(අ)හිමි සිහින – 219

සුධාරක තව දුරටත් සුසානයේ නැති බවත් ඔහුගේ මනෝකාය සැරිසරනවා නම් එය ඇත්තේ කොහේවත්ම නෙවෙයි,ඔහු අප සමග ආදරයෙන් සෙනෙහසින් ජීවත් වූ ඔහුගේ නිවසේ බව මම සිතුවා.ඒ නිසා මා ඉදිරියට කරන්නට ඇති දාන මාන කටයුතු ගැන සිතින් සැලසුම් කරමින් නැවත නිවසට එන්නට පිටත් වූවා.මා සුධාරක ජීවත්ව සිටියදී බිරිඳකගෙන් ඉටු විය යුතු සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කළ ගැහැනියක්.ඒත් තව දුරටත් ඔහුව සතුටු කරන්නට මට පිනක් නැහැ.නමුත් මට ඔහු වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නට දැන් තිබෙනවා.

මගේ රාජකාරී ස්වභාවය මත මට සුදු වර්ණයෙන්ම සැරසීම අපහසුයි. පුරා වසරක් නොහැකිවුවහොත් මාස තුනක් හෝ ඔහුට ගෞරවයක් ලෙස සුදු වත දරා හිඳිමියි අධිෂ්ඨාන කරගෙන මම නිවසට ආවා.

ආපසු ගෙදර එන්නට පිටත්වුණත් ඒ ගැන මට උද්‍යෝගයක් තිබුණේ නැහැ.තවදුරටත් මා ආදරය කළ මා අත්‍යන්ත ප්‍රේමයෙන් රැක බලාගත් මගේ සුධාරක නැවත කිසිදා ඒ නිවසට එන්නේ නැහැ.මට දැනුණේ මහා හිස් බවක්.

ඉරණම අපව කුමන දිශාවකට මෙහෙයවූවත් සමහර දේවල් ඉතා දෛවෝපගත ලෙස සිද්ධ වෙනවා.සුධාරක නිවසක් ගොඩනගා ගත්තාට එහි ඔහුට කුටුම්භයක් ලෙස ජීවත්වන්නට ලැබුණේ මාත් මගේ දියණියත් සමගයි.දශක තුනකටත් එහා දිවගිය ඔහුගේ රාජකාරි කාලය තුල ඔහුට කොළඹ ජීවත්වන්නට ලැබුනේ වසර දෙකක් පමණයි.ඒ වසර දෙකම ඔහු මේ නිවසේ මා සමග බොහෝ ආදරයෙන් ජීවත් වුණා.

දිල්හානි ගැටලු ඇත්නම් විසඳාගන්නට බලනවා වෙනුවට කළේ තවත් ඔහු අපහසුතාවයට පත් කරන දේවල්. විනයගරුක දක්ෂ නිලධාරියෙකු හා නිර්දෝෂී මිනිසෙකු වූ නිසාම සුධාරකට හානියක් කරන්නට නොහැකි වුණත් පෞද්ගලික හේතුවක් හෝ සොයමින් ඔහුට පහරගහන්නට බලා සිටි ඇතැම් නිලධාරීන් අතින් ඔහුට බොහෝ අසාධාරණකම් සිදු වුණා.එසේ වූවත් ඔහු එයින් සැලුනේ නැහැ.මට දිනක් ඔහු මෙසේ හිතවතෙකුට පවසන අන්දම ඇසුණා

“මල්ලි මේ සුධාරක ජීවිතේ වැඩි හරියක් ගස් ගල් යට හිටපු මිනිහෙක් මට මේ ලංකාවේ කොතනත් එකයි.මාව කපන්න බලන කෙනෙකුට කරන්න පුලුවන් මට ලැබිය යුතු දේ නොදී සිටීම විතරයි.ඒත් කමක් නෑ මල්ලී දැන් ගෙදර ඉඳලා නෝනගේ අතින් හදන රස කෑම ටිකක් කාලා නෝනාගෙ ආදරේ එක්ක හුරතල් වෙලා සතුටින් ඉන්නවනේ.ඒකම මදැයි ජීවිතයක් නොතිබූ අපිට” යැයි පවසා මහා හඬින් සිනාසුණා.

ඇත්තටම එය එසේම සිදු වුණා.ගොඩනැගිල්ලක් නිවසක් ලෙස පරිවර්තනය කර එය ජීවත් වන්නට සුදුසු තැනක් බවට පත්කරන්නට මට හැකි වුණා.

නිවස ගැන කතාකරන විට මා ඒ ගැනත් ඔබට යමක් කිවයුතුයි.මේ නිවස සම්පූර්ණයෙන්ම සුධාරකගේ තනි වියදමෙන් දිල්හානිගේ උවමනා එපාකම් මත සැලසුම් කර සාදාගත් නිවසක්.තට්ටු තුනකින් සමන්විත, බිත්ති වැඩි ප්‍රමාණයක් වීදුරු වලින් නිම කළ් ඉතා උස් බිත්ති හා ගුප්ත ලෙස තැන තැන අපිලිවෙලට සකසා තිබූ අහු මුලු වලින් සපිරි ඉතාමත් අනාරක්ෂිත නිවසක්.නිවසක් කියන්නේ තමන් සතුටින් සහනයෙන් ජීවත්වන්නට සාදාගන්නා ආරක්ෂිත තැනක් මිස ලෝකයට පේන්නට හදාගන්නා ප්‍රදර්ශන කුටියක් නොවෙයි.ඕනෑම ගැහැනියක් කැමතියි ලස්සනට ජීවත් වෙන්න.ඒත් ඒ ලස්සන ජීවිතයට පහසුවක් සැනසීමක් ගෙනෙන දෙයක් විය යුතුයි.නිවසක් කියන්නෙ පවුලක් හැටියට එකිනෙකාට තමන්වී ජීවත්වන්නට හැකි තැනක්.ඒ නිසාමයි මට අයිතියක් නැති බව දැන දැනත් මා සුධාරකගේ නිවස වාසයට සුදුසු තැනක් බවට පත්කරන්නට විය පැහැදම් කලේ

මට මා ආදරය කළ මිනිසා සමග ආදරයෙන් ජීවත්වන්නට තිබූ ආසාව සහ අයිතිය දේපළ කියන දේ ට වඩා තදින් මට දැනුණා.මේ වනවිට ඒ කැපකිරීම ගැන මට ඇත්තේ අප්‍රමාණ සතුටක්.අද ඒ සියල්ල මතකයන් ලෙස ඉතිරිකර ඔහු සදහටම මගෙන් සමුගෙන ගිහින්. මේ භවයේ කිසිම දවසක ඔහු හා විඳි ඒ ආදරය විඳින්නට මා පින් කර නැහැ.

ඒ නිසාම මට ඒ නිවස තුළ ඇති මතක සටහන් පමණමයි අද ඉතිරිවී ඇත්තේ.වසර කිහිපයක් හෝ බිරිඳකගේ සියලු වගකීම් ඔහු වෙනුවෙන් මා නොපිරිහෙලා ඉටු කළේ ඔහු මෙතරම් ඉක්මනට මේ නොඑන්නට ගිය ගමන යාවි යැයි තුන්හිතකින්වත් නොදැනයි. මුදල් හරිහම්බ කරගත හැකියි.ගිලිහී යන ආදරණීයයන් හා ගෙවෙන ඒ කාලය යලි කෙදිනකවත් අපට ලබාගත නොහැකියි.ඇත්තටම මා ඉතිරිකරගත්තේ ඒ මතක සුවඳ පමණමයි.

මෙවැනි සිතිවිලි ගණනාවක් මැද මා නිවසට පැමිණියා.මේ නිවස තුළ තවදුරටත් මට ඔහුගේ ආදරණීය ආමන්ත්‍රණය “මැණිකේ ” කියන හඬ නොඇසෙන බව මම දන්නවා.”

“මැණිකේ මෙච්චර රසට උයන්න එපා.කාලා මම මහත් වෙයි”

“මැණිකේ මට කුක්කු තේ එකක් හදලා දෙන්නකෝ”

මට මෙවැනි ආදර ඇමතුම් නොඇසෙන බව ඇත්තක්.ඒත් ඒ හඬ මගේ හදවතේ සහ මේ බිත්ති අතර දෝංකාර දේවි.

මෙවැනි හැඟුම් සමුදායක් මැද ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවී මම නිවස තුළට යද්දී මා එනතුරු නිවසේ විශේෂ දෙදෙනෙක් රැඳී සිටින බව මම දැන සිටියේ නැහැ.කෑම මේසය ළඟ මගේ අම්මාත් තාත්තාත් හිඳගෙන හිටියා.මට ඒවේලේ මහා වේදනාවකින් මගේ පපුව හිරවෙලා යනවා දැනුණා.

“ඔය දෙන්නා මෙහේ ගෙන්න ගන්න එයා කොච්චර ආසාවෙන් ද හිටියේ.අනේ මේ වහල යටට එන්න එයා යන්නම යන්න යනතුරුම හිටියේ ඇයි”

මට ඒ ප්‍රශ්නය නාසා ඉන්නට නොහැකි වුණා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles