මගේ අම්මා අච්චාරු වෙළෙන්දියකි. මට මතක ඇති කාලයේ සිටම ඈ විවිධ පළතුරු වර්ග වලින් අච්චාරු සාදා විකුණුවා ය. කුඩා දැරියක වූ මට අම්මා මගේ පාසල ළඟ අච්චාරු කරත්තයක් තබාගෙන අච්චාරු විකිණීම ගැටලුවක් වූයේ නැත.ඇයට මට බොහෝ දේ රැගෙන දීමට මුදල් නැති වීම ගැන දුකක් වූයේ ද නැත. අප සවස් යාමයේ පළතුරු කැපුවේ සතුටිනි. අම්මා පළතුරු කපන ලෙහෙසි ක්‍රම මට කියා දුන්නා ය. ඇයට උදව් වීම මගේ ලොකුම සතුට විය.
පාසල ඇරුණු වහා මගේ මිතුරන් අයිස් ක්‍රීම් වෙළෙන්දා වට කර ගනියි. එවකට වසර අටක දැරියක වූ මට එය වේදනාවකි. අයිස් ක්‍රීම් ගන්නට මුදල් ඉල්ලමින් අම්මා දුකට පත් කිරීමට ද මගේ කැමැත්තක් තිබුණේ නැත. නමුත් අයිස්ක්‍රීම් එකක් කන්නට මගේ ළපටි සිතේ ආශාවක් විය.
අම්මා දිනක් මගේ සතුට අමුතුම ආකාරයකට සොයා දුන්නා ය. ඇය අන්නාසි කැබැල්ලක් ක්‍රමවත් ව කපා අයිස් ක්‍රීම් කෝටුවක ගසා ඇය පළතුරු තැන්පත් කරන කුඩා අයිස් පෙට්ටියට තබා තිබුණා ය.
ඒ අන්නාසි කැබැල්ල බොහෝ රසවත් ය.
“අම්මා.. අපිට මේවා විකුණන්න බැරිද?”
මගේ සිතට එවැනි අදහසක් පැමිණියේ ය.
“පුළුවං… මං හදලා දෙන්නං. දූ විකුණන්න.”
අම්මා සැකසූ අන්නාසි කැබලි කුඩා අයිස් පෙට්ටියක අසුරාගෙන මම වෙළදාමේ ගියෙමි. “අයිස් පලම් වගේ අන්නාසි” කිසිවෙකුත් මිලට ගත්තේ නැත.
මා ආපසු පැමිණියේ වේදනාවෙනි.
“අම්මා.. කවුරුත් මගේ අන්නාසි ගත්තේ නෑ..”
අම්මා මගේ උත්සාහය අත් හරින්නට පැවසුවේ නැත.
“මාකට් එකේ රවුමක් දාලා එන්න..මිනිස්සු බඩු විකුණන හැටි දැක්කම මගේ දුවට අදහස් එයි..”
මාකට් එක පුරා රවුමක් ගිය අට හැවිරිදි කුඩා දැරියකට ඇගේම වෙළඳ උපක්‍රම කල්පනා විණි.
ඉතින් මම මගේ කුඩා අයිස් පෙට්ටිය සිතුවම් ඇඳ සැරසුවෙමි. නිශ්ශබ්දව මාවතේ නොඇවිද ඒවාගේ මිල ගණන් කියමින් කෑගැසුවෙමි. “අයිස් පලම් වගේ අන්නාසි” කැබැල්ලක් කමින් ඒ සියල්ල කළෙමි.
ගැනුම් කරුවන් පැමිණිනි. අයිස් පලමකට වඩා කුඩා දරුවෙකුට පළතුරු කැබලි කවන්නට අම්මලා ද උනන්දු විය. මම පාසල් ඇරුණු හැම දිනයකම පළතුරු අයිස් පලම් විකුණමින් කුඩා ව්‍යවසායිකාවක් බවට පත් වූයෙමි.
පියා නැති දියණියක ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරිනියක් දක්වා ගෙන එන්නට මගේ අම්මා සමතියක විය. ඒ දියණිය දැන් ව්‍යවසායිකාවකි. මගේම ක්‍රමයට වෙළඳ පොල ජය ගැනීමට පාඩම මා උගත්තේ මා ඉගෙන ගත් දෙයින් නොවේ.
කුඩා දැරියකට තමන්ගේම ක්‍රමයට අයිස් පලම් විකුණන්නට ඉඩ දුන් අම්මාගෙනි.
පැරදී යාම පලකට නැති දෙයකි. නොනවත්වා සටන් කරමින් තමන්ගේ ක්‍රම සොයා ගැනීම දියුණු වන්නට එකම පැහැදිලි හේතුවයි. දිනෙන් දින දියුණුවට පත් වන ව්‍යාපාරයක හිමිකාරිනියක ලෙස මට ඔබට කියන්නට ඇත්තේ එහෙම කතාවකි.
සැබෑවටම එය පවසන්නේ මේ මුදල් යහමින් ගැවසෙන තරුණ ව්‍යවසායිකාව නොවේ. වසර ගණනාවකට පෙර වීදි දිගේ නටමින් පළතුරු අයිස් පලම් විකුණූ කුඩා දැරිය ය.