නවීන් පැවසූ කතාව අසා සිටි තේජ අතීතයේ ඇවිද යන්නට පටන් ගත්තා ය. වලව්කාරියක වීම හන්දා අම්මාට තේජගෙන් ඕනෑ වූයේ ද රමාලිගේ වර්ගයේ ලේලියකි. මල්ලි කුලය බලා ප්‍රේමවන්තියක තෝරා නොගත් බවත් එකම පළාතේ හන්දා ඒවා ඉබේ ගැළපී තිබූ බවත් දන්නේ තේජ ය. කාගෙත් හිත දිනාගන්නට සමත් ගතිගුණ ද රූපයක් ද තිබූ රමාලිට අම්මා එකම දියණියකට අම්මා කෙනෙකු ලබා දෙන ආදරයක් ලබා දෙන්නට පටන් ගෙන තිබිණ. කොහොමටත් ඇය දුෂ්ට සහ නපුරු ගැහැනියක නොවේ. රමාලිගෙන් ගමකට ඉවීම් හෝ අංගසම්පූර්ණ ගෘහනියක අම්මා බලාපොරොත්තු නොවූවා ය.
නමුත් රමාලි අම්මාට ඕනෑ වූ අන්දමේ යශෝදරාවක විය!
කෞෂි දුටුමතින් අම්මා කෝප ගත්තේ පාලනය කරන්නට අසීරු ලෙස ය. ඇය කොණ්ඩය සකසා වර්ණ ගන්වා සිටීම ගැටළුවක් නොවේ. ඒවා රමාලි ද කරන්නී ය. නමුත් ඇය ටැටූවක් කර තිබීම අම්මාගේ කෝපය වර්ධනය කරන්නට විය. කෞෂි හරිහරියට මත්පැන් ගන්නියක වග දැන ගැනීමෙන් පසු ඒ කෝපයට සීමා නැතිව ගොස් තිබිණ.
“එයා එයා විදියට ජීවත් වෙන ගර්ල් කෙනෙක් අම්මේ. මවාපෑම් නෑ. ඇත්තටම හිතෙන දේ කියනවා. දේවල් හිතට අවංකව කරනවා.”
කෞෂිට චරිත සහතිකයක් දෙන්නට ගොස් රමාලි ජීවිතයේ මුල්ම වරට නැන්දම්මාගෙන් ඇති පමණට අසා ගත්තා ය. හරියටම බලද්දී රමාලි අදට ද බැනුම් අසන්නේ ඇගේ වැරදි වලට නොවේ. ලියෝන්ගේ අම්මා හන්දා ය.
“ඔය මඟුල කරන්න දෙන්න බෑ.”
ඒ නියෝගය පිළිගන්නට තේජට ඕනෑ වූයේ නැත. ඔහු හිතුවක්කාර වන්නට තීරණය කළේ ය.
“මං අම්මට කවදාවත් නරක පුතෙක් වුණේ නෑ. බලාපොරොත්තු වුණු තරම් ඒ ලෙවල් රිසල්ට්ස් තිබ්බෙ නැති වෙලාවේ ඇරෙන්න අනිත් කිසිම වෙලාවක මං එයාගෙ හිත රිද්දලා නෑ. ඒත් මං වෙනුවෙන් මං එයාගෙ වචනෙට පිටුපාන්න හිතුවා. මං මේක කරන්නේ ඔයා ගැන හිතලත් නෙවේ. මං ගැන හිතලා. ආත්මාර්ථකාමී වෙලා.”
සමහර තීරණ ගත යුතුම මොහොතක් එළඹේ.එවැනි මොහොතක පසුපසට අඩි තබමින් කල් මැරීම නොකළ යුතු යැයි තේජ සිතී ය. ඔහු ජීවිතය ගැන මේ මොහොතේ ගත යුතු ප්‍රබලම තීරණය ගැන කෞෂිට කියන්නට සිතුවේ එනිසා ය.
“අපි මැරි කරමු!!”
ඒ කතාව කියන්නට තේජ මේ තරම් හදිසි වේයැයි කෞෂි සිහිනයකින්වත් සිතා නොතිබිණ. ඔහුගේ සිත නොරිද්දා ඒ තීරණයේ බර අඩු කරන්නට ඇය සිතුවේ ඒ හන්දා ය.
“අපි එකට ජීවත් වෙලා බලමු”
තේජ ඒ තීරණය පිළි ගත්තේ ය. නමුත් ඔහුට අම්මාගේ මුහුණ බැලීමට ඇති අවස්ථාව පවා නැති විණ.
“වෙඩින් එකක් නොගත්තත් ඔයාලා මැරි කළානම් අම්මලා ලියෝන් ගැන දැන ගත්තු ගමන් එනවා අයියේ. කසාදත් නොබැඳ එකට ඉන්න ගමන් දැන් දරුවෙකුත් හදා ගත්තු එක අම්මට පේන්නේ ඔයා ත්‍රස්තවාදී සංවිධානෙකට බැඳුණා වගේ. අම්මලා පරණ මිනිස්සුනෙ. අපි කාලෙට ඉඩ දෙමුකො.”
රමාලි නැවත නැවතත් සාධාරණ කොටාගේ චරිතය නිරූපණය කරන්නට වූවා ය. ලියෝන් ගැන තිස්සේම අම්මා සමඟ දෙඩවූවා ය. ඒ අතර විවාහ වන්නට කෞෂිට සිහිපත් කළා ය. නමුත් කෞෂි හදිසියේම “ජීවිතයේ නිදහස සොයා යාම” තෝරා ගෙන තිබිණ.
ආදරේ කියන්නේ කෙනෙක් ගැන ඇතිවන හැඟීමකටම නෙවෙයි. ඒ කෙනා සම්බන්ධයෙන් හැමදේකටම ඇතිවෙන හැඟීමකට. ඔයා හිතන විදියට එයා හිතන්නේ නෑ. එයා මගේ දරුවාට ආදරේ කරනවා.මගේ පුතා කියන්නේ මගේ ඇඟේ ම කොටසක් වෙලා හැදුණු කෙනෙක් කියලා එයා හොඳටම දන්නව.මේක ජීවිතේ ගැන රිස්ක් එකක් ගැනිල්ලක් නෙවෙයි. හොඳට හිතලා ගත්තු තීරණයක්. ඒත් මට ඒක ඔයාට කියන්න උවමනා වුණා.”
ඒ නිදහස සොයා යන ගමනට ලියෝන් ද එක් කර ගන්නට ඇය තේජගෙන් අවසර ඉල්ලා සිටියා ය. නමුත් තේජට එයට එකඟ වීම අසීරු විය. නොදන්නා රටක නොදන්නා තාත්තා කෙනෙකු නුවුමනා බවත් ඔහු තමන් අසල රැඳීම යෝග්‍ය බවත් ඔහු කෞෂිට පැහැදිලි කළේ ය.
“මට හිත හදාගෙන ඔයාට විෂ් කරන්න අමාරුයි. ඒත් ලියෝන්ට තාත්තා කෙනෙක් ඉන්නවා.එතකොට එයාට තව තාත්ත කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ නේද? ඒත් ඔයාට ඕනෙම වෙලාවක මගේ ගෙදර ඇවිල්ලා අපේ පුතා බලන්න පුලුවන්.මට ඔයාගේ ගෙදරට එන්න පුළුවන්කමක් නැති වෙයි.ඒත් ඔයාට ඕනෙම වෙලාවක මං ඉන්න තැනට එන්න පුළුවන්.ඔයාගේ පුතා බලන්න පුළුවන්. පුතා කැමතිනම් එයාටඑයාගේ අලුත් තාත්තා මුණ ගැහෙන්නත් පුළුවන්.”
තේජ එසේ කියද්දී කෞෂි දුන්නේ වෙනස් පිළිතුරකි.
“දරුවාට වුණත් තෝරාගැනීම් කරන්න දවසක් එනවා.ඇත්තටම එයාම ඔයාගෙන් ඈත් කරන්න මං කැමති නෑ.එයා ඔයාට ළඟින් ඉඳීවී.ඒත් එයාට ආදරේ කියන හැඟීම ඇත්තටම දැනෙන්නේ කාගෙන්ද කියන එක දවසක එයාම තීරණය කරයි කියලයි මම හිතන්නේ. එතකොට එයා ඔයාගෙන් හරි මගෙන් හරි කෙනෙක් තෝරා ගනියි”
එහෙම දවසක් පැමිණේදැයි තේජ සිතී ය. කාත් කවුරුත් නැතිව අසරණ වෙන්නේ මූල්‍යමය අතින් දුර්වල මොහොතක ය. නමුත් ඔහු සතුව මූල්‍යමය වටිනාකම් පවතී. එහෙත් තනිකමින් අසරණ වීමට හැකිදැයි ඔහු සිතන්නට විය.