කතුරුමුංගා මල් වලින් ඩෙවල් එකක් හදමු…

කටේ ඌෂ්ණ බිබිලි ආවම කතුරුමුංගා කොළ මැල්ලුමක් එහෙමත් නැත්නම් කතුරුමුරුංගා මල් දාල හදපු කිරිහොද්දක් කන්න අපි පුරුදු වෙලා ඉන්නවනේ. 

විටමින් A, ෆෝලේට්, විටමින් C වගේම මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම් සහ සෙලිනියම් වගේ පෝෂක වලින් අනූන කතුරුමුරුංගා ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන්න රුධිරගත සීනි මට්ටම අඩු කරන්න, පිළිකා වලින් ඇතිවෙන බලපෑම් අඩු කරන්න වගේම අස්ථි ශක්තිමත් කරන්නත් උපකාරී වෙනවා. 

ඉතිං, අපිට හුරුපුරුදු කතුරුමුරුංගා කොළ මැල්ලුම සහ මල් එකතු කරපු කිරි හොද්ද වෙනුවටකතුරුමුරුංගා මල් ඩෙවල් එකක් සාදාගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි අපි අද සූදානම් වෙන්නෙ. 

එහෙනම් පුරුදු විදිහටම මුලින්ම බලමු අපිට අවශ්‍ය දේවල් මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය 

සෝදා පිරිසිදු කරගෙන වතුර බේරාගත් කතුරුමුරුංගා මල් 08 ක් 10 ක් 

හාල් පිටි කෝප්ප 01 ක් 

කඩල පිටි කෝප්ප ¼ ක් 

කහ කුඩු 

මිරිස් කුඩු 

කෑලි මිරිස්

ගම්මිරිස් කුඩු 

ලුණු කුඩු

තලාගත් ඉඟුරු සුදුලූණු මිශ්‍රණයෙන් මේස හැන්ඳක් 

දිගට කපාගත් මාළු මිරිස් කරලක් 

කොටු හැඩයට කපාගත් තක්කාලි ගෙඩියක් 

කොටු හැඩයට කපාගත් ලොකු ලූණු ගෙඩියක්

දිගට කපාගත් ලූණු කොළ (අත්‍යාවශ්‍ය නැත) 

තක්කාලි සෝස්

සාදාගන්නා ආකාරය 

මුලින්ම, කතුරුමුරුංගා මල් වලට දැවටීමට අවශ්‍ය බැටර් එක සාදාගනිමු. 

ඒ සඳහා තරමක් විශාල භාජනයක් ගෙන එයට හාල් පිටි, කඩල පිටි, ගම්මිරිස් කුඩු තේ හැඳි ½ ක්, මිරිස් කුඩු තේ හැඳි ½ ක් , කහ කුඩු තේ හැඳි ¼ ක් සහ ලුණු කුඩු තේ හැඳි ½ ක් පමණ එකතු කර හොඳින් කලවම් කරගන්න. 

ඉන්පසු, ටිකෙන් ටික වතුර එකතු කර කලවම් කරමින් උකු දියරයක් සාදාගන්න. 

පිටි දියර මිශ්‍රණය නොකැඩෙන නූලක් සේ තිබිය යුතුයි. 

දැන් තෙල් තාච්චියක් ලිපතබා තෙල් රත්වූ පසු කතුරුමුරුංගා මල් සාදාගත් පිටි මිශ්‍රණයේ ගිල්වා ගන්න. 

හොඳින් පිටි දියර මිශ්‍රණය තැවරුණු කතුරුමුරුංගා මල් රත්වූ තෙලට දමා රන්වන් පාට වනතුරු බැදගෙන පසෙකින් තබන්න. 

දැන් තවත් භාජනයක් ලිපතබා එයට තෙල් මේස හැඳි 01 ½ ක් පමණ එකතු කරගන්න. 

තෙල් රත්වූ පසු එයට තලාගත් ඉඟුරු සුදුලූණු මිශ්‍රණය එකතු කරගන්න. 

විනාඩියක් පමණ බැඳෙන්නට තබා ඉන්පසු එයට කපාගත් ලූණු, තක්කාලි, මාළු මිරිස් සහ ලූණු කොළ එකතු කරගන්න. 

හොඳින් කලවම් කර විනාඩියක් පමණ තබා ඔබේ රස අනුව ලුණු කුඩු, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න. 

ටික වේලාවක් තබා එයට බැඳගත් කතුරුමුරුංගා මල් සහ තක්කාලි සෝස් මේස හැන්ඳක් පමණ එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් විනාඩියක් පමණ තබා ලිපෙන් ඉවත්කරගෙන උණුසුම්වම රසවිඳින්න ඔබට පුළුවන්. 

ගෙදරදි ඔබේ අතින්ම පිළියෙල කරගන්න පුළුවන් රස ගුණ පිරිණු මේ වගේම තවත් කෑමක් එක්ක අපි නැවත හමුවෙමු. 

රසට කන්න, සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles