අනාගතය ගැන හිතලා වැඩ කරන පොසිටිව් මනුස්සයෙක් වෙන්නේ කොහොමද?

අනාගතය කියන්නෙ කෙසේ වේවිද කියල උපකල්පන ගොඩනගන්න ඉතා අසීරු කාල සීමාවක් කියල අපි දන්නවනේ.

විශේෂයෙන්ම නවීන ලෝකයේ සිද්ධ වෙන ඉතා ඉක්මන් සමාජ, දේශපාලන සහ තාක්ෂණික වෙනස්වීම් එක්ක ඊළඟ තත්පරේ කුමක් සිදුවෙයිද කියල හිතන්න අපිට ඇති හැකියාව ඉතාම සිමීතයි. 

හැබැයි, ඒ කොයි විදිහට ලෝකය වෙනස් වුනත් ඊට අනුකූලව හැකිතරම් හොඳින් අපේ ජීවිත ගොඩනඟා ගැනීමේ හැකියාව අපිට තිබිය යුතුමයි. 

හැකිතරම් ධනාත්මක හැඟීමෙන් සියල්ල දෙස බලමින් ඉවසීමෙන් යුතුව වෙනස්වන ලෝකයත් සමඟ ඉදිරියට යාමේ හැකියාවත් අපි ගොඩනඟා ගත යුතුමයි. 

ඉතිං අන්න ඒ විදිහට අනාගතය ගැනත් හිතල වැඩ කරන ධනාත්මක මනුස්සයෙක් වෙන්නෙ කොහොමද කියල ඔබත් එක්ක කරුණු බෙදාහදා ගන්නයි මේ ලිපියෙන් අපි අද සූදානම් වෙන්නෙ. 

ඔබ ඔබවම හඳුනාගන්න

තමන් පිළිබඳ නිසි අවබෝධයක් තිබීම ජීවිතයේ ඕනෑම අභියෝගයකට පහසුවෙන් මුහුණදීමටත්, එම අභියෝග ජයග්‍රහණය කිරීමටත්, අනවශ්‍ය අවදානම් ඇති නොකර ගැනීමටත් ඉතාම වැදගත් පියවරක් ලෙස හඳුනාගන්න පුළුවන්. 

හැකියාවන්, දක්ෂතා සහ අවස්ථා එකිනෙකාට අනන්‍ය බව තේරුම් ගැනීම ඉතාම වැදගත්.

ඔබට නොලැබුනු, අවස්ථා ඔබට නොලැබුනු දක්ෂතා වෙන කෙනෙක්ට තිබූ පමණින් ඒ පුද්ගලයා ඔබට හෝ ඔබේ අනාගතයට අභියෝගයක් බාධාවක් වෙන්නෙ නැතිබව ඔබ තේරුම් ගත යුතුයි. 

උපතේදී අපට ලැබෙන අවස්ථා සහ දක්ෂතා වගේම වයස, අත්දැකීම් සහ බිඳවැටීම් ඔස්සේ අපිට ලැබෙන සහ ගොඩනංවා ගත හැකි හැකියාවන්ද තිබෙනවා. ඒ නිසා ඔබේ හැකියාවන් සහ අවස්ථා හඳුනාගෙන ඒ ඔස්සේ අනාගතය ගොඩනංවා ගැනීමට ඔබ සැලසුම් සකස් කළ යුතුමයි. 

වෙනත් කිසිවෙකු සමඟ ඔබව සංසන්දනය කිරීමෙන් ඔබට ලැබෙන කිසිදු ප්‍රයෝජනයක් නොමැති වුනත් ඔවුන්ගේ සාර්ථක ගමන් මගෙන් උගත් හැකි සියල්ල ප්‍රයෝජනයට ගන්න ඔබට පුළුවන්. 

එනිසා ඔබට ඇති එකම අභියෝගය ඔබ පමණක් බව සිතා කටයුතු කිරීමයි වඩා සුදුසු වන්නේ. 

හීන ඉලක්ක ගොඩනගන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න

හීන සහ ඉලක්ක යහපත් සහ සාර්ථක අනාගතයක් වෙනුවෙන් පියනඟන මාවත ඔබට පෙන්වා දෙන්න හොඳ සහයක් ලබාදෙනවා. 

මේ ඉලක්ක කෙටි කාලීන හෝ දීර්ඝකාලීන වෙන්න පුළුවන්. සමහරු එකම දීර්ඝකාලීන අරමුණක් හෝ ඉලක්කයක් වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා වැඩකරද්දී සමහරු අවසාන ඉලක්කය කුඩා කුඩා කෙටි අරමුණු සහ ඉලක්ක වලට බෙදා වෙන්කරගෙන ඒ එකිනෙක සම්පූර්ණ කරගන්න කටයුතු කරනවා.

ඔබට පහසු ක්‍රමය තෝරගන්න ඔබට පුළුවන්. 

නමුත් ඔබ කුමන ක්‍රමය තෝරගත්තත් ඔබට ඒ වෙනුවෙන් මහන්සි වෙන්න, අභියෝග සහ අසාර්ථක වීම් වලට මුහුණදෙන්න සිදුවෙන බවත් ඔබ සිහිතබා ගත යුතුමයි. 

ඔබේ අරමුණ වෙනුවෙන් ඔබට ගැළපෙන කාලසටහනක්, ක්‍රමයක් නිර්මාණය කරගෙන ඒ ඔස්සේ වැඩකිරීම යම් කාලයක් ගත වුනත් අනාගතය සඳහා කරන ඉතාම යහපත් ආයෝජනයක් වීම නම් අනිවාර්‍යයි. 

ඍණාත්මක සිතුවිලි වලට සමුදෙන්න

අපේ මොළය නිතරම ධනාත්මක සිතුවිලි වලට ප්‍රමුඛස්ථානයක් දීලා කටයුතු කරන බව ඔබ දන්නවද? මොළය සාමාන්‍යයෙන් හැඩගැහිල තියන්නෙ එහෙමයි. 

හොඳයි. දැන් මෙහෙම හිතන්නකෝ. යම් කටයුත්තක් ආරම්භ කරද්දි එහෙමත් නැත්නම් යම් කටයුත්තක නිරතවෙද්දි ඔබට හිතෙන්නෙම ඍණාත්මක දේවල් නම් ඔබේ ඒ සිතුවිලි අපේ මොළයේ සාමාන්‍ය ක්‍රියාපටිය වෙනස් කරන්න තරම් කොතරම් ප්‍රභල වෙලා තියෙනවද නේද?

හැබැයි ධනාත්මක සිතුවිලි වල ඇති ප්‍රභලතාවය ඉක්මවා යන්න ඍණාත්මක සිතුවිලි වලට හැකියාවක් නැහැ. 

ඒ නිසා ඕනෑම අවස්ථාවක්, ඕනෑම සිදුවීමක් දෙස ධනාත්මකව බලන්න ඔබේ මනස පුරුදු කිරීමේ වගකීම ඔබට තියෙනවා. 

අනාගතයේදි ඔබ මුහුණ දීමට සූදානම් වී සිටින අභියෝග වලට වගේම කිසිදු දැනුම් දීමකින් තොරව ඔබට මුහුණදෙන්න සිදුවෙන සූදානමින් නොසිටින අභියෝග, ගැටළු, විවේචන සහ බිඳවැටීම් වලට මුහුණදෙන්නත් මේ පුරුද්ද ඔබට නොසිතන තරම් උදව්වක් වේවී. 

ඔබව අගයන්න

සෑමවිටම සෑම දෙයක් 100% ක් නිවැරදිව සර්ව සම්පූර්ණ ලෙස නිම කිරීමට හෝ ජයග්‍රහණය කිරීමේ හැකියාවක් කිසිවෙකුට නොමැති බව ඔබ තේරුම් ගත යුතුයි. 

ඔබට හැකි ඉහළම ආකාරයට ඔබේ කොටස සහ වගකීම නිමකල පසු එහි සතුට භුක්ති විඳින්න ඔබ අනිවාර්‍යෙන්ම කටයුතු කළ යුතුයි. 

ඔබ සතුටු විය යුත්තේ අවසන් ප්‍රතිඵලයෙන්ම නොවන බව සිහිතබා ගත යුතුමයි. 

ප්‍රතිඵලය කුමක් වුවත් ඒ සඳහා ඔබ ගත් වෙහෙස, මහන්සිය, වැයකල කාලය සහ සිදුකල කැපවීම් කිසිවෙකුට හෝ කිසිවිටක අවතක්සේරු කිරීමේ හැකියාවක් නැහැ. 

ඒ නිසා ජයග්‍රහණයේ හෝ මහන්සියේ ප්‍රමාණය කොතරම් කුඩා වුනත් වෙන කවුරුත් නැතත් ඔබ ඔබව අගයන්න හැකි සෑම අවස්ථාවක කටයුතු කිරීම අනිවාර්‍ය බව ඔබට මතක් කළ යුතුමයි. 

අනාගතයේ ඔබ සමඟ කවුරුන් සිටියත් නැතත් තනිව නැඟී සිටීමට එය ඔබට මනා පිටිවහලක් වෙනු නොඅනුමානයි. 

සෞඛ්‍ය ගැන හිතන්න

ආරෝග්‍යා පරමා ලාභා – සන්තුඨ්ඨී පරමං ධනං කියන බුද්ධ වචනය ඔබ අහල ඇතිනෙ. එයින් කියවෙන්නෙ ඔබේ සුවය ඔබ සතු ඉහළම ලාභය වගේම සතුට ඉහළම වත්කම කියලයි.  

සෞඛ්‍යාරක්ෂිත සහ ගුණාත්මක ආහාර වේලක් ගන්න, ව්‍යායාම කරන්න, අවශ්‍ය නින්ද සහ විවේකය ගන්න, නිසි පරිදි සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරගන්න අමතක කරන්නත් එපා.

ක්ෂණික කෑම වර්ග, අධික කොලෙස්ට්‍රොල් සහ පිෂ්ඨය අඩංගු ආහාර වර්ග බෝ නොවන රෝග විශාල සංඛ්‍යාවක් ඇතිකරන්න හේතු වෙනව වගේම ඔබේ මානසික යහපැවැත්මටත් ඉතාම හානිකර බව පර්‍යේෂණ මඟින් සොයාගෙන තිබෙන බව ඔබ දන්නවා. 

ඒ නිසා නීරෝගී අනාගතයක් වෙනුවෙන් අදම ඔබේ සෞඛ්‍ය ගැන සැළකිලිමත් වීමට ඔබ ආරම්භ කිරීම ඉතාම වැදගත්.  

කකුළු වට්ටියෙන් එළියට එන්න

කකුළුවන් දැමූ වට්ටියක් පිළිබඳ කතාවක් ඔබ අහල තියෙනවද?

මෙන්න මෙහෙමයි. ධීවරයන් මාළු දැමීමට භාවිතා කරල වේවැල් වලින් ගොතපු වට්ටි ඔබ දැකල තියෙනවනෙ. 

ඔය වට්ටියට කකුළුවන් දැමුවොත් අඬු වල උදව්වෙන් ඔවුන්ට පහසුවෙන්ම ඔය වට්ටියෙන් එළියට එන්න පුළුවන්. නමුත් එක කකුළුවෙක්වත් මෙහෙම එළියට එන්නෙ නෑ. ඒකට හේතුව තමයි ඉහළට නඟින්න උත්සහ කරන හැම කකුළුවෙක්ම අනෙක් කකුළුවන් විසින් පහළට ඇඳ දැමීම. 

මෙය අපිටත් අදාළයි. 

අපි ධනාත්මකව අපේ අනාගතය ගැන සිතීම පමණක් ප්‍රයෝජනවත් වෙන්නෙ නෑ. 

අපි වටා සිටින පිරිස නිතරම විවේචන, කේළම්, බොරු සහ අනීතික ක්‍රියා කරන ඍණාත්මක පිරිසක් නම් අපි නොදැනුවත්වම අපේ දියුණුව සහ ඉදිරි ගමන් මඟ වැළකෙනව වගේම අනවශ්‍ය ගැටළු සහ කරදර වලට ලක්වෙන්න තියන ඉඩකඩත් වැඩිවෙනවා. 

ඒ නිසා ඔබව පහළට ඇද නොදමන, ඔබව දිරිමත් කරන, ධනාත්මක අදහස් ඇති පිරිසක් සමඟ ඔබේ ගමන් මාර්ගය තෝරා ගැනීම ඉතාම වැදගත්. 

කකුළු වට්ටියෙන් එළියට එන්න බොහොම අමාරුයි. ඒත් ඔබ වෙනුවෙන් ඔබ එළියට ආ යුතුමයි. 

ඉතිං, අනාගතය ගැන හිතන ධනාත්මක කෙනෙක් විදිහට ගොඩනැගෙන්න මේ අදහස් ඔබට බොහොම වටීවි කියල අපි විශ්වාස කරනවා.

මෙවැනිම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles