මල් තුහින -25

අයත් වූ ආදරය රැක ගැනීමට උවමනා නැතැයි බොහෝ පිරිමි සිතන්නට පුරුදු වී සිටිති. ප්‍රේමයම ජීවිතය කරගෙන තමන් මත්තේ හිඳින ගැහැනු මොන තරම් මානසික සහ කායික පීඩා විඳින්නට සිදු වුවත් හැර නොයන බව විශ්වාස කරන්නට ඔවුන් සතුටු ය.නවීන් ජීවත් වූයේ ඒ ෆැන්ටසියේ ය.

ඔහුගේ දෑසට පෙනුණු සුන්දරම යුවතිය දිනා ගන්නට ඔහුට උවමනා විය. ඒ දිනවල ඇය සිටි මානසිකත්වය හන්දා ඔහුට වැඩි වෙහෙසකින් තොරව ඇය දිනා ගත හැකි විය. ප්‍රේමය විවාහයෙන් කෙළවර වූ පසු ඔහු ඇය වෙනුවෙන් කාලය දෙන්නට සිතුවේ නැත.

දැන් ඇය ඔහුගේ ය. ඇයට ඇත්තේ ඔහු සමඟ ජීවත් වන්නට ය. ආදරය කරනවාට වඩා කරන්නට අප්‍රමාණ වැඩ ඇතැයි සිතන්නට නවීන්ට ඕනෑ විය. ආලයක් සහ තාලයක් නැති ජීවිතයක් ගැහැනියක ප්‍රතික්ෂේප කරන දවසක් පැමිණෙන බව ඔහු නිකමටවත් සිතා තිබුණේ නැත.

ඒ දවස් පැමිණ තිබේ!

රැකියාව නිමවී නිවසට පැමිණ ඔහු වැඩි වෙලාවක් කල් මරන්නට කැමති වූ ඔහුගේ නිදහස් කුටියේ වූ යහනට අලුත් ඇඳ ඇතිරිලි යොදා ඇති අන්දම ඔහු දුටුවේ අහම්බෙන් ය. ඔහු සමඟ නිවසට එන්නට උවමනා නැති බව පවසා මලිති එදින කල්තියා නිවසට පැමිණ තිබිණ.

“මේ ඇඳ ඇයි මේ?”

අමුත්තක් දැනුණේ ඔහුට එසේ නාසා සිටින්නට බැරි විය.

“ඔයාට ඉන්න හැදුවේ.”

රාත්‍රිය ගෙවී යද්දී ද විදුලිය විසන්ධි වෙද්දී ද තනිකම දැනෙන බව පවසමින් ඔහු වෙත ආ බැගෑපත් වූ යුවතියගේ කටහඬ ස්ථිරසාර බවකින් පිරී තිබේ.

“මට හිතුන ඔයා මගෙන් ඈත් වෙලා ඉන්න කැමතියි කියලා. මම මේ ඒකට උදව් කරේ.”

නවීන් කැළඹිණ.හැඟීම් ඉපදෙන මොහොතවල් තිබේ. එවැනි මොහොතක ඇය සූදානමකින් සිටියා හෝ නොසිටිය ද හැඟීම් ඈ මත වැගිරුණු අවස්ථා තිබේ. ඇය ඒ මොහොත විඳ ගත්තා ද? ඔහුට ඒ ගැන වගක් නොවී ය. අනෙක් අතට ඔහු ඇය වෙත කායිකව බැඳෙන්නට වූයේ ද ඒ විවාහයේ වගකීමක් බව සිතමිනි.

“මට පීරියඩ්ස්නෙ.”

සිහිනයක් ඉටු නොවූ වේදනාවෙන් මුහුණ කළු කරගන්නා බිරිඳට සිහිනය ඉටු කර දීම මිස ජීවිතය විඳීම ඔහුට අමතකව තිබිණ. ඇය බිරිඳ ය. ප්‍රේමය නොව ඇයට යුතුකම් ඉටු වීම ප්‍රමාණවත් ය. ඔහු එසේ සිතා සිටියේ ය.

“ඔලුව නරක් වෙලාද හලෝ.කසාද බැඳපු ගෑනු මිනිස්සු කාමර දෙකක ඉන්නේ කොයි රටේද?”

නවීන් හිතා සාම්ප්‍රදායික සැමියකු බවට පත්වී සිටියේ ය.ඔහුගේ කෝපයට වෙනදා ළදැල්ලක් සේ සසැලෙන යුවතිය ඉතා ශක්තිමත් සිනාවක් තොල් මත රඳවාගෙන ඔහු දෙස බලා සිටියා ය.

“කසාද බැඳපු ගෑනු මිනිස්සු ලෝක දෙකක ජීවත් වෙන්නෙත් නෑ නවීන්. ඉන්නවනම් ඉඳපන් නැත්තං පලයන් කියලා ගෑනු අසරණ වෙන්න කසාද බැඳපු මිනිස්සු ඉඩ තියන්නෙත් නෑ. පන්සල දැක්කම කිසිම මිනිහෙකුට හැඟීමක් එනවද කියලා තමන්ගෙ ගෑණිව පල්ලෙහාට ඇදලා දාන්නෙත් නෑ. ලෝකේ කිසිම මිනිහෙක් බාරගන්න අකමැති ගෑනියෙක්ව තමන්ගෙ තියෙන බෝධිසත්ව කමට බාරගත්තා වගේ රඟපෑම් කරන්න මිනිස්සුන්ට පුලුවන්නම් ඒවට පැහැදිලි හේතු කියන්න බැරිනම් කාමර දෙකක නෙවෙයි රටවල් දෙකක ජීවත් උනත් මොකද?”

විවාහක ගැහැනියක දික්කසාදයට තරම් කිසිම දෙයකට බිය නොමැති බව නවීන් උපකල්පනය කළේ ය. මේ මොහොතේ ඇය බිය බියපත් කරන්නට වෙන කිසිම දෙයක් නැත.

“කිසිම හේතුවක් නැතුව රණ්ඩු අල්ලන්නේ මොකටද?”

ඔහු අසයි. නොසලකා හැරීම ඉවසාගත නොහැකි තැන වෙන්වීමට ගත් තීරණය රණ්ඩුවක් නොවන බව මලිති බොහෝ ඉවසීමෙන් පැහැදිලි කළා ය. නමුත් ඉවසීමෙන් පිළිතුරු දෙන ඇයට වචනවලින් රිදවන්නට ඔහු තීරණය කළේ ය.

“එහෙනම් එකට ජීවත්වෙන්න උවමනාවකුත් නෑ.අපි ඩිවෝස් වෙමු.”

ඒ වාක්‍යය විවාහක ගෑනියෙක් හදවත කැබලි සියයකට නොව සිය දහසකට ඉරා දමන්නට සමත් වාක්‍යයකි. නමුත් මලිති පහව නොගිය සිනාවෙන්ම බලා හිඳින්නී ය. ඉතා කුඩා කාරණාවලට පවා ඉකිබිඳ හඬන බිරිඳ හදවත මැදට අත් හළ බෝම්බයට සිනාවකින් පිළිතුරු දීම නවීන්ට උසුලාගත නොහැකි කාරණාවක් විය.

“ඒක තීරණය කරන්න ඕනේ ඔයා අපිට තවදුරටත් එකට ගමනක් නැත්නම් ඔයා ඕන තීරණයක් ගන්න.මං ඕන එකකට ලෑස්ති.”

නවීන් ගල් ගැසිණ. හඬමින් බලහත්කාරයෙන් තුරුලට පැමිණ තමන් වෙන් නොකරන්නැයි ඉල්ලා සිටින මට්ටමේ ගැහැනියක එක කඳුළු බිඳුවක් නොසලා අඩුම තරමේ මුහුණේ හැඟීමක් හෝ වෙනස් නොකර ඔහුට අමතමින් හිඳියි.

මලක් වග සිතා සිටි ගැහැනිය ගලක් වීම නවීන්ට උසුලා ගන්නට අසීරු ය. සැබෑවටම මේ දරා ගත හැකි තත්ත්වයක් නොවේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles