ඔබ දකින තුරා 31

වැස්සට තෙමුණ මුදු පෙති ඇති මලක් සේ අමාරසී ශෝක වර්ෂාවෙන් පෙඟී සිටියා ය. ඒ වුණත් ඇය සිය ආත්ම ශක්තියට ඉස්සර වී ඉන්නට ඉඩ දුන්නා ය. වෙනදා වගේ උදේ පාන්දර ගේ ඇතුළේ ඇගේ සිනා කතා හඬ ඇසුනේ නැත. අජිත් හා නිර්මලා වෙනසක් නැති සේ හැසිරෙන්නට උත්සාහ කල ද, ඒ උත්සාහය ම වෙනසක් වූයේ ය.

පිටත් වීමට සූදානම් ව අජිත් කාර්යාල බෑගය ද ගෙන ඉස්තෝප්පුවට වී සිටියේ ය. නිර්මලා උළුවස්සට හේත්තු වී බලා සිටියා ය.

“අඬගහන්නද…”

ඇය එසේ ඇසුවේ සිය දියණිය ගැන ය.

“ලෑස්ති වෙලා ඉවර වුණාම එයිනෙ”

 බෑග් එක කකුල මතින් තබා ගනිමින් අජිත් පුටුවකට බර වූයේ ය. දුවෙක් හදනවා කියන්නේ කෙතරම් බරපතල කාරණාවක් දැයි ඔහු ට හරියට ම දැනෙන්නේ දැන් ය. නො දැනුණාට එය හුස්ම ගන්නා තරම් ම සියුම් වූ කටයුත්තකි.

අමාරසී සූදානම් ව නිම වී අවසාන වශයෙන් ඒ කුඩා පෙට්ටිය හැර ඔහු තිලිණ කළ අත් ඔරලෝසුව වමතේ පැළඳ ගත්තා ය. දිසත් සිය මැණික් කටුව තද කොට අල්ලා ගත්තා සේ ඇය ට දැනිණ!

  වෙනදා සේ ම ඕ මුව මඳහසකින් අම්මා ගේ දෙපා වැන්දා ය. නමුත් අම්මා ගේ මූණ දෙස කෙළින් නො බලා මිදුලට බැස්සා ය. නිර්මලා ඉස්කෝප්පුවේ නො නැවතී ගේට්ටුව තෙක් ඔවුන් හා පසු ගමන් ගියා ය.

“අපිට කාගෙවත් කතා වැඩක් නෑ. අපි වැඩ කරන්න ඕන අපේ හිතට එකඟව. අපේ හෘද සාක්ෂිය අපිට දොස් නො කියන විදිහට. මුළු ලෝකෙම එක පාර සතුටු කරන්නත් බෑ රසී. මිනිස්සු ඒ තරං වෙනස්. ඒක නිසා ලෝකෙ සතුටු කරනව කියන එක අමතක කරල පුළුවන් තරං අපේ හිතට එකඟව ජීවත් වෙන්න බලන එකයි කරන්න ඕනෙ. කොහොම කොයි විදිහට හිටියත් මිනිස්සු බලන්නෙ අපේ හිත් රිද්දන්න. ඒක වෙනස් වෙන්නෙ නෑ. බුදු හාමුදුවන්ටත් කොච්චර දේවල් වලට මූණ දෙන්න වුණාද කියල ඔයා දන්නවනෙ. මස්සිනා වෙච්චි දේවදත්ත වුණත් කොච්චර දේවල් කළා ද…එකකොට චිංචි මානවිකාව…අපාගත වෙන එක ගැන කට්ටිය හිතන්නෙ පස්සෙ. මුලින් හිතන්නෙ ජීවත් වෙන ටිකේ ගන්න ආතල් එක ගැන. මිනිස්සු වැඩිම ආතල් එක ගන්නෙ අනිත් මිනිස්සුන්ට වරදිද්දි. අනිත් මිනිස්සු වැටෙද්දි. අනිත් මිනිස්සු නින්දා විඳිද්දි. අනේ පව් කියාගෙන ඒව බලන්න වට වෙන හුඟක් අයගෙ හිතේ තියෙන්නෙ අනේ තව ටිකක් එහෙම වුණානං ජොලි වගේ හැඟීමක්. මිනිස්සුන්ට ඕනෙ බලං ඉන්න ශෝ එකක්. ඒක බලද්දි දුක් වෙන්නෙයි සතුටු වෙන්නෙයි හුරේ දාන්නෙයි ඔක්කෝම කරන්නෙ තමුන්ගෙ ජොලියට. අවංකවම ඒ මනුස්සය වෙනුවෙන් එහෙම කරන්නෙ හරිම අඩු පිරිසක්. කෙනෙක් මළහම අපි දුක් වෙන්නෙ වුණත් ඒ මනුස්සයගෙ ජීවිතේ කෙළවර වුණ නිසා නෙවෙයි රසී. මළ ගෙදරකදි කට්ටිය අඬ අඬ කියන දේවල් අහං ඉඳල තියෙනවද…අනේ ඇයි මාව තනි කරල ගියේ..මාව බලා ගත්තෙ ඔයා නේද…මගෙ හැම දේම කළේ ඔයා නේද..ඔයා නැතුව මං කොහොමද මේ හැම දේම තනියම කර ගන්නෙ…ඔය වගේ හැම කතන්දරේකම යටින් තියෙන්නෙ තමන් ගැන හැඟීම. ඒ මනුස්සය මැරුණ එක තමුන්ට මොන තරං පාඩුවක් වුණාද පාළුවක් වුණාද එයාගෙං වෙච්ච දේවල් තනියම කර ගන්නෙ කොහොමද කියන බය…ඉතිං මනුස්සයන්ගෙන් ලොකුවට දේවල් බලාපොරොත්තු වෙන්න එපා. මේ මොහොතෙ එයාලත් එක්ක සතුටෙන් සමාදානෙං ඉන්න එක විතරයි වැදගත්. තේරුණා නේද…තමුන්ගෙ ලෝකෙ ගොඩ නගා ගන්න ඕනෙ තමුන්ගෙ හිත ඇතුළෙ. හිතට එකඟව. පිටින් ඉන්න කෙනෙක්ට ඒ ලෝකෙ කන්ට්‍රෝල් කරන රිමෝට් එක දෙන්න ඕන කමක් නෑ. හරිද…”

කාර්යාලයට යන ගුරු පාරේ දී අජිත් දියණිය ගේ හිත සවිබල ගැන්වෙන හුඟක් කාරණා කියමින් ගියේ ය. අමාරසී හිත තද කර ගෙන විටෙක ඇතුළාන්තයෙන් හැඬුවා ය. තවත් විටෙක සිනහ වූවා ය. පිය ගැට පෙළ පාමුල දී අජිත් ඇගේ හිස් මුදුනේ අතක් තබනා හැටි, වීදුරු දොරට එපිටින් සිට දිසත් බලා සිටියේ ය. ඇය කඳුළු හිර කර ගෙන පහත් වී තාත්තා ට වැන්දා ය.

අමාරසී පිය ගැට පෙළ හෙමිහිට තරණය කර විත් වීදුරු දොර හරිනා විට දිසත් දෑත් පපුවේ බැඳ ගෙන දුක් බැල්මකින් බලා සිටියේ ය. අමා දෙතොල් තද කර ගෙන සිනහවක් පෑවා ය. එතැන දී ඇගේ ගමන් වේගය ඉතාමත් අඩු වී, නැවතෙන්නට ඔන්න මෙන්න තත්වයකට පත් ව තිබිණ.

දෙන්නාට ම වූයේ උනුන් දැඩි ව වැළඳ ගැනීමේ උවමනාවකි. එසේ කළ හැකි විණි නම් හිත් බර මඳකින් තුනී වී යන්නට තිබිණි. නමුත් මේ කොදෙව්වේ මිනිසුන් වැළඳ ගැනීමක අරුත් හඳුනන්නේ නැත. ඔවුන්ට අනුව එවැන්නක් යනු අපමණ චිත්ත සන්තාප ළතැවුල් හදින් පිස දමනා මානුෂීය වූ යමක් නොව, නිදන කාමරයේ දී කළ යුතු රහසිගත ලිංගිකමය කටයුත්තකි.

කාන්දමක් සේ ඔවුනොවුන් වෙත බැඳී තත්පර ගණනක් උනුන් දෙස බලා උන් යුවළ, ඊළඟ නිමේශයේ ඈත් වූයේ අමාරසී ඉදිරියට පිය නගන්නට වූ බැවිනි. ගිනුම් අංශයේ ඇස්, ඔවුන් වෙත යොමු ව තිබි බවක් ඇයට හොඳට ම දැනිණ.

“කොහොමද කොහොමද…ඊයෙ බර්ත් ඩේ සෙලිබ්‍රේශන්ස් තිබුණද..”

“ශා ශා…වොච් එකක් හම්බ වෙලා. මේකනං විශේෂ කෙනෙක්ගෙං හම්බ වෙච්ච ස්පෙශල් ගිෆ්ට් එකක් වගේ”

උකුසු ඇස් එය සොයා ගෙන තිබිණ. ඔවුහු ඇගේ අත අල්ලා ගෙන එය අත පත ගා බැලූහ. කාගෙන් එය ලැබෙන්නට ඇත්දැයි අනුමාන කළහ. අමා කට හෙලවූයේ නැත. මීට ස්වල්ප වෙලාවකට පෙර තාත්තා කී කතා මේ දැනුත් ඇගේ සවන් තුළ පිළිරැව් දෙන්නා මෙන් ඇය ට දැනිණ. ඕ සිනා සිසී බලා සිටියා පමණකි.

“අපි බයේ හිටියෙ එන එකක් නැද්ද කියල”

දිලිනි කෙඳිරුවා ය. අමා ඒත් දෙතොල් තද කොට සිනහ වූවා පමණකි.

“දුක කියන්නෙ ඔහොම හිර කරං ඉන්න හොඳ දෙයක් නෙවෙයි. අඬල හරි බැනල හරි කෑ ගහල හරි ඒක පිට කරල දාන්න”

තරුෂි යෙහෙළිය ගැන හද උපන් බියකින් කීවා ය. උදේ කෑම වෙලාවේ දී යෙහෙළියන් දෙදෙනා ඉදිරියේ ඇය එය කළා ය. ඕ වෙන කිසි දාක හඬා නැති තරම් හැඬුවා ය. යෙහෙළියෝ ඇගේ කඳුළු පිස්සහ. දෑත් හා හිස පිරිමැද්දහ. ඒ හිත සනසන්නට හැකි තාක් උත්සාහ කළහ. දිසත් සිය උදේ කෑම ද ගෙන කෑම ශාලාවට ආවේ එතකොට ය. ඔහු මේ වෙලාව අලලා ආවේ හිතා මතා ම ය. කුඩා හතරැස් මේසය වට ඉතිරි ව තිබූ පුටුව ඇද ඔහු අමාරසී ඉදිරියේ හිඳ ගත්තේ ය.

“ඔහොම අඬන්න එපා”

ඔහු සුසුමකින් කීවේ ය.

“ඔයා ඔහොම අඬන්න ඕන මං බොරුවක් කළානං නේද..ම්..”

“එක අතකට කමක් නෑ. ඇඬුවහම හිත නිදහස්”

දිලිනි මිමිණුවා ය. කළින් කකා කර ගෙන තිබුණා සේ යෙහෙළියෝ ඉක්මනින් කෑම කා අවසන් කොට අත් සෝදා ගන්නට ගියහ. අමාරසී කඳුළු බර දෑසින් දිසත් දෙස බලා ගත්තී ය.

“මං කේස් එක ෆයිල් කරන්න බාර දුන්නා. ඒත් කේෂි කැමති නැති නිසා නඩුව ටිකක් ඇදෙයි කියලයි ලෝයර් කියන්නෙ. ඔයා මං ගැන විශ්වාසෙං ඉන්න”

අමාරසී හිස සැලුවේ හෝ නැත. නමුත් ඇය මුළුමනින් ඔහු ට එකඟ බව ඒ දේහ ලක්ෂණ වලින් ඕනෑ ම කෙනෙකුට හැඳිනීමේ හැකියාව තිබිණ.  

“ඊයෙ දවස කම්ප්ලීට් නෑ කියලයි ඔය අඬන්නෙ…හග් එකක්වත් නැතුව..”

තරුෂි අමාරසී ගේ කඳුළු ඇස් පවා සිනහවකට හැරවූවා ය.

“මේ”

අමා ඇගේ අතක් කෙනිත්තුවා ය.

“ආ නැද්ද…”

දිසත් සිය දෑස් ඉදිරියේ කඳුළු අතරින් සිනහ වී ඉන්නා කෙල්ල දෙස බලා ලොකු හුස්මකින් පපුව පුරවා ගෙන නැගී සිටියේ ය.

“ඕගොල්ලො එන්න එහෙනං”

කියා ගෙන ඔහු නික්ම ගියේ ය.

“කොල්ල ඇත්තටම ලව්. ඒක ශුවර්”

තරුෂි සිය මතය වඩාත් තහවුරු කර ගත්තා ය. දිලිනි ද ඊට එකඟතාවය පෑවා ය.

“හ්ම්. මුලදි මං ටිකක් බය වුණේ…හස්බන් මට කියනවනෙ එයාගෙ යාළුවො එහෙම කරන දේවල්. ඒකයි. කොහොමත් අර ගෑනි මේ කොල්ලට හරියන්නෑ”

“ඒ කියන්නෙ හරියන්නෙ අපේ කෙල්ල….කොහොම වුණත් එයා මගෙ ක්‍රශ් එක හරිද…”

ඔවුන් යළි පහළ මහලට එත්දී අමාරසී කඳුළු පිස දා ප්‍රබෝධවත් ව සිටියා ය. ගීතානි ගේ ඇස් නිරන්තර අමාගේ අත් ඔරලෝසුව මත රැඳිණ. විවාහ වන්නට සිටි පුරුෂයාව ද ප්‍රතික්ෂේප කොට තිබියදී ඇය ට මෙවන් තිලිණයක් ලැබුණේ කාගෙන් ද යන්න එදා දවසේ ඇය ට තිබූ බරපතල ම ප්‍රශ්නය විය.

දවාලේ පබසරා ගෙදර ආවා ය. ඇය ගෙට ගොඩ වූයේ ම හොඳ මූණකින් නොවේ.

“මට අර මිසිස් පෙරේරාව මගදි හම්බ වෙලා කිව්ව ඊයෙ මෙහෙ ප්‍රශ්නයක් වුණා කියල. අක්ක බැඳපු මිනිහෙක් එක්ක යාළු වෙලාලු නේද…ඊයෙ ඒ ගෑනු මනුස්සය මෙහෙටම ඇවිත් බැණල ගියාලු නේද..ශෝක්නෙ. අම්මල මේ අපිටත් ඕව හංගන්නකො”

නිර්මලා කම්මුලක අත ගසා ගත්තා ය. මේ එන ටිකට පබසරා ට කේලම කනේ තියා තිබෙන්නේ අසල්වැසි නිවසේ කාන්තාව ය. කොහොමටත් ඇයගේ රාජනාරිය මේ ගෙදර ඔත්තු බලනා එක බව නිර්මලා දනී. නමුත් මේ තරම් වග විස්තරයක් ඇය දැන ගත්තේ කෙසේද කියා නිර්මලාට වුව සිතා ගත නො හැකි වූයේ ය.

“අර මිනිහගෙ වයිෆ් පෙරේරා ආන්ටිට සේරම කියල ගිහිං තියෙන්නෙ පාරෙ ඉන්නකොට. දැන් මුළු ගමම දන්නව ඇති මෙයා ඔෆිස් එකේ බොස් එක්ක යාළු වෙලයි කියල. ඒ මනුස්සය බැඳපු කෙනෙක්  කියලත් දැන් නොදන්න කෙනෙක් නැතුව ඇති”

“අනේ පබා නොදන්න දේවල් කියවන්නෙ නැතුව ඉන්න. ඒ ගෑනු මනුස්සයගෙං ඔය දිසත් කියන ළමය වෙන් වෙලාලු ඉන්නෙ. දික්කසාද වෙන්නලු යන්නෙ. කොහොමත් හාපෝ…බෝම්බයක් වගෙයි. සුද්දියක් වගේ පෙනුමට හිටියට නූගත් අම්මණ්ඩි කෙනෙක් වගෙයි හැසිරෙන්නෙ”

“ඒ ගමන අම්මටත් අර බැඳපු මිනිහ ඕකේ වෙලා වගේනෙ”

පබසරා ගේ මුහුණේ ද ස්වරයේ ද වූයේ බරපතල සමච්චලයකි. නිර්මලා බාල දියණිය දෙස රවා බැලුවා ය.

“පද හදන්න එපා පබා. තමන්ගෙ සහෝදරීට නේද ඔහොම කියන්නෙ…”

“මංයැ…රට්ටුනෙ කියන්නෙ..තාත්තත් හැන්දෑවට හැන්දෑවට ඒ මිනිහත් එක්ක සෙට් වෙනවලු නේද…මරු බෑණා කෙනෙක් මාමණ්ඩිට හම්බ වෙලා තියෙන්නෙ. ජාඩියට මූඩිය වගේ ඇති”

ඇය අපහාස සිනහවක් නගා ගත්තා ය.

“ඒ ළමය නිසයි තාත්තගෙ බීම ඔය විදිහට පාලනේ වුණේ. කොටිංම දැං තාත්ත ඉඳ හිට පොඩ්ඩක් බොනව විතරයි. ඒකත් හුඟක් වෙලාවට බියර් එකක්. හැබැයි එහෙමයි කියල අක්කයි ඒ ළමයයි අතරෙ සම්බන්දයක් නෑ”

නිර්මලා ගේ මුහුණේ වූයේ ශාන්තිදායක බවකි. අර අන්තිම වචන ටික කියත්දී නම් ඇය හිතා මතා ම බාල දුවගෙන් මුහුණ සඟවා ගත්තා ය..

“හරි හරි. එහෙනං කවුරු කවුරුත් එකතු වෙලා අර කොල්ලට අකමැති වෙන්න හේතුව මේකයි”

නිර්මලා තව දුරටත් පැහැදිලි කරන්නට නො ගොස් මුණිවතට පිළිපන්නා ය. කොහොමත් පබසරා එක්ක කතා කොට දිනිය නො හැකි බව ඇය දනී.

එදා හැන්දෑවේ කාර්යාල නිම වෙන්නට ආසන්න ව තිබියදී අමාරසී ෆයිල් එකක් ද ගෙන දිසත් ගේ වීදුරු කුටිය වෙත හිතුවක්කාර ගමනක් ගියා ය.

“මට හම්බ වෙන්න ඕනෙ”

ඇය කීවේ ද මුරණ්ඩු විලාශයකිනි. දිසත් ට සිනහ නැගිණි.

“මොකද මේ..”

“කවුරු දැක්කත් මොනා කිව්වත් මට කරන්න දෙයක් නෑ. මට  හම්බ වෙන්න ඕන”

දිසත් අසුනේ හරි බරි ගැහී යුවතිය දෙස බලා ගත්තේ ය. ඒ වෙලාවේ ඇය ට ඔහු පෙනුණේ බෙහෙවින් කඩවසම් ව ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...