ආරාධනා ට තේ ටික පිටි උගුරේ ගියේ ය. ඉඟුරු සැර නිසා ඉහ මොළ දැවිල්ල ගති. ඇය හොඳට ම කැස්සා ය. තාරා ඇගේ පිටට තට්ටු කරමින් ඒ අපහසුතාවෙන් මිදෙන්නට උදව් කළා ය.
“මොනාද මන්දා මේකි කරන්නෙ…පොඩ්ඩක් කට වහං ඉන්නවකො. තාම ගෙට ගොඩ වුණා විතරයි. දික්කසාදෙ හරියට හම්බුණෙත් නැතුව කසාද ගැන කතා කරනව”
තාරා එසේ කීවේ කාවින්දි ට නෙතින් යම් ඉඟියක් කරමිනි. නමුත් මේ කියන්නට යන කාරණාව මේ මොහොතේ ම කිව යුතු යයි ඇය ඉත සිතින් සිතා සිටියා ය.
“අනේ රාධා. තාරා අක්ක ඔයා වුණත් ඔච්චර බැක්වර්ඩ් වෙන්න එපා අනේ. හරි…දෙයක් වුණා. මිනිස්සු මැරෙන්නෙ. තරුණ හස්බන්ඩ්ල මැරිල වයිෆ් තනි වෙන්නෙ දරුවො එක්ක. වයිෆ් මැරිලත් සමහර වෙලාවට එහෙම වෙන්නෙ. දරුවො හදාගෙන ඒ ඉතුරු වුණ කෙනා ජීවත් වෙනවනෙ. ආයෙ මැරි කරල ජීවිතේ ඉතුරු කොටස අලුතෙන් පටන් ගන්නවනෙ. ඇයි ඉතින් රාධා එහෙම නොකරන්නෙ…මං කියන්නෙ මේ අද හෙට වෙන දෙයක් නෙවෙයි. ඒත් ඉතිං ඉක්මනට එහෙම දෙයක් වෙන්න ඕනනෙ”
“තේරුමක් නැති කතාවක් ඔයා ඇදල ගත්තෙ කාවි”
ආරාධනා සිටියේ මඳ නො රිස්සුමකිනි. විශේෂයෙන් ම විවාහ වී සැනසුම් පායේ ම ඇය නතර විය යුතු යයි කාවින්දි කී කතාව ඇය නො සන්සුන් කරවී ය. කවීශ්වර අතින් මුව වසා ගෙන පුටුවේ ඉදිරියට ද නැඹුරු වී බලා සිටියේ ඊළඟ මොහොතේ කුමන බෝම්බයක් පුපුරා යනු ඇත්ද යන සැකයෙනි. සමහර විට මින් මතු කිසි දාක ආරාධනා ඔහු ගේ මුහුණ වුව නො බලන්නට ඉඩ තිබේ.
“ඉතින් ආරාධනා දුව බැන්දහම මේ ගෙදර තියා ගන්න පුළුවන් වෙන්නෙ කොහොමද චූටි දුව…එතකොට එයා යයිනෙ මහත්තය එක්ක”
“අනේ අම්මෙ මේ කාවි නින්දෙන් බය වෙලාද කොහෙද”
යයි පවසමින් ආරාධනා පඩිය මතින් නැගිට ගන්නට ගියා ය. නමුත් කාවින්දි සිය මිතුරියගේ අතකින් ඇද නැවත ද ඇය එහි හිඳවූවා ය.
කවීශ්වර ගේ සේ ම තාරා ගේ ද පපු කුහර ඇතුළේ ටර්නාඩෝ කුණාටු ඇති වෙමින් තිබිණ. කවීශ්වර ගේ නො සැලකිලිමත් කම නිසා මේ රහස දැන්ම කාවින්දි අත පත් වූවායි තරහක් ද තාරා තුළ ලියලෑවේ ය.
රාජිකා මැණිකේ අර විදිහේ ප්‍රශ්නයක් මතු කළේ ඇය තුළ නැගුණ සාධාරණ සැකය නිසා ය. විවාහයෙන් පසු ආරාධනා සැනසුම් පායේ ම නතර වෙනවා නම් ඇය විවාහ විය යුත්තේ පොඩි පුතු කවීශ්වර සමග ය. ඒ සිතිවිල්ල ඇය තුළ ඇති කළේ බලවත් අපහසුවකි. ඒ අපහසුව කුමක්ද කියා හෝ තේරුම් බේරුම් කොට ගන්නට මේ මොහොතේ වෙලාවක් තිබුණේ නැත.
“මෙහෙමනෙ අම්මෙ. තාත්ත හැමදාම කිව්වෙ සැනසුම්පාය තියන ඉඩම අපි තුන්දෙනාට සමානව බෙදල දෙනව කියලනෙ. දැන් ලොකු අයියට දෙන්නෑනෙ…මං කියන්නෙ….දෙන්න බෑනෙ කරපු වැඩේ හැටියට. එයාගෙ කොටස කොහොමත් රාධාගෙ නමට ලියනවනෙ. මං කියන්නෙ අපේ පැටව් දෙන්නට හරි ඒක අයිති වෙන්න ඕනනෙ. මගෙ කොටසත් මට ඕන නෑ. මට ඉන්න තැනක් තියනවනෙ. මං නිසා රාධාගෙ ජීවිතේට වෙච්ච කැළල ඉඩං කෑල්ලක් දීල පිරිමහන්න බෑ කියල මං දන්නව. අතීතෙං එක සිදුවීමක් වෙනස් කර ගන්න වරයක් හම්බ වෙනවනං මං වෙනස් කරන්නෙ රාධාට අපේ අයියගෙ ප්‍රපෝසල් එක අරං ගිය සිද්දිය. එ්ත් එහෙම කරන්න බෑනෙ. අපි ඒ තුනෙන් දෙකම…මන්දන්නෑ තාත්තලට ප්‍රාණ භුක්තිය තියාගෙන හරි රාධාගෙ නමට ලියමු. මේ ගේ තියන කොටස අනිවාර්යෙන් රාධාට දෙන්න ඕනෙ. ඔයාගෙ විරුද්ධත්වයක් නෑ නේද පොඩී…මං කියන්නෙ…ඔයාට දැං බැරි කමක් නෑනෙ ඔයාගෙ කෑල්ලෙ ගෙයක් හදා ගන්න. දැන්ම නෙවේ…”
“මං මොකටද විරුද්ධ වෙන්නෙ…”
කවීශ්වර බිම බලා ගෙන කොඳුළේ ය. ආරාධනා සැනසුම් පායෙහි හැමදාම සිටිනවා නම් ඔහු ගේ තුනෙන් එක ද ඇය වෙත පවරා දෙන එක ඔහු ට අල්ප වූ දෙයකි. නමුත් ඔහු කෙළින් ම එහෙම නො කියා වෙන විදිහකට එය කීවේ ය.
“මට දෙන දෙයක් තියනවනං ඒකත් පොඩි දෙන්නටම දෙන එකයි. මට මොකටද මේ ගෙවල් ඉඩං…”
අල්පෙනෙති තුඩක් බිම වැටුණත් ඇසෙනා තරමට නිහැඬියාව දරුණු වූයේ ය. මොහොතකින් ඒ නිහැඬියාව දෙපළු කර ගෙන ආරාධනා ගේ ඉකි හඬ මතු විය. ඇය හඬමින් සිටියා ය.
“ඇයි අනේ ඕගොල්ලො මං ගැන ඔය විදිහට හිතන්නෙ…”
ඉකිළුම අතරින් මුලින් ම ඇය කියා ගත්තේ එහෙම ය.
“ඕගොල්ලො හිතන්නෙ කාශ්යපගෙන්වත් ඉල්ලුවෙ නැති වන්දියක් මං ඕගොල්ලොන්ගෙන් බලාපොරොත්තු වෙනව කියලද…සැනසුම් පායට මං ආදරේ කළේ ඉස්සර ඉඳන් කියල කාවි ඔයා තරං දන්න වෙන කෙනෙක් නෑ. මේ වගේ වින්ටේජ් ගෙයක් ගැන ඒ කාලෙ ඉඳන්ම තිබුණ අමුතු හැඟීම ඇති කළේ සැනසුම් පාය. එහෙමයි කියල මේ ගේ මගෙ නමට ලියා ගත්තොත් මට හෙණ ගහයි දෙයියනේ…ඔයා කොහොමද කාවි ඔහොම හිතුවෙ…කසාදෙත් එපා කියල හිත හදා ගත්ත මට ගෙවල් දොරවල් ඕන වෙන්නෙ කොහොමද…ළමයි දෙන්න ලොකු කර ගන්නකල් කුළී ගෙදරක හරි ඉන්න මට පුළුවන්. අපේ තාත්ත එහෙම ඉන්න දෙන එකක් නෑ. කොහෙන් හරි මට තැනක් අරං දෙයි. කාශ්‍යප ගෙ උරුමයක් කියල මට මේ ගෙදර අයිති කර ගන්න ඕන නෑ කාවි. කාශ්‍යප නැතත් මේක කවීශ්වර ට අයිති තැන. කොහොමත් ඉස්සර ඉඳලම මහ ගේ දෙන්නෙ ගෙදර බාල පුතාට. කාශ්‍යප මොනා කියයිද කියන්න මං දන්නෑ තාත්තෙ. හැබැයි එයාගෙ කොටස මගෙ දරුවන්ට නෙවෙයි කවීශ්වරට දෙන්න. මං මේ දේවල් වලට අයිතිවාසිකං කියන්න බලා ගෙන ඕගොල්ලො එක්ක බොරු ආදරේකිං හිටිය කියලනං හිතන්නෙපා”
“ඒ…යි. කවුද මෝඩියෙ දැන් එහෙම දෙයක් කිව්වෙ. මං දන්නව අපි තුන් දෙනාටම වඩා අපේ අම්මයි තාත්තයි ගැන හැඟීමක් ආදරයක් තියෙන්නෙ ඔයාටයි කියල. ඒකයි මං කියන්නෙ ගේ ඔයාට ලියල ඔයා කවද හරි කාව හරි බැන්දත් එයා එක්කම මේ ගෙදර ඉන්න කියල. අපේ අම්මටයි තාත්තටයි කොහොමත් ඔයා දුවනෙ. ඉතිං ඒ බඳින කාට වුණත් මේ දෙන්න බෑනාට වගේ ආදරේ කරයි. මට ඒක හොඳට ම ශුවර්”
තාරා ගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ ඉනික්බිති ය. ඇය යටැසින් කවීශ්වර දෙස බැලුවා ය. ඒ බැල්මට ඔහු ගේ මුහුණට සිනහවක් ආවේ නිරායාසයෙනි. එය වූ කලී මන් මත් කරවනා වශීකෘත පිරිමි සිනහවකි. ඒ සිනහව තුළ තාරා ට පමණක් කියවා ගත හැකි කතාවක් ලියැවී තිබිණ.
“මාස තුනකින් කොහොමත් ඩිවෝස් එක ලැබෙනවනෙ. මොකද ලොකු අයියට ඕන වුණත් රාධා ආයෙ සමාදාන වෙන්න යන්නෑනෙ. ඉතිං ඒ අතරෙ අපි හොඳ කෙනෙක් ගැන හොයල බලමු. එහෙම හොඳ නැද්ද තාත්තෙ…”
එතෙක් නිහඬව සිටි ගජධීර හාන්සි පුටුවේ කෙළින් වී හිඳ ගත්තේ මුහුණේ තවරා ගත් බැරෑරුම් බවක් සමග ය.
“හ්ම්. හොඳයි නං තමයි…”
නමුත් ඒ එම වාක්‍යයෙහි අවසානය නොවී ය.
“ඒත් කොහොමද ඔය හොඳ කෙනාව හොයන්නෙ කියන එකනෙ මං නොදන්නෙ…අපි හිතං හිටිය මේ ලෝකෙ ඉන්න හොඳම ඉලන්දාරිය අපේ කාශ්‍යප කියල. කෝ…ඒක එහෙම වුණාද…ඉතිං අපි වෙන එකෙක් හොඳද කියල බලන්නෙ කාලද ළමයිනේ”
“අනේ මේ…”
ආරාධනා දනි පනි ගා පඩිය මතින් නැගී සිටියා ය. තාරා අතේ ද කාවින්දි අතේ ද වූ හිස් තේ කෝප්ප උදුරා ගත්තා ය.
“මනමාලයෙක් හොයල කාවිව තමයි දෙන්න වෙන්නෙ”
හැම නෙතක් ම රැඳී තිබුණේ ඇය වෙත ය.
“දෙන්න කවීශ්වර කෝප්පෙ”
කෝප්පය දෙන ගමන් කවීශ්වර නෙතු නගා ආරාධනා දෙස බැලුවේ ය. ඇගේ ඇස් වල වූයේ හිස් බවකි.
ආරාධනා ගෙතුළට ගිය පසු තාරා සිය කකුල් මත මුහුණ ඔබා ගෙන සිනහ වෙන්නට පටන් ගත්තා ය. කවීශ්වර ගේ මුහුණේ පිටතට පෙන්වා ගත නො හැකි සිනහ රැල්ලක් තිබිණ. සිනහ වෙන තාලයට තාරා ගේ උරහිස් ගැස්සුණේ ය.
“මොකද කැකිරි පලන්නෙ…”
බොරු නෝක්කාඩුවකින් කාවින්දි තාරා ගේ පිටට තට්ටුවක් දැමුවා ය. තෙත් වූ ඇස් වලින් ඇය හිස එසවූවා ය.
“අහගත්ත නේ…”
“චූටි දුවගෙ යෝජනාවෙ වැරැද්දක් නෑ. ආරාධනා වෙනුවෙන් අපිට යුතුකමක් තියනව තමයි ඉෂ්ට කරන්න අපි තව ටිකක් ඔහොම යන්න දෙමුකො. කසාදයක් කරන්නනං සම්පූර්ණයෙන් හිත හැදිල තියෙන්න එපැයි. ම්…”
කියමින් ගජධීර හාන්සි පුටුව මතින් නැගිට ගත්තේ ය.
“කන්න දෙයක් හදන්න එපැයි”
කියමින් රාජිකා මැණිකේ ද නැගිට ගත්තා ය. ඇගේ හිස මත පැටවුණ බර සැහැල්ලු වූ එක ලොකු දෙයකැයි ඇයට ම සිතිණ. ඇය බිය වූයේ කාවින්දි ආරාධනා ට කවීශ්වර ගැන යෝජනාවක් කරන්නට හදනවා කියා ය. කවීශ්වර ද කාටත් නො දන්වා නැගිට කාමරය දෙසට ගියේ ය. පඩිය මත තාරා හා කාවින්දි පමණක් ම ඉතිරි විය.
“වරෙංකො”
කියමින් නැගිට ගත් තාරා මිදුලේ තුරු ගොමුව වෙත පිය නැගුවා ය.
“අරාට මගුල් හොයන්න ඕන නෑ බං”
“ඇයි..”
කාවින්දි ගේ ඇස් වල කුතුහලාත්මක බවක් විය.
“අරාට කැමති කෙනෙක් ඉන්නව. පොඩි උන් දෙන්නවත් එක්කම ඒකිව බාර ගන්න කැමති…පොඩි උන්ට කවදාවත් වෙනසක් නොකරන…මේ ලෝකෙ වෙන කිසිම පිරිමියෙක් අරාට ආදරේ කරයි කියල හිතන්න බැරි තරං ඒකිට ආදරේ කරන…ඒත් ඒකට කාලෙ ඕනෙ. එක පාරට සිසේරියන් එකක් කරල බබෙක් එළියට ගන්නව වගේ ඒක කරන්න බෑ. මාස නවය සම්පූර්ණ වෙලා…විලිරුදා හැදිල…ස්වභාවික විදිහට බබා හම්බ වෙනකල් අපිට ඉවසන්න වෙනව”
“මොන මගුලක් ද බං තාරා අක්කෙ කියන්නෙ…”
“හ්ම්. කවීශ්වර…කවීශ්වර අරා ගැන කැමැත්තෙන් හිටියෙ ඒ කාලෙ ඉඳන්. ඒත් කාශ්‍යප ඉස්සර වුණා. කවීට කවදාවත් චාන්ස් එකක් ලැබුණෙ නෑ. ඉරණම මේ ලෑස්ති වෙන්නෙ කවීට ඒ චාන්ස් එක දෙන්න වෙන්න පුළුවන්”
“ඔයාගෙත් මොළේ හොඳ නැද්ද…මන්නං පොඩ්ඩක්වත් කැමති නෑ එහෙම දේකට”
එය විහිළුවක් නොවේ. කාවින්දි ගේ මුහුණ මත හොඳක් වූයේ ම නැත. ප්රතිවිරෝධය ඇගේ මුහුණෙන් ම ප්‍රකට විය.
“කාවි. කලබල වෙන්න එපා බං. අරා මේ ගැන මුකුත් දන්නෑ. ඒත් මට දැනුණ නිසා මං ළඟදි කවී එක්ක මේ ගැන කතා කළා. මං හිතන්නෙ අරාගෙ හිතේ ඉබේම කවී ගැන පැහැදීමක් ඇති වෙනකල් හැම දේම සාමාන්‍ය විදිහට වෙන්න අරින්න ඕනෙ. හරි දැං උඹ මොකද එහෙම දෙයක් වෙනවට කැමති නැත්තෙ…”
“මං නෙවෙයි අපේ අම්මයි තාත්තයි වුණත් එහෙම දෙයක් වෙනවට කැමති වෙයි කියල මං හිතන්නෑ”
තාරා දිගු සුසුමක් හෙළුවා ය. මෙලොව කිසිවක් ඉතා පහසුවෙන් ඉෂ්ට සිද්ද කර ගත නො හැකි ය. නමුත් ඇගේ පැත්තේ කාවින්දි ද සිටිනු ඇතැයි තාරා උදක් ම බලාපොරොත්තු වූවා ය. නමුත් එය කිසි සේත් නො සිදු වෙන දෙයකැයි කාවින්දි ගේ ඇස් සාක්ෂි දරයි.