ප්‍රේමය කියන්නේ හැම කල් හදවතේ පුරවා ගෙන උන් හැඟීමක් වී ද ඒ ආරාධනා ට කිසි දා නො ලැබුණ දෙයකි. පෙමින් වෙළුණ පෙම්වතුන් සේ ම අඹු සැමියන් ද ඇය ඕනෑ තරම් දැක තිබේ. ඒ වාගේ ලස්සන පෙම් කතාවක චරිතයක් වීමේ හීනයක් ඇගේ හිතේ නො වූවායි කීවොත් මුසාවකි. නමුත් එහෙම වාසනාවක් නැති මිනිසුන් ද මෙලොව වෙසෙතැයි තේරුම් යන විට ඇය ජීවිතයේ යම් දුරක් ඇවිද ගොස් අවසාන ය. කාශ්‍යප කිසි දා ලෝකයට පෙනෙන්නට ඇගේ අතකිනිදු අල්ලා නැත. ආදරේ දැනෙන එක බැල්මක් හෝ හෙලා නැත. ආදරයෙන් වචනයක්වත් කතා කොට නැත. නමුත් ඇය වෙනුවෙන් කිසිදු යුතුකමක් ඉටු නො කොට සිටියේ නැත. ඒ ආදරේ යැයි මුලින් ඇය සිතුවා ය. විවාහයක පදනම වූ කලී තෘප්තිමත් ලිංගික සම්බන්ධයක් බව ද ආරාධනා දැන සිටියා ය. නමුත් ඔවුන් දෙදෙනා අතරේ වන ඇසුරෙන් ඔහු තෘප්තිමත් වන්නේ ද යන සැකය කොතෙකුත් ඇය තුළ ඇති විය. තමන්ගේ පසින් එය එසේයි හිතිය යුතු දැයි ඇය නො දැන සිටියා ය. කාශ්‍යප ඇය වෙත ලං වූයේ සිය කායික අවශ්‍යතා සපුරා ගැනීමේ සුළු මොහොතක් වෙනුවෙන් පමණකි. ඇයට අවැසි වූයේ විනාඩි ගණනකට සීමා නොවූ ප්‍රේමයක වෙළී හිඳින්නට ය. නමුත් කාශ්‍යප ආරාධනා නො තේරුණා සේ සිටියේ ය. අවසන, ඒ කාශ්‍යප ගේ හැටි යයි ඇය හිත හදා ගත්තා ය. පොදු ආසියාතික ගැහැනිය වෙමින්, සිය හදවත් වැවෙහි වාං දොරටු වසා තබා ඇය සියල් පීඩාවන් තමන් තුළ විඳ දරා ගත්තා ය. ඒ විදිහට වුව ජීවිතය බාර ගන්නට කැමැත්තෙන් ඉදිරිපත් වූවා ය. නමුත් නේකාකාර කැපකිරීම් ගඟට කැපූ ඉණි සේ අපතේ ම ගියේ ය.
ඇගේ විවාහ ජීවිතයේ නීරස හා නො පිරුණු තැන්, යුතුකම් හා වගකීම් වලින් ද, දරුවන් ගේ හුරතල් සිනා කතා වලින් ද, ගජධීර පවුලේ ආදරණීය බැඳීම් වලින් ද පිළිසකර කරමින් ගත කළ යුගයක අවසානයේ, ආරාධනා ගේ හදවත මිහිරක කෝල රසයත් එක්ක හැංගිමුත්තම් කරන්නට පටන් ගෙන තිබිණ. බිඟුනි ගෙදර එන්නට නියමිත වෙලාවට හෝරාවක් පමණ තියෙත්දී, ඇය වෙනුවෙන් පෙරමගට යන්නට ඕ සූදානම් වූවා ය. ඒ හෝරාව දවසක් තරම් දිගු වූයේ කොහොමද කියා ඇය දන්නේ නැත. ඒ අතරේ සඳයුරු ගේ කරදර කිරීම ද කාලය ගෙවා ගනු වස් වෙස් වලා ගත් ආශීර්වාදයක් ම වූයේ ය.
අවසන ඔවුන් පැමිණියේ බලාපොරොත්තු වූවාටත් වඩා විනාඩි පහ දහයක පමාවක් ඇතිව ය.
“පින්තූර කොළයක් ගන්න කියල බුක් ශොප් එකකට රිංගගෙන…එළියට ගත්තෙ මාර අමාරුවෙන්”
බිඟුනි අතින් කටින් එල්ලා ගෙන රියෙන් බසිත්දී කවීශ්වර එසේ කීවේ දැරිය දෙස බලා ගෙන ය. නමුත් එහි වූයේ පමාවට හේතුව ආරාධනා ට දැනුම් දීමේ අරමුණකි. කවීශ්වර එහෙම ම යාමට සූදානම් බවක් හඟවමින් සඳයුරු දෙස බලා සිනහවක් දුන්නේ ය. එකෙනෙහි සඳයුරු මොනවාදෝ හදිසියේ කියවමින් කවීශ්වර දෙසට නැඹුරු වන්නට වූයේ ඔහු වඩා ගන්නැයි හඟවමිනි. ඉතින් ඔහු වඩා නො ගෙන පිටුපා යන්නට කවීශ්වර ට හිත් දුන්නේ නැත. රියෙන් බැස ඔහු සඳයුරු වඩා ගත්තේ ය. පෙර දා වාගේ වැරදීමකින්වත් ආරාධනා ගේ සිරුරේ ස්පර්ශ නොවන්නට ද තරයේ පරිස්සම් වූයේ ය. ඔවුන් දෙදෙනා ගේ සතුටු සිනහවන් දෙස ඇය මොහොතක් ප්‍රමුදිත හදින් යුතුව බලා සිටියා ය.
“මාත් එක්ක තරහෙන්ද ඉන්නෙ…”
ආරාධනා එවැන්නක් අසා ගත්තේ දරා ඉන්නට බැරි ම තැන ය. ඒ වචන පිට වූයේ ඉතාමත් මන්ද්‍ර ලෙස ය. ඒ වචනත් එක්ක ඇයට ම ඈ ගැන දුක හිතුණ තරම ය. නමුත් ඒ ඉසිහින් වචන ටික කවීශ්වර ගේ පපුවේ හැපී ඉන් පදාසයක් දෙදරවාලූ තරම ය. නමුත් ඔහු ඒ බව ඇයට දැනෙන්නට හැරියේ නැත.
“නැහ්”
හිතක් පපුවක් නැතිවා වාගේ කවීශ්වර ඒ තනි වචනය වුව කියා දැම්මේ ඇදෙස නො බලා ය. ආරාධනා බිම බලා ගත්තා ය. කෑ ගසා හඬන්නට තරම් දුකක් දැනෙන්නේ ඇයි දැයි ඇය දැන සිටියේ නැත.
“නෑ කිව්වට නෑ නෙමේ කියල මට දැනෙනව. මෙහෙම පලි ගන්න එපා කවීශ්වර. ඔයාට පව්”
ඔහු හිස ද හරවමින් තියුණු බැල්මක් හෙළුවේ ය. ආරාධනා ගේ ඇස් තුනී කඳුළු පටලයකින් වැසී යමින් තිබිණ. ඇය තොල් කොනක් සපා ගෙන බිම බලා ගත්තා ය. කවීශ්වර ගේ දෑස්, ඒ එක මොහොතට මුළුමනින් ඇය ඔහු ගේ බැල්ම තුළ අවශෝෂණය කර ගනිමින් සිටියේ ය.
“මගෙ තත්වෙ ඉන්න ගෑනු කෙනෙක්ගෙ හිත මොන වගේද කියල ඔයාට හිතා ගන්න බෑ. මං කළේ හොඳම දේ කියල හිතෙන දේ. මේ වගේ තත්වෙක අසරණ වෙලා ඉන්න ගෑනියෙක්ගෙං පන්න පන්න පළි දරන එක…”
ඇගේ හඬ බිඳී ගියේ ය. කවීශ්වර ඈ ඉදිරියට ම විත් ඉක්මන් කෙටි සිනහවක් පෑවේ ය. ඒ සිනහවේ ඉසියුම් හඬට ඇය නෙතු ඔසවා බැලුවා ය. එකෙනෙහි යළි බිම බැලුවා ය. නමුත් ඒ සිනහව තව දුරටත් ඈ හදවත මැද නතර වී තිබිණ. අද ඊයේක නොව පාසල් යන බාලිකාවක සන්දියේදීත් කවීශ්වර ගේ ඔය වශීකෘත සිනහවට බිය වූ බව ආරාධනා ට මතක ය. ඇය ඒ සිනහවට වසඟ වී සිටියා ය. එපමණට ම බිය වූවා ය. සමහර දේවල් එහෙම ය. ආශා වූ තරමට ඒ සිනහවට ලං වන්නට හෝ එය ඇගේ කර ගන්නට ඈ බිය වූයේ ඊට වහ වැටුණු හා අයිතිවාසිකම් කී අය අපමණ වූ නිසා ය. නිවී සැනසිල්ලේ ළඟ තබා ගත නො හැකිව අසීරුවෙන් රැක ගන්නට සිදු වෙන දෙයක් අයිති කර ගැනීම කෙතරම් හිතට බරක් – වදයක් වේ දැයි ඒ පොඩි කෙල්ල කාලේදීත් ඇයට අනුමාන කළ හැකි විය. අන්තඃපුරයක අග බිසව වෙන්නට හෝ ඇයට ඕනෑ නොවී ය. ආදරේ කරන පිරිමියෙකු ගේ ජීවිතයක එක ම එක ගැහැනිය වී, ඒ කුඩා ලෝකය පුරා සිය ආදරය ඉහිරුවා ගෙන ඉන්නට ය ඇය සිහින දුටුවේ. කවීශ්වර ගේ සිනහව කෙළි හිතක් තිගස්සවා ලන්නට සමත් වී ද ඒ නො දැනුණා සේ බිම බලා ගන්නට ආරාධනා ට සිදු වූයේ එසේ ය. එදා පමණකුදු නොව අදත් ඒ සිනහව ඈ බියපත් කරයි. ඇයට ඈ අහිමි ව යතැයි බියක් ඇති කරයි.
කවීශ්වර ගේ ඇස් හිරු මඬලක් සේ ඇය මත පායා තිබිණ. තද කර ගෙන උන් ඔහු ගේ හිත ටික ටික දිය වී යන ලෙසක් ඔහු ට දැනිණ. ඒ දෙතොල් මත්තේ පිපෙමින් තිබි මන්දස්මිතයට හිරු එළිය වූයේ ආදරය සේ ය. කාලාන්තරයක් තිස්සේ පිරිමි පපුවක් අස්සේ හිර වී තිබි ආදරයක් මඳහසක් ලෙස ලෝකය දකින්නට සුළු අවසරයක් ලබා තිබිණ. අලුත් ස්නේහයක් පපුව හිර කරනවා ද ඔහු ට දැනිණ. ඒ, මවා ගත් ආඩම්බරයක් මගින් ඔවුන් අතරේ පියවිය නො හැකි පරතරයක් නො තබා ඇය ඔහු ඉදිරියේ සිටිනා ප්‍රථම අවස්ථාව මෙය කියා සිතෙත්දී ය.
“පළි ගන්න පුළුවන් කියල හිතනවද මට…ඔයාගෙං…ම්…”
දෙබරයකට ගලක් ගැසුවා සේ මුළු ආත්මය ම ඉහිරී යනවා ආරාධනා ට දැනිණ. අංශුවක් ගානේ, සෛලයක් ගානේ තමන් බිඳී යන හැටි ඕ බලා සිටියා ය. ශක්තියක් කියා බින්දුවක්වත් ශේෂ වී තිබුණේ නැත. කකුල් දෙක පණ නැතිව ගොස් බිම පතිත වේවිද යන සැකය ඇයට දැනිණ. කවීශ්වර ගේ මූණ දෙස බලන්නට එක්කාසු කර ගත නො හැකි වූ ධෛර්යය මීට පෙර තිබුණේ කොහේ දැයි විමසිය හැකි වූයේ නැත.
“කරදරයක් නොවී ඉන්නයි හැදුවෙ මං. මගෙ එක වචනයක් නිසා…මට තිබුණ එකම සතුටත් අරං ඔයා ගෙදරින් ආව. මීට වඩා මොනාත් නැති කර ගන්න තරං හයියක් මට නෑ ආරාධනා”
එවර නම් ඕ රවුම් ඇස් වඩාත් ලොකු කර ගෙන ඔහු ගේ ඇස් වල ම පැටලී ගෙන සිටියා ය. පිරීතිරී හදවත වාං දමනා හැඟීමට නමක් දෙන හැටි සැබවින් ඇය නො දැන සිටියා ය. කවීශ්වර සඳයුරු ව ඈ අතට දී නික්ම ගියේ ය. වෙන කිසි දවසක කිසිවක් නිසා හෝ දැනී නැති විදිහේ හැඟුමන් සමුදායක් සමගින් බරපතල සටනක් කරන්නට ආරාධනා ට සිදු විය.
නමුත් විශ්ව විද්‍යාල සමයේ දී ඒක පාර්ශ්වික ප්‍රේමයකින් ආතුර වී සිටි කාලයේ බඳු සංතෘප්තියකින් ඇය දෝරෙ ගලන්නට වූවා ය. ඇස් වලින් පවා සතුටක් පිටාර ගලනවා සේ දැනිණ. ඇය බිඟුනි සෝදා කවා පොවා ඇගේ ආවතේව කළේ ආදරයේ උත්තම හැඟීමෙනි.
සැඳෑ සුවයෙන් ඇස් පියවීගෙන යත්දී ජංගම දුරකතනයේ හඬින් ආරාධනා අවදි වූවා ය. තිරයෙහි දිස් වූයේ කාශ්‍යප ගේ නම ය. මඳ දෙගිඩියාවකින් යුතුව ඇය දුරකතනය සවනට ගත්තා ය.
“කියන්න කාශ්‍යප”
“ආරාධනා මට ළමයි දෙන්නව බලන්න ඕනෙ…ආයෙ අවුරුදු කීයකින් මට ඒගොල්ලො දකින්න පුළුවන් වෙයිද කියන්න බෑ. අද රෑ ෆලයිට් එකකින් මං ලංකාවෙන් යනව. ගෙදර එන්නවත් කාත් එක්කවත් කතා කරන්නවත් මට ඕන නෑ. ඔයාට පුළුවන්නං මල්ලිත් එක්ක එන්න මං ලොකේශන් ශෙයා කරන්නං”
“මං දැං ඉන්නෙ අපේ ගෙදර කාශ්‍යප. කවීශ්වර එක්ක එන්න විදිහක් නෑ. කමක් නෑ ඔයා මෙහෙ එන්න. මං ළමයි දෙන්නව ගේට් එක ළඟට ගෙනත් දෙන්නං”
කාශ්‍යප ගෙන් සදහට සමු ගෙන හිටියත්, ඔහු කලකට ලංකාවෙන් නික්ම යනවා කියත්දී ඇයට අමුතු රිදුමක් දැනිණි. ඔහු යනවා ඇත්තේ සෞභාග්‍යා සමග විවාහ වී යයි සිතී නො සිතී ගියේ ය. ඒ මොනවා කෙසේ සිදු වී ද ඒ ගැන සිතීමේ අයිතියක් ඇයට නැති බව ද එකෙනෙහි ඕ සිතට අවධාරණය කළා ය.
කාශ්‍යප පැමිණියේ කැබ් රියක ය. ඔහු ගේ මෝටර් රථය මීට දෙදිනකට පෙර විකුණා දැමිණ. ආරාධනා බිඟුනිව ලස්සනට සූදානම් කොට ගෙනැවිත් ඔහු ට බාර දුන්නා ය.
“පුතානං මං නැතුව ගිහිං ඉන්නෙකක් නෑ. අඬල වදයක් වෙයි ඔයාට දුව එක්ක ඉන්නත් බැරි වෙන්න”
මේ තරම් දුරස්තර බවකින් මීට පෙර කවදාවත් ඔහුත් එක්ක දරුවන් ගැන කතා කොට නෑ නොවේදැයි සිහි වී ආරාධනා ගේ පපුවේ පැත්තක හිර වීමක් ඇති විය. ජීවිතය එහෙම ය. සමහර විට අපට මුහුණ දීමට සිදු වන්නේ සිහිනයෙන් හෝ සිතු දේවලට නොවේ.
“නෑ. මට ළමයි කොහෙටවත් එක්කං යන්න ඕන නෑ. ඔයාටත් එක්කයි කතා කරල යන්න ඕනෙ. මට සමා වෙන්න ආරාධනා…මං ඔයාට හුඟක් වැරදි කළා”
ආරාධනා ගේ දත් ඇඳි දෙක කටස් ගා එකට හැපිණ. ඇගේ උගුර රිදුම් දුන්නේ ය.
“වෙච්ච කිසි දෙයක් ගැන කතා කරල වැඩක් නෑ. අපි අතින් වැරදි වෙන්න පුළුවන්. ඒත් වැරදි මත්තෙ ජීවිතේම කැප කරන්න බෑ. වැරදි වැරදි හරි අපි ජීවිතේ හොයා ගෙන යන්න ඕනෙ. ළමයි දෙන්නගෙ හැම වියදමක්ම මං බලා ගන්නව. මං ඒ වගකීමෙන් නිදහස් වෙන්නෑ කවදාවත්. ඔයා ඒ දෙන්නව හොඳට හදනව කියල මං දන්නව..”
කාශ්‍යප ගේ උගුරේ වචන හිර විය. ඔහු ඉක්මන් ඇස් පිය සලමින් බිඟුනි හා සඳයුරු සිප ගත්තේ ය.
“ඔයාගෙ අනාගතේටත් මං සුබ පතනව. පාරවල් දෙකක යන්න වුණාට…ඔයා තමයි මට හම්බ වුණ හොඳම ගෑනු ළමය. ඒක අනාගතේටත් වලංගුයි. මට ඔයා අමතක වෙන්නෑ. ඒත්…සමහර විට අපි ආයෙ කවදාවත් මුණ ගැහෙන එකක් නෑ. මං යන්නං. මෙහෙමම එයා පෝට් යනව”
ඔහු ඉක්මනින් රියට නැග ගත්තේ ය. කියන්නට මහ හුඟක් දේවල් හිතේ තියෙනවා වාගේ ආරාධනා ට දැනිණ. නමුත් ඉන් ඇබිත්තක් හෝ කියා ගන්නට හැකි වූයේ නැත. ඇගේ ශ්වසන මාර්ගය පවා අවහිර වී තිබිණ. කාශ්‍යප රැගත් මෝටර් රථය ඈතට ඇදී යත්දී, මේ විදිහට වෙන් වී යන්නට නම් ඔවුන් මුණ ගැසුණේ ඇයි කියා පමණක් ඇයට සිතිණ.
කාශ්‍යප ඉක්මනින් ඒ දුක අමතක කොට දැමුවේ ය. නමුත් බිඟුනි ගේ හැඬුම් බර මුහුණත්, සඳයුරු ගේ හුරතල් මුහුණත් මග දිගට ම යළි යළිත් ඔහු ට මැවී පෙනිණ. ඒ හුරතල් පැටවුන් දෙදෙනා අතැර සෞභාග්‍යා වෙත යන්නට හිත හදා ගැනීම ගැන මේ මොහොතේ ඔහු තමන්ට ම සමාවක් නොදී සිටියේ ය. නමුත් දැන් ඉතින් සියල්ල සිදු වී අවසාන වී තිබේ!
ආරාධනා කඳුළක් සලමින් ගෙට දිව ගියා ය. ඇයට ඕනෑ වූයේ ඉක්මනට කවීශ්වර ට මේ ගැන කියන්නට ය.
කවීශ්වර ගේ ඇස් එදා නිරන්තර සිනහ වූයේ ය. ඔහු ට මැවි මැවී පෙනුණේ වහු පැටියෙකු ගේ මෙන් රවුම් වූ ආරාධනා ගේ තෙත්බර දෑස් ය. අහංකාරයේ ඝණ කඩතුරාව බිඳී ගොස් තිබි නිසා ඔහු ට පහසුවෙන් ඇයට සමීප විය හැකි විය. ඇගේ ඇස් වලට එබී බලත හැකි විය. අපහසුවට පත් වන්නට වේවියි බියකින් තොර ව ‘පළිගන්න පුළුවන් කියල හිතනවද මට..ඔයාගෙන්..’ කියා ඇසිය හැකි විය. ඇයට විවාහ යෝජනාවක් ගෙන ආ දවසේවත් ඒ තරම් සමීප හැඟීමකින් ඇය විමසිය නො හැකි වූ බව කවීශ්වර ට මතක ය. එදා වේලාසන සාප්පුව වසා දමා ගෙදර යන්නට ඔහු ට හිතුණේ ඇයි දැයි ඔහු ම නො දනී. පසු ගිය දින ගණනාව පුරා ම, ගෙදර යන්නට බෑ කියා හිතෙනා කුමක්දෝ බලවේගයක් විසින් ඔහු ව පිටුපසට අදිනා ලදී. ඒ හින්දා ම කොලු රෑනකට වැටී ඔවුන්ටත් එක්ක ම විය හියදම් කොට මී විතකින් සප්පායම් වන්නට කවීශ්වර ට සිදු විය. ආරාධනා දකින්නට නැති, පොඩි උන්ගේ හුරතලය විඳින්නට නැති ගෙදරට කුමට යා යුතු දැයි ඔහු තමන් වෙතින් ම විමසුවේ ය. වැටුණු ගමන් නින්ද යන්නට නම්, වේදනාකාරී සිතිවිලි වලින් ඈත් වී ඉන්නට නම් මී විත දිව්‍ය ඖෂධයකැයි ටික දිනකට ඔහු සිතුවේ ය.
ගෙදර ගොස් යහනේ වැතිරුණ පසු, ආරාධනා ට කතා කිරීමේ මැඩලිය නො හැකි දොළක් ඔහු ට දැනිණ. ඔහු නිසා කවරාකාරයෙන් හෝ ඇගේ හිත රිදී ඇත්නම් ඒ ගැන සමාව ඉල්ලන එක මනුස්ස කම යයි ඔහු ට සිතිණ. එසේ සිතී ආරාධනා ගේ දුරකතනය අංකනය කළා විතර ය.
“අනේ කවීශ්වර”
කියා ගෙන ඇය හඬන්නට ගත්තා ය. හඬමින් ම කවීශ්වර ට කතා කරන්නට දුරකතනය අතට ගත්දී ය ඔහු ගෙන් ආරාධනා ට ඇමතුම ආවේ. වක්කඩ කැඩුවා සේ ඇගේ හැඬුම බිඳී ගියේ ය. හඬන්නට කාරණා නො දැන ඔහු සිතුවේ ඔහු ගේ වචන වල රුදුරු බවට ඇය තවමත් හඬනවා කියා ය. නමුත් ඇය සන්සුන් වන්නට හැර ඔහු මොහොතක් නිසල ව සිටියේ ය.
💜️නිම් නැති නිම්නය එහි අවසාන පියවර කිහිපය වෙත සමීප වෙමින් තිබේ. ඔබ ඊට දුන් අසීමිත ආදරය ඉදිරි දින වල තවත් වැඩි වර්ධනය වනු ඇතැයි සිතමි.
💜️මා ලියූ අලුත් ම නවකතා කිහිපය වන ප්‍රේම ගාථා, නිබ්බුත ගීත හා අහස කරු සහ කළුවර දැන් ඔබට වට්ටම් සහිතව නිවසටම ගෙන්වා ගත හැක. ඒ සඳහා 0788376053 අංකයට වට්සැප් පණිවිඩයක් තබන්න.