ජිතේන්ද්‍ර ජයකොඩි ‘කෑම කාමරේ’ යන පුවරුව දෙස බලා ගෙන මොහොතක් ගත කළේ ය. වියානා කී නම ඒ බව ස්ථිර ය. එදා දියණිය සදාතන හා සියපත් අතර වන පෙම් සබඳකම ගැන කියූ වේලේ ජිතේන්ද්‍ර ගේ සිතේ නැගුණේ එක ම අදහසකි. එනම් සිය දියණිය ගේ බලාපොරොත්තු සිඳ බිඳ දැමූ සියල්ලන්ගෙන් පළි දැරීමේ චේතනාවයි. ඔහු ට එය මහ ලොකු දෙයක් නොවේ. වැය කළ යුතු වන්නේ එක දුරකතන ඇමතුමක් හා මුදල් ටිකක් පමණකි.
“ඒගොල්ලො හරිම හොඳ අය තාත්ති. හරිම අහිංසක…ඒ වුණාට හිත් වලින් ගොඩක් පෝසත් මිනිස්සු. ඒ අයට කරදරයක් කරන්නනං හිතන්නවත් එපා. අනිත් එක මට ආදරේ නැති සදාතන කෙනෙක්ව මං බඳින්නෙ මොකටද කියන්න…ඔයා කැමතිද ඔයාගෙ දුව ආදරයක් නැති තැනක ජීවිත කාලයක් විඳෝනවට…මේ බලන්න තාත්ති…”
වියානා සිය ජංගම දුරකතනයේ පින්තූර ගැලරිය පෙරළුවා ය.
“මං මුලින්ම සියපත්ලගෙ ගෙදර ගිය දවසෙ ඒගොල්ලො මට සලකපු හැටි…දෙයියනේ එහෙම ආදරයක් කවදාවත් මං විඳල නෑ. ඒ ඔක්කොමල හරිම පුදුම මිනිස්සු. මේ බලන්න තාත්ති එයාල මං නිසා මහන්සි වෙලා හදපු කෑම මේසෙ. ඒ ගෙදර ගෑනු ළමයගෙ ආදරේ උදුරගෙන ලීගලි බැඳ ගත්ත කියල මට කවදාවත් මේ වගේ සතුටෙන් ජීවත් වෙන්න හම්බ වෙන එකක් නෑ තාත්ති. ඔයා මට පොරොන්දු වෙනව නේද සියපත්ට කරදරයක් කරන්නෙ නෑ කියල…”
එහෙම කියමින් වියානා ඔහු වෙත පෑ ඡායාරූප දෙස ජිතේන්ද්‍ර බැලුවේ උනන්දුවකින් නොවේ. නමුත් කෑම මේසය ළඟ හිට ගෙන සිනහ වෙවී සිටි ගැහැනු රුව ළඟ ඔහු ගේ දෑස් නැවත වරක් නතර වූයේ ආලෝක වර්ෂ වේගයකින් හිත අතීතයට දිව යමිනි. මේ ඒ ඇය ම ද? ඒ සුජීවා ද? ඒ සිනහව එය ම ය. නමුත් එදා ඒ සිනහවේ හිමිකාරිය හීන්දෑරි තරුණියකි. අද මේ ඡායාරූපයේ සිටින්නේ පිරිපුන් මුහුණක් ද පුෂ්ටිමත් සිරුරක් ද සහිත මැදි වියේ ස්ත්‍රියකි.
ඔහු දෙතුන් දිනක් ම, ෆොසිලීකරණය වූ මැමත් කෙනෙකු වාගේ නිෂ්ක්‍රීය ව සිටියේ ය. සැබවින් ඒ හිතා මතා ඇති කර ගත් අක්‍රිය වීමක් නොවේ. හදවතින් ම ඔහු පණ නැති ව සිටියේ ය. ගිලන් බවකින් සේ ඇඳට වැටී සිටියේ ය. ඔහු ට දැනෙනා, කියන්නට දැනෙනා අසනීපයක් වූයේ නැත. නමුත් කිසිදු ප්‍රාණවත් බවක් හෝ කිසිත් කිරීමේ උනන්දුවක් වූයේත් නැත.
එසේ දින කිහිපයක් ඔහේ ගත වී යාමෙන් පසු ජිතේන්ද්‍ර තීරණයක් ගත්තේ ය. ඒ වියානා කී තැනට ගොස් සියැසින් දැක බලා ගන්නටයි.
ඔහු රිය දොර හැර ගෙන බැස ගත්තේ ය. වචන වලින් පැහැදිලි කරන්නට බැරි අමුතු ම හැඟීමක් ඔහු ට දැනේ. එවැන්නක් මෙදිවියෙහි කිසි දාක දැනී නැත්තේ ය. ඒ ඇය විය හැකි ද? සුජීවා විය හැකි ද? සිය දරුවා පැහැර ගෙන පැන ගිය සුජීවා ඇය විය නො හැකි ද?
“මොනාද සර් බැලුවෙ…”
ආප්ප තාච්චියක් විවර කොට වසමින් ම ශාන්ත තරමක් ගරු කොට විමසී ය. මේ වගේ සුඛෝපභෝගී රථයක් නතර කොට මේ වගේ පුංචි බොජුන් හලකින් කෑමක් ගන්නේ කලාතුරකින් කෙනෙකු බව ශාන්ත දනී.
“මේ..” කියමින් ජිතේන්ද්‍ර බොජුන් හල සිසාරා බැලුවේ ය. ඒ කෑම වර්ග ඔහු ට සිහිපත් කළේ අතීතයයි. සුජීවා පිසූ භෝජන වල රසයත් සුවඳත් සිහි වී ඔහු ගේ මුව තෙත් වූයේ නිරායාසයෙනි.
අවසන ඔහු ට සෙවූ දේ හමු විය. අලුතෙන් බැද්ද වඩේ ටික කූඩයට දමා ගෙන ශෝ කේස් එකට දමන්නට ගෙන එන අතරේ ය සුජීවා ඔහු ව දුටුවේ. ඇගේ හදවත එක වර ම අතීතය නමැති තාප්පයේ හැප්පී, ගැස්සී නතර විය. වඩේ කූඩය එතැන තිබූ මේසය මතට අතෑරිණ. ඕ අතින් මුව වසා ගත්තා ය.
ජීතේන්ද්‍ර මහත්තයා හැඳින ගන්නට ඇයට නො හැකි වූයේ නැත. කාලය බොහෝ ගත වී, ඔහු තරබාරු වී, හිස කේ අඩු වී, පෙරටත් වඩා පෙනුමැති ව සිටියත් ඇයට ඔහු හැඳින ගත හැකි විය. සුජීවා ගේ ඉහින් කනින් දහඩිය ගලන්නට පටන් ගත්තේ ය. සිහි එළවා ගන්නට හැකි වූ ගමන් ඇය කළේ කකුල් දෙකට වෙර ගෙන ශාන්ත වෙතට ඇවිද ගන්නා එක යි.
“ශාන්..ත…ජිතේන්ද්‍ර මහත්තය…”
ඇගේ හඬ වෙව්ලා ගියේ ය. ඒ වචන කිහිපය ශාන්ත ගේ පපුව ඇතුළේ බෝම්බයක් පුපුරුවා හල බව කවුරුන්වත් දන්නේ නැත. කොයි තරම් කලබල වූයේ ද යත් මේ මොහොතේ කුමක් කළ යුතු ද කියා නිශ්චිත කර ගන්නට ශාන්ත අපොහොසත් වූයේ ය. ආප්පයක් කර වී ගියේ ය.
“මේ”
කියා කොත්තු බාස් ට කතා කළ හෙතෙම ඔහු ට ආප්ප ළිප බාර දුන්නේ ය.
“මහත්…ත…ය…”
සුජීවා ගොත ගැසුවා ය. ජිතේන්ද්‍ර විසින් කවදා හෝ ඇය සොයා ගනිතැයි සුජීවා සිතුවේ ම නැත. මුල දී එවැනි දෙගිඩියාවක් හිතේ වී ද කාලයත් සමග එය තුනී වී නැත්තට ම නැතිව ගියේ ය. එයින් අවුරුදු විසි ගණනකට පස්සේ ඔහු ඇය සොයා ආවායි මේ මොහොතේත් සුජීවා ට අදහා ගත නො හැකි ය. ඇයට නොව එවැන්නක් නොවෙතැයි කාලයක් තිස්සේ ඇය අස්වැසූ ශාන්තට වුව මේ උහුලා දරා ගත නො හැකි පීඩනයකි. බරකි. දුකකි. තැවුලකි. කම්පාවකි.
“අනේ බුදු මහත්තයො. වැඳල කියන්නං. මගෙ කෙල්ලව මගෙන් උදුර ගන්න එපා. මං ඒකිව හැදුවෙ මගෙ ඇස් දෙක වගේ. මට ඉස්සෙල්ලම තාත්ත කිව්වෙ ඒකි. මාව මරල දාල ඒකිව අරං යන්න මහත්තයො ඉස්සෙල්ලම මාව මරල දාල ඉන්න”
ශාන්ත දෑත් එක් කොට පපුව මත තබා වඳිමින් ජිතේන්ද්‍ර වෙතින් ඉල්ලා සිටියේ ය. ඔහු ගේ ඇස් පුපුරා කඳුළු දෝරෙ ගලන්නට විය. ආප්ප ගන්නට ය කියා වියානා සමගින් සියපත් කඩයට පැමිණියේ මේ වෙලාවේ ය. යුවතියන් දෙදෙනා ම බියෙන් භීත වූහ. කඩයට ගොඩ වෙන්නට පෙර ම පියා ගේ රිය හඳුනා ගත් වියානා නපුරක පෙර නිමිති දුටුවා ය. ඇය වහ වහා සදාතන ට කෙටි පණිවිඩයක් යැව්වා ය.
“අංකල්…ළිප් ඕෆ් කරල පොඩ්ඩක් කඩේ වහල දාන්නකො”
සියපත් එළඹි සිහියෙන් කලබලයෙන් ම කොත්තු බාස්ගෙන් ඉල්ලා සිටියා ය. ඒ අනුව ආප්ප ළිප් නිවිණි. කඩ දොර වසා දැමිණි. ජිතේන්ද්‍ර ප්ලාස්ටික් මේසයක් ළඟ පුටුවකට බර වී සිටියේ ය. සිදු වෙන්නට යන්නේ හෝ සිදු වෙමින් පවත්නේ කුමක් දැයි තරුණියන් දෙදෙනාට ම සිතා ගත හැකි වූයේ නැත.
සිදු වෙමින් පැවතුණේ අතීතයේ එක දවසක වෙනස් මගක හැරී ගිය කතාවක ඉතිරි කොටස ය. ඒ කාලේ සුජීවා ජිතේන්ද්‍ර හා දියමන්ති ගේ ගෙදර උයන්නට ගිය සේවිකාව වූවා ය. දියමන්ති ගේ උකුල හිස් වී තිබුණෙන් ඒ ගෙදර කිසිදු සතුටක් වූයේ නැත. දියමන්ති විශ්ව විද්‍යාලයේ රැකියාවට ගියා ය. ඉංග්‍රීසි සාහිත්‍යය ඉගැන්වූවා ය. ජිතේන්ද්‍ර ව්‍යාපාර කළේ ය. නමුත් ඒ ගෙදර ඔවුන් හොඳින් දැන සිටි රික්තකයක් විය. ඒ ඔවුන් කතා නො කළ දෙයකි. ගෙදර උයන්නිය වන සුජීවාව ජිතේන්ද්‍ර විසින් අවනත කර ගනු ලැබූයේ දියමන්ති ඔහු ට දරුවෙකු නොදුන් නිසා ම නොවේ. ඔහු ගේ තිබූ සෙල්ලක්කාර ගති පැවතුම් හින්දා ය. ඉතා ශාන්ත පිළිවෙත් ඇති ඉවසිලිවන්ත ස්ත්‍රියක වූ දියමන්ති, අනාගතය දිවැසින් දැක වාගේ සුජීවා ව රාත්‍රී කාලයේ ගෙදර නතර කොට ගත්තේ නැත. ඇය උයා පිහා තබා නික්ම ගියා ය. නමුත් වැරදි සිදු වන්නේ අඳුරේ දී පමණක් නොවේ. සුජීවා ගැබ් ගෙන ඇති බව දැන ගත් විට දියමන්ති තව තවත් තමන් ඉවසූවා ය.
“මට ඒ දරුව ඕනෙ”
ජිතේන්ද්‍ර තරයේ කීවේ ය. එක ගෙදරක ගැහැනුන් දෙදෙනෙකු සමග එක පිරිමියෙකු පවුල් කෑම ලෝක සම්මතය නොවේ. මේ ගැටළුව විසඳිය හැකි එක ම මග දරුවා ලැබුණ පසු ඔහු හෝ ඇය තමන් ගේ භාරයට ගෙන සුජීවා ව පිටත් කොට හැරීම යයි දියමන්ති තීරණය කළා ය. සිය පාර්ශවයේ දුර්වලතාවයක් ඇති නිසා ජිතේන්ද්‍ර සමග දබර කර ගැනීමේ පලක් නොවන බව දැන සිටි ඇය, සුජීවා ට අසාධාරණයක් නොවිය යුතු බව ද විශ්වාස කළා ය. ඒ අනුව දරුවා ලැබෙන තුරු සියලු පහසුකම් ඇය වෙනුවෙන් සැපයිණි. පෝෂණය ද වෛද්‍යාධාර ද නිසි ලෙස ලබා දෙන ලදී. දරුවා ලැබුණ පසු ඔහු හෝ ඇය තමන් වෙත භාර දෙන බවට ද, සුජීවා ට වූ අසාධාරණය වෙනුවෙන් අනාගතය ගොඩ නගා ගන්නට ඇයට මුදලක් දෙන බවට ද දෙපාර්ශවය එකඟතාවයකට ආවේ ය. ඒ අතරේ දියමන්ති ගැබිණියක සේ ව්‍යාජ කුසක් දරා ගෙන ලෝකය ඉදිරියේ පෙනී සිටියා ය. ස්කෑන් පරීක්ෂණයන් ට ද හසු නොවී හලාවත මහ රෝහලේ දී සුජීවා නිවුන් දියණියන් දෙදෙනෙකු බිහි කළා ය.
ඒ දැරියන් දෙදෙනා සමරූපී නිවුන්නන් නොවේ. පොරොන්දු ප්‍රකාර ව දරුවන් ගේ ජීව විද්‍යාත්මක පියාට ඔවුන් බාර දී නික්ම යන එක මොන තරම් අසීරු කරුණක් දැයි සුජීවා හරියට ම තේරුම් ගත්තේ දරු ප්‍රසූතියෙන් අනතුරුව ය. ජිතේන්ද්‍ර හා දියමන්ති පැමිණ දරුවන් ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා නික්ම ගිය වෙලාවේ, ඒ වෙලාවේ ඇති වූ හැඟීමට නතුව සුජීවා ක්‍රියා කළා ය. ඒ, එක දැරියක ජිතේන්ද්‍ර වෙනුවෙන් තබා අතට හසු වූ කෙනෙකු ගෙන රෝහලෙන් සැඟවී යාමෙනි.
හලාවත දුම්රිය නැවතුම් පොළෙන් කිසිදු අරමුණක් නැතිව ඕ පිටකොටුව බලා යන දුම්රියකට ගොඩ වූවා ය. සැබවින් ඈ එහි ගොඩ වූයේ කොහේ යන එකක් දැයි දැන ගෙන නොවේ. ඇයට ඕනෑ වූයේ දරුවා ද ගෙන කොහේ හෝ නික්ම යන්නට ය. ජිතේන්ද්‍ර ගෙන් සැඟව ගන්නට ය.
දුම්රිය ගමන පුරා ම සුජීවා කළේ අලුත උපන් බිළිඳිය තුරුළු කර ගෙන හඬනා එකයි. දරු දුකට ඇය ගෙන රහසේ පැන ආවාට, දරුවා හදා වඩා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඈ ඉදිරියේ දත් විළිස්සා ගෙන පෙනී සිටියේ ඒ ගමන අතරේ ය. ඇය මව් අහිමි ව එක එක ඥාතීල් ළඟ බැල මෙහෙ කරමින් හැදුණු තැනැත්තියකි. රැකියාවක් කර ගෙන ජීවත් විය හැකි කාලයේ දී ඇය ජිතේන්ද්‍රලා ගේ ගෙදරට පැමිණියේ පුවත්පතක සේවිකාවක ඉල්ලා ඔවුන් පළ කොට තිබූ දැන්වීමකට අනුව ය. දරුවෙකු කර පින්නා ගෙන යන්නට තමන්ගේ ය කියා තැනක් ඇයට තිබුණේ නැත. දැරිය ගෙන ආ මෝඩ කමකැයි ඇය තැවෙමින් සිටියා ය. අත දරුවෙකු තනිව හදා වඩා ගන්නේ කෙසේ ද? අත දරුවෙකු සමග ගෙදරක බැළ මෙහෙ කරන්නට වුව යන්නේ කෙසේ ද?
මිතුරන් කිහිප දෙනෙකු සමග දුම්රිය මැදිරියේ ගී ගයමින් සිටි තරුණ ශාන්ත ගේ ඇස් සුජීවා වෙත යොමු වූයේ ඇය දිගින් දිගට ම කඳුළු සළමින් ද කඳුළු පිසිමින් ද හඬනා දරුවා නළවා ගන්නට වෙහෙසකර උත්සාහයක් දරමින් ද සිටි නිසා ය. ඔහු කොළඹ එමින් සිටියේ මිතුරෙකු ගේ ගෙදර දානයකට සහභාගී වීමෙන් පස්සේ ය. පිටකොටුව දුම්රිය ස්ථානයේ දී දුම්රියෙන් බැස, දරු පොදිය තුරුලු කොට ගෙන එකල මෙකල වෙමින් උන් නාඳුනන ස්ත්‍රිය වෙත ශාන්ත සමීප වූයේ ය.
“මොකක් හරි ප්‍රශ්නයක්ද…මං එහෙම ඇහුවෙ…කෝච්චියෙදි දිගටම අඬ අඬා එනව දැක්ක නිසා. මේ බබත් හරිම චූටිනෙ…”
ඔහු ඒ දරු පොදියට එබුණේ ය. හදවතේ මොකක්දෝ කෙනිති ගැසීමක් ඔහු ට දැනිණ.
“එයා ඉපදිලා දවස් දෙකයි. මට යන්න තැනක් නෑ. ඉන්න තැනක් නෑ. මොනා කරන්නද කියල දන්නෑ”
සුජීවා ගේ ඇස් කඳුළු වැගිරවූයේ ය. ඇය හැඳ උන් ලා රෝස පාට බෙඩ් ජැකට් එක මව් කිරි වලින් තෙත් වී තිබිණ. රෝහල් යහන මත අතැර ආ බිළිඳිය සිහි වන වාරයක් ගානේ ළැම තෙත් විය. සුජීවා ශාන්ත ට ඇත්ත ම ඇත්ත කතාව කෙටියෙන් කියා දැමුවා ය. ඇය කියන්නේ ඇත්තක් මිස බොරුවක් නොවන බව, ඇගේ විලාශයෙන් ඔහු පසක් කොට ගෙන සිටියේ ය.
“අපි කඩේකින් මොනා හරි කාල ඉමුකො. ඊට පස්සෙ ඔයා හෙමිහිට කල්පනා කරල බලන්න මොකද්ද කරන්නෙ කියල”
පිටකොටුවේ කඩයකින් ඇයට කන්නට බත් මුලක් ගෙන දී ශාන්ත දැරිය උකුලේ තියා ගෙන හිටියේ ය. ලස්සන දිළිසෙන ඇස් වලින් ඇය ඔහු ගේ හුරතල් කිරීම් දෙස බලා සිටියේ ශාන්ත ගේ ඇඟිල්ලක් ඉතා තදින් අල්වා ගෙන ය. ඒ අතැඟිල්ල අත් හැර දමන්නට එදා ඔහු ට හිතුණේ ම නැත. අද තව වෙන තුරා ඔහු අල්වා ගෙන සිටින ලොකු දුවගේ අතැඟිල්ල ඒ ය.
ශාන්ත ගේ ඇස් වලින් තව දුරටත් කඳුළු කඩා හැලේ. ඔහු ගේ දෑත් තවමත් ජිතේන්ද්‍ර ට වැඳ ගෙන ය. ඒ දර්ශනය දෙස තව දුරටත් බලා හිඳීමේ හැකියාවක් සියපත් ට වූයේ නැත. ඇය තාත්තා ගේ පපුව මතට කඩා ගෙන වැටුණා ය. ශාන්ත දෑතින් ඇය බදා වැළඳ ගෙන මහ හයියෙන් හැඬුවේ ය. සියපත් ඉකි ලෑවා ය.
“අනේ මගෙ තාත්තෙ”
ඔවුන් දෙදෙනා ගේ ම හදවත් පැලී යාමට ආසන්න ව තිබිණ. වියානා සුජීවා ව බදා ගත්තා ය.
“අම්…ම…”
ඇයට කියා ගත හැකි වූයේ එපමණකි.