අදත් එයා ඒවිද දන්නෙ නෑ”
ඒ සිතුවිල්ල සිතට ආවේ කොයි මොහොතේද යන්න උශාලිට මතකවත් නැත.
එහෙත් මොකද්දෝ අමුතුම කිතියකින් සිත කිතිකැවෙන බව පමණක් උශාලිට තේරේ.
නිල් පාට මල් වැටුණු රෝස පාට සාරිය සිතට ගෙන එන්නේ වසන්තයක සුන්දරත්වයයි. සිත තුලින් අනුන් සතු උයනක පිපුණ මලකට පෙම් බඳිමින් හුන්නද උශාලිගේ සිත තුල වූයේද වසන්තයක සතුටයි. එහෙත් එය හිමිකරගන්නට හෝ විඳගන්නට තහනම් සතුටක් බව උශාලි නොදන්නවා නොවේ.
“අද මොකද කලින්ම?”
අම්මා සුපුරුදු ලෙස කාමරයට එබුණේ බත් පත අතැතිවය.
දරුවන් කෙතරම් උස් මහත් වුවද ඉතින් අම්මලාගේ රාජකාරි කිසිසේත්ම අවසන් නොවන බව් අපසක් කරගන්නට මෙන් දියණිය රැකියාවට යාමට සූදානම් වන විට ඇයට කැවීමට බත් පතද ගෙන එබීම ගීතාංජලී රණවීර මහත්මියගේ දින චරියාවේ කොටසකි.
“ලොකු වේලසනක් නෑ අම්මේ. අනික වහින්න කලින් ගියානම් හොඳයි කියල හිතුනා”
“ඒක මිසක් මං ඒත් බැලුව මේ කලින් යන්නේ කියල”
පරිප්පුත්, බොංචිත්, බිත්තරත් අනමින් දුවට කවන්නට බත් පත අනමින් ගීතාංජලී එසේ පැවසීය.
“අද එද්දි ටිකක් හවස් වෙනවා අම්මේ”
කෙහෙ පීරමින් උශාලි එසේ පැවසුවේ කණ්ණාඩියෙන් පෙනෙන අම්මාගේ රුව දෙස බලමිනි.
අලුතෙන් දරුවන් භාරගත්තේ අලුත බැවින් ඔවුන්ගේ නාම ලේඛන සැකසීම, පොත් පත් වර්ග කිරීම ආදී බොහෝ රාජකාරි පෙර පාසලේ අලුත් වසරක මුල් දින කිහිපය කාර්‍යබහුල කරන්නට හේතුවන බව උශාලි අත්දැකීමෙන් දනී.අනෙක් අතට අලුතෙන් ආ දරුවන් තමන්ටත් තමන් දරුවන්ටත් පුරුදු පුහුණු වෙමින් හිඳිනා දින වකවානුවක පෙර පාසල ඇරී නිවස බලා එන්නට පමා වීම අමුත්තක් නොවන බව උශාලි මෙන්ම ගීතාංජලී මහත්මියද දනී.
“ගොඩක් හැන්ද වෙයිද?”
“නෑ තුනට කලින් එන්න පුලුවන් වෙයි”
“ඔන්න ඊටත් පරක්කු වෙනවනම් මට කෝල් එකක් දෙන්න. නැත්තම් මම මෙහේ ගිනි පත්තුවෙලා ඉන්න ඕන ඇයි ඔයා නැත්තෙ කියලා”
අවසන් බත් පිඬ දියණියට කවමින් එසේ පැවසූ ගීතාංජලී මහත්මිය කාමරයෙන් නික්ම ගියේය.
සැරසී අවසානයේ උශාලි අත් බෑගයද, කෑම පාර්සලය රැඳුණ රෙදි බෑගයද ගෙන කාමරයෙන් නික්මුණේ වැස්සට පෙරාතුව බසයට නැග ගැනීමට බලාපොරොත්තුවෙනි.
නොරිස් කැනල් පාරේ දිගටම ඉදිරියට ඇවිදගෙන අවුදින් දකුණට හැරී ගොස් කලුබෝවිල බලා යන බස් රතයට නගින්න පුලුවන් බව උශාලි ඉතින් දන්නේ අත්දැකීමෙනි.
පෙරදින රැයේ වට වැස්සෙන් මඩ වී තිබුන පාර දිගේ මඩ වලවල් මගාරිමින් ආ උශාලි බස් නැවතුම්පල වෙත ආවේත් ග්‍රෑන්ඩ්පාස් වෙත යන අනුපගේ වාහනය පාරෙන් එහා පැත්තේ හිඳ ඇඳුනේත් එක මොහොතේ මෙනි.
උශාලිගේ අත එසවුනේත්, මුවෙන් යමක් පිට වුනේත්, දෙපා ඉදිරියට ඇවිදින් පාර දෙසට පැනුනේත් නොසිතාමය.
“මොන මගුලෙද ඕයි යන්නේ? බීල ද උදේ පාන්දර” කියාගෙන ත්‍රිරෝද රත රියදුරෙක් බැන වදිමින් ගියේ ඒ වදන් ඔස්සේ උශාලිව මෙලොවට රැගෙන එමිනි.
පිස්සියක මෙන් කෑ ගසාගෙන පාරට පැන්න ගැහැණු ළමයා දෙස අමුතුවට බලමින් රැකි රක්ෂා සඳහා පිටත්ව යන මිනිසුන්ද, ඇස් වාට්ටුවට රෝගීන් බලන්නට ආ මිනිසුන්ද තමාව පසුකරමින් යද්දී උශාලි මුහුන බිමට නැඹුරු කරගෙන අඩිය ඉක්මන් කරමින් දුවගියේ බෝගහ පාමුලින් බස් රතයට නගින සිතුවිල්ල පසෙක තබා ලැජ්ජාවෙන් බේරෙනු පිණිසය.
දහසක් වාහන කලබලයෙන් ගමනේ යෙදෙන ඒ උදෑසන පිස්සියක මෙන් පාරට පනින්නට තරම් ඒ මිනිසාගේ රුව වාහනයේ වීදුරුවක් අතරින් ජායාවක් මෙන් දැකීම උශාලිට සිතාගන්නට නොහැක.
තමා ඉන්නේ හොඳ සිහිකල්පනාවකින් නොවන බවත්, අනෙක් අතට සිතෙන් වුවද මේ කරගන්නේ මහා පාපකර්මයක් බවත් උශාලි නොදන්නවා නොවේ.
බස් රතයේ නැග එනගමනුත් උශාලි උන්නේ මහා කල්පනාවකය.
පළමු ආදරය මී පැණි මෙන් රසවත් බව කියා දුන්නේ මිතුරියකය. පාසල් වියේදීම ඇරඹුණ ප්‍රේමයක් අවසානයේ එකී ප්‍රේමයම විවාහ කරගන්නත් අවස්තාව ලැබෙන ඉතා සුලුතරය අතරට එකතු වූ ඒ මිතුරියගේ කතාව ඔස්සේ ආදරය සැබෑවටම අපූරු බව සිතමින් හුන් යුවතියක් ඒකපාර්ශ්වික ආදරයක් ගැන සිහින මවමින් උන්නේය.
ඒ ඒකපාර්ශ්වික ආදරය තමන් සතු කරගන්නට නොහැකි බව දැන උන්නද සිතෙන් හෝ ඒ සිතට ආදරය කිරීම උශාලිට ගෙන දුන්නේ වේදනාත්මක සතුටකි.
එක වූ කලී තුවාලයක කබොල්ල කඩා දමද්දී සිතට එන අන්දමේ වේදනාත්මක සතුටකි.
පෙර පාසලට උශාලි එද්දීත් පෙර පාසල තිබුනේ මී මැසි පොදියක් මෙන් කැළඹීය.
උදෑසන වැඩ රාජකාරි වලට යෑමට පෙර තම දරුවන්ව පෙර පාසලට ඇරලවන්නට ආ දෙමව්පියන් ය.
අම්මල සහ තාත්තලා තමන් දමා යන බව කියමින් මහ හඬින් හඬා වැටෙන පොඩි එවුන් ය.
ඒ පොඩ්ඩන්ව නලවාගන්නට තනන ගුරුවරුන්‍ය.
ඒ සොඳුරු කාලගෝට්ටිය මැද්දෙන් උශාලි ගොස් නැවතුනේ කාර්‍යාල කාමරයේ අත් බෑගය තබාය.
පෙර පාසලේ උදෑසන වැඩ රාජකාරි ඇරඹෙන්නේ පංති කාමරයෙන් නොව පෙර පාසලේ ගේට්ටුව අද්දරින් ය.
හඬනා කුඩා දරුවන්ව පෙරැත්තයෙන් පංති කාමරවලට ගෙන අවුත් වාඩි කරවා කඳුලු පිසදාලන්නටත්, සිත සනසන්නටත් ඉතින් යම් කිසි වේලාවක් ඉන්පසුවත් වැය කරන්නට සිදු වේ.
සමහර පොඩ්ඩන් නම් මේ අලුත් අත්දැකීම භාරගෙන තිබෙන්නේ සතුටෙන් බව ඔවුන්ගේ විකසිත මුහුණු දෙස් දෙයි. අඬන්නේ නැති පොඩ්ඩන් අතරින්ද කිහිප දෙනෙක් මුහුණ බෙරි කරගෙන ඉන්නේ කඳුලු හෙලන්නට ලැජ්ජාවේ මෙනි.
උශාලිට මතක් වූයේ දුලන්‍යාය. ඇය ඉන්නේ කාගේ පන්තියේද යන්න උශාලි තවමත් නොදනී.
අඬමින් හුන් පොඩ්ඩෙකුගේ අතෙන් අල්ලාගෙන තමාට හිමි Parrot පංතියට ගිය උශාලි මුහුන මත සිනා ගඟක් උතුරවාලමින් පැමිණි පොඩ්ඩන් දෙස බලා සිනාසුනේය.
කොල පාට ගිරවුන්ගේ රූප අලවා ඇති කොල පැහැ පංති කාමරය පිරී ඇත්තේ පොඩ්ඩන්ගේ කුතුහලය පිරුණු මුහුණු වලිනි. හඬමින් තම අතේ එල්ලී ආ පොඩ්ඩාව පංතියේ අසුනක වාඩි කල උශාලි නාම ලේඛනය අතට ගෙන පොඩ්ඩන්ගේ නම් පිරික්සමින් පංති කාමරයේ පුටු මේස අතරින් ඇවිද යමින් පොඩ්ඩන්ගේ මුහුණු දෙස බලන්නට විය.
නම් කියන වාරයක් පාසා තමන්ට ඉහලින් රැඳී සිටින ගුරුතුමියගේ මුහුන බලමින් යාන්තම් සිනා පාන පොඩ්ඩන් ය.
නම් ලකුණු කල අවසානයේ උශාලිට උවමනා වූයේ පොඩ්ඩන් සමග කතා බස් කරන්නයි. උශාලි මේසය අසලට ගොස් නම් ලැයිස්තුව මේසය මත තබද්දී දොර ළඟ හිඳ ඇයව ඇමතුවේ දිස්නාය.
“උශාලි මිස්”
ඒ බැල්ම දිස්නාගේ මුහුන මත රැඳුනේ තප්පර කිහිපයකට පමණි.
“මෙයාට පංතිය මාරු වෙලානේ” කියමින් තම සාරි පොට අස්සේ සැංගී හිඳිනා පොඩ්ඩිය දෙස දිස්නා බැලුවේත්, පොඩ්ඩිය සාරි පොට අල්ලාගෙනම උශාලිගේ දෑස් ඉදිරියට ආවේත් එකවරම වාගේය.
“දුලන්‍යා”
ඒ වචන නික්මුණේ හිත ඇතුලෙනි. එහෙත් ඒ සතුට දෙතොල මත සිනහවකට අර අඳින්නක් විය.
“අනේ, එන්න පුතේ, ඔයා Parrot Class එකේද?”
කියමින් උශාලි ඇගෙන් ඇසුවේ නැඹුරු වූ ඒ ළපටි උරහිස් මත තම සියුමැලි දෑත රඳවමිනි. පොඩ්ඩි හිස වනමින් එයට උත්තර දුන්නේත්, සුන්දර සිනහවක් මුව මත තබා “එහෙනම් හරිනෙ” කියමින් දිස්නා තම පංති කාමරය නික්ම ගියේත් එක මොහොතේය.
දුලන්‍යාව ඇයට හිමි මේසය සහ පුටුවෙන් වාඩි කල පසුද උශාලිගේ සිත තුල වූයේ පුදුමාකාර අන්දමේ සතුටකි.උශාලි කොහොමත් පොඩ්ඩන්ට ආදරේය. ඒ ආදරයම ඇයව පෙර පාසල් ගුරුවරියක් දක්වා ගෙන එන්නට සමත් වුවද දුලන්‍යා ගැන උශාලිට දැනෙන්නේ තමන්ගේම දරුවෙකු ගැනා දැනෙන හැඟීමක් ය.
ඇය සිතට ළඟ, හුරුපුරුදු චරිතයක් බව සිත ඇතුලේ කොහෙන්දෝ කෙලවරකින් කියවෙන බව උශාලිට ඇසේ. එහෙත් මේ එවදන් වලට සවන් දෙමින් හිඳින්නට වේලාවක් නොවේ.
පාට කරන පොත් පත් එලියට ගෙන පාට කූරු ළඟ තබාගන්නට පවසමින් උශාලි පොඩ්ඩන් අතරින් සැරිසරමින් ඔවුන් පාට කරන චිත්‍ර දෙස බලා හිඳින්නට විය.
ඉතින් තව අවුරුද්දක් මේ දරුවන් තමන්ව හැර දමා යන බව අරුමයක් නොවේ. එහෙත් අවුරුද්දක කාලයක් පුරාවට පැය පහ හයක් පුරාවට ඔවුන් රැඳී හිඳින්නෙ තම තුරුලේය. සතියේ දිනයන්හි පෙර පාසල් පැවැත්වෙන කාලවේලාවන්හි ඔවුන්ගේ මව පියා යන චරිතය රඟපාන්නේ තමන් ය. ඒ වගකීම උශාලිට සතුටක් මිස බරක් නොවේ.
විවිධ පාට ගෙන චිත්‍ර පාට කරන පොඩ්ඩන් තවමත් එකිනෙකා හා දොඩමලු වන්නේ අහම්බෙනි. එහෙත් මේ නුපුරුදුකම් තව දින කිහිපයකින් අවසාන බවත් ඉන්පසුව එලඹෙන්නෙ “අරය මාත් එක්ක තරහ වෙලා” කියමින් අඬන පොඩ්ඩන්ව සනසන්නට වන කාලයක් බවත් උශාලි නොදන්නවා නොවේ.
පෙර පාසල අවසන් බව කියවෙන සීනුව නාද වූයේ නොසිතූ තරම් ඉක්මනිනි.
පොත් පත් අසුරා ගෙන බෑග තුලට ඔබා ගෙන පොඩ්ඩන් ගුරුවරියන්ගේ කීමට පේලි ගැසී පංති කාමරයෙන් පිට වී තමා රැගෙන යන්නට පැමිණි භාරකරුවන් වෙත යන්නට සූදානම් වේ.
දුලන්‍යා උන්නේ පේලියේ අවසානයටය.
තම මව් දෙමව්පියන් දැක ආසාවෙන් දුව ගොස් ඔවුන්ගේ අතට පනින පොඩ්ඩන් අතරේ දුලන්‍යා උන්නේ හිස් බැල්මකින් ඒ දසුන් දෙස බලමිනි.
“අද ඔයාව එක්කන් යන්න එන්නෙ කවුද පුතේ?”
ඒ හඬ උශාලිගේය.
“පලක්කු වෙනව කිව්වා” මී පැටියෙකුගේ හඬින් කියවන්නී දුලන්‍යාය.
“කවුද?”
“තාත්තී”