අනියම් බිරිඳගේ කේලම් අසා බිරිඳට හිංසා කළ සැමියෙක්

නීතිඥ උපේක්ෂා ලසන්ති අධිකාරි මෙනෙවියගේ වෘත්තිය අත්දැකීමක් මත සකසා ඇත.වෘත්තිය ආචාර ධර්ම වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ.

කමනි ජීවිතය ගැන බොහෝ සිහින සහිතව වසන්ත සමඟ විවාහ වී දැන් වසර පහළොවක්.ඇය විවාහ වන විට විසි දෙහැවිරිදි ලාබාල තරුණියක් වුණා.කමල් එකල ආයෝජන කලාපය ආශ්‍රිත රැකියාවක් කළ අතර ගෙදර අයගේ අකමැත්ත මත විවාහ වූ කමනි ඉතාම ඉක්මනින් ගැබ් ගත්තා.දියණියකට උපත ලබා දී බොහොම කෙටි කලකින් ඇයට ජීවිතයේ අසන්නට ලැබෙන නරකම ආරංචියක් අසන්නට ලැබෙනවා.

“ඔය වසන්තයව බැන්දෙ ඇයි දුවේ.ඕකට අර එහා ගමේ ප්‍රීති එක්ක සම්බන්ධයක් තියනව සෑහෙන කාලයක්.”

කමනි ඒ කතාව අසන්නේ වසන්තගේ වැඩිහිටි ඥාතිවරියකගේ මාර්ගයෙන්.කේලම් කීම බොහෝ වැඩිහිටි ගැහැනුන් අතර පවතින පුරුද්දක් නිසා කමනි ඒ කතාව කිසිම අයුරකින් ගණන් ගන්නේ නැහැ.එහෙත් වසන්තට කුමක් හෝ රහසක් පවතින බව ඇය කාලයත් සමඟ තේරුම් ගන්නවා.හදිසියේ විවාහ වන්නට වසන්තට උවමනා වූවාට ඔහු තමන්ට ආදරේ නොකරන බව ඇයට වැටහෙන්න පටන් ගන්නවා.අගහිඟකම් මෙයට හේතුවන්නට ඇතැයි සිතන්නට බැහැ.ඔහුගේ වැටුප නිවසේ කටයුතු සාමාන්‍ය පරිදි කරගන්නට ප්‍රමාණවත් වුණත් වසන්ත අත යහමින් මුදල් ද ගැවසෙනවා.හරි ආදරයක් නොලැබෙන නමුත් දියණියට යන්තම් අවුරුද්දක් ඉක්ම යනවිටම කමනි නැවත ගැබ් ගන්නවා.වසන්ත ලිංගික ජීවිතය අතැර නොදැමීම මෙයට හේතුවයි.

මේ වතාවේ කමනිට ප්‍රීති ගැන සැකයක් ඇති වන්නේ කේලම් නිසා නෙවෙයි.ඇගේම දෑසට දකින්නට ලැබෙන සමහර කාරණා නිසා.ප්‍රීති සහ වසන්ත අතර අනියම් ඇසුරක් ඇතැයි තමන්ගේ දෑසින්ම ඔප්පු කරගත් පසු  නොනවත්වාම රණ්ඩු කරන්නට කමනිට සිදු වෙනවා 

“තමුසෙ ආව දවසෙ ඉඳලම ළමයි එල්ලගෙන.උන්ටයි තමුන්ටයි කන්න දෙන්න මගෙ සල්ලිත් මදි.ප්‍රීති අක්කාගෙ බිස්නස් එකට උදව් කරලා තමයි ඕයි මම කීයක් හරි හොයාගන්නේ.”

දෑසට පෙනෙන සාක්ෂි තිබියදී පවා කතා කියමින් වසන්ත කමනිව බියට පත් කරනවා.

අනියම් සම්බන්ධතාවයක් සාක්ෂි සහිතව හමුවී තිබෙන අවස්ථාවේ ගත යුතු තීරණයක් ගන්නට කමනිට අවශ්‍ය වන්නේ නැහැ.පැහැදිලි ලෙසම දික්කසාද වීමට හැකියාව තිබියදී ඇය ගන්නේ වෙනත් තීරණයක්.

“මම කොහොමහරි වසන්තව හදා ගන්නවා.මේ මගේ ළමයින්ගෙ තාත්තා.මම එයාව අර ගෑණිට දෙන්නෙ නෑ.”

විවාහයට පෙර විවාහක කාන්තාවක් සමඟ පවත්වාගෙන යන අනියම් සබඳතාව තමන්ගේ ආදරය හමුවේ සැමියා අවසන් කරන  බවට කමනි සිතන්නේ අන්ධ විශ්වාසයෙන්.ඒ නිසා ඇය මානසික පීඩා විඳ දරාගෙන ඔහු වෙනුවෙන් කැප වන්නට තීරණය කරනවා.වසන්ත නිවසේ කටයුතුවලට හෝ දරුවන්ගේ කටයුතු වලට කිසිම උදව්වක් ලබාදෙන්නේ නැහැ.

තුන්වැනි දරුවා ද ලැබී ටික කාලයක් යද්දි තවත් කාරණා බොහෝ වෙනස් වීමට ලක් වනවා.වෙනස් නොවූ එකම කාරණාව වන්නේ වසන්තගේ අනියම් සම්බන්ධතාවය පමණයි.මේ වෙද්දි ඔහු රැකියාව කරන ස්ථානයේ වූ යම් සොරකමක් නිසා ඔහුට රැකියාව අහිමි වී තිබෙනවා.ඒ නිසා ඇඟලුම් සේවිකාවක ලෙස සේවයට බැඳෙන්නට කමනිට සිදු වෙනවා.කුඩා දරුවන් තිදෙනා තමන්ගේ අම්මාගේ බාරයට පත් කරමින් කමනි රැකියාවට යන්නේ දරුවන්ගේ කටයුතු වලට කෙසේ හෝ මුදල් සොයා ගත යුතු වන නිසා.තමුන්ට මොනතරම් අහිමිවීම් සිදුවුණත් වසන්ත ප්‍රීතිව අත් හරින්නේ නෑ.නමුත් ඔහුට ඇය සමඟ ඇත්තේ රාගය සම්බන්ධ බැඳීමක් පමණයි.ඔහු ඒ සම්බන්ධය අත් නොහරින තැන කමනිට පෙරදී පහළ නොවූ නුවණ පහළ වන්නට පටන් ගන්නවා.

“තමුසෙට ජරා ගෑනිව අත් අරින්නම බැරිනම් මගෙන් දික්කසාද වෙලා ගිහින් ඒකිව කසාද බැඳගන්නව.”

කමනි එසේ කියමින් රණ්ඩු කරන්නට පටන් ගන්නෙ දරාගැනීමේ සීමාව අහවර වූ තැන.මේ වෙද්දී ඇගේ විවාහයට දස වසරක් ද පිරී අවසන්.නමුත් මේ සම්පූර්ණ කාලය තුළම වසන්තගේ අනියම් සම්බන්ධතාවය ද නැති වන්නේ නෑ.

“මම මොකටද තමුසෙ දාල යන්නේ? උඹට වෙන මිනිහෙක් එක්ක යන්නද?”

එවැනි අවස්ථාවල එසේ අප්‍රසන්න කතා කියන්නට වසන්ත පැකිලෙන්නේ ද නැහැ.නිවැරදි ලෙස රැකියාවක් නොකරමින් විවිධ රැකියා ඉඳහිට කරන ඔහු අත මුදල් ගැවසෙන්නේ ද නැහැ.දැන් ඔහුට ප්‍රීතිගෙන් මුදල් ලැබීම ද අඩුවී ගොස් තිබෙනවා.ඒ නිසා කමනිට පහරදෙමින් මුදල් ලබා ගන්නට වසන්තට උවමනා වෙන්නේ මත්පැන් සහ මත් ද්‍රව්‍ය වර්ග මිලට ගැනීම සඳහා.

තමන්ව කිසිම දිනයක විවාහ කරගන්නට වසන්තට උවමනාවක් නැති බව ප්‍රීති හොඳින්ම දන්නවා.සතුටක් නැතත් පවුලක් තිබෙන කමනිට ඇය දැඩිව ඊර්ෂ්‍යා කරන්නේ ඒ නිසා.කමනි ගැන විවිධ කේලම් වසන්තට කියමින් ඇයව ගෘහස්ථ හිංසනයට පත් කිරීම ප්‍රීතිගේ එකම ප්‍රීතිය බවට පත් වෙනවා.

“කමණිගේ ගාමන්ට් එකේ මනුස්සයෙක් එක්ක කමනි ඕනෑවට වඩා හුරතල් වෙනවා කියලා අපේ ගමේ නංගිලා හැමෝම කියනවා.ළමයි තුන්දෙනෙක් හිටියට කමනි තාම ලස්සනයි නේ.ඕව ගැන හොයලා බලන්න.නැත්තං ළමයින්ට අම්මා නැති වෙයි.”

ප්‍රීති එවැනි කතා පවසද්දී කිසිම සොයා බැලීමක් නොකර ඇයට පහර දීමට වසන්ත හුරුපුරුදු වී සිටියා.මේ කටයුතු නැවතීමක් නොවන තෙක් සියල්ලම තමන්ගේ නැගණිය සමඟ කියන්නට කමනි තීරණය කළා.ඒ වෙද්දී විශ්වවිද්‍යාලයේ අවසන් වසර ඉගෙන ගනිමින් සිටි රුවිනි ප්‍රශ්නය දෙස වඩා ගැඹුරින් සහ පුළුල්ව බලන්නට තීරණය කළා.පහළොස් වසරක් ගෙවී තිබු කමනිගේ විවාහය සම්බන්ධයෙන් තීරණය ගත යුතු බව රුවිනි කල්පනා කළා.

“අක්කේ ඔයාට මේ මනුස්සයාගෙන් දික්කසාද වෙන්න තිබුනේ ගොඩක් ඉස්සර.එහෙම නැතුව ඒ මනුස්සයාව හදාගන්න හිත හිත දරුවො ගොඩක් මේ ලෝකෙට ගෙනල්ලා ඔයා කරලා තියෙන්නේ හරි වැඩක් නෙමෙයි තමයි.අපි කිසිම දෙයකට පරක්කු නැහැ.මොකක්ම හරි රස්සාවක් ඔයාට තියෙනවා.ඔයාට හොඳට ඇඳුම් මහන්න පුළුවන් නිසා ඔයාට ස්වයං රැකියාවක් හරි පටන් අරගෙන බබාලාව බලාගන්න පුළුවන්.ඒ නිසා දැන්වත් තීරණයක් ගන්න.”

අවසානයේදී ඒ තීරණයට එකඟ වන්නට කමනි සිතන්නේ පීඩාව දරාගත හැකි මට්ටමින් ඔබ්බට ගොස් තිබුණු නිසා.ඇය නීතිඥයන් හමුවට යන්නේ ඉන්පසුවයි.කිහිප වතාවක්ම ගෘහස්ථ හිංසන සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරත් අවවාදයෙන් ඔබ්බට දෙයක් සිදුවුණු වූ බවද ඇය එහිදී හෙළි කරනවා.

කමනිට අවශ්‍ය උපදෙස් කිහිපයක් ම ලබා දෙන්නට නීතිඥයන්ට සිදු වුණා.

තමන් හිඳින්නේ වසන්තගේ නිවසේ බවත් ඔහුගෙන් ඉවත් වූ පසු ඉන්න තැනක් ගැන ගැටලුවක් මතු වන බව කමනි පවසනවා.එයට විසඳුම් දෙකක් තිබෙනවා.ඇයට තමන්ගේ මහ ගෙදරට යන්නට හෝ ආදායමට සරිලන ලෙස කුලී නිවසක් ලබා ගන්නට සිදු වෙනවා.නැතිනම් ඇයට දරුවන් පරිවාස භාරයට පත් කරන්නට ද පුළුවන්.රැකියාවක් කරන ගැහැණියක ලෙස එවැනි දෙයක් අනවශ්‍ය බවයි නීතිඥයන්ගේ හැඟීම වූයේ.

ඇගේ රැකියාව විශාල වැටුපක් ලබා දෙන්නක් නෙවේ.දරුවන් තිදෙනෙකු බලාගෙන නඩු කියන්නට තරම් තමන්ට මුදලක් නැති බවද ඇය එහිදී හෙළි කරනවා.මෙවැනි අවස්ථාවල උදව් ගැනීම සඳහා නීති ආධාර කොමිසම පවතින බව නීතිඥයන් ඇයට පවසනවා.බොහෝ අය නොදැන සිටියාට ආර්ථික අපහසුතා ඇති අයගේ නඩු වෙනුවෙන් නොමිලේ පෙනී සිටින නීතිඥයන් නීති ආධාර කොමිසමේ සිටිනවා.එය ඕනෑම උසාවියක් අසල පවතින නිසා ඔබට යම් මූල්‍යමය ගැටලුවක් ඇත්නම් එතැනට ගොස් උපකාර ලබා ගන්නට පුළුවන්.

පවුල නිරවුල් කර ගැනීම සඳහා පොලිසියෙන් උපකාර ගැනීම සාර්ථක නොවුණත් ගෘහස්ත හිංසනයක් සිදුවන සෑම අවස්ථාවකදීම  පොලිසියට පැමිණිලි කර තිබීම නඩුවකදී හොඳ සාක්ෂියක් වන බව ද පැහැදිලි කර දෙන්නට නීතිඥයින්ට හැකිවුණා.වසන්ත දරුවන් ගැන නොබලා සිටීම සම්බන්ධයෙන් නඩත්තු නඩුවක් පැවරීමේ හැකියාව ද කමනිට තිබෙනවා.

මේ කාරණා පැහැදිලි කර දුන් පසු නීති ආධාර කොමිසම හරහා උපකාර ලබා ගැනීමට කමනි කටයුතු කළා.වසන්ත අනියම් සම්බන්ධයක් පැවැත්වීම නිසා ඔහුට එයට එරෙහි දික්කසාද නඩුවක් ද දරුවන්ට නඩත්තු ලබා ගැනීම වෙනුවෙන් නඩත්තු නඩුවක් ද පැවරෙනවා.වසන්තගේ දීර්ඝ කාලීන අනියම් සම්බන්ධතාවය පහසුවෙන් ඔප්පු කිරීමට හැකි වන අතර කමනි දිගින් දිගටම හිංසනයට ලක් වීමද මෙහිදී ඇයට වාසිදායක වනවා.ඒ නිසා දැන් ඇය දික්කසාද නඩුව ලබාගෙන වසන්තගෙන් නිදහස් වී අවසන්.නඩත්තු නඩුව මේ වන විටත් විභාග වෙමින් පවතින අතර එය ද කමනිට සහ දරුවන්ට සාධාරණයක් වෙන සේ විසඳෙන බවට විශ්වාසයක් නීතිඥයන්ට තිබෙනවා.

තමන් රැවටීමට ලක්වන බව  පෙනෙන්නට තිබියදී තව තවත් අවස්ථා ලබාදෙමින් බලා සිටීම ඔබව මහත් කරදරවලට ලක් කරන බව මේ කතාවෙන් ඔබට පැහැදිලි වන බව අපි සිතනවා.ඇය මුල්ම අවස්ථාවක ක්‍රියාත්මක වූවානම් දරුවන් තිදෙනෙකු සමග තනි වන්නට ඇයට සිදු වන්නේ නැහැ.ඒ නිසා ඕනෑම ප්‍රශ්නයක් මූලික අදියරේදී විසඳාගැනීමට උත්සාහ දැරීම වැදගත්. ඒවගේම ඔබ ආර්ථික අතින් සවිමත් නොවීම උසාවියෙන් උදවු ලබා නොගැනීමට හේතුවක් ද නොවේ.නීති ආධාර කොමිසම ඔබට උපකාර කිරීමට සෑම අවස්ථාවකම සූදානම්.

ඒ නිසා ගැහැණියක ලෙස ඔබ කරදරයේ වැටෙන ඕනෑම අවස්ථාවක නීතියේ පිහිට පතන්නට පැකිලෙන්න එපා. 

Related Articles

Don't Miss


Latest Articles