විවාහය හිරයක් කල බිරිඳකගේ කතාවක්

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“උඹ එන ගමන් නේද?”

ශෙහාන් ලෑස්තිවෙලා ගෙදරින් එලියට ඇවිත් වාහනේට නැගල ස්ටාට් කරන්න කලින් ඒ මැසේජ් එක ආවෙ අනුහස් ගෙන්. අනුහස් කියන්නෙ ශෙහාන්ගෙ ඉස්කෝලෙ යන කාලෙ ඉඳල හොඳම යාලුවා. අද මේ සෑහෙන කාලෙකට පස්සෙ කොල්ලො කට්ටිය ලෑස්තිවෙන්නෙ වන් ඩේ ට්‍රිප් එකක් යන්න. ශෙහාන්ගේ වාහනේ තමයි ගමන් යන්නත් ප්ලෑන් කරන් හිටියෙ.

ශෙහාන් ගෙදරින් යද්දි ශෙහාන්ගෙ වයිෆ් ශමිකාගෙ මූණ නම් එච්චර හොඳ පෙනුමක් නෙවෙයි තිබුනෙ. ඒත් කොල්ලො කට්ටිය යන ට්‍රිප් එකක් නිසා වගේම ශමිකාව කලින් මේ ගැන දැනුවත් කරල තිබුන නිසා ශෙහාන් ලොකුවට ඒක ගැන හිතුවෙ නෑ.

“මම එන ගමන්” කියල අනුහස් ට මැසේජ් එක දාලා ශෙහාන් වාහනේ නැගල කුරුල්ලා වගේ ගියේ කට්ටිය සෙට් වෙනව කිව්ව තැනට.

කන බොන ජාති, ඇඳුම් බෑග් හෙම වාහනේට පටවල යන්න ඔන්න මෙන්න කියල ඉද්දි තමයි ශමිකාගෙන් කෝල් එකක් ආවේ.

“හෙලෝ බබා කියන්න”

“ශෙහාන් කැන් යූ කම් හෝම්?”

එකපාර ආපු ඒ වචන ශෙහාන්ට ටික වෙලාවකට නිහඬ කලේ කියන්න දෙයක් හිතාගන්න බැරි එකට වඩා ශමිකා ඇයි එහෙම කිව්වෙ කියල හිතාගන්න බැරුව. ගෙදර කාට හරිප්‍රශ්නයක්ද කියන බය හිතට ආවෙ නැතුවත් නෙවෙයි.

“ඇයි බබා එහෙම කිව්වෙ? මොකක් හරි ප්‍රශ්නයක්ද?”

“නෑ මගෙ ඔලුව රිදෙනවා?”

“ඕකේ, ඉතින්?”

“ඉතින් ඔයා එන්න”

ශමිකාගෙ වචන වල තිබුන ටෝන් එක කේන්තිය ඇති කරන්නයි වැඩි කරන්නයි හේතුවක් උනාට යාලුවො ඉස්සරහ ඒ කේන්තිය පිටකරගන්න බෑ කියල ශෙහාන් දැනන් හිටියා.

අනික ශමිකාගෙ අම්මල හිටියෙ ශෙහාන් ශමිකා එක්ක ජීවත්වන ගෙදරට මීටර් කීපයක් දුරින් නිසා ශමිකට එහෙ ගිහින් ඉන්න කියල තමයි ශෙහාන් උදේ ගෙදරිනුත් එලියට බැස්සෙ.

“බබා ඔයාට අම්මලගෙ ගෙදර යන්න බැරිද?”

“අම්මලගෙ ගෙදර යන්න නම් මම ඔයාව බැඳගත්තෙ මොකටද? ඔයා එන්න”

“මට දැන් එන්න බෑනෙ බබා. ඔක්කොම කොල්ලො ටික ඇවිල්ල. බෑග්ස් එහෙමත් වාහනේට දාල ඉවරයි. අනික අපේ වෙහිකල් එකේ යන්නෙ. මම කොහොමද ආයෙ ගෙදර එන්නෙ?”

“එහෙනම් ඔයා එයාල එක්කම ඉන්න. ආයෙ මාත් එක්ක කතාකරන්න එපා”

දඩස් ගාලා ෆෝන් එක තිබ්බ ශමිකා ඉස්සරහ වගේම යාලුවො ඉස්සරහත් නිරුත්තර වෙච්ච ශෙහාන්ට ආපහු ගෙදර එනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ.

ඒත් කවද වෙනකම් මෙහෙම ජීවත් වෙන්නද කියන ප්‍රශ්නෙ ශෙහාන්ගෙ ඔලුවෙන් එලියට ගියේ නෑ. යාලුවෙලා ඉන්න කාලෙ ශමිකට ඕන විදියට එයා කියන කියන විදියට ජීවත්වෙන්න ගියාට බැන්දට පස්සෙ තමයි ශෙහාන්ට තේරුණේ තමන් ලොකුව වැරැද්ද කරගත්තෙ තමන්ට බව.

කසාද බැන්දම ශමිකා වෙනස් වෙයි කියල හිතුවට ශෙහාන් කොන්ඩෙ කපන විදුයෙ අඳින පලඳින විදියෙ ඉඳල ආස්‍රය කරන්න ඕන යාලුවො වෙනකම්ම හැම දෙයක්ම ශමිකට ඕන විදියට තමයි පාලනය වුනේ.

ඒත් ඒ හැමදේම දරාගත්ත සීමාවෙ උපරිමේ මේක කියල තේරුම්ගත්ත ශෙහාන් මගෙ ළඟට ආවෙ තමන්ගෙ යාලුව අනුහස් “උඹ කවුන්සලින් ගිහින් බලපන්” කිව්ව වචන වලට ගරු කිරීමක් විදියට.

“යාලුවෙලා ඉන්න කාලෙ ඇත්තටම මට එහෙම ලොකුවට තේරුනේ නෑ ශමිකා මේ මාව කන්ට්‍රෝල් කරන එක තමයි කරන්නෙ කියල. මම හිතුවෙ මට ආදරේ නිසා තමයි එහෙම කරන්නෙ කියල. ඒත් මට ඇත්තටම දැන් මේ මැරේජ් ලයිෆ් එක එපාවෙලා තියෙන්නෙ. මට තනියම මම ආස දෙයක් කන්න බොන්න අඳින්න පලඳින්න, කරන්න කියන්න විදියක් නෑ. ශමිකාට අනුව ඒව එක්කො මහ ගොඩේ දේවල් නැත්තම් එයා අකමැති මම ඒව කරනවට.

මේ අපේ මැරේජ් එක ඇතුලෙ මම කැමති දෙයක් කියල දෙයක් නෑ. ඔක්කොම තියෙන්නෙ එයා කැමති දේවල්.

මම එහෙම කෝපි වගේ දේවල් බොන්න ආස් අකෙනෙක් නෙවෙයි. මට කෝපි බිව්වම බඩ වේලෙනව. ඉස්සර යාලුවෙලා ඉන්න කාලෙ මම ඉඳහිට කෝපි එකක් බිව්වට බැන්දට පස්සෙ ශමිකා කෝපි බොන හැමවෙලාවකම මට කෝපි බොන්න බෑ. මම ඒක කිව්වම එයා දවස් ගානක් යනකම් මට අනං මනං දේවල් කිය කිය ඉන්නව.

මට හරි අමාරුයි දේවල් අහන්න ඉන්න. ඔලුව කන්න හදනව වගේ කියල තමයි දැනෙන්නෙ”

එකිනෙකාව පාලනය කිරීම එහෙම නැත්තම් Control කිරීම කියන දේ ප්‍රේම සබඳතා වගේම විවාහ සබඳතා ඇතුලෙත් අපිට බහුලව දකින්න ලැබෙන දෙයක්.

ආදරේ කියන්නෙ හරිම ලස්සන සංකල්පයක්. ඒ ආදරණීය සබඳතාවයේ උච්චතම තැන තමයි අපි විවාහය විදියට හඳුන්වන්නෙ.

ඒත් ඒ වගේ ආදරණිය සබඳතාවකදි උනත් පාලනය කිරීම කියන සංකල්පය මතු වෙන්න පුලුවන් අවස්තා අනන්තයි අප්‍රමාණයි. මේ පාලනය කිරීමට බලපාන ලොකුම කරුණ තමයි හැඟීම්, අපේක්ෂාවන්, සීමාවන් සහ සන්නිවේදනය කලමණාකරණය එහෙම නැත්තම් පාලනය කිරීමට තිබෙන අපහසුතා.

විවාහය සහ ප්‍රේමය කියන සංකල්පයන් ඇතුලෙ පාලනය කිරීම කියන කරුණ සහමුලින්ම නෑ කියල අපිට කියන්න බෑ. ඕනම සබඳතාවයක් ඇතුලෙ යම් තාක් දුරක පාලනය කිරීමක් තිබෙන්නම ඕන.

ඒක හැඟීම් කළමනාකරණය කිරීම, සීමාවන්ට ගරු කිරීම, ඵලදායී ලෙස සන්නිවේදනය කිරීම සහ විශ්වාසය පවත්වා ගැනීම කියන කාරණා අතරේ හරියට පාලනය වීම, බැලන්ස් වීමක් තියෙන්න ඕන දෙයක්.

පාලනයක් කියන්නෙ තමන්ගෙ තවත් කෙනෙක් එක්ක බෙදාගන්න ඉඩ, සබඳතාවය පෝෂණය කරන සහ ශක්තිමත් කරන බලවේගයක් මිස එකිනෙකාව කොටු කරන හිර කරන හැඟීමක් නොවෙන්න ඕන

එතනදි වඩා වැදගත් වෙන්නෙ එකිනෙකා අතර තියෙන තේරුම් ගැනීම. අතීත කාලයේ නම් විවාහය හිරයක් කියල කිව්වට අද වන විට අපි ආදරය මුල් කරගෙන විවාහ වීමට වැඩි ඉඩක් දීලා තියෙන නිසා ඒ වචනය තමන් අතර තියෙන මේ සබඳතාවය ව්ග්‍රහ කරන්න යොදාගන්නෙ නැහැ.

විවාහය කියන හිර වීමක් නෙවෙයි. දම්වැලක්, හිර කූඩුවක් නෙවෙයි. අපි කවුරුවත් කැමති නෑ කූඩුවක හිරවෙලා ඉන්න. එහෙම නේද?

ඉතින් පොඩ්ඩක් හිතල බලන්න තමන්ගෙ සහකරුවා හෝ සහකාරියව ඔයා පමණට වඩා පාලනය කරනවද? සීමා කරනවද කියන දේ ගැන.

අමතක නොකල යුතුම කරුණක් එක්කම මම මේ කතාබහ අවසන් කරන්නම්.

ඒ තමයි  හැම සීමාවකටම සීමාවක් තියෙන බව.

Related Articles

Don't Miss


Latest Articles