සියක් සියපත් 20

කහවණුගොඩ මන්දීරේ දැවැන්ත හා විසිතුරු වූ ආලින්දයට යාබද කෑම ශාලාවේ කෑම මේසය කදිම දිවා ආහාරයක් සඳහා ලක ලැහැස්ති වී තිබිණ. මයිකල් කහවණුගොඩ ගෙදරින් දිවා ආහාර ගන්නා දින වලට එහි අභිමානය වැඩි ය. විහිළු තහළු හා සිනහ අඩු ය. නමුත් ආදරයේ අඩුවක් ඇත්තේ නැති බව දැන් සියපත් සිය ඉවෙන් හැඳින ගෙන තිබේ. 

“මිසිස් අමදෝරුගෙ හොස්පිට්ල් චාජස් පේ කළා නේද…”

මයිකල් සිය ගැඹුරු හඬ අවදි කරමින් ප්‍රථම බත් හැන්ද බෙදා ගත්තේ ය.

“ඔව් තාත්ත. ඊට අමතරව මාස තුනක සැලරි එකත් ඩිපොසිට් කරල තියෙන්නෙ”

ඒ පිළිතුර සදාතන ගෙනි.

“හ්ම්. මාස තුනක් නිවාඩු දුන්නට…ඒක පැරලයිස් එකක් නිසා මිසිස් අමදෝරුට මාස තුනකින් ආයෙ වැඩට එයි කියල හිතන්න බෑ. ආවොත් ආවාවෙ. හැබැයි ඒ වෙනකල් හරි අපි වෙන මේට්‍රන් කෙනෙක්ව හොයල ඉක්මනට රික්‍රීට් කරන්න වෙනව නේද…නැත්තං කවුද ගෙදර වැඩ ටික බලන්නෙ…”

අමදෝරු මහත්මිය වසර ගණනාවක් තිස්සේ කහවණුගොඩ මැදුරේ ප්‍රධාන ගෘහ පාලිකාව ලෙස කටයුතු කළා ය. අනෙකුත් සියලු සේවක සේවිකාවන් ගේ කටයුතු මෙහෙයවුණේ ඇය යටතේ ය. මවක සේ ගෙදර පරිපාලන කටයුතු සිදු කළේ ඇයයි. වියපත් වෙමින් සිටි, මඳක් තරබාරු, නමුත් කඩිසර, බර්ගර් සම්භවයක් ඇති ඇය අංශභාග තත්වයකට පත් වී රෝහල් ගත ව සිටියා ය.

“අපිට දැං මේට්‍රන් කෙනෙක් ඕනමද ඇත්තටම…”

සියලු ඇස් තමන් වෙතට යොමු කර ගනිමින් ඒ ප්‍රශ්නය නැගුවේ සනාතන ය. මදිරා ගේ පවා ඇස් මහත් වී ඔහු වෙත දැල්විණ.

“නෑ මං කියන්නෙ…අපිට පුළුවන්නෙ සියපත්ට ඒ සයිඩ් එකත් පොඩ්ඩක් බලන්න කියන්න. දැං අක්කටත් ගොඩක් සුවයිනෙ…මං කියන්නෙ…අක්ක දැං ඉස්සර වගේ බෙඩ් එකට සීමා වෙලා ඉන්නෑනෙ. වීල් චෙයා එකෙන් හරි පොඩ්ඩක් එළියෙ ගැවසෙනවනෙ. ඉතිං අක්කට පුළුවන්නෙ සියපත් එක්ක එකතු වෙලා හවුස්කීපිං සයිඩ් එක ටිකක් මොනිටර් කරන්න. මං කිව්වෙ…අලුතෙන් කෙනෙක් අරං ට්‍රේන් කරනවට වඩා එහෙම හොඳ නැද්ද…”

සියපත් ගේ නම කියවෙත්දී ම ඇගේ නෙතු විසල් වූයේ ය. මුව ලන්නට ගිය පත් පිඬ යළි පිඟාන මත තබා ඇය සනාතන දෙස බලා සිටියේ විශ්මයෙනි.

“අපිට සියපත්ගෙ සැලරි එක වැඩි කර ගන්න පුළුවන්නෙ. ගෙදර හැමෝම සියපත් එක්ක බොහොම සුහදයි වගෙත් මට දැනිල තියනව. ඒක නිසා සියපත්ට මේ වැඩේ අමාරු වෙන එකක් නෑ. නේද සදාතන…”

ඒ අන්තිම කොනට තමන් ව ද ඈඳා ගැනීම ගැන දෙගිඩියාවක් දැනුණත්, ඒ බවක් නො හඟවා සදාතන ප්‍රශ්නාර්ථයෙන් සියපත් දෙස බැලුවේ ය. ඇස් අටක් ම තමන් වෙතට යොමු වී ඇති බව දැනුණෙන් සියපත් හෙමිහිට සිය දෑස් බිමට හැරවූවා ය.

“ඒත් සර්…”

“හරි හරි. බය වෙන්න එපා ඔයා. අපි ඉන්නවනෙ උදව් කරන්න”

සියපත් ගේ දුර්වල විරෝධය එසැනෙන් සනාතන විසින් පාගා චප්ප කොට දමනා ලදී. සියපත් අසරණ දෑසින් මදිරා දෙස බැලුවා ය.

“ඒක හොඳ අදහසක් තමයි. සියපත් කොහොමත් අපිට අපේ ගෙදරට ඇත්තටම ආදරෙයි. හරියට අපේ සහෝදරියක් වගේ. එයා තරං ඒ තනතුරට සුදුසු වෙන කෙනෙක් හොයා ගන්න බැරි වෙන තරමයි”

“අක්..කෙ..”

සියපත් කොඳුළා ය. නමුත් ඇගේ ඒ සියුම් ස්වරය කිසිවෙකුට ඇසුණේ හෝ නැත. 

“මං උදව් කරන්නං සියපත්ට. අපි එහෙම කරමු සියපත්”

මදිරා ගේ හඬෙහි තැවරී තිබුණේ අසීමිත දයාවකි. ඔවුන් ඒ තරම් ආදරයක් හා විශ්වාසයක් පෙන්වත්දී ප්‍රතික්ෂේප කරන්නට ඉඩ කඩක් සියපත් ට වූයේ ම නැත. 

“හරි එහෙනං ඕගොල්ලො ඒක මැනේජ් කර ගන්නකො. මිසිස් අමදෝරු සනීප වෙලා ආපු දවසක බලමුකො ඉතුරු හරිය…ම්…”

ඉන්පසු කෑම මේසයෙහි පැතිරුණේ අසීමිත නිහැඬියාවකි. හැම කෙනෙකු ම තම තමන් ගේ කල්පනා ලෝක වල හුදෙකලා වී ඉන්නට ඇත. දිවා ආහාර වෙලාවෙන් පස්සේ මදිරා සියපත් ට ප්‍රධාන ගෘහ පාලිකාව විසින් සිදු කරනා ලද කටයුතු ගැන අවබෝධයක් ලබා දුන්නා ය. සැබවින් ඒ අම්මා කෙනෙකු සිටිනා ගෙදරක වැටුප් නොලබා ඇය විසින් කරනා ගෘහ පාලන කටයුතු ය. දැසි දස්සන් නොමැති සාමාන්‍ය ගෙවල් වල ඒ සියල් වැඩ කටයුතු කර ගන්නේ ද පවුලේ සාමාජිකයන් ම එක්ව ය. නමුත් මේ ගෙදර තැනැත්තන් ලෝකයෙහි ප්‍රචලිත තේ අපනයන ව්‍යාපාරයක නිරත ව හිඳින නිසා ගෘහ පාලනයෙහි යෙදෙන්නට තබා තමන්ගේ කාමරය පිරිසිඳු කර ගන්නටවත් කාල වෙලාවක් ඇත්තේ නැත. කාලය තිබුණ ද ඔවුන් උපයනා විශාල මුදල් පරිභෝජනය කිරීමේ ලා මාර්ග තිබිය යුතු ය. 

දිවා ආහාරයෙන් පස්සේ ගෙදර පාලන කටයුතු වල හා සේවයන් හි යෙදෙනා සියලු සාමාජිකයන් වෙනුවෙන් හදිසි රැස්වීමක් කැඳවිණි. පුරුදු පරිදි එය ඇමතූයේ සනාතන ය. මෙවක් පටන් යළි අමදෝරු මහත්මිය සේවයට පැමිණෙන තුරු සියපත් විසින් ඒ රාජකාරිය කරනු ඇති බව ඔහු දැනුම් දුන්නේ ය. 

ඒ සන්ධ්‍යාවේ සියපත් මුළු ගේ පුරා ම ඇවිද්දා ය. ගෙදර හැම අස්සක් මුල්ලක් ම දැන හැඳින සිටීම ඇයගේ රාජකාරිය මැනවින් කිරීමෙහි ලා අත්‍යවශ්‍ය වූයේ ය. මාලිගා කියන්නේ ඒ වාගේ ගෙවල් වලට යයි සියපත් ට සිතිණ. ඔවුන් ගේ බලු කූඩුවක් වුව සියපත්ලා ගේ ගෙවල් වාගේ දුර්වල නැත. පැරණි නැත. අපිරිසිඳු හෝ අපිළිවෙල නැත. ඒ වගේ ලස්සන නවීන නිවසක වැඩ බලන්නට නොව වැඩ කරන්නට වුව ආශා උපදවයි. ඇය සියලු ගෘහ පාලිකාවන් හා සේවිකාවන් සමග සිනහ වී කතා බහ කළා ය. ඒ සිනහව අවංක ය. සජීවී ය. උණුසුම් ය. මෙතෙක් කල් ඔවුන් කහවණුගොඩ මැදුරට කොට තිබෙන සේවය අභිබවා සිය තනතුර හොබවන්නට ඇයට ඕනෑ වූයේ ම නැත. නමුත් ඇතැමෙකු ඇදෙස බලන්නේ වපර ඇහින් බව සියපත් ට දැනිණ. ඇය ඒ ගැන වැඩිපුර හිතන්නට ගියේ නැත.

ටෙරස් එකේ බඳුන් ගත ව සිටුවා ඇති පළතුරු පැළ වලට දින කිහිපයකින් වතුර දමා නැති බව නිරීක්ෂණය කරමින් සිටියදී, සියපත් වෙතට සදාතන පැමිණ තිබිණ. 

“අර…කැමති කෙනෙක් ඉන්නව කිව්වෙ…ඊයෙ බයික් එහෙක ආවෙ එයාද දන්නෑ නේ..”

ඒ සිහින් තැඹිලි පාට දෙතොල් අතරේ වූ මඳහසෙහි සමච්චලයක් තිබිණ. සියපත් සිය තියුණු දෑස් වඩාත් කුඩා කොට ඔහු විනිවිද ලන බැල්මක් හෙළුවා ය. 

“නෑ. වෙන කෙනෙක්”

ඇගේ දෑස් පියන් බිමට හැරවිණි. ඇය මන්ද්‍ර වූ ස්වරයකින් මිමිණුවා ය. සදාතන ට දැනුණේ සැනසිල්ලක් ද නැත්නම් අලුත් වූ රිදුමක් ද කියා වෙන් කොට ගත නො හැකි ය. සියපතක් වන් ඇගේ සියුමැළි මුහුණ දෙස ඔහු පෙර මන්දහාසයෙන් ම බලා සිටියේ ය. සියපත් මුව මඳක් විවර කොට හුස්මක් ගත්තා ය.

“මං දෙයක් අහන්නද…”

ඇය වහා යළිත් නෙතු එසවූවා ය. ඒ මොහොත වන විට සදාතන ගේ මුහුණ මත වූ අර සිනහව අතුරුදන් ව තිබිණ. සියපත් “අහන්න සර්” කියා වාචික ව කීවේ නැත. නමුත් ඇගේ ඇස් වල ඒ වචන ලියැවී තිබිණ. 

සදාතන කලිසම් සාක්කු වල අත් දෙක ඔබා ගත්තේ ය. ඔහු ගේ සමස්ත ඉරියව් වල වූයේ බැරෑරුම් බවකි. මේ තරුණයාට මේ තරම් ඇගේ සිත ඇදී බැඳී යන්නේ ඇයිද යන පැනය සියපත් ගේ සිත් හි ඇති වී නැති වී ගියේ ය. ඇය මහත් තෘෂ්ණාවකින් යුතුව ඒ මුහුණ දෙස බලා සිටින්නට වූවා ය.

“ඔයත් ගෑනු ළමයෙක් නිසා…ගෑනු ළමයි ගැන දන්නව ඇති කියල හිතං මේක අහන්නෙ…”

ඔහු ගේ මූණට ලේ පුරා රතු වී ගියේ ය. සියපත් ගේ දෙතොල් අතරට සිනහවක් ආවේ ය. මේ ලැජ්ජාකාරයා මේ තරමින් හෝ ඇය ඉදිරියේ කතා කරනා එක ලොකු දෙයකි.

“බැරි වෙලාවත්.. ප්‍රපෝස් කරල තියන ගෑනු ළමයෙක්ට කැමති නෑ කියල කියන්න වුණොත්…ඒ ළමයගෙ හිත රිදෙයිද…හිත රිද්දන්නැතුව එහෙම දෙයක් කියන්න විදිහක් නැද්ද…”

සියපත් කිකිණි හඬින් හිනැහුණා ය. යළිදු ඒ සිනහව ඉල්ලා අස් කර ගෙන මොහොතක් බිම බලා සිටියා ය. ඒ අතරේ සදාතන ට ඇගේ මුහුණ හොඳ හැටි දැක ගත හැකි විය.

“ඒ ගෑනු ළමය මං වුණානං සර්…ඔව් ඉතිං නේද…මට රිදෙයි. කාගෙන් හරි ප්‍රතික්ෂේප වෙනව කියන තැන රිදුමක් තියනව තමයි. මං සනාතන සර්ගෙ යෝජනාව ප්‍රතික්ෂේප කරද්දි…එතනත් එහෙම දෙයක් පොඩියට හරි තියෙන්න ඇති. ඒත්…මං නං කැමතියි මට අකමැති කෙනෙක් කෙළින්ම මාව ප්‍රතික්ෂේප කරනවට. බොරුවට ළඟ ඉඳන් රවට්ටනවට වඩා එහෙම කරන එක මටනං ජෙනුයින්. කොච්චර පරිස්සං කරන්න හැදුවත් අපිට බිඳුන්නැති මිනිස්සු විදිහට පවතින්න බෑ සර්. කොයි විදිහට හරි අපි බිඳෙනව. එහෙම ප්‍රතික්ෂේප කරද්දි හිතක් බිඳෙයි කියල හිතන අපි…නොදැනම අපේ හිත බිඳ ගන්නව. බිඳිච්ච නැති මනුස්සයෙක් හොයා ගන්නව කියන එක නොමළ ගේකින් අබ මිටක් ගේනවටත් වැඩිය අමාරු වෙයි සර්”

සියපත් දෙඩුවේ මෙහෙණක ගේ සමාධිමත් බවෙන් යුතුව ය. 

“රිදෙන්නැති බිඳීමක් ගැනනං සර් අහන්නෙ…එහෙම දෙයක් තියෙන්න විදිහක් නෑ නේද…”

සදාතන සියපත් විනිවිදිනා බැල්මක් හෙළුවේ ය. ඔහු ගේ හිත සැනසිය හැකි පිළිතුරක් ඇගෙන් ලද නො හැකි වූයෙන් දෝ ඔහු ඉක්මන් නොවන පියවර තබා බිම බලා ගෙන ම ටෙරසයෙන් නික්ම ගියේ ය. සියපත් එහෙම ම නතර වී බලා සිටියා ය.

ඒ ටෙරසයෙහි එතැනට ම වී රාත්‍රියේ ද ඔහු එහෙම ම කල්පනාවේ සිටියේ ය. සනාතන සින්දු කෑල්ලක් ද සමගින් එතැනට විත් බැල්කනි වැටට බර වූයේ ය. අඳුරත් වැහි සිසිලත් උනුන් හා වෙළී පෙම් බස් මුමුණමින් සිටියේ ය.

“මොනා හරි කියන්න තියනවද..”

සනාතන එසේ ඇසුවේ සදාතන ගේ මූණ දෙස හෝ බලන්නේ නැතිව ය. අත් දෙක පපුව මැද බැඳ ගෙන අඳුර දෙස බලා උන් සදාතන යමක් කියා ගන්නට තැත් කළේ ය. නමුත් කියනා එක වචනයකින් හෝ සනාතන ගේ හිත රිදේවියි ඔහු ට වූයේ බියකි. 

“නැහ්”

එසේ මිමිණුවේ එබැවිනි.

“ඒත් මට කියන්න දෙයක් තියනව. හවස කතා කරපු වෙලේ…වියානා කිව්ව නෙක්ස්ට් වීක් එකේ ඒගොල්ලො ලංකාවට එනව කියල”

සදාතන මුලුමනින් තිගැස්සී ගියේ ය. ඔහු සනාතන දෙස බැලූ බැල්මේ වූයේ කම්පිත බවකි. ඒ මේ වෙලාවේ ඔහු කොහෙත්ම බලාපොරොත්තුවෙන් උන් යමක් නොවේ. 

“ඇයි බය වුණේ..වියානා කියන්නෙ සදාතනට ප්‍රපෝස් කරල තියන ගර්ල්නෙ…කවදහරි එයා ලංකාවට එන්න ඕනමනෙ..”

“සනාතන..”

“මං හිතන්නෙ එයාල යන්න කලින් වෙඩින් එකක් ගන්න බලාපොරොත්තු වෙනව”

“මට දැං එයාට බෑ කියන්න බෑද …මට එහෙම කරන්න අයිතියක් නැද්ද…”

“ඒත් ඒකට හේතුව මොකද්ද…”

සනාතන ගේ ඇස් එක එල්ලේ සොයුරා වෙත යොමු විය. සදාතන ඔහු මගහැරියා නොවේ. නමුත් ඔහු ට කියන්නට ස්ථිර වූ යමක් තිබෙනවාද යන පැනය ඔහු ඉදිරියේ විය. සියල්ල එක වර ලිහා ගත නො හැකි ය. මුලින් ම විසඳා ගත යුත්තේ වියානා ගැන ගැටළුව ය.

“සනාතන දන්නවනෙ. මට ඒ ළමය ගැන එහෙම කිසිම අදහසක් නෑ”

“ඒ කියන්නෙ…එහෙම අදහසක් තියන වෙන කෙනෙක් ඉන්නවද…”

ඔහු හතර අතින් ම කොටු කරත්දී සදාතන ට පලා යා හැකි මගක් නොවිණ. නමුත් කොහොම මුහුණ දෙන්න ද කියාත් ඔහු නො දැන සිටියේ ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles