කෝසල සිසිමාධවීත් දරුවන් දෙදෙනාත් තනිකර නික්ම ගියේ සිකුරාදා දිනයක උදෑසනය.
අසනීප වුණායින් පසු කෝසල වෙනදා මෙන් උදේ ඇහැරුණේ නැත. වෙනදාට උදේ අවදි වී සිසිමාධවී උයන අතරවාරයේ දරුවන් දෙදෙනා පාසල් යවන්නට සූදානම් කරන්නේ කෝසල වුවද අසනීප වූවයින් පසු මෙන්ම අසනීපය උග්‍ර වුණායින් පසුවත් සිසිමාධවී කෝසලට උදෑසනට වැඩිපුර වෙලා නිදාගන්නත්, විවේක ගන්නත් ඉඩ දුන්නාය.
එදා උදෑසනත් සිසිමාධවී උන්නේ උදේම ඇහැරී උයා පිහා ගන්නට මහන්සි වෙන අතරේ දරුවන් දෙදෙනා පාසල් යවන්නට සූදානම් කරමිනි. දෙව්මිත් චනුකත් කොහොමත් උදේට අවදිවෙන්න හෝ පාසල් යන්නට බෑ කියා කරදර දරුවන් දෙදෙනෙකු නොවන නිසා සිසිමාධවීට පහසුය.
“පුතේ පොත් බෑග් දෙක වහගන්න” කියා චනුකට කියමින් සිසිමාධවී නිදන කාමරයට ගියේ කෝසල ඇහැරවන්න හිතාගෙනය. වෙනදාට දරුවන් දෙදෙනා ඇහැරුණ පසු කෝසල ඇඳට නිදාගන්න ගිහින් හිටියත් මෙදා ඔහු උන්නේ බිමය.
තේ කෝප්පය මේසය මත තබා “කෝසල නැගිටින්න අපි යන්න හදන්නෙ” කියා කිව් සිසිමාධවී දරුවන් දෙදෙනා නිදාගත් ඇඳේ අවුල් වූ ඇඳ රෙද්ද සකසන්නට වූවාය. “කෝසල” කියා දෙවරක් කතා කරත් කෝසල ඇහැරුණේ නැති තැන සිසිමාධවීට අමුත්තක් දැනුනි. ඒ අමුත්ත හිස මුදුනේ සිට හටගෙන දෙපතුල් දක්වා විහිදුන ඇසිල්ලේ සිසිමාධවී කෝසල නිදා හුන් පැදුර ලඟට ගියේ වෙව්ලන දෙපයින් ය.
සීතල වූ ද ප්‍රාණය වියැකුණ ද කෝසලගේ අසනීපය නිසාම දුර්වල වූ සිරුර බිම එලා තිබූ පෑදුර මත නිසලව වැතිර තිබුණි. ඒ වැසී තිබුණ දෙනෙත් ද පිය වී තිබුණ දෙතොලද කියා පෑවේ බොහෝ කාලයක් තිස්සේ දරාහුන් වේදනාවකින් මිදුණ නිරාමිස සතුටය. සැනසීමය.
සිසිමාධවී ඒ ප්‍රාණය වියැකුණ මුහුණේ රැඳී තිබුණ ඒ නිරාමිස සතුට, වේදනාවකින් මිදුණ සතුට දුටුවාය. ඒ නිසාම තමා කෝසල නික්ම යාම ගැන සතුටු විය යුතු ද දුක් විය යුතු ද කියා සිතුවාය.
කඳුලක් වැටුණේ ඒ සිතුවිල්ල සිතා ගෙවුණ පලමු ඇසිල්ලේය. කෝසලගේ සීතල වී ගිය සිරුර මත දෑත් තබා බිම දණ ගසා ඔහු වෙත නැඹුරු වූ සිසිමාධවී හිස පහත්කර, වසර ගණනක් පුරාවට ආදරයෙන් විඳ ගත් ඔහුගේ ජීවන සුවඳ අවසන් වතාවට දිග හුස්මක් ඔස්සේ පපුව කෙලවරක සැඟවුවාය. කාමරයෙන් එළියේ හිඳිනා දරුවන්ට නොඇසෙන පරිද්දෙන් දෙතොල් හපාගෙන, දත් මිටි කරගෙන කඳුලු සැලුවාය. ඉකි ගැසුවාය. මේ දුක ජීවිතාන්තය දක්වා අවසන් නොවන්නක් බව දැන උන්නද කෝසල වන් උතුම් මිනිසෙකු වෙනුවෙන් කඳුලු හැලීම තම යුතුකම බව සිතුවාය.
අම්මා පමා වන්නේ ඇයි දැයි බලන්නට චනුක කාමරයට ආවේ නංගී කුස්සියට වී පාන් කද්දීය. බෑග් එක කරට දමාගෙන ආ චනුක කාමරයේ දොර ලඟ නතර වුණේ තාත්තාගේ සිරුර ලඟ වැටී අඬන අම්මා දැකය. අම්මා හඬන වෙලාවක තාත්තා නිසොල්මනේ හිඳින්නේ අම්මා බයෙන් උන්නාවුද මිනිසුන් කියා වූද ඒ භයානක දේ සිදු වීම නිසා බව කුඩා වුණත් චනුක අඳුනගත්තේය.
තාත්තා යන්නට ගොසිනි. මැරෙන මිනිස්සු ආයෙ තමන් හිටපු තැනට එන්නෙ නැති බවත් වෙන තැනකට යන බවත් කිව්වේ කලිඳු ය.
තාත්තා දැන් වෙන කොහේ හෝ සතුටින් ඉන්නවා ඇති බවත් අම්මා මෙහෙම අඬන බව දන්නවා නම් තාත්තා නෑවිත් ඉන්න එකක් නැති බවත් චනුක සිතුවේය.
කටයුතු සූදානම් වුණේ ඉක්මණින් ය. චනුකටත් දෙව්මිටත් ඉන්නය කියා මහගෙදරට ගිය සිසිමාධවී ඒ වේදනාබර පණිවිඩය නිවැසියන්ට දැනුම් දුන්නාය.
සිසිමාධවී යද්දී පුශ්පලතා උන්නේ උත්පලාටත් නිලන්තටත් වැඩට ගෙනියන්නට බැඳි බත් මුල් ඉස්තෝප්පුවේ කනප්පුව මත තබමිනි. නිලන්ත ඒ ආසන්නයේම හිටගෙන කලිසමට යට කල කමිසයේ රැලි හැදුවේය.
“අම්මේ” සිසිමාධවී කතාකල ගැඹුරු සෙම බැඳුණ අපහැදිලි හඬත්, රතු වූ තිබුණ දෙනෙතත්, පෙඟුණ කම්මුලුත් පුෂ්පලතා අහන්නට බය වූ ඒ කතාව නොකියා කියුවාය.
“කෝසල නැති වුණා අම්මේ”
නිලන්තගේ මුවින් “ආහ්” කියා කියවෙද්දි පුශ්පලතා හෙමින් සැරේ එතනම වූ පුටුවක ඇද වැටුණාය. දරුවන් ජීවත්ව ඉද්දී දෙමව්පියන් මිය යනවාට වඩා දෙමව්පියන් ජීවත්ව ඉද්දී දරුවන් මිය යාම වේදනාබර බව තමන් කොහෙන් හෝ අසා තිබුණ බව පුශ්පලතාට මතකය.ඒ ඇත්තක් බව ඇයට වැටහුණේද මේ මොහොතේය.
පුශ්පලතාත් නිලන්තත් උත්පලාත් කෝසලගේ ගෙදරට සේන්දු වෙද්දී සිසිමාධවී දුරකතනයෙන් තිලකරත්න නිවස ඇමතුවාය. නිවසේ උඩුමහලේ අයිරාංගනීගේ කාමරයේ සවිකර තිබෙන සම්බන්දිත දුරකතනය ඔස්සේ අයිරාංගනී ඇමතුම ගනී වි යැයි සිතුවද දුරකතනයට ආවේ සුමධුරය.
“හෙලෝ”
“මහත්තයා” කියා කියූ සිසිමාධවී ගේ හඬ ඇය තමාව හඳුන්වා දෙන්නට පෙර සුමධුර හඳුනාගත්තේය.
“මාධවී”
“සර් මට අද එන්න වෙන්නෙ නෑ සර්” කියා ඇය කියද්දී ඒ ඇසෙන්නෙ සුපුරුදු හඬ නොවන බවත් ඒ හඬ පිටුපස නොකී කතාවක් තියෙන බවත් ඔහුට තේරුණේය.
“ඇයි මාධවී?”
“මගේ මහත්තය නැතිවුණා සර්. දැන් ටිකකල කලින්. මම සර්ටයි නෝනටයි කියන්න ගත්තෙ. මට නිවාඩු ගන්න පුලුවන් වෙයිද සර්?” කියා ඇය අහද්දී සුමධුර ඇත්තටම දුක් වුණේය. තැවුණේය. එහෙනම් ඇයට ආදරය කල, ඇයද ආදරය කල මිනිසා ඇයව තනිකර නික්ම ගොසිනි. මේ මොහොත ඇයට පමණක් නොව තමන්ටද වේදනාකාරී මොහොතක් ය.
දුරකතනය තැබූ සුමධුර උඩු මහලට යන්නට පඩිපෙල නැග්ගේ ඒ කල්පනාවේය. අයිරාංගනී සුමධුරගේ මුහුණේ ඇඳී තිබුණ ඒ කල්පනාව දෙස විපරම්කාරී බැල්මක් හෙලුවාය.
“ඇයි පුතා?”
“මාධවීගෙ හස්බන්ඩ් නැතිවෙලා අම්මා. දැන් කෝල් කරලා කිව්වෙ”
“දෙයියනේ, මොනව කරගන්නවද දන්නෙ නෑ ඒ කෙල්ල. උදේද නැතිවෙලා තියෙන්නෙ පුතා”
“මං හිතන්නෙ ඔව් අම්මේ” සුමධුර එසේ කියා හැරුණේ ආපහු යන්නට වුණත් අයිරාංගනීට ඕන වුනේ වෙන දෙයක් ය. අයිරාංගනී සුමධුරගේ ගමන නැවැත්වුවේ ඒ හන්දාය.
“පුතා”
“අම්මේ”
“මට යන්න තිබුණනම් හොඳයි පුතා. මගෙ දරුවෙක් වගේ ඒ ළමයා. ඒත් මට මේ රෝද පුටුවෙන් එහෙම යන්න බෑනෙ ඒ ළමයට මේ දාහක් කරදර අස්සෙ පුතාට පුලුවන්ද ගිහින් බලන්න?
හොස්පිටල් යන ඒවට වාහනයක්වත් තියනවද දන්නෙ නෑනෙ. අනික අල්ලපු ගෙදර ඉන්න ඒ බෝයිගෙ ෆැමිලි එකත් එහෙම ලොකු ෆැමිලි එකක් නෙවෙයි. කරදර වෙලාවෙ පුතාට පුලුවන් නම් විතරක් ගිහින් බලල, පුලුවන් උදව්වක් කරල එන්න
මං පුතාට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ මේ වගෙ වෙලාවක ගෙදරක පිරෙන කරදර ඔලුවට දැනෙන කරදර ගැන. තාත්ත නැතිවෙච්ච වෙලේ අපි කොච්චර අසරණ වුණාද? එහෙම එකේ ඒ ළමයට මොනව හිතෙනව ඇද්ද?
සල්ලිත් උවමනාව ඇති. සල්ලි තියනවද දන්නෙත් නෑනෙ. කරදර නැත්තම් විතරක් යන්න පුතා”
අයිරාංගනීගේ ඒ වචනයට පිටින් යන්න උවමනාවක් සුමධුරට තිබුණේ නැත. අනෙක් අතට හැකි ඉක්මනින් ඇය වෙත යන්නත් හැකි උපරිම අයුරින් ඇයට උදව් කරන්නටත් උවමනාවක් සුමධුරගෙ හිතේ තිබුණේය. ඒ වනාහී සිසිමාධවී වෙනුවෙන් හිතේ මැවුණ ආදරයද පරදා ඉහලට නැගී ආ මනුසත්කමකි.
සුමධුර සිසිමාධවීගේ නිවෙස තිබෙන තැන දැනගත්තේ අයිරාංගනී විසින් කියූ මං සලකුණු ඔස්සේය. ගැරජ් එකේ වැඩකරන කෝසලගේ ගෙදර කොහෙද කියා හන්දියේ ගැරජයෙන්ම ඇසූ විට ඔවුන් හරියටම නිවෙස තිබෙන තැන ගැන සුමධුරට කිව්වහ.
සුමධුර ඒ ඔස්සේ ඇදුණේ හිත බොහෝ දේ දොඩවද්දීය.
ගෙදර ගෘහ මූලිකයා වනාහී ගෙදර මුදුන් ලීය වැනිය. ගෙදරක බර දරා හිඳින්නෙත්, හිසට සෙවණක්ව පවතින වහල දරන්නේද ඒ මුදුන් ලීයය. ඒ මුදුන් ලීය බිඳුණා යන්නෙහි අදහස මෙතෙක් කලක් ලැබුන ඒ සෙවණ, ආරක්ෂාව අහිමි වීම යනු නොවේද?
රැකියාවක් නොකලද, ඇඟට වාරු නොවුනද කෝසල නමට හෝ ඒ නිවසේත්, සිසිමාධවීගේ ජීවිතයේත් රැඳී උන් මිනිසෙකි. අසනීපව උන්නද ඔහු වාරුවක් වූ බව සුමධුර දනී.
දැන් මේ නිවසේ මුදුන් මුල වන්නට වන්නේ සිසිමාධවීය.
ගැහැණියක් සොබාදහමෙන් සකසන්නේ දරුවන් හදාවඩාගෙන, ප්‍රජනන ක්‍රියාවලිය සහ පැවැත්මේ ක්‍රියාවලිය කරගෙන යන්නට පමණක් ය ඉපැරණි, සම්ප්‍රදායික සිතුවිල්ලක් සුමධුරට නොවුනද, සැමියා මිය ගිය ගෙදරක මුදුන් මුල වී සෙවණ සලසන්නටද, ආරක්ශාව සපයන්නටද, දරා හිඳින්නටද ගැහැණියකට හැකි ද යන පැනය සුමධුර තමන්ගෙන්ම ඇසුවේය.
ගැහැණිය දරුවන් වැදීමේ, හැදීමේ බරත්, වේදනාවත් දරන්නට පුරුදු වූවා වුවද ගෙදරක මුදුන් මුල වන්නට තරම් ශක්තිමත් ද යන්න සුමධුර සිතුවේය.