පංචලී හැකි තාක් සතුටින් සිටින්නට උත්සාහ කළා ය. සමහර වෙලාවට උදෑසන අසනීප තත්ව ඇය යට කර ගන්නට තැනී ද පංචලී ශක්තිමත් ව ඒවායේ ආධිපත්‍යයට යට නොවී ඉන්නට බැලුවා ය. යහනට වැටී වැතිරී ගෙන ම ඉන්නට හිතෙන වෙලාවටත් සිනහවකින් නැගී සිට රැකියාවට යාමට සූදානම් වූවා ය.
“අපි එහෙම සැප ගන්න තරං පෝසත් මිනිස්සු නෙවෙයි පුතේ. අනිත් එක ඔයත් එන්න ඉන්න එකේ අම්ම ඉස්සර වගේ හුරතල් වෙලා බෑ”
කුස පිරිමදිමින් හෙමිහිට එසේ මුමුණමින් ඇය තමන් ම යමක් වටහා ගන්නට උත්සාහ කරන්නී ය.
පංචලී ගාල්ලේ ශාකාවට මාරු වීම ඉල්ලා සිටියා ය. අලුත් ජීවිතයක් අලුත් ම තැනකින් පටන් ගන්නා එක හොඳ ය. කොහොමටත් ඇය ගාල්ලට ආශා කළා ය. මුහුදු හුළං වැදෙමින් හැන්දෑවට ගාලු කොටුවේ හෙමිහිට ඇවිදින බඩ දරු අම්මා කෙනෙකුන් ඇගේ සිහින වල ඇවිදින්නට පටන් ගෙන තිබිණ.
“මොනාද මේ කරන විකාර වැඩ පංචලී…ඔයාට එහෙම මාව දාල යන්න පුළුවන්ද…ඔයා හිතන්නෙ මට ඔයා නැතුව ඉන්න පුළුවන් කියලද…”
ඇය ඉල්ලා සිටි ස්ථාන මාරුව ගැන දැන ගත් ගමන් ශාරද කලබල වූයේ ය. පංචලී ඔහු දෙස බලා සිටියේ සන්සුන් ව ය. සැබවින් ඇයට මේ මිනිසා ව තවමත් තේරුම් ගත නො හැකි සෙයකි. ඔහු අස දී ඇය ට ප්‍රේමයේ ප්‍රතිමූර්තිය වූ කලී ඔහු කියා සිතෙන තරම ය. ශාරද ගේ හඬ එපමණට ආදරය පිරි එකකි. ඔහු කෝප ගෙන කරනා කෑ ගැසීමක වුව තිබෙන්නේ ආදරය සේ ඇය ට දැනේ. ඔහු ගැන කවුරුන් කොහොම හිතුවත් ඇය ට ඔහු කියන්නේ ආදරය ය.
“මට ඉන්න පුළුවන් වෙයි. කොහේ හිටියත් මගෙ හිතේ ඒ ආදරේ තියෙන නිසා. ඔයා මාව ප්‍රශ්නයක් කර ගන්නෙ නැතුව ඔයාගෙ ජීවිතේ ගත කරන්න ශාරද. ආදරේ කියන්නෙ මැරේජ් එකකින් ම කෙළවර වෙන්න ඕන දෙයක් නෙවෙයිනෙ…අනික…එහෙම කෙළවර වුණ ඔයාගෙ මැරේජ් එක ගැන මට වඩා දෙයක් ඔයානෙ දන්නෙ”
“නිශාමනී ඔයාට කතා කළාද…”
ශාරද එසේ විමසුවේ තත්පර කිහිපයක් එක එල්ලේ පංචලී දෙස බලා සිටීමෙන් අනතුරු ව, ඇස් වලින් ඇය ව කියවා ගෙන වාගේ ය.
“නෑ”
ඇය සිය මුහුණේ ඉරියව් වෙනස් නොකර තනි අකුරක බොරුවක් කීවා ය.
“ඔයා වෙනස් වෙලා පංචලී. එදා කිව්ව අම්මල ප්‍රපෝස් කරපු කෙනාව බඳිනව කියල..දැං ට්‍රාන්සර් වෙන්න හදනව ගෝල් වලට…”
ඇය පිළිතුරු බඳින්නට නො ගියා ය. ඔහු ඈ රැවටුවා ද ඇය ඔහු ට රැවටුණා ද කියා පංචලී දන්නේ නැත. ඔහු ළඟදී දැනෙන්නේ ආදරය විතරක් බව නම් ඇය දනී. ආදරය වනාහි රැවටීමක් නොවන බවත් එය ප්‍රබල හැඟීමක් වන බවත් අත්දැකීම් විසින් ඇය ට උගන්වා තිබේ.
ඔහු ට බැඳි ආදරයේ නාමයෙන් ඇගේ කුස මල් කැකුළක් මෝරන්නට ගෙන ඇති වගක් කියා ගන්නට බැරි ව ඇගේ සිත දුක් වින්දේ ය. එනමුත් එය නො කියා ම ඔහු ගෙන් වෙන් වී යන එක වඩා හොඳ බව ඇය සිතුවා ය. එසඳි හැරෙන්නට ඔහු ගේ දරුවෙකු ලෝකයේ තවත් තැනෙක හිඳිනා බව ඔහු නො දැන ඉන්නා එක හොඳ ය.
එදා කාර්යාලයේ කෑම ශාලාවේ දී බලාපොරොත්තු නොවූ ලෙස පංචලී ට ඔක්කාරය ආවේ ය. ඒ කිසිවෙකු ගේ කෑම පාර්සලයක වූ එළවළුවක පුසුඹට ය. සමහරු ඒ ගැන ඒ හැටි තැකීමක් නො කළ ද සමහර උකුසු ඇස් ඒ වෙත දැල්වී ගෙන තිබිණ. ඊට මොහොතකට පසු ‘ශරදාකාස’ යේ දුරකතනය හැඬවිණි.
“මැඩම්. හැංගි හැංගි වෙස් බැන්දට ඔන්න දැන් එළියෙ නටන්න වෙයි වගේ. පංචලී කෑම සුවඳට බඩ අල්ලගෙන වොෂ් රූම් දුවල වමනෙ කළා. මං හිතන්නෙ ගෑනි ප්‍රෙග්නන්ට්”
නිශාමනී රිසීවරය දඩස් ගා දුරකතනය මත තැබුවේ අප්‍රසන්න හැඟීමකිනි. ඒ අප්‍රසන්න හැඟීම ව්‍යසනයක් ඇති කොට සතුටු වෙන්නට බලා සිටිනා මිනිසා ගැන ය. කෙසේ වෙතත් ඇය කවිච්චිය මතට වැටී ටික වෙලාවක් හයියෙන් හුස්ම ගත්තා ය. එය වූ කලී පහසු හැඟීමක් නොවේ. කෙතරම් පුළුල් මනසකින් ලෝකය දෙස බලන්නට සිතා ගෙන සිටිය ද සිය විවාහක පුරුෂයා ව තවත් ස්ත්‍රියක සමග බෙදා ගන්නට සිදු වූවා කියන්නේ අප සංස්කෘතික පරිසරයෙහි හැදුණ වැඩුණ ජීවත් වන ගැහැනියකට පහසු දෙයක් නොවේ. එසේ බෙදා ගන්නවාට වඩා අත් හැරීම සැබවින් පහසු බව තේරුම් ගත් අවස්ථාවේ ය නිශමනී අත් හැරීමේ තීන්දුව ගත්තේ. නමුත් ඇය මුළුමනින් ඔහු අත් හැර නොමැති බව මේ මොහොතේ දැනෙන්නා වූ අසහනකාරී හැඟීම සාක්ෂි දරයි. ඔහු නිසා තවත් ගැහැනියක ගැබ් දරන බව දැන ගැනීම උමතු හැඟීමක් ඈ තුළ දැනවී ය. නමුත් විනාඩි ගණනාවක් කල්පනාව දිගේ දුර ගමනක් ගිය ඇය තවත් සාමාන්‍ය ගැහැනියක නොවී සුවිශේෂ ගැහැනියක ලෙස තව දුරටත් සිටිනෙමැයි තදින් සිතා ගත්තා ය.
ලොකු හුස්මක් ගැනීමෙන් පසු ඕ පංචලී ට ඇමතුමක් ගත්තා ය.
“ඔයා හොඳින්ද…”
ඇය ට බැණ වැදෙනවාට වඩා, සිය පුරුෂයා උදුරා ගත්තා යි ඈ ගණිකාවක ලෙස හංවඩු ගසනවාට වඩා, ඇය ට වෛර කරනවා ට ද්වේශ කරනවාට වඩා මේ මිත්‍ර සමාගමය හදවතට මොනතරම් සැනසිලි සුවයක් දනවනවා දැයි නිශාමනී සජීවී ව අත් දුටුවා ය.
පංචලී කළේ පිළිතුරක් දෙනු වෙනුවට සිනහ වෙන එක ය. ඒ සිනහ සර නෑසුණා ට නිශාමනී ට ඒ හොඳින් දැනිණ.
“මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියනව”
නිශාමනී ඒ වචන කිහිපය කියා ගත්තේ මඳ අසීරුවකිනි. අනුන් ගේ ජීවිතයක පෞද්ගලිකත්වයකට අත පොවන්නට වීමේ අසහනකාරී බව ඇය ට දැනිණ. නමුත් පංචලී කියන්නේ අනුන් සේ සලකා අත් හළ අයෙකු නොවන තමන් ගේ කමක් නිශාමනී ට දැනේ.
ඒ ප්‍රශ්නය පංචලී ගේ හද ගැස්ම මඳක් වැඩි කරනා ලදී. ශාරදටවත් නොකී ඒ ආරංචිය ඇය දැන ගෙන ද?
“මේක මට ශාරද කිව්වෙ නෑ. ඇත්තටම….මං නමවත් දන්නෙ නැති ඔයාලගෙ ඔෆිස් එකේ පිරිමි කෙනෙක් තමයි දැං කතා කරල කිව්වෙ…ඔයා…ඔයා…”
“ඔව් නිශාමනී. ඒත්…මං ඒ ගැන මගෙ අම්මට මිසක් වෙන කිසි කෙනෙකුට කියල නෑ”
“ඒ කියන්නෙ…ශාරදටවත් නොකියා ඔයා කොහොමද ඒකට තනියම ෆේස් කරන්නෙ…”
“කොහොම හරි කරන්න ඕන. ප්ලීස්…ඔයත් කියන්න එපා”
ඇය බැගෑපත් වූවා ය. පපුවේ දැවීමක් නිශාමනී ට දැනිණ. ඇය සතුටක් වින්දේ නැත. හොඳ වැඩේ මට කරපු දේට යන සිතිවිල්ල හෝ ඇය තුළ නො නැගිණි. ඒ වෙනුවට ඈ තුළ උපන්නේ උතුම් වූ මාතෘත්වය දරන්නා වූ අම්මා කෙනෙකු කෙරේ ඇති වන්නා වූ ගෞරවය ය.
ඒ ගෞරවය ලැබෙන්නේ සම්මත සමාජය තුළ දී කුළවමියකට පමණකි. ඇය කුළ සිරිත් අනුව පති කුළයට ගිය සදාචාරවත් ගැහැනියකි. ඇය වට කොට ගෙන කවුරුත් බතින් බුලතින් සංග්‍රහ කරති. ගර්භණී මාතා යන ගෞරව නාමයෙන් අමතනු ලැබෙති. ලෝකයේ උසස් ම පදවිය හිමි වන්නේ එවැන්නියකට පමණකි. නමුත් පංචලී කියන්නේ කුළ සිරිත් වලින් බැහැර ව, විවාහයට පෙර දරුවෙකු කුස දරා ගත් ගැහැනියකි. ඇයට හිමි අවමන් ය. නින්දා අපහාස ය. ඇය ලොව උසස් ම පදවිය දරන්නට යන අම්මා කෙනෙකු නොවේ. ඇය අනියම් බිරිඳකි.
නිශාමනී ගේ සිත් හි ක්ෂණික ව මෝදු වූ හැඟීම නම් පංචලී ව තදින් වැළඳ ගැනීමේ උවමාවයි. නමුත් ඇය සිටියේ අත පොවනා මානයක නොවේ.
“පරිස්සං වෙන්න ඔයා. කන්න ආස දෙයක් මං හදං එන්නං. මොනාටද ඔයා ආස…”
“එහෙම විශේෂ දෙයක් නෑ නිශාමනී. ඇත්තටම…මට ඔයාව දරාගන්න බැරි තරං…”
පංචලී ගේ ඇස් වලට කඳුළු උනා තිබිණ. ඇගේ පපුව බර වූයේ ය.
“මටත් ඔයාව…අපි කොහොම හරි මේකට මූණ දෙමු පංචලී. හිත දුර්වල කර ගන්න එපා. එසඳි ට නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි…අනේ…එයා හරි ශෝක් වෙයි…”
නිශාමනී ගේ ඇසින් කඳුළු කඩා ගෙන වැටුණේ ය.
“විහිළුවට නෙවෙයි මං අහන්නෙ…ඇත්තටම කන්න ආම මොනාද…හෙට මං හදං එන්නං. ලන්ච් අවර් එකේ ඔයා එළියට එන්න…අපි දියතට ගිහිං කමු”
“ඔයා හදං එන ඕන දෙයක් මං ආසාවෙන් කයි”
“හරි. වෙන මොනාද ආස දේවල් තියෙන්නෙ…ස්වීට්ස්…ෆෘට්ස්…දන්නවද ඔය කාලෙට අමාරුවෙන් හරි හොඳ දේවල් කන්න ඕන. වොමිට් වෙනවනං නිතරම වතුර බොන්න. ඩිහයිඩ්‍රේට් වෙන්න දෙන්න එපා”
“වරකා කන්නනං ආසයි…වැඩියම ඉදිල නැතුව…හයියට…”
පංචලී අවිහිංසක ලෙස කීවා ය. ු
“මං මොන ලෝකෙං හරි හොයං එන්නං”
නිශාමනී ඒ මුවින් කීවා නොවේ. සිතින් සිතුවා පමණකි.
පසු දා දවල් ට පංචලී ට ගෙන යන කෑම එකේ අඩංගු විය යුතු ව්‍යාංජන ගැන ඇය එවේලේ සිට ම සිතුවා ය. යූ ටියුබ් එකෙන් රස කෑම වට්ටෝරු හෙව්වා ය. ආකාස ට කලබලෙන් ම දුරකතන ඇමතුමක් ගත්තා ය.
“හයිය වරකා තිබුණොත් ගේනවද..”
“ආ…”
සැබවින් ඔහු විශ්මිත වූයේ ය.
“වැඩිය ඉදුණෙ නැති හයිය වරකා…අනේ කීයක් වුණත් කමක් නඋ අරං එනවද..”
“ඇයි මේ හදිස්සියෙ…ඔයා ආයෙ…ප්‍රෙග්නන්ට් වෙලාද…”
ඒ ප්‍රශ්නය ඇසීමේ පැකිළීමක් දැනුණත් ආකාස ට එය නො අසා සිටිය නො හැකි විය. ඔහු ගේ පිරිමි හද තුළ සුළි කුණාටුවක කැළඹීමක් ඇති ව තිබුණේ ය. නමුත් නිශාමනී හඬ නගා සිනහ වූවා ය. ඇය ට සිනහව නතර කර ගත නො හැකි ව දිගට ම සිනහ වෙන්නට වූවා ය.
“හිනාවෙන්න තියා ගත්තෙ ඒ ගමන…හරියට උත්තරයක් දෙන්නකො”
ආකාස වෙත වූයේ මඳ නො රිස්සුම මුසු සබකෝලයකි.
“එහෙම එකක් නෙවේ අනේ. ඇත්තටම එහෙම එකක් තමයි. හැබැයි මට නෙවේ”
“එහෙනං ඉතිං මං මොකටද මේ දොළදුක් කෑම හොයන්නෙ…”
ඇය ගල් ගැසුණේ ත් ඒ කතාව නො කියා ඉන්නට තිබුණා යි ඔහු ට සිතුණේ ත් එකට ම ය. නමුත් දෙදෙනා ගේ ම හිත් වලට ඉසියුම් මිහිරක් හිරියක් සේ විහිද ගියේ ය.
“එහෙම කෙනෙකුට ආස දෙයක් හොයල දෙන එක පිං. ඊටත් වඩා ප්‍රෙග්නන්ට් අයට ආස කෑම දුන්නහම ලබන ආත්මෙ අපි ප්‍රෙග්නන්ට් වුණාම වමනෙ යන්නෙ නෑලු”
නිශාමනී ඒ කීවේ හරියට ම දැන උන් දෙයක් නොව කවුරුන් හෝ කියනවා ඇසී තිබි දෙයක් අඩමානයට ය. නමුත් ඇගේ සිතේ වූ ප්‍රීතිමත් බව උද්‍යෝගයක් සේ ඒ හඬින් පිට විය.
ආකාස සැහැල්ලුවට සිනහ වූයේ ය. සාමාන්‍යයෙන් වැඩිපුර සිනහ නොවෙන ඔහු ඒ විදිහට හඬ නගා සිනහ වෙත්දී හිරු දහසක් එක වර පායන්නා වැනි චමත්කාරයක් මැවේ. නිශාමනී ඒ චමත්කාරය තුළ අතර මං වූවා ය.