සිහින අසපුව – 30 කොටස

දින ගණනාවකින් තම ජීවිතය පසුපසට ගියා නොවේදැයි දිය නෑමෙන් පසු කැඩපත ඉදිරියට වී සිටින ආරාධ්‍යා කල්පනා කළාය. සතියකට ආසන්න කාලයක් තිස්සේ උණ රෝගය ඇති කළ බලපෑම් බොහෝ නොවේද? සුවය ලැබු පසුවත්, ඇති වූ ආහාර අප්‍රියතාවයත්, සන්ධි වල ඇති වූ වේදනාවත් දැන් කෙමෙන් අඩු වෙමින් පවතී. මෙම කාලය තුළ සිදු වූ දෑ කෙතරම්දැයි ආරාධ්‍යාට සිතිණ. ආයුෂ් වරක් නොව කිහිප වරක්ම තම සුව දුක් සොයා බලන්නට පැමිණියද, හසිත් මෙම දින ගණනාව මුලුල්ලේම නිවසට නොපැමිණි බව පැවසුවේ රංජනීය. 

“හසිත් විතරද? ෆෝන් එකෙන් කතා කරලා සුව දුක් ඇහුවට අම්මා මාව බලන්නවත් නොආව එකයි මට දුක.”

ආරාධ්‍යා සිතුවාය.

“එක අතකට ඒකෙත් සාධාරණයක් තියෙනවා. අසනීප හැදුනොත් ඇඳට වෙලා ඉන්න තරම් ඉස්පාසුවක් අම්මට කොහෙන්ද?”

තෙත හිසකෙස් වටා තුවාය දවටා ගත් ආරාධ්‍යා කාමරයෙන් පිට වුවාය. රංජනී උදෑසන ආහාර ගන්නට එන්නැයි දෙවරක්ම පැමිණ පවසා ගිය බව ඇයට සිහි වූයේ පියගැට පෙළ බසිද්දීය.

කවීන් තනිව කෑම මේසයට හිඳගෙන සිටියේය. කලකට පෙර පස්දෙනෙකු හිඳ ගත් කෑම මේසය අද හුදකලා වී ඇතැයි ආරාධ්‍යා සිතුවේ සිත තුළ ඇති වු සියුම් වේදනාවක්ද සමගිනි. ජංගම දුරකතනය දෙසට නෙත් හෙලාගෙන සිටි කවීන් ආරාධ්‍යා දැක එය පසෙක තැබුවේය.

“තාත්තා අද යන්නෙ නැද්ද?”

පුටුවක් ඇද හිඳ ගත් ආරාධ්‍යා ඇසුවාය.

“නෑ. අද වැඩි වැඩකුත් නෑ. නිවාඩුවක් දාන්න හිතුනා.”

“ඒක හොඳයි.”

ආරාධ්‍යා පැවසුවේ සතුටු සිතින් යුතුවය.

“මටත් මේ දවස් ටිකේම හරිම තනිකමක් දැනුනෙ තාත්තෙ. වෙලාවකට කෑගහලා අඬන්න තරම් හිතුනා. ”

කවීන් යටැසින් ආරාධ්‍යා දෙස බැලුවේ ඇය කෙරෙහි ඇති වූ අනුකම්පාවෙනි. 

“ඔයා මොනවද කන්නෙ?”

“තවම ඒ හැටි කෑම පිරියක් නෑ තාත්තෙ. මම පාන් පෙත්තක් කන්නම්.”

රංජනී දුම් දමන බත් දීසියක් මේසයට ගෙන ආවාය. කවීන් ඉන් හැන්දක් තම පිඟානට බෙදා ගත්තේය.

“හසිත් සර් මේ දවස් වල එන්නෙ නැති නිසා වැඩි දෙයක් හැදුවෙ නෑ. හසිත් සර්ට තියෙන ලෙඩ මේ ගෙදර අනිත් උදවියට නෑනෙ.”

රංජනී පැවසුවේ සරදමක් ලෙසින්දැයි ආරාධ්‍යාට සිතුණ නමුත් ඇය කිසිවක් නොපවසා නිහඬව සිටියාය.

“පෙරේදා පාන්දර අම්මා නෙදර්ලන්ඩ් ගියානෙ.”

කවීන් පැවසුවේය.

“තනියම නෙමෙයි. හසිතුයි, තව ටීම් එකකුයි එක්ක යනවා කියලයි අම්මා කිව්වෙ.”

“තාත්තා අම්මව බලන්න ගියාද?”

“නෑ.”

යන්තමින් සිනාසුන කවීන් ආරාධ්‍යාගේ පිඟානට හොදි හැඳි කිහිපයක් බෙදුවේය.

“අම්මා මට කෝල් කරලා කිව්වා. ඊයෙ රෑත් කෝල් කළා.”

“අම්මා මාව බලන්නවත් ආවෙ නෑ තාත්තෙ. මට ගොඩක් දුක හිතුනා. මාව බලන්න හිටියෙ තාත්තයි, රංජනියි, ආයුයි විතරයි.”

“දුක හිතන්න එපා ආරාධ්‍යා. අම්මා උණ හැදෙනවට හරිම බයයි.”

“බයවෙන්නෙ මොනවටද සර්? උණ කියන්නෙ මහ අසනීපයක්ද? මොනවා වුනත් මැඩම් බේබිව බලන්න නාව එක වැරදියි. පිට කවුරුවත්යැ? අම්මනෙ.”

ඈතින් සිටගෙන සිටි රංජනී පැවසුවේ සුහර්ෂා කෙරෙහි ඇති කර ගත් කළකිරීමෙන් යුතුවය.

“අපි එහෙම හිතුවට අම්මා උණ හැදෙනවට බයවෙන්න හේතු තියෙනවා. අපි හැමදෙයක්ම දකින්නෙ මතුපිටින් විතරයි. ඒත් සමහරවිට අපි වැරදියි කියලා දකින දේ වැරදි නොවෙන්න පුලුවන්. කෙනෙක්ගෙ හිත් උඩ ඇවිදින එක පරෙස්සමෙන් කරන්න ඕන. මතුපිටින් නොපෙනෙන හොඳ නොවුන තුවාල පෑරෙන්න පුලුවන් කියලා අපි මතක තියාගන්න ඕන.”

තාත්තා පවසන්නේ ඇත්තක් නොවේදැයි ආරාධ්‍යා කල්පනා කළාය. අම්මාගේ ජීවිතයේ සියලු රහස් දැන සිටින්නේ තාත්තාය. කවර ලෙසකින්වත් ඔහු අම්මාගේ සිත පෑරෙන ලෙස වදනක් හෝ නොපවසන්නේ සාධාරණ හේතු ඇතිව විය යුතුයයි ආරාධ්‍යාට සිතිණ.

“ඇඳට වෙලා ඉන්න දවස් වල මම ගොඩක් දේවල් හිතුවා තාත්තෙ. නංගි ආගිය අතක් නෑ. ඇයි අපි නංගිව හොයන්නෙ නැත්තෙ? මොනවා වෙලාද මොනවා කරනවද කියලා දන්නෙ නෑ. පින් අයිති වෙයි තාත්තෙ. නංගිවයි මල්ලිවයි ආයෙම මොන විදියෙන් හරි ගෙදර එක්ක එමු. එයාලව අත ඇරලා දාන්න එපා.”

ආරාධ්‍යාගේ දෙනෙත් වල නැගි කඳුළු දෙස කවීන් බලා සිටියේය. බොහෝ මුදු සිතක් ඇති ඇය, නංගීටත්, මල්ලීටත් දක්වන සෙනෙහස පිළිබඳව ඔහු දැන සිටියේය.

“මම පොරොන්දු වෙනවා ආරාධ්‍යා. මලීෂ ගැන නම් ප්‍රශ්නයක් නෑ. මම හොයලා බැලුවා. එයා  ඇක්ට් කරන ටෙලි ඩ්‍රාමා එකේ ෂූටින් ඉවර වුන දවසට එයා ගෙදර ඒවි. හැබැයි ඉතින් දැන්ම නෙමෙයි. ඒක මෙගා ටෙලි ඩ්‍රාමා එකක් කියලා අමර් කිව්වා.”

කවීන් පැවසුවේ සිනාසෙමිනි.

“ඒකෙ එපිසෝඩ්ස් දෙක තුනක් නම් බැලුවා. අමතක වෙනවා තාත්තෙ. මලීෂ ඒකෙ හොඳට රඟපානවා.”

“මාත් ඒක දැක්කා. ඔහොම ගියදෙන්. මනුස්සයෙක් වුනාම අරමුණක් තියෙන්නත් එපායැ?”

“මල්ලි පිරිමි ළමයෙක්. ඒත් නංගි? නංගිව එහෙම අත ඇරලා දාන්න බෑ තාත්තෙ.”

“ඔව්. අපි හොයමු. විහාරා කියන්නෙ කවුරු මොන විදියට හිතාගෙන හිටියත් බුද්ධිමත් ළමයෙක්. ඉන්න තැනක එයා හොඳින් ඉන්න බව මට විශ්වාසයි.”

“ඒත් තාත්තෙ….”

“මම පොරොන්දු වෙනවා. අපි විහාරව හොයමු. දැන් කාලා ඉන්න.”

ආරාධ්‍යා යළිත් ආහාර ගන්නට පටන් ගත්තාය.

“රංජනීගෙ තක්කාලි හොද්දත් එක්ක ඕන තරම් කන්න පුලුවන්.”

ඇය තවත් පාන් පෙත්තක් අතට ගත්තාය.

“උණ හැදුනම ඇඹුල් රහට කන්න පුලුවන් නිසා මම තක්කාලි හැදුවෙ. දවල්ට මම බේබිට අඹ ඇඹුලක් හදලා දෙන්නම්.”

“දවල්ට අපි කන්න ඉන්නෙ නෑ රංජනී…”

වතුර වීදුරුව තමා වෙත ළං කරගත් කවීන් පැවසුවේ ආරාධ්‍යා තුළ කුතුහලයක් ඇතිකරවමිනි.

“අපි? අපි කොහෙද යන්නෙ තාත්තෙ?”

“මං කල්පනා කරා අද ගෙදර ඉන්න දවසෙ ආයුෂ්ගෙ ගෙදර ගිහින් ආවනම් හොඳයි කියලා. ඊයෙ රෑ ආයුගෙ තාත්තා ගිහාන් මට කෝල් කරා. ඇත්තටම අපි අතින් වැරැද්දක් වුනා. ආයුගෙ අම්මත් ඉන්නෙ අසනීපෙන්නෙ. අපි ගිහින් බලලා එමු.”

“අනේ යමු තාත්තෙ.”

ආරාධ්‍යා සතුටින් පැවසුවාය.

“තාත්තා ආයුට කිව්වද අපි එනවා කියලා?”

“නෑ. කිව්වොත් කරදර වෙනවනෙ. මගදි කියනවා. මම උදෙන්ම ආයුට කෝල් කළා. ඊයෙත් කොලඹ ගිහින් ආවා කියලා කිව්වා. අද ගෙදර ඉන්නවලු. ඉස්සරහට පබ්ලිකේෂන් එක පටන් ගන්න නිසා ආයුට ගෙදර ඉන්න වෙලාවක්වත් නැති වේවිනෙ. ඒ නිසා අදම යමු.”

“ගෙදරින් පිට ගිය දවසක්වත් මතක නෑ.”

ආරාධ්‍යා පැවසුවේ සතුටිනි.

“අනේ තෑන්ක් යූ තාත්තෙ. ගෙදරටම වෙලා මට එපා වෙලා හිටියෙ.”

කවීන් ආරාධ්‍යා දෙස බලා සිටියේ තෙත් වූ දෙනෙතින් යුතුවය. සැබවින්ම තමා අතින් දරුවන්ට ඉටු විය යුතු යුතුකම් පසුගිය කාලය තුළම සිදු නොවූයේ කාර්ය බහුලත්වය නිසාමදැයි ඔහු කල්පනා කළේය. සුහර්ෂා ඇගේ රාජ්‍ය නොවන සංවිධානය නිසා අතිශයින් කාර්ය බහුල වීමෙන් ඇය අතින් දරුවන්ට ඉටු කළ යුතු යුතුකම් පමණක් නොව බිරිඳක ලෙසින් තමාට විය යුතු යුතුකම් පවා මග හැරිණ. එක් අතකින් ඇයට තමා වැනි ස්වාමි පුරුෂයකු ලැබීම ඇගේ භාග්‍යයකි. ඇයව වටහා නොගත් සැමියෙකු ලැබුවේ නම් මේ වනවිට දෙදෙනා වෙන්වී බොහෝ කලක් ගත වී ඇතැයි කවීන් කල්පනා කළේය.

රංජනී දුම් දමන තේ කෝප්ප දෙකක් ගෙනැවිත් කවීන් සහ ආරාධ්‍යා ඉදිරියෙහි තැබුවාය. 

“රංජනිත් යමු අපි එක්ක.”

ආරාධ්‍යා පැවසුවාය.

“අනේ බෑ බේබි. එහෙම යන එක හරි නෑනෙ. බේබි ඒ ගෙදර ගියාට පස්සෙ ඕනනම් මට නවතින්න වුනත් එන්න පුලුවන්නෙ.”

රංජනී අදහස් කළ දෑ වටහා ගත් කවීන් යටි සිතින් සිනාසුනේය.

“ඇයි මං ඒ ගෙදරට යන්නෙ? මට ඉන්න මේ ගෙදර තියෙන්නෙ.”

රංජනීගේ වදන් වල අරුත වටහා ගත්තද ආරාධ්‍යා පැවසුවේ කිසිවක් නොවැටහෙන ලෙසිනි.

“අපි පමා කරන්නෙ මොනවටද නේද? තේ බීලා ගිහින් ලෑස්ති වෙන්න.”

ආරාධ්‍යා ඉක්මනින් තේ පානය කර අවසන් කළාය. ඇය නැගිට කාමරයට ගියේ සතුටින් පිරුනු සිතින් යුතුවය.

                              *

ආරාධ්‍යා පියා පසෙකින් හිඳගෙන සිටියේ මහත් ප්‍රීතියෙනි. ඇයට කිරිල්ලියක මෙන් පියා සලන්නට ඇත්නම් යයි සිතුනේ ආයුෂ්ගේ නිවසට යාමට තාත්තා තීරණය කළ නිසාම නොවේ. තාත්තා සමග ගමනක් යාමේ ප්‍රීතිය ඇයට වඩ වඩාත් දැනිණ. කුඩා කාලයේදී අම්මා සහ තාත්තාත්, මලීෂ සහ විහාරාත් සමග වසරකට වරක් ගිය පිටරට චාරිකා වලදී නොදැනුන තරමේ ප්‍රීතියක් අද දැනෙන්නේ මන්දැයි ආරාධ්‍යා කල්පනා කළාය.

“ආරාධ්‍යා…”

ආරාධ්‍යාගේ ප්‍රීතියෙන් බබලන මුහුණ දෙස බැලූ කවීන් ඇය ඇමතුවේය.

“තාත්තෙ.”

“මොනවා හරි කියන්න පුතේ. කතා නොකර යනකොට හරි පාලුයි.”

“අම්මා කියන නීතියේ දෙවඟන තාත්තගේ කාර් එකේ යද්දිත් තොරතෝංචියක් නැතිව කතා කරනවද?”

ආරාධ්‍යා ඇසුවාය. කවීන් සැහැල්ලු ලෙස සිනාසුනේය.

“අම්මෝ… හරියට රේඩියෝ එකක් දැම්මා වගේ තමයි. වෙලාවකට මට හරිම කන්කරච්චලයක්. පව් නිසා එක්ක යනවා ඉතින්.”

“එයාට තිබුනනෙ කාර් එකක් ගන්න.”

ආරාධ්‍යා පැවසුවේ පියාගේ සිත පරීක්ෂා කර බැලීමට මෙනි. මෝටර් රථයක් තෑගි වශයෙන් ලබා ගැනීමට මොනාලි දැරූ උපක්‍රමයන් කවීන්ට සිහිපත් විය. එක් අතකින් ශේඛර් හදිසියේම ලංකාවට පැමිණීම ආශීර්වාදයක් යයි ඔහුට සිතිණ.

“එයා හොයන්නෙ ලොකු ලොකු වාහන. මං වුනත් මේ වෘත්තියට ආව දවස් වල ගත්තෙ පුංචි වාහනයක්. එකපාරටම නැගිටින්නෙ නැතිව බඩ ගාලා, දණ ගාලා නැගිටින්න ගොඩක් උදවිය දන්නෙ නෑ පුතේ.”

“තාත්තා අද ගියේ නැති නිසා එයාට පාලු ඇති.”

“මොන පාලුවක්ද? මොනාලිගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ලංකාවට ඇවිත්. ළඟදි වෙඩින් එක අරගෙන ඉන් පස්සෙ එයත් හස්බන්ඩ් එක්ක යන්න යාවි.”

ආරාධ්‍යාගේ සිතට සැනසීමක් දැනිණ. මොනාලි සහ තාත්තා සම්බන්ධව සැක සිතක් නොවුව ද, නොවැටහෙන කුමක් හෝ සිතිවිල්ලක් මෙතෙක් කලක් තම සිතට වද දුන් බව ඇයට වැටහුනේ එවේලෙහිය.

“අපි හැමෝම ගොඩක් කාලෙකින් කොහේවත් ගියේ නෑ.”

කතාවේ මාතෘකාව වෙනස් කරමින් ආරාධ්‍යා පැවසුවාය.

“යන්න ඕන. ඒ හැමදේටම ඉස්සර වෙලා කළ යුතු එක දෙයක් තියෙනවා පුතේ.”

“ඒ මොකක්ද?”

“අපි එක එක්කෙනාව තේරුම් ගැනීම සිද්ද වෙන්න ඕන. අම්මා මාවත්, මම අම්මවත් තේරුම් ගත්තට දරුවො කවදාවත් අපිව තේරුම් ගත්තෙ නෑ.”

“තාත්තෙ..”

“ඔයා ගැන නෙමෙයි මං කිව්වෙ. විහාරායි මලීෂයි හැමදාමත් අපි දිහා බැලුවෙ අවිශ්වාසෙන්.  සැකෙන්. කරන වෘත්තිය අනුව මිනිස්සුන්ව මනින්නෙ නැතිව තේරුම් ගැනීම සිද්ද වෙනවනම් හැමකෙනෙක්ගෙම ජීවිත ලස්සන වේවි.”

“ඇත්ත තාත්තෙ.”

ආරාධ්‍යා එකඟතාවය පළ කළාය.

“අපි අපේ ජීවිත වෙනස් කර ගනිමු තාත්තෙ. අපි හැමෝම එකටම ඉන්නවනම් මම ආසයි.”

“උත්සාහ කරමු.”

කවීන් අතුරු පාරකට මෝටර් රථය හැරවුවේය.

“ආයුගෙ ගෙදරට තව දුරද තාත්තෙ?”

වටපිට බැලූ ආරාධ්‍යා විමසුවාය.

“තව ටිකයි. මේ පාරෙ කෙළවරමයි ගේ තියෙන්නෙ. හැබැයි මාත් මේ ගෙදරට එන්නෙ මං හිතන්නෙ අවුරුදු විසි ගණනකින්.”

ආරාධ්‍යා නොඉවසිල්ලෙන් වටපිට බැලුවාය. සෙමෙන් ගමන් කළ කවීන්ගේ මෝටර් රථය දැවැන්ත කලු පැහැති ගේට්ටුවක් ඉදිරියෙහි නතර විය. කවීන් නළාව කිහිප වරක් නාද කළේය. ගේට්ටුව විවර වූ අතර සිනා පිරුනු මුහුණින් යුතුව ඉන් පිටතට පැමිණියේ ආයුෂ් ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles