පෙමාතුර – 10

වස්සානය ඇරඹී තිබිණ. උදේ මා අවදි වන විටත් පිටත වැහි වැටෙමින් තිබිණ. වැස්ස දින වලට පිටතට නොගොස් සඳැල්ලට වී වැස්ස දෙස බලා සිටීම කාලයක සිට මගේ පුරුද්ද ය. වැස්ස තරම් අනුරාගී පෙම්වතෙකු මා කිසි කලෙක දැක නැත. වැහි සීතලේ පෙන උතුරනා බීර බඳුනක් සේ ප්‍රේමයෙන් ආතුර වීම මා නො දැන ම සිදු වන දෙයකි. වැස්සත් එක්ක ප්‍රේමයෙන් බැඳෙනා වෙලාවක ප්‍රේමණීය පොතක් ඇතුළේ කිමිදෙමින් හෝ පෙම් කවියක් ලියමින් හුදෙකලා වීම මගේ ප්‍රේමයේ ම කොටසකි. නමුත් මේ දිවා කල මට එසේ කළ නො හැකි වූයේ ආරාධනයක් ලැබී තිබි නිසාවෙනි.

ඒ ආරාධනය පිළිගෙන මම ඔහු ලොකේශන් එවා තිබූ අවන්හල වෙත ගියෙමි. ඒ වෙත්දීත් මේස කිහිපයක ම පිරිස දිවා ආහාරයෙන් සප්පායම් වෙමින් සිටියහ. ඉන් වැඩි දෙනෙක් පෙම්වතුන් බව බැලූ බැල්මට සිතා ගත හැකි විය. නමුත් ඒ බොහෝ පෙම්වතුන් අතරේ, අවන්හල සිසාරා බැලූ එක ම බැල්මකින් මට ඔහු හැඳින ගත හැකි වූයේ ය. මම වහ වහා පය ඉක්මන් කළෙමි. මා දුටු හෙතෙම සිය අසුනෙන් නැගිට ඉතා ආචාර ශීලීව මට අසුන් ගන්නට සැලැස්වූයේ ය.

“සොරි අංකල්. මං ටිකක් ලේට් වුණා”

“ඉට්ස් ඕකේ දුව. මං ලන්ච් ඕඩර් කරල තියෙන්නෙ. අපි කන ගමන් කකා කරමු”

ඔහු වේටර්වරයෙකුට කෑම ගෙනෙන ලෙස ඇරයුම් කළේ ය. මම ඒ පෞරුශවත් මිනිසා දෙස බලා සිටියෙමි.

“පුතාට පර්සනලි තෑන්ක් කරන්න ඕන නිසයි මං මේ විදිහට ඔයාව හම්බ වෙන්න හිතුවෙ”

“අනේ…මමයි ඉතිං අංකල්ට තෑන්ක් කරන්න ඕනෙ. ඒ වෙලාවෙ අංකල් දුවං එයි කියල මං හිතුවෙ නෑ. අම්ම එක්ක ටිකක් කතා කළත් එයාගෙ හිත හොඳ වෙයි කියල හිතුණ නිසයි අංකල්ට මෙසේජ් කළේ අම්ම සනීප නෑ කියල. හැබැයි වීක් එකකට හරි අංකල් ආපු එකෙන් අම්ම ඉක්මනට රිකවර් වුණා කියල මට හිතෙනව”

“ඔයා හරිම බ්‍රෝඩ් මයින්ඩඩ් දරුවෙක් පුතා”

පපුවේ දෙදරා යාමක් මට දැනිණ. නමුත් මම මන්දහාසයක් නගා ගතිමි.

“මං හිතන්නෑ කිසිම දුවෙක්ට පුළුවන් කියල එයාගෙ අම්මගෙ පරණ බෝයි ෆ්‍රෙන්ඩ්ව හොයල දීල එයාට සතුටක් වෙන්න. යුආ ග්‍රේට්. මට ඒක ඔයාට කියල යන්න ඕන වුණා”

ඔහු පැමිණ තිබුණේ සතියක නිවාඩුවක් ගෙන ය. අම්මා වෙනුවෙන් එසේ නොකර සිටින්නට ඔහු ගේ හෘදය සාක්ෂිය ඉඩ නො දෙන්නට ඇත. ඒ ආදරණීය හැඟීම මගේ හිත සියුම් ලෙස පිරිමැදි බව කිව යුතු ය. ජීවිතයේ කොයි යුගයක වුව අප ආදරය කළ කෙනෙකු වෙනුවෙන් යමක් කරන්නට ඕනෑ වූ කල්හි දෙවරක් නොසිතා ඉදිරිපත් විය හැකි විවෘත මනසක් තිබීම මහා මිනිස් ගුණයකි. ප්‍රේමය කියන්නේ හිමි නොවූ තැන කෙස් ගසක පරතරයකින් වන වෛරය වපුරනා පටු හැඟීමකට නොවේ.

“ආවෙ නැතත්…අංකල් නිකමට කෝල් එකක් දීල සැප සනීප ඇහුව වුණත් අම්මගෙ අසනීප හොඳ වෙන්න හේතුවක් වෙන්නැති. අංකල් මෙච්චර සැක්‍රිෆයිස් එකක් කරපු එකනං…රෙස්පෙක්ට් යූ අංකල්…”

අවන්හලෙහි වූ ඇතැම් ඇස් විශ්මයකින් අප දෙස බැලූ බව මට නො දැනුණා නොවේ. මා වාගේ තරුණ කෙල්ලක ඔහු වාගේ මැදි විය ඉක්මවූ පුරුෂයෙකු සමගින් හුදෙකලාව අවන් හලක කෑම කන එක ගැන නොයෙක් ආකාර වලින් අර්ථ ගැන්වෙන්නට ඇත. නමුත් මට එය සිනහවට කරුණක් පමණක් විය. අපි දෙන්නා බොහෝ දේ කතා කළෙමු. ඔහු අම්මා ව හැර යන්නට හේතු වූ කාරණා ගැන අම්මා ගෙන් ද මා අසා තිබි හේතු කීවේ ය.

“ඒ කාලෙ දැං වගේ තාක්ෂණය දියුණු නෑ. හිතුණ ගමන් දැන් වගේ කෝල් එකක් අරං විස්තර කතා කරන්න පහසුකම් තිබුණෙ නෑ. හැබැයි පුතා මං හිතුවෙ නෑ අනෝජා එච්චර ඉක්මනට මැරි කරයි කියල”

සොබා දහම ගන්නා ඇතැම් තීන්දු තීරණ හිත් රිදවනා ඒවා ය. මේ මොහොතේත් මම සිදත් අංකල් ගේ ඇස් වලින් ඒ වේදනාව දුටිමි. ඔහු ත් විවාහ වී දරුවන් ද දරුවන් ගේ දරුවන් ද ලැබ සිටියි. ජීවිතය එහෙම ය. නමුත් ප්‍රේමයේ සතුට තිබුණේ අම්මා ළඟ වන්නට ඇත. ඔහු එදා අම්මා සොයා ආවේත්, තාත්තා මිය යන්නට දෙවසරකට පමණ පෙර අම්මා ට දුරකතන ඇමතුමක් දුන්නේත්, මේ අවස්ථාවේ අම්මා වෙනුවෙන් සයුරු හතක් තරණය කොට පැමිණියේත් එනිසාවෙන් කියා සිතන්නට මම රිසි වීමි.

“කිසා”

මා තිගැස්සී ගියේ මට පිටුපසින් ඇසුණ ඒ හඬ නිසා ය. විසල් ගේ කුතුහලාත්මක දෑස මට දැක ගත හැකි විය. ඔහු ට පිටුපසින් වූයේ එදා නගර මධ්‍යයේ පැවති උද්ඝෝෂණය අවස්ථාවේ ඔහු ළඟ දැවටී සිටි යුවතියයි. ක්ෂණික ගින්දරක් පපුව අවුලා ගෙන ගියේ ය. හඬන්නට ඕනා කියා හිතෙන වෙලා වල සිනහ වෙන්නට සිදු වෙන එක තරම් අවාසනාවක් තවත් ඇති ය කියා මම නො සිතමි.

විසල් මා හා සිදත් අංකල් දෙස මාරුවෙන් මාරුවට බැලුවේ ය.

“මං මේ අංකල් එක්ක ලන්ච් වලට ආව. ආ..අංකල් මේ අපේ නේබර්. මේ අයිය තමයි අම්ම අසනීප වුණ වෙලාවෙ හොස්පිට්ල් අරං යන්න උදව් කළේ”

වෙන මට ඔහු හඳුන්වා දීමේ මගක් වූයේ නැත. විසල් ඒ අවස්ථාව ගැන කෙසේ සිතුවාද කියා නො දනිමි. ඔවුන් දෙදෙන මට පෙනෙනා මේසයක හිඳ දිවා භෝජනය ගන්නට වූහ. විටින් විට විසල් ගේ පමණක් නොව ඔහු ගේ පෙම්වතිය ගේ පවා ඇස් මවෙත යොමු වනු මා නොදුටුවා නොවේ. නමුත් නොදුටුවා සේ මම සිදත් අංකල් සමග කතා කළෙමි.

“අංකල් ඉඳ හිට අම්මට කතා කරන්න. ඒක එයාට ජීවත් වෙන්න සතුට ගෙනෙයි”

අවසාන වශයෙන් මා ඔහු ගෙන් ඉල්ලා සිටියේ එපමණකි. අප අවන්හලෙන් පිටත් වෙත්දී මම විසල් ට යන්තම් අත වැනුවෙමි. නමුත් ඔහු සිනහ බිඳුවක් හෝ නොදී බලා සිටියේ ය.

වැස්ස පටන් ගත් නිසා ගෑනු ගෙදර ගැහැනු සිව්දෙන හැන්දෑවේ මිදුලට බැස අලුතෙන් භෝග සිටුවමින් සිටියහ. අපේ ගෙමිදුල ටික කලක සිට එළවළු, පලා වර්ග හා පළතුරු වැවෙන්නේ ය. අපි සිව් දෙනාටම ඒ ගැන වූයේ ආශාවක් හා උනන්දුවකි.

 සනෝජා පුංචි වෘත්තියෙන් පාසල් ගුරුවරියක වූවා ය. විදේශ ගත ව සිට පැමිණීමෙන් පසු නදීරා රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යයි. ඈ එහි යුවතියන් කිහිප දෙනෙකු ට රැකියාව ලබා දී තිබිණි. පුංචි ට මුළු සන්ධ්‍යා කාලය ම විවේක තිබිණ. නදීරා ද වැඩ කරනා ළමයින් ට වැඩ කර ගෙන යන්නට පවරා වේලාසන ගෙදර එන්නී ය. මාත් හිටියොත් අප හතර දෙනා එක් ව හැන්දෑවට මිදුලට බැසීම සාමාන්‍යයෙන් සිදු වේ. පැල වලට වතුර දැමීම ද පොහොර දැමීම ද අලුත් පැල සිටුවීම ද කෘමි සතුන් ගෙන් වගාවන් රැක ගැනීම ද නිරන්තර කළ යුතු ව තිබේ.

පුංචීත් මමත් පිපිඤ්ඤා වැලක් සඳහා මැස්සක් සකසමින් සිටියෙමු.

“වැඩ වගේ…”

ඒ හඬ ඇහුණේ ඉහළිනි. අපි දෙදෙනා ම ඉහළ බැලුවෙමු. විසල් සිය සඳළුතලායෙන් පහළ ට එබී ගෙන සිටියේ ය.

“ඔව් අනේ. දන්නැද්ද ඉතිං…මේක ගෑනු ගෙදරනෙ. පිරිමි වැඩ වුණත් කරගන්න වෙලා තියෙන්නෙ අපිටමනෙ”

පුංචි එසේ කියන්නට ඇත්තේ ඒ මැස්ස ගැසීම සඳහා අප හුඟක් වෙහෙසුණ නිසා විය යුතු ය. නො එසේ වී නම් අප ගැහැනුන් වීම ගැන හෝ අපට පිරිමියෙකු ගේ සහාය නැති වීම ගැන අපි කිසි විටෙක කන් කෙඳිරි නො ගෑවෙමු. බාස් කෙනෙකු සොයා ගත නො හැකි වූ අවස්ථාවක නම් ගෙදර පයිප්ප බටයක් සෑදීම හෝ වෙනත් පිළිසකර කිරීමක් වුව අවස්ථාවේ හැටියට අපි සිදු කර ගතිමු. ඒ හැරෙන්නට කෙසෙල් මලක් කැපීම, පාත්ති කෙටීම, ගස් වල අතු කප්පාදු කිරීම වැනි ඕනෑ ම දෙයක් අපි අපි ම කර ගතිමු.

“උදව්වක් ඕනද…”

විසල් ඇසුවේ ය. මම ඉහළ බලන්නේ හෝ නැති ව නිහඬ ව සිටියෙමි.

“කරදරයක් නැත්තං කමක් නෑ. ඕනමත් නෑ ඉතිං…අපිට පුරුදුයි දැං මේව”

පුංචි කීවා ය. ඔහු සඳැල්ලෙන් මෑත් වී පිය ගැට පෙළ දෙසට යනු මා බලා ගෙන ය. පුංචි කීවේ ඇත්ත ය. දැන් අපට මේවා පුරුදු ය. අපි සියල්ල තනි ව කර ගන්නට පුරුදු ව හිඳිමු. පුංචි ගේ රියෙහි අපට ඕනෑ වෙලාවක අපි ගමන් යමු. රිය පැදවීමේ නො කැමැත්තක් මට තිබුණ ද පුංචි හොඳ රියදුරු වරියකි. ඈ පාසල් ගිය වෙලාවට අම්මා ගේ ගමන් සඳහා අයියා වාහනයක් දී ආයතනයේ රියදුරෙකු එවන්නේ ය. මා නම් එහෙම ඉල්ලීමක් කර නැති තරමි. මගේ ගමන් වැඩිපුර බස් එකෙනි. මම ඊට කැමැත්තෙමි. ඒ නිදහසට කැමැත්තෙමි. නො එසේ වී නම් කුළී රියක් ගෙන්වා ගමි. නදීරා ට ස්කූටියක් තිබේ. අප දෙදෙනෙකු පමණක් හන්දියට කඩ පිළට යන්නේ එහි නැගී ය.

“කෝ මං ගැට ගහල දෙන්න ඕක”

කියමින් විසල් පුංචි වෙතින් ලණු පට ගත්තේ ය. ඔහු උස් ය. ඒ නිසා පහසුවෙන් ම මැස්ස සැකසිය හැකි විය.

“කාබනික වගාව වගේ නේ…”

ඔහු විහිළුවට වාගේ ප්‍රශ්න කළේ ය.

“ශරීර සෞඛ්‍යයට හොඳයිනෙ පුතා”

අම්මා ගොටුකොළ කඩන ගමන් පිළිතුරු දුන්නා ය.

“ගොවියො රසායනික පෝර ඉල්ලනව තමයි විසල්. මොකද මේ වෙළඳ ආර්ථිකය ඇතුළෙ ගොවිතැන කියල ගොවියො කරන්නෙ ආදායමක් ගන්න ව්‍යාපාරයක්නෙ. ඒ අයට ඕනෙ වැඩි අස්වැන්නක්. ඒකට රසායනික පෝර ඕනෙ. කාබනික පෝර වලින් එයින් බාගයක් අස්වැන්න ගන්න බෑ. හැබැයි කාලයක් තිස්සෙ කෙමිකල්ස් ශරීරගත වෙන එක කොච්චර පිළිකා ඇති කරනවද කිඩ්නි කේසස් කොච්චරකට බලපානවද කියල එයාලට අදාල නෑ. වැඩියෙන් හාවස්ට් එක හම්බ වුණොත් ඉන්කම් එක වැඩි වෙනව. එච්චරයි. හැබැයි විකුණන්න රසායනික පෝර දාන හුඟක් ගොවියො පුංචියට ගෙදර කන්න කාබනික පෝර දාල එළවළු ටික හදා ගන්නව කියල හුඟක් අය දන්නෙ නෑ”

පුංචා සිය දේශනය කර ගෙන ගියා ය. ඒ අතරේ විසල් මැස්සේ කෝටු ගැට ගැසුවේ ය.

“අපිට ඉතින් මහ ගොඩක් එළවළු ඕන නෑනෙ පුතා. අපි ටික ටික ගෙදර හදා ගන්නව”

“මං හිතන්නෙ අපි දැන් අවුරුදු ගාණකින් කිසිම පලා වර්ගයක් කඩෙන් ගෙනත් නෑ”

“අනිත් එක මේක හරිම සතුට හදන වැඩක්. ඇඟට ව්‍යායාම ටිකක් වුණත් ඉබේම ලැබෙනව”

“එළවළුවක් පලා ටිකක් ගහෙන් කඩා ගත්ත ගමන් උයල කද්දි දැනෙන ටේස්ට් එක වුණත්…”

කතා කළේ ඔවුන් ය. මම වචනයකුදු නො දොඩා ඒ පිරිමි පෞරුෂය දෙස බලා සිටියෙමි.

“පිරිමි කෙනෙක් ගෙදර නැති වුණාට මටනං මාර ආස හිතෙනව ඕගොල්ලංගෙ ලයිෆ් ස්ටයිල් එකට”

ඒ වෙලාවේ නම් මට ඔහු ව සිප ගන්නට තරම් හිතුණේ ය. නදීරා අතින් උදැල්ල ගෙන ඔහු ඇය සකස් කරමින් සිටි පාත්තිය ද කොටා දුන්නේ ය. එහෙව් පිරිමියෙකු ගැන කාලාන්තරේක පටන් හදවත අස්සේ හැංගී ගෙන තිබි ලෝභී හැඟීමක් මතුපිටට එන්නට පොර බැදුවේ ය. මම ඊට අවසර නොදී සිටියෙමි.

“කිසා…හදපංකො තේ ටිකක්”

පුංචි මට එසේ කීවේ විසල් පිට ව යන්නට සූදානම් වන බව දැනී ය.

“විසල්ටත් තේ එකක් දීලම යවමු. අද අපිට මාර සපෝට් එකක් දුන්නෙ”

වතුර උණු කරන්නට මා මුළුතැන්ගෙට ගිය අතරේ “කිසා විසල්ට වතුර එකක් ගේන්න” කියමින් නදීරා කෑ ගසන හඬ ඇසිණ. මම පැන්ට්‍රි කබඩ් එක හැර වීදුරුවක් ගෙන සෝදා ශීත කළ වතුරට සාමාන්‍ය වතුර කළවම් කර ගෙන යත්දී ඔහු අපේ බරාඳයට ගොඩ ව සිටියේ ය. මා පෑ බන්දේසියෙන් වතුර වීදුරුව ගනිත්දී ඔහු ගේ ඇස් මා තදින් අල්ලා ගෙන සිටි බවක් දැනිණ. මා සිටියේ අකර්මන්‍ය ව ය. බන්දේසිය අල්ලා ගත් වන මම ඔහේ බලා සිටියෙමි. ඔහු යමක් කියාවියි බලාපොරොත්තු වුණ ද කිසිත් නොකියා ම ඔහු හිස් වීදුරුව බන්දේසිය මත තැබු ඉක්බිති මම හැරී නැවත මුළුතැන්ගේ දෙසට ගියෙමි. කෙසේ වෙතත් ඔහු ගේ හිතේ කියන්නට යමක් තිබුණ බව තේ හදත්දීත් මට දැනිණ.

තේ බොන ගමන් ඔවුන් කතා කළේ රටේ පවතින ආර්ථික හා දේශපාලනික අර්බුදය ගැන ය.

“අපි නිදහස ලැබුණ දා ඉඳන් එකම පක්ෂ දෙකකට මාරුවෙන් මාරුවට බලය දිදී මේ රට අයිති උන්ටයි කියල උන්ට හිතන්න සලස්වපු ජාතියක්. මන්නං කියන්නෙ වෙනස් කරන්න ඕන අන්න ඒ සිස්ටම් එක. එහෙම නැතුව එක මනුස්සයෙක්ට හරි එක පිරිසකට හරි බැණ බැණ ඉඳල වැඩක් නෑ. මේ සිස්ටම් එක කනපිට හරවල පාලකයො නෙවෙයි නායකයො පත් කර ගන්න ඕනෙ. අන්න එදාටයි රටේ මිනිස්සු දිනන්නෙ”

විසල් ගේ ඒ අදහස මගේ හිත පැහැර ගත්තේ ය. පැහැදිලි දේශපාලන මතයක් නොමැති වී ද මගේ හිතේ වූ පාලන ක්‍රමය ද එවැනි මානව හිතවාදී වූවකි.

නදීරා හා පුංචි සාදා තිබූ වැලි තලප කා අපි ඉඟුරු දැමූ තේ බොමින් හුඟක් වෙලා සල්ලාපයේ යෙදී සිටියෙමු. වැලි තලප කා විසල් විසින් අත පිස දමන ලද ලා රෝස පාට පේපර් සර්වියට් එක කාටත් රහසින් මා අත මිට මොළවා ගෙන කාමරයට ගෙන ගිය බව නම් කිසිවෙකු දන්නේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...

ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත...

අපිට අපි

"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම...