, කවීන් සමග නිවසට පැමිණෙද්දී යන්තමින් අඳුර වැටී තිබිණ. දින කීපයක් හෝටල් කාමරයක නතර වී සිය කටයුතු කර ගැනීමට සූදානමෙන් ගිය ආයුෂ් ඔවුන් හැරලන්නට පැමිණෙන්නට සැරසුණද එය ප්‍රතික්ෂේප කළ කවීන්, දියණියද සමගින් කුලී රථයකින් නිවසට පැමිණීමට තීරණය කළේ ආයුෂ් තවදුරටත් වෙහෙස කිරීම නොසුදුසු යයි පවසමිනි.
“අංකල්ටයි, ආරටයි ගොඩක්ම පින් මට උදව් කරන්න ආවට.”
පිටත් වීමට පෙර පියාගේ දෙපා වැඳ කවීන් පවසද්දී ආරාධ්‍යාට දැනුණේ ලජ්ජාවකි. කුඩා කාලයේ පාසල් යාමට පෙර පියාට සහ මවට දණ නමා වැඳ ගිය ද, මතක ඇති කාලයක සිටම තමා හෝ විහාරා හෝ මලීෂ පියාට තබා මවටවත් වැඳ සමු ගැනීමක් නොකලේ මන්දැයි උඩුමහලට පිවිසෙන පියගැට පෙල නගින ආරාධ්‍යා කල්පනා කළාය. ආයුෂ් තාත්තාට වඳීද්දී ඔහුගේ දෙනෙත් වල නැගි කඳුලු සතුටු කඳුලු විය යුතුය.
තම කාමරයට පිවිසි පසු ආරාධ්‍යාට දැනුනේ මහත් සැනසීමකි. හැඳ සිටි ඇඳුම් පිටින්ම ඇය යහන මත වැතිරුනාය. දවස බෙහෙවින් වෙහෙසකාරීය. එහෙත් අද දවසම ප්‍රීතියෙන් පිරුණු දවසකි. නොහුරු කර්මාන්තයක් ආරම්භ කිරීමට සැරසෙද්දී වන සූදානම නවතම අත්දැකීමකි. ආයුෂ් මේ සියල්ලම හොඳින් දැන සිටියි.
දෑස් පියාගෙන කල්පනා කරමින් සිටියදී ආරාධ්‍යාගේ ජංගම දුරකතනයට වට්ස්ඇප් පණිවුඩයක් ලැබිණ. ඇය නිකමට මෙන් එය අතට ගෙන බැලුවාය. එය එවා තිබුනේ ආයුෂ්ය.
“ඔයාලා ගෙදර ආවද ආරා?”
ඔහු අසා තිබිණ.
“දැන් ගෙදර ආවෙ.”
ඇය වහා පිළිතුරු යැව්වාය.
“ඔයාලා ගෙදර ඇරලවන්න මට එන්න ඕනකම තිබුනා. මං වෙනුවෙන් මොන තරම් නම් මහන්සියක් කැපවීමක් කළාද? අංකල් බල කරලා කියපු නිසයි මම අද නැවතුනේ.”
ආයුෂ්ගෙන් ඉක්මනින්ම පිළිතුරු ලැබිණ.
“තාත්තා ඒ දේ කළේ සතුටෙන්. මං වුනත් එහෙමයි.”
ආරාධ්‍යා පිළිතුරු යැව්වාය. ඉන්පසු ආයුෂ්ගෙන් පිළිතුරක් නොලද්දෙන් ඇය නැවතත් දෑස් පියා ගත්තාය.
“මහන්සිද බේබි?”
රංජනී කාමරයට පැමිණියාය.
“මහන්සියි රංජනී.”
“වොෂ් දාලා තේ බොනවද? දැන් රස්නෙන් තේ හදලා ගේන්නද?”
“දැන් බොමු. ටිකක් මහන්සි අඩු වුනාම වොෂ් දාගන්නවා.”
“මං ඉක්මනින් හදන්නම්. වතුර තියලයි ආවෙ. සර්ටත් ඉක්මනටම රස්නෙන් තේකක් ඕනලු.”
රංජනී කාමරයෙන් පිටව ගියාය. දුරකතනය වෙත නැවතත් පණිවුඩයක් පැමිණෙණ සංඥාව ඇසිණ. එය ද ආයුෂ්ගෙනි. තරමක් දීර්ඝ පණිවුඩයක් පැමිණ ඇති බව දුටු ආරාධ්‍යා යහන මත හිඳගෙන එය කියවන්නට වූවාය.
“හැමදේම හරි පුදුමයි ආරා. දැන් මං ඉන්නෙ මගේ රූම් එකේ. මෙතකට ලස්සනට මුහුද පේනවා. දන්නවද? ඈතින් නැවක ආලෝකය පේනවා. කවදාවත් නොදැනුන සිතිවිලි මගේ හිතට ගලා එද්දි මටත් හිතෙනවා ඔයා වගේ නවල් එකක් ලියන්න. ජීවිතේ මෙතරම් සුන්දරයි කියලා ව්‍යාපාර ලෝකයත් එක්ක ගැටෙද්දි මම කවදාවත් හිතලා නෑ ආරා. සමහරවිට ඔයා දන්නෙ නැතිව ඇති. අපි පුංචි කාලෙ අපි දෙන්නගෙ තාත්තලා එක එක්කෙනාට වුනු පොරොන්දුවක් තියෙනවලු. තාත්තා වගේම අංකලුත් ඒ බව මට කියලා තිබුනා. ඒ පොරොන්දුව මොකක්ද කියලා මං දැන් ඔයාට කියන්නෙ නෑ. ඒත් එක දෙයක් මට ඔයාට නොකියා ඉන්න බෑ ආරා. මං දැන් ඉන්නෙ ඔයා ගැන ආදරෙන්.”
ආරාධ්‍යා අතින් දුරකතනය අත හැරෙන්නට ගියේය. ඇය නැවත නැවතත් එම පණිවුඩය කියෙව්වාය. ආරාධ්‍යාගේ දෙනෙතට කඳුලු නැගිණ. ආයුෂ් බොහෝ සොඳුරු මිනිසෙක් බව ඔහු සමග ගත කළ අද දිනය තුළ පසක් වූ බව සැබෑවකි. ඔහුට අම්මාගේ ද අකැමැත්තක් නොපෙනෙයි. තාත්තා ඔහුට සැළකුම් කරන්නේ තම පුතෙකුට පරිද්දෙනි.
“මට ආයුට අකැමැති වෙන්න හේතුවක් නෑ. ඒත් හසිත්?”
ඇය බොහෝ වේලාවක් කල්පනා කළාය. හසිත්ට ආදරය කිරීම, ළං වීම ඔහුගේ ජීවිතය අගාධයකට ඇද දැමීමකි. ඇතැම්විට සුහේල්ට සිදු වූ දෙයම ඔහුට ද සිදු වන්නට ඉඩ ඇති බව ආරාධ්‍යා කල්පනා කළාය.
“හසිත්ට හොඳ අනාගතයක් උදා වේවි. ඒක මට සහතිකයි.”
ආරාධ්‍යා සිත හදාගන්නට තැත් කළාය. ආයුෂ් තම පිළිතුරු අපේක්ෂාවෙන් සිටින බව ඇය දැන සිටියාය. සැබවින්ම එයටකවර ආකාරයේ පිළිතුරක් යැවිය යුතුදැයි ඇය කල්පනා කළ ද කිසිවක් සිතට නොනැගිණ. දුරකතනය පසෙකට දැමූ ආරාධ්‍යා දෑස් පියාගෙන සිටියාය. එක්වරම යමක් සිහි වූවාක් මෙන් නැගී සිටි ඇය ආයුෂ්ට පණිවුඩයක් යැව්වේ දෙවරක් නොසිතාය.
“ජීවිතය කියන්නෙ කලින් සැලසුම් කළ දෙයක් නෙමෙයි ආයු. ජීවිතේ සිදුවන හැමදේම අහම්බයක්. ඔයා මට හමු වුනේ අහම්බෙන්. ඒත් ඒ අහම්බය මගේ ජීවිතය වෙනස් මගකට අරගෙන යාවි කියලා කවදාවත් මං හිතුවෙ නෑ. සතුටින් ඔය වැඩ ටික සාර්ථකව කරගන්න ඔයාට පුලුවන්. මං ඔයාගෙ අත්වැල වෙන්නම්.”
පණිවුඩය යැවු පසු ආරාධ්‍යාගේ සිතට සැනසීමක් දැනිණ.
“තෑන්ක් යූ. මට ඕන කරන දේ ඔය ලස්සන වචන ඇතුළෙ තියෙනවා ආරා. ටිකක් රෙස්ට් කරන්න. මං රෑ වෙලා ඔයාට කතා කරන්නම්.”
දිගු සුසුමක් හෙලූ ආරාධ්‍යා යළිත් යහන මත වැතිරුනාය. අද දවසේ සිදු වූ සුන්දර සිදුවීම් සිතුවම් පටයක රූප රාමු සේ මනසෙහි පෙළ ගැසෙන්නට වුව ද, රංජනීගේ කටහඬ ඇය වහා ඉන් මුදවා ගත්තාය.
“තේ බීලා ඉන්න බේබි.”
රංජනී තේ බන්දේසිය ආරාධ්‍යාට පෑවාය.
“ඔන්න මග් එක පුරවලම තේ අරගෙන ආවා.”
“තෑන්ක් යු.”
ආරාධ්‍යා තේ කෝප්පය අතට ගත්තාය. රංජනී ඇගේ මුහුණ දෙස විමසිල්ලෙන් බැලුවාය.
“මහන්සි මහන්සි කිව්වට මූණ නම් රෝස පාට වෙලා. ලස්සන වෙලා.”
“ඒ රංජනීට පේන හැටි.”
ආරාධ්‍යා පැවසුවේ ලජ්ජාවෙනි.
“එහෙම කියමුකො බලන්න.”
රංජනී සිනාසුනාය. අද උදෑසන ද සුපුරුදු පරිදි හසිත් නිවසට පැමිණි බවත්, ආරාධ්‍යා සහ කවීන් උදෑසනම මිතුරකුගේ පුතකු සමග කොළඹ ගිය බවත් පැවසූ පසු ඔහු තුළ ඇති වූ කැළඹීම පිළිබඳව පවසන්නට සිතුණද ඇය එම අදහස ආයාසයෙන් මැඩ පවත්වා ගත්තාය.
“දැන් සතුටෙන් ඉන්නෙ. එව්වා කියලා හිත පාරන්න ඕන නෑ.”
රංජනීට සිතිණ. ආරාධ්‍යා නිහඬව තේ පානය කරන දෙස ඇය බලා සිටියේ විමසිල්ලෙනි.
“තේ බොනවට වඩා කරන්නෙ කල්පනා කරන එක.”
ඇය මඳ සිනාවෙන් යුතුව සිතුවාය.
*
ඇඳිරි වැටෙන තුරුම ආයතයේ කටයුතු වල නිරත වූ සුහර්ෂා නිවසට පැමිණෙන්නට පිටත් වූයේ එක්තරා අන්දමක කෝප සහගත සිතිවිලි වලින් සිත පුරවාගෙනය. එතෙර යාමට නියමිත ලේඛණයෙන් දෙදෙනෙකුගේ නම් ඉවත් කිරීම පිළිබඳව තමා සමග සාකච්ඡා කරන්නට පැමිණි සහකාර මුදල් කලමනාකරුට බැණ වැදුනු අයුරුත් ඔහු හිස නමාගෙන කාර්යාලයෙන් පිට වූ අයුරුත් මනසෙහි මැවී පෙනෙයි.
“මෙතන කාටවත් ඕන විදියට කයටයුතු සිද්ද වෙන්න බෑ. වරුණ ඒක හොඳට මතක තියාගන්න. කරුණාකරලා මට බලපෑම් කරන්න ලෑස්ති වෙන්න එපා. එහෙම කරනවානම් ගෙදර යන්න ලෑස්ති වෙලා කටයුතු කරන්න කියලා වරුණ විතරක් නෙමෙයි. අනිත් අයත් මතක තියාගත්තොත් හොඳයි.”
එලෙස පැවසීමේ වරදක් නැතැයි සුහර්ෂා කල්පනා කළාය. දේවක සහ චන්දන, වරුණගේ සමීප මිතුරන් බව හසිත් පැවසුවේ අද උදෑසනය. වරුණ උත්සාහ දරන්නේ කෙසේ හෝ ඔවුන් ද නෙදර්ලන්ත චාරිකාවට සහභාගි කර ගැනීමටය.
“හසිත්ට කලින් චන්දනයි දේවකයි මෙතන වැඩට ආවෙ මැඩම්. එක්කෙනෙකුට එක විදියකටයි අනිත් අයට එක විදියකටයි සළකන එක හරි නෑ මැඩම්. මේකෙ ඉන්න අය මැඩම්ටයි හසිත්ටයි කතන්දර කියනවා.”
වරුණ එසේ පැවසුවේ කෙතරම් නිර්භය ලෙසදැයි මුහුදු මාවත දිගේ ගමන් කරන ජීප් රථයේ හිඳගෙන සිටි සුහර්ෂා කල්පනා කළාය.
“කියපුදෙන්. මම කතන්දර වලට බය ගෑනියක් නෙමෙයි කියලා ඔය කියන එවුන්ට කියනවා. මම කරන්නෙ මට හරියි කියලා හිතන දේ මිසක් අර මිනිහයි මේ ගෑනියි කියන විදියට නෙමෙයි. ඔය කියන එවුන්ට කියනවා ළඟදිම මම හසිත්ව මේකෙ එම්. ඩී. කරන්නයි ඉන්නෙ කියලා.”
වරුණගේ මුව විස්මයෙන් විවර වූ අයුරු සුහර්ෂාට සිහිපත් විය.
“මැඩම්…”
කිසිවක් පවසන්නට සැරසුණ ඔහුට තමා බැන වැදුනු ආකාරය සුහර්ෂා සිහි කලේ මඳ සිනාවෙන් යුතුවය.
“වචනයක් කතා කරන්න එන්න එපා. මේක ඇතුළෙ අවුල් හදන එවුන් කවුද කියලා මම දන්නවා වරුණ. ඔය කනවැන්දුම් කතා වලට මම බය වෙන්නෙ නෑ. බය කරන්න හිතන්නත් එපා. ඉන්න බැරිනම් අන්න දොර ඇරලා තියෙන්නෙ. උඹලා කවුරු මේකෙන් ගියත් මම මේක වහන්නෙ නෑ කියලා මතක තියාගත්තොත් හොඳයි.”
“මැඩම්…”
“මගෙන් කාගෙන මගෙන් පඩි අරගෙන මගේ ගෙදර ඉන්න දරුවන්ට බොරු කේලම් කියාගෙන මෙතන ඉන්න කඳ පණුවො ටික වැඩි දවසක් යන්න කලින් මම අයින් කරනවා. අන්න ඒක දැනගන්නවා. දැන් යනවා යන්න මෙතනින් මගේ කාලය කාලා දාන්නෙ නැතිව.”
වරුණ හිස බිමට හරවාගෙන ගිය ආකාරය සුහර්ෂාට මැවී පෙනිණ.
“සිංහයෙක් වගේ ඇවිත් යන්න ගියේ හරියට පුස් පැටියෙක් වගෙයි.”
ඇය තමාටම පවසා ගත්තාය. මුහුදු මාවත අඳුරෙහි ගිලී තිබේ. මෙහි ඇති පහන් කණුවල පහන් නොදැල්වෙන්නේ කවර හේතුවක් නිසාදැයි ඇය කල්පනා කළාය.
“හැම කණුවටම ලයිට් දාලා දුන්නට මේකෙ එවුන්ට ඒකෙ අගයක් නෑ. එක්කො බල්බ් ටික ගලවලා ගන්නවා ඇති. එහෙමත් නැත්නම් පිච්චිලා ගියාම කාටවත් ඒවා දාගන්න උවමනාවක් නැතිව ඇති.”
ජීප් රථය ගමන් කරන්නේ වෙනදාට වඩාසෙමෙන් යයි සුහර්ෂාට සිතිණ.
“මොනවද සෝමපාල කරත්තෙ දක්කනවා වගේ යන්නෙ. හැමදාමත් තමුන්ට කියනවා. ඉක්මනට යනවකො.”
ඇය තම කෝප සහගත සිතිවිලි මැදිවියේ පසුවන රියදුරා පිටින් මුදා හැරියාය.
“හරි මැඩම්. යන්නම්.”
රියදුරා වේගය වැඩි කළේය.
“ඒගමන මාව පාරෙ වළවල්වල දාන්නෙ තරහ පිරිමහ ගන්නද?”
ඇය රියදුරාට කඩා පැන්නාය.
“සමාවෙන්න මැඩම්.”
තමා නගන චෝදනා සාධාරණ නොවන බව සුහර්ෂාට සිතුණද, රියදුරාට බුරුලක් දක්වන්නට ඇය නොසිතුවාය.
“මං කියන විදියට යන්න බැරිනම් තමුසෙ බහිනවා. මට පුළුවන් ඉතුරු ටික ඩ්‍රයිව් කරගෙන යන්න. බහිනවා ඉතින්.”
බියට පත් රියදුරා ජීප් රථයෙන් බැස ගත්තේය. රියදුරු අසුනෙහි හිඳ ගත් සුහර්ෂා ජීප් රථය ඉදිරියට ධාවනය කරන්නට වූවාය. මැදිවියේ රියදුරා පයින්ම ආයතනයට ගමන් කරනු ඇතැයි සිතුණද, තවමත් කෝපයෙන් පසුවන ඇයට තමා ගත් තීරණය පිළිබඳව පසුතැවීමක් ඇති නොවීය.
සුහර්ෂා නිවසට පැමිණෙන විටම මිදුලේ ඒ මේ අත ඇවිදිමින් දුරකතනයෙන් කිසිවෙක් කතා කරමින් සිටින සැමියා දුටුවාය. ඇය ඔහු දෙසට පිය නැගුවේ සිනාවකින් මුව සරසාගෙනය. එවේලෙහිම දුරකතන සංවාදය නිමා කළ කවීන් සුහර්ෂා දෙස බැලුවාය.
“අද තනියම?”
ඔහු ඇසුවේ රියදුරා දක්නට නොවූ හෙයිනි.
“තනිවයි උපන්නේ. තනිවයි මැරෙන්නේ කියනවනෙ කවීන්? කවුරු එක්කද කතා කර කර හිටියෙ? නීතියේ දෙවඟන එක්කද?”
“පිස්සු කියවනවා. කෙහෙම්මල් දෙවඟනක් එක්ක නෙමෙයි. මගේ ක්ලයන්ට් කෙනෙක් එක්ක. ”
කවීන් පැවසුවේ කෝපයෙනි.
“හරි. හරි. ඔච්චර තරහ ගන්න දෙයක් මම කිව්වෙ නෑනෙ. කොහොමද අද ගමන?”
මිදුලේ සිමෙන්ති බංකුවක් මත හිඳ ගත් සුහර්ෂා ඇසුවාය.
“හැමදේම හොඳින් සිද්ද වුනා. අපි හිතුවට වඩා කොල්ලා දක්ෂයා. ඉතුරු වැඩ ටික සැලසුම් කරගන්න කියලා හොටෙල් රූම් එකක නතර වුනා. අපි ආවා.”
“ආරාධ්‍යා?”
“ඔයා වගේම තමයි. මට ආරාධ්‍යා තේරුම් ගන්න බෑ. කොහොම වුනත් කෙල්ල හිටියෙ සතුටෙන්.”
“එච්චරයි.”
සුහර්ෂා සාරිපොට උරහිසට රැඳවූ කටුව ඉවත් කළාය.
“ඇත්තමයි කවීන් මම බයේ හිටියෙ ආරාධ්‍යා හසිත් එක්ක සම්බන්ධයක් පටන් ගනීවි කියලා.”
“දෙන්නෙක් සමීපව කතා බහ කරාට ඒක ආදර සම්බන්ධයක් කියලා හිතන්න හදිසි වෙන්න එපා. ඒක අසාධාරණයි.”
“ඒක ආරාධ්‍යා ගැන කියපු දෙයක්ද? එහෙමත් නැත්නම් නීතියේ දෙවඟන ගැන හිතලා කියපු දෙයක්ද?”
සුහර්ෂා සිනාසෙමින් නිවස දෙසට දිව ගියාය.
“වෙනම වෙස් මූණක් දාගෙන හැමදේම පාලනය කරාට ඉඳහිටලා හැබෑ ගතිගුණ එළියට එනවා.”
කවීන් සිතුවේ සුහර්ෂා පිළිබඳව දයා සිතින් යුතුවය.