තඹරු පියුම්රා දිවාකර නිවාඩු පිට දෙදිනක් ගෙදර සිටියා ය. ඒ බ්‍රහස්පතින්දා හා සිකුරාදා වූයෙන්, සති අන්තයේ දෙදින ද සමග දින හතරක නිවාඩුවකි. රැකියාවට යන්න ගැනීමෙන් පස්සේ තඹරු ලබා ගත් ප්‍රථම නිවාඩුව ද එය විය. නිවාඩුවක් ගත යුත්තේ නිවාඩු පාඩුවේ විවේකයෙන් හිඳින්නට ය. නමුත් බොහෝ මිනිසුන් රැකියා ස්ථානයෙන් නිවාඩු ගන්නේ තවත් වැඩ කන්දක් කර ගන්නට බලාගෙනයි. එහෙයින් ඔවුහු කවදාවත් නිවාඩු ලබනා මිනිස්සු නොවෙති. තඹරු ට නම් නිවාඩු ගෙන කරන්නට වැඩක් නො තිබිණ. ඇයට උවමනා වූයේ කුණාටු සුළඟක් විත් හැඩි කොට දමා ගිය ජීවිතයේ සුන් බුන් එක්කාසු කරගෙන නිවී සැනසිල්ලේ සිතන්නටයි. ඒ බොහෝ දේ සිදු වී තිබුණේ අතීතයේ, ඇය කුඩා සාවියේ ය. ඒ නිසා ඒවා සිද වූ අවස්ථා ගැන මතකයන් ඇත්තේ ම නැති තරමි. ඉතිරි ව ඇත්තේ ඒ අතීත සිදුවීම් නිසා ශේෂ වූ වර්තමානයක භෂ්මාවශේෂයන් ය. අතීතය එසේ සිදු වූ බවට කටින් කට ගෙන ආ කටකතා සමූහයකි. නැතහොත් කාලයක් තිස්සේ ඒ සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට විඳගන්නට සිදු වූ දුක් වේදනා දාමයක මතක මන්දිරයකි.
“සහායකයෙකු සඳහා ඇබෑර්තුවක් ඇත” යනුවෙන් ටයිප් කොට ලබා ගත් ඒෆෝ ප්‍රමාණයේ පිටපතක් ඇය කේක් ඇන්ඩ් කොෆී හි පෙනෙනා තැනක ඇලවූවා ය.
“මට ඕකනෙ මෙයාව අල්ලන්නෙම නැත්තෙ. ඉස්සර කරපු දේවලට තාම අපි වන්දි ගෙවද්දි එයා තවත් ආතල් ගන්න හදනව. ඔය බයිස්කෝප් එක පෙන්නන්න ගිහිං වැටිල ආයෙත් අතක් පයක් කඩාගෙන වෙදකං කරන්න වුණානං…සැපයි නේ…”
සඳැස් දිවාකර සමග තවත් නොරිස්සුම් වූයේ ය. ඔහු කියන්නේ සැබෑවක් මුත් තඹරු ගේ තාත්තා ගැන දරා ගත නො හැකි තරම් සන්තාපයකින් පිරී තිබේ. හැම හදවතක ම කතාවක් තිබේ. ඔවුන් පිටතින් දකිනා කතාව සේ ම, කවුරුන්වත් නොදන්නා, කාටවත් නො කියූ කතාවක් තාත්තා ගේ ඇතුළු හද ගැබෙහි තිබිය හැකි යයි දැන් දැන් ඇයට සිතේ.
“එහෙම කතා කරන්න එපා මල්ලි. අවුරුදු ගාණක් ඒ විදිහෙ ජීවිතයක් ගත කරන පිරිමියෙකුගෙ මානසික තත්වය ගැනත් අපි සංවේදී වෙන්න ඕනෙ. මිනිස්සුන්ට ජීවත් වුණා ඇති කියල හිතෙන්නෙ නිකංම නෙවෙයි. ඒ මිනිස්සුන්ට බැනල වැඩක් නෑ. මොකද අපි වුණත් මොන හේතුවක් නිසාහරි දවසක ඒ තත්වෙට පත් වෙන්න බැරි නෑ”
“මට දුක අම්ම ගැන”
“මටත් දුකයි අම්ම ගැන. තාත්ත ගැනත් දුකයි. අපි ඔක්කොමල එකම දුකක කොටස්කාරයො තමයි මල්ලි”
තඹරු යම් තරමකට හදවතින් කඩා වැටෙමින් සිටියා ය. කිසිවක් කර කියා ගන්නට තබා සිතා ගන්නට හෝ පණක් නැතිව ඔහේ බලා ගත් අත බලා ගෙන සිටියා ය. ජීවිතය කොතැනින් හෝ පටන් ගන්නට හදත්දී යළිත් පෙර සිටි තැනට ම කඩා වැටෙන්නට හදනා එක අවාසනාවකි. නමුත් එහෙව් ගරා වැටීමක් නො පෙන්වා, කොතක් සේ අනිත් අයට පේන්නට නැගී සිටින්නට සිදුව තිබීම ඊටත් වඩා අවාසනාවකි. අඩු තරමින් පැත්තක් අල්ලාගෙන හඬන්නට හෝ කොතැන හෝ වැටී නිදන්නට ඇයට හැකියාවක් ඇත්තේ නැත. පවුලේ වැඩිමලා වශයෙන් කාටත් පේන්නට හිස කෙළින් තබා ගෙව සිනා සී සිටිත යුතු ය. නැත්නම් ඔවුන් ද මනසින් ගරා වැටෙනු ඇත. අසීරුම ඒ විදිහට පිටින් ශක්තිමත් ව ඇකුළාන්තයෙන් හඬන්නට සිදු වීමයි.
තඹරු නැති කාර්යාල පරිශ්‍රය ම පාළුවට ගොසින් සේ සමනල් දිවයුරු රණසිංහ ට දැනිණ. වෙනදා වෙලාවට ආවාට ඔහුට හෝරාවක් හෝ එහි රැඳී සිටින්නට සිතුණේ නැත. නමුත් දමා ගසා යන්නට ද නුපුළුවන. තඹරු නැති නිසා ඔහුත් කාර්යාලයෙහි නො රැඳුණායි එතකොට කසු කුසුවක් යන්නට බැරි නැත. ඉදිරියෙන් වන කියුබිකල් එක අඳුරු ය. තඹරු සිටියදී එහි වන දීප්තිය හා ජීවය ඇය නැති විට අතුරුදන් වීම පුදුම සහගත ය. පහන් නිවුණු දෙවොලක් සේ සමනල් ගේ හදවත ද මූසල වී යමින් තිබිණ. ඔහු හේතුවක් හදාගෙන වේලාසනින් කාර්යාලයෙන් නික්ම මත්තේගොඩ ගියේ ය.
සමනල් ගේ රිය කේක් ඇන්ඩ් කොෆී ඉදිරියේ නවතින විට තඹරු සිටියේ ලොකු වීදුරු ජනේල වලින් පාර දෙස බලාගෙන ය. කාෂ්ඨක පොළොවක් මතට අහඹු වැහි පොදක් වැටෙන්නට ගත්තා සේ ඕ හදිසි ප්‍රාණයක් ලබමින් පහළට ඉගිළ ගියා ය.
“අංකල්ට කොහොමද බලන්න ආවෙ”
අඩ සිනහවකින් යෞවනයා රන්මුතු වෙත පැමිණියේ ය. තඹරු විත් අම්මා පිටුපස සිටගත්තා ය.
“මගෙ වැඩ ටිකත් මිස්ට පෙරේරට කරන්න වෙලා නිසා එයාට තරහත් ඇති නේද මිස්ට සමනල්…”
ඇය ඔහුගේ ප්‍රශ්නය අමතක කොට වෙනකක් කීවා ය.
“වැඩ ගැන හිතන්නෙපා තඹරු. ඔයා මෙහෙ ගැටළුව විසඳගෙන ඉන්නකො”
ඇය වැඩට ආවානම් හොඳ යයි උදේ සිට ම රබර් බෝලයක් සේ හිත මතුපිටට ආ සිතිවිල්ල බලයෙන් හිත යට ඔබාගෙන සමනල් වෙනකක් කීවේ ය.
“ඊට පස්සෙනං අංකල්ගෙ මුකුත් වෙනසක් නෑ පුතා. කෑම කෑවෙනං වෙනදටත් වැඩිය අඩුවෙන්. වෙන ගැටළුවක් නෑ. මං ඒත් බබූට කිව්ව හෙට ඔෆිස් යන්න කියල”
“නෑ නෑ ඔෆිස් එන එක ගැන හිතන්න ඕන නෑ තඹරු. කැෆේ එකට කාවහරි ගන්නකං ඔයා ලීව් ගන්න”
සමනල් උනන්දුවෙන් කීවේ ය. නමුත් ඔහු ගේ හිතේ එක පැත්තක් ඉතා තදින් ඔහු ට බලවත් සේ විරෝධය පාමින් සිටියේ ය.
“පිස්සුද මිනිහො උඹට…අද නිවාඩු ගත්තහම ඇති කියහං. මිස්ට පෙරේරට තනියම වැඩ කරගන්න බෑ කියපං. වීක් එන්ඩ් එකත් එක්ක දවස් හතරක් එයා දකින්නැතුව ඉන්න පුළුවන්ද…”
“ඒත් මෙහෙම වෙලාවක ලීව් ගන්නෙපා කියන්නෙ කොහොමද…දවසම එයාව දකින්න බැරි වෙනව තමයි. ඒත් දවසකට සැරයක්වත් ජිම් එක පිටින් තියල ඇවිත් මං එයාව බලල යනව”
හිතේ අනිත් පැත්ත පරමාදර්ශී ප්‍රේමවන්තයා ගේ චරිතය රඟදක්වන්නට වූයේ ය. දිවාකර ට කෑම ගැනීම පසුවට කල් දමමින් මෙතෙක් වෙලා සිටි නිසා, ඔහු ට බත් ටිකක් කවා එන්නම් කියා රන්මුතු මතු මහළට නැගුණා ය.ඇ විනිවිද දකිමින් සමනල් තඹරු ඉදිරියේ මඳ වෙලාවක් ගෙවෙන්නට හැරියේ ය. ඇගේ හිස කේ අවුල් වී ය. ඇස් විඩාපත් ය. මුහුණ මලානික ය. ගෙල මුලට වන්නට පෝනිටේලයක් දැමූ කොණ්ඩයෙන් ගිලිහිණු කෙහෙ රොදක් ගෙන ඔහු එය ඇගේ කන් පෙත්ත පිටුපසට කළේ ය.
“හැමදේම හරියයි. ඔයා අවුල් නොවී ඉන්න. මේ අහන්න තඹරු. මිනිස්සුන්ට ප්‍රශ්න එනව තමයි. අපි තව අවුල් වුණාම ප්‍රශ්න විසඳගන්නෙ කොහොමද…නේද…කාලද ඉන්නෙ දැන්…”
“තව ටිකකින් කනව”
“ඉතින් ඒකනෙ. දෙයක් වුණාම නොකා නොබී කොණ්ඩෙ පීරන්නෙ වොශ් දාගන්නෙ නැතුව ඉන්න එකෙං වෙන්නෙ තව තවත් ඒ ප්‍රශ්නෙම හිර වෙන එකනෙ..ම්…”
ඒ වෙලාවේ තඹරු ට හිත පිරිමදිනා සුවයක් දැනිණ. ඇගේ යටි හිත දිගින් දිගටම ඒ සුවය අපේක්ෂා කරන්නට ද ඇත. කෙසේ වෙතත් සති අන්තයේ දෙදින ම, හිතට කෙතරම් අසීරු වී ද සමනල් ජිම් එකට නෑවිත් සිටියේ ය. හැමදාමත් කේක් ඇන්ඩ් කොෆී වෙතට යන එක ගැන රන්මුතු වුව යමක් හිතන්නට බැරි නැතැයි සිතුණ බැවිනි. දිවාකර ව මානසික උපදේශකවරයාට පෙන්වීමට වෙලාව ලැබී තිබුණේ අඟහරුවාදාට ය. සෙනසුරාදාව මුළුමනින් මිතුරන් ගේ ඇසුරට වෙන් කළෙන් සමනල් ට පාළුවක් නො දැනිණ.
“අද සමනල් පුතා ජිම් එකට එන්න නැතුව ඇති”
හැන්දෑවේ රන්මුතු කීවා ය. තඹරු හ්ම් වත් නො කීවා ය. ඇගේ හිතට පාළුවක් දැනෙමින් තිබිණ. ඒ නො සන්සුන් බව නිසාවෙන් ඇය දිවාකර ගේ ඇඟ සෝදා ඇඳුම් මාරු කරවීමෙන් පස්සේ ඔහු ගේ නියපොතු කපන්නට ගත්තා ය.
“මගෙ වැඩවලට කාලෙ ගත කරන්න ඕන්නෑ බබූ…මං ගැන බය වෙන්නත් එපා. ඔයා ඔෆිස් යන්න”
දිවාකර මුදු ලෙස කීවේ ය.
“කොහොමද ඉතිං ඔෆිස් ගිහිං හිතේ නිදහසේ වැඩක් කරගන්නෙ…ගෙදර මොනා වෙලා ඇද්ද කියල ගින්දරේනෙ ඉන්න වෙන්නෙ”
මඳහසක් මුවෙහි වූවාට වචන වී ඒ පිට වූයේ තඹරු ගේ අවංක හැඟීම ය.
“මං තේරෙනව… මං ඕගොල්ලන්ට ගින්දර දෙනව. ඇත්තටම…මං ඕගොල්ලොන්ට වදයක් වෙලා. මට සමාවෙන්න බබූ”
“තාත්ත අපිට වදයක් නෙවේ. අපිට තාත්තව කොච්චර ඕනෙද කියල තාත්ත දන්නෑ. කියන්න ඕන දෙයක්…මං කරල දෙන්නං. මං පොඩි කාලෙ තාත්ත මට ඉරහඳ වුණත් ගෙනත් දෙන්න දෙපාරක් හිතුවෙ නෑ කියල මට මතකයි. ඒ අපි අපිට ආදරේ නිසා. ඒ කාලෙ තාත්තට අපි වදයක් වුණාද.. තමන්ගෙ අය වෙනුවෙන් මොනා කළත් ඒක වදයක් වගේ දැනෙන්නෑ තාත්තෙ. අපිට ඕනෙ ඔයා හිනාවෙලා සතුටෙන් ඉන්නව දකින්න විතරයි. තාත්තව නැගිට්ටවන්න අම්ම මොනාද නොකළෙ…හැම වෙදකමක්ම කළා. ඒක කරගන්න බැරි තාත්තගෙ හිතේ උනන්දුවක් නැති නිසා කියලයි අන්තිමට ඩොක්ටර්ස්ල කිව්වෙ. අපි ඔයාට වද කළේ නෑනෙ කොහොමහරි ඇවිදින්න කියල. කකුල් දෙකක් වෙන්න අපිට පුළුවන් තාත්තෙ. ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්. අපි වෙනුවෙන් ජීවත් වෙන්න ආසාවක් ඇති කරගන්න තාමත් ඔයාට බැරිද…එචච්චරයි ඉල්ලන්නෙ…අපේ අම්ම වෙනුවෙන් පුළුවන්නං ඒක කරන්න තාත්තෙ”
තඹරු ට හැඬිණ. ඒ කාලයක් තිස්සේ ඇය විසින් අක්ෂි කුහර තුළ හිර කරගෙන ඉන්නා ලද කඳුළු ය. ඒ කඳුළු දිය කොට හරින්නට ඇයට උවමනාව තිබිණ. නමුත් කඳුළු කියන්නේ දුර්වලකමෙහි සංකේතයක් කියා සිතූ නිසා ඕනෑ ය කියා දැනුණත් ඇය නාඬා සිටියා ය. තව දුරටත් එහෙම කරන්නට බැරි සෙයක් දැන් ඇයට දැනේ. හැඟීම් හිර කරගෙන ඉන්නා විට ජීවිතයෙන් ජීවය සිඳී යන්නට ගනී!
එදා රාත්‍රියේ ඇයට වැඩියෙන් සමනල් සිහි විය. දැන් ඔහු ඇගේ ආයතන ප්‍රධානියා වී නො සිටින්නට, ඔහු ට ඇමතුමක් ගෙන හිතේ වන සන්තාපය කියා කඳුළක් දෙකක් හෙළන්නට ඇය පෙළඹෙන්නට තිබිණ. කෙසේ වෙතත් දීර්ඝ වූ ඒ මුණිවත තවත් දරා සිටිය නොහී බිඳ දැමුවේ ඉරිදා උදයේ සමනල් විසින් තඹරු ට දුරකතන ඇමතුමක් ගැනීමෙනි.
“මං හිතුව තාත්තව අමතක කරල කියල”
ඇයට එහෙම කියවිණ.
“තාත්තව…”
“හ්ම්..තාත්තට කොහොමද කියල අහන්නවත් කෝල් එකක්වත් දුන්නෑනෙ”
“ඉතිං ඔයාට තිබුණනෙ කෝල් එකක් ගන්න”
යටි පතුල් සීතල වන සෙයක් තඹරු ට දැනිණ. කෙසේ පිළිවදන් දෙන්න දැයි ඇයට සිහි වූයේ නැත.
“අම්මත් කිව්ව ඊයෙත්…ඔයා ජිම් එකට එන්න නැතුව ඇති කියල”
“අම්මටවත් මතක් වුණා මදැයි…නේ…ඉතිං කොහොමද තාත්තට…ප්‍රශ්නයක් නෑනෙ…”
“නෑ”
“ටියුස්ඩේ අපි එක්කං යං. හොඳ දෙයක් වෙයි කියල මට හිතෙනව”
“හ්ම්”
“වැඩට කෙනෙක් හම්බුණාද..”
“කීප දෙනෙක් ඇවිත් කතා කළා. අද එක්කෙනෙක්ව සිලෙක්ට් කරගන්න ඕනෙ”
“ඒක හොඳයි. හෙට ඔෆිස් එනවනෙ…”
“එන්න ඉන්නෙ”
“එහෙනං…හෙට හම්බවෙමු”
එහෙම කියා සමුගත්තා ට ඔහු හැන්දෑවේ කේක් ඇන්ඩ් කොෆී දොරකඩ, අලුත් හිරු කිරණක් සේ පෙනී සිටියේ ය. සඳුදා ගැන බලාපොරොත්තුවෙන් දිය නාගෙන ඒ වෙලාවේ තඹරු පහලට ආවා විතර ය. ගතට දැනෙමින් තිබි නැවුම් බව අතරින් ඇය පිපුණු ගමන් මලක් සේ සිනහ වූවා ය. ඔහු අත වූ සිලි සිලි බෑගයක් ඇය වෙත පෑවේ ය.
“මොනාද…”
“අංකල් මතක් වෙලා ගත්තෙ. ෆෘට්ස් ටිකක්”
තඹරු බෑගයට එබී බැලුවා ය. ඊළඟට රන්මුතු දෙස බලා ලස්සන සිනහවක් පෑවා ය.
“ග්‍රේප්ස් තියනව වෙන්නැති. මෙයාට ඔය හිනාව යන්නෙ එයා ආසම දෙයක් දැක්කොත් තමයි”
තව දුරටත් පිපුණු ඒ සිනහව අම්මා ව අනුමත කළේ ය.
“අංකල්ව බලල එමුද…”
තඹරු හිස සලා එකඟ වූවා ය. ඔහු ට එක පඩියක් ඉදිරියෙන් යන ඇගේ හිස කේ වලින් ශැම්පු කන්ඩිශනර් සුවඳ වහනය විණි. සමනල් සිය පපුව පිරෙන්නට ඒ සුවඳ හුස්ම ගත්තේ ය.