හිමගිරි අරණ -01

හිමගිරක් මෙන් මිදෙමින් ගල් ගැසෙන්නට ගැහැනියකට සිදු වන්නේ හැඟීම් ගල් ගැසෙන්නට ඉඩ දුන් විට ය.හඬන්නටත් හිනැහෙන්නටත් අමතක ව ගිය විටෙක ය.තමන් වෙනුවෙන් කතා කිරීම පවා අත්හැර දමන්නට සිතුණු මොහොතක ය.

හිමාෂා හිමගිරක් වන්නට පටන් ගෙන දැන් වසර දෙකකට අධික කාලයකි.ඒ කල්පයක් තරම් දිගු කාලයකි.

“දික්කසාද ගෑනියක් අවලංගු කාසියක් කියන්නෙ නිකමට නෙවෙයිනෙ.අනිත් කාරණේ කිසිම හේතුවක් නැතුව දික්කසාද වුණාම ඒක මොනතරම් වැරැද්දක් ද? සහන් එක්ක ඉන්න බැරි වුණා කියන්නේ ආයේ ඔයාට මිනිස්සු හොයන්න බෑ.”

අම්මා එසේ කියන්නේ එක්දාස් හත්සිය හත්වැනි වතාවට වග හිමාෂා සිතුවා ය.ඇය මන්තරයක් සේ ඒ වචන ඔහේ මූමුණන්නී ය.

හිමාෂා අසා හුන්නත් නැතත් ඇයට දෝෂාරෝපණය කිරීම අම්මා,මල්ලිකාගේ දෛනික සිරිතක්ව හමාර ය.

“ගෑනියෙක් දික්කසාද වෙන්නේ ඒ මනුස්සයා එක්ක ඉන්නම බැරිනම්.ගහ බැන ගත්තත් වෙන ගෑනු ගත්තත් ගෑනි ඉවසන් ඉන්නව.මෙතන වුණේ එහෙමයැ.”

අම්මා අද නැවතත් පරලව හිඳින්නී ය.ඒ ඇගේ අලුත්ම මංගල යෝජනාව හිමාෂා අතින් කුණු කූඩයට වැටීම හන්දා ය.ගැහැනියකට විවාහයක් ඕනෑමදැයි කෑගසා අසන්නට ඇයට සිතේ.නමුත් ඈ දැන් හිම කන්දකි.ඔහේ ගල් වී හිඳීම මිස දියවී වැගිරීම තෝරා නොගන්නට ඇය තරයේම හිතට ගෙන අවසන් ය.

“මගේ දරුවා මට තනියම හදා ගන්න පුලුවන්.”

අම්මාගේ කියවිල්ල අසා හිඳින්නටම නොහැකි තැන හිමාෂා එසේ කියමින් නිවසින් පිටතට ආවා ය.ඇගේ තුන් අවුරුදු වයස සිඟිත්තිය,දිනාරා නංගිගේ කාමරයේ විය යුතු ය.අම්මා කියවන්නට පටන් ගන්නා බොහෝ අවස්ථාවල අමායා කරන්නේ දිනාරා ද රැගෙන කාමරයට ගොස් දොර වසා ගැනීම ය.මේ අහවර නොවන ගැටුම් සිඟිත්තියට ඇසෙන්නට දැනෙන්නට දිය යුතු නැති බව අදහන්නී අමායා ය.ඒ නිසාම ඇය ඒ මොහොතක දියණිය සමඟ රැඳෙන බව හිමාෂා දැන සිටියා ය.

ආකාසයේ අනන්තාපරිමාණ තාරකා බබළන අන්දම හිමාෂා බලා සිටියේ කඳුලැලි වලට ඔහේ ගලා යන්නට ඉඩ දෙමිනි.තාත්තා තරුවක් වී තමන් දෙස බලා සිටින වග විශ්වාස කරන්නට ඇය කැමති ය.ඔහු සිටියා නම් මේවා මේ ලෙස කෙළවර නොවන වග හිමාෂාට නොසිතෙනවා නොවේ.

“තාත්තේ,ඔයාට ඔච්චර ඉක්මනට අපි දාලා නොයන්න තිබුණා.”

පිය සෙනෙහස අහිමි දියණියක වී උස්මහත් වීම එක්තරා ඛේදාන්තයකි.හිමාෂාට විසි පස් විය පිරෙන තුරුම තාත්තාගේ ආදරය විඳින්නට ඉඩ ලැබිණ.නමුත් ඇගේ දියණියට තාත්තා කියන්නේ අමුත්තෙකි.

“තාත්තා නැති වුණේ අම්මට තරුණ වයසෙදි වුණානං අම්මා ආයේ බඳිනවද?”

එක්තරා මොහොතක දී හිමාෂා අම්මාගෙන් ඇසුවා ය.ඒ අම්මාගේ කරදර කතා නවතන්නට ය.නමුත් අම්මාට සෘජු පිළිතුරක් තිබිණ.

“ඔව්.මම දරුවො ගැන හිතන අම්මෙක්. තාත්තා නැතුව ඔයාලව තනියම හදා ගන්න බැරි නිසා මමනම් ආයේ කසාදයක් කරගන්න තිබුණා.”

අම්මාගේ වචන හිමාෂාගේ හදවතේ ඇනුණේ ඊයම් බරුවකටත් වඩා තදින් ය.අම්මා මේ නොකියා කියන්නේ තමන්ට දියණියගේ වගකීම ජීවිත කාලයේම දරන්නට නොහැකි බවදැයි ඇය අනේක වාරයක් සිතා තිබේ.නමුත් ඒ පැනයට ඇය සතුව පිළිතුරක් ද නොවේ.

“ගෑනියෙක්ට ජීවත් වෙන්න කසාදයක් ඕනම නෑ.ආදරේ අඳුනන් නැති මනුස්සයෙක් නිසා සීතල හිම කන්දක් වෙනවට වඩා හොඳයි තනියම ජීවත් වෙනවා.”

හිමාෂා තනිව මුමුණා ගත්තා ය.ඒ වචන ඇසුණේ රාත්‍රියේ පිපෙමින් තිබූ සේපාලිකා මලකට පමණි.සේපාලිකා ගස මලක් දෙකක් බිම වට්ටා ඇය නිවන්නට තැත් කළේ ය.නමුත් ජීවිතයට මල් වැසි ඇද හැලෙන්නට ඉඩක් නැති බව හිමාෂාට විශ්වාස ය.

දුරකථනය නාද වූයේ ඒ අතර ය.ඒ අන්තය අයිති වූයේ ඇගේ මිතුරියට ය.පාරමීට අම්මා මේ හදිසියේ අමතන්නට ඇතැයි හිමාෂාට සිතිණ.මිතුරන් ලවා හිමාෂාට මානසික බලපෑම් කරන්නට උත්සාහ දැරීම මල්ලිකාට සාමාන්‍ය පුරුද්දක් වී අවසන් ය.අද ද හිමාෂා හොඳටෝම රණ්ඩු ඇල්ලූ වග ඇය පාරමීට කියන්නට ඇත.

හිමාෂා දුරකථනයට පිළිතුරු නොදෙන්නට සිතුවා ය.ඇය එය නාද වන්නට ඉඩ හැර ඔහේ බලා සිටියේ එනිසා ය.හෙට කාර්යාලයට ගිය පසු පාරමී කන පිරෙන්නට දෙස් තබන්නට ඉඩ තිබේ.එහෙත් ඉන් කම් නැත.මේ මොහොතේ ඇයට ඕනෑ තනිව හිඳින්නට ය.

“ඕයි! ආන්සර් කරපං.හදිස්සියක්.”

පාරමී එසේ කෙටි පණිවිඩයක් එවූයේ ඉනික්බිතිව ය.මේ හදිසියේ ඇයට වන්නට ඇත්තේ කුමක්දැයි සිතමින් හිමාෂා ඇමතුමක් ගත්තා ය.

“අනේ බලන්නකො හිමෝ.අපේ රවිඳුවා හොස්පිටල් අන්න.මටත් දැන් ජනක අයියා පණිවිඩේ දුන්නේ.”

පාරමීගේ කටහඬ කලබල ය.කාර්යාලයට ආ දවසේ පටන් ඇගේ “ක්‍රෂ් එක” රවිඳු වූ හන්දා එය අතිශය සාමාන්‍ය වග හිමාෂා දනියි.නමුත් රවිඳු රෝහල්ගත වීම සාමාන්‍ය දෙයක් නොවේ.ඔහු හොඳ නීරෝගි කොලුවෙකි.

“මේ හදිසියේ මොනා වෙලාද?”.

කරදර ඇති වන්නේ තමන්ට පමණක් නොවන වග සිතමින් හිමාෂා ඇසුවා ය.පාරමීගේ කලබල කටහඬ ඇසුණේ කෝපයත් ශෝකයත් මිශ්‍රිතව ය.

“බයික් එක ඇක්සිඩන්ට් කරගෙන.”

ඔහු එතරම් වේගයකින් යතුරුපැදිය ධාවනය නොකරන වග හිමාෂා දනියි.ඉඳහිට දවසක ඔහුගේ මෝටර් රථයට ගොඩ වී ඇති හන්දාම රවිඳු කලබල ධාවකයෙකු නොවන බවට ඇයට මතක ය. නමුත් මහා මාර්ගය කියන්නේ අනතුරු බහුල තැනක ට ය.ඉතා සුළු අතපසුවීම් විශාල කරදරවලට මඟ පාදන වග හිමාෂා යළිත් සිතුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...