“කාගෙද සරණපාල මේ පොඩි උන්?” කල්පනා කෑගැසුවේ කට් සිමෙන්තියෙන් කල වැරැන්ඩාව අසල ඔංචිල්ලාවේ වාඩි වී චිත්‍රයක් පාට කරමින් උන් පොඩි දරුවන් දෙදෙනා දකිද්දීය.
ඒ සිසිමාධවිගේ දරුවන් දෙදෙනා බවත්, මහගෙදර උත්පලාගේ නෝක්කාඩු ඉදිරියේ දරුවන් දෙදෙනා තියන්න බැරි නිසා සති අන්තයේ ඉරිදා දිනයට පමණක් සිසිමාධවී දරුවන් දෙදෙනා තමා එක්කම තිලකරත්න නිවසට රැගෙන එන බවත්, අයිරාංගනී සහ සුමධුර එයට කැමති බවත් කල්පනා දැන උන්නේ නැත.
අනෙක් අතට ඒ වනාහී කල්පනාට කිව යුතු කාරණාවක් කියා සුමධුරවත්, අයිරාංගනීවත් සිතුවේ නැත.ඔවුන් දෙදෙනාම සිසිමාධවීට ආදරය කල තරමටම දෙව්මිට සහ චනුකටත් ආදරය කලහ.
“ඉරිදට විතරයි නේද දූ ඔයාගෙ සිස්ටර් ඉන් ලෝ ගෙදර ඉන්නෙ? එහෙම දවසටනෙ දෙයක් කිව්වත් පොඩි දෙන්නට කියන්න. අනිත් දවසට අම්මා බලාගන්නවනෙ, එහෙම එකේ ඔයා ඉරිද එද්දි දරුවො දෙන්නව මෙහෙ එක්කන් එන්න. අපිත් මේ තනියම ඉන්න එකේ අපෙත් පාලුව මැකෙන්නෙ නැතෑ මේ ගෙදර පොඩි දරුවෙක් ගෙ සද්ද බද්ද ඇහෙද්දි’ කියා අයිරාංගනී කියද්දී සිසිමාධවී එය භාරගත්තේ ඇත්තටම සතුටිනි.
කඩේ වැඩ භාරගන්න බෑ කිව්වයින් පසු උත්පලා අක්කා දරුවන් දෙදෙනා ඉරිදා දවසෙ මහගෙදර ඉන්න එකට පවා ආඩපාලි කියූ බව සිසිමාධවී දැනගත්තේ චනුක ඔස්සේය.
“නැන්දා කියනව අපි හිඟාකන්නලු එන්නෙ එහෙට” කියා චනුක අසරණ ලෙස කියද්දී සිසිමාධවී ඊට වඩා අසරණ වුණාය. තාත්තා නැතුව දරුවන් පමණක් නොව අම්මලාද අසරණ වන බව සිසිමාධවී වටහාගත්තේ ඒ මොහොතේය. තමා මොන දේ උනත් ඉන්නේ කෝසලට අයිති තැනක බවත් දන්න නිසාම කෝසලගේ නාමයෙන් සිසිමාධවී අම්මාගෙන් හෝ අක්කාගෙන් හෝ මේ ගැන ඇහුවේම නැත. එහෙත් දුක දෝර ගලාගෙන ගියේ මවක් මෙන් ලබැඳි වූ අයිරාංගනිය ඉදිරියේය.
ඉරිදා දවසට පමණක් දෙව්මිත් චනුකත් තිලකරත්න නිවසට ආවෙ එලෙසිනි. වෙනදාට සති අන්තයේ සුමධුර ගෙදර හිඳින නිසාවෙන් මහ ගෙදරට නොඑන කල්පනා එදා මහගෙදරට ගොඩ වුනේ සුමධුරට දන්නා හඳුනන තැනකින් හෝ කටයුත්තක් කර දෙමු යැයි කියා අම්මාට කියනු පිණිස වචන හදමින් නමුත් මින් පෙර කිසිම දවසක දැක නුපුරුදු හිඟන පාට පොඩි උන් දෙන්නෙකු තමන්ගේ ගෙදර, තමන් ද හිඳගන්නා ඔංචිල්ලාවේ වාඩි වී ඉන්නවා දැක යකා වැහුනාය.
“ඔය අයිරාංගනී නෝනව බලාගන්න සිසීගෙ දරුවො දෙන්නනෙ” කියා සරණපලා කියූ වචන ඒ යකාව තුන් හතර ගුණයකින් උස් මහත් කරන්නට හේතු ද වූණාය.
සුමධුර බොහෝ විට සති අන්තයේ පොත් අරගෙන එන්නට එළියට යන බව දන්නා කල්පනා ගැරජයේ සුමධුරගේ වාහනය නුදුටු නිසාම තම කට හඬට වඩා උස්ව නැගෙන්නට ඉඩ හැරියාය. එහෙත් සුමධුර උන්නේ ගෙතුල තම කාර්‍යාල කාමරයේ වැඩක නිරත වීය. කාරය තිබුණේ සර්විස් කරන්නට ගැරජයට දමා ය. කල්පනා ඒ බව දැන උන්නේ නැත.
“දැන් ළමයිනුත් මේක අස්සෙ දාගන්න හිතුවද? බහිනව ඔංචිල්ලාවෙන්. කොහෙ ඉඳල මොන දහජරාව අරගෙන එනවද දන්නෙ නෑ” කියා තනි සුදු පාට ඇඳුමකින් සැරසුණ කාන්තාවක බෙරිහන් දෙද්දී ඔංචිල්ලාවේ වාඩි වී චිත්‍ර අඳිමින් උන් දෙව්මි ගැස්සුණාය. ඒ වේගයෙන්ම දෙනෙත්වල කඳුලු පිරෙද්දී කලබලයෙන් ඔංචිල්ලාවෙන් බහින්න ගිය දෙව්මි ඔංච්චිල්ලාව පැද්දීම නිසා වැටෙන්න යද්දී පොඩිකමට විත් ඇයව අල්ලගෙන පරිස්සමෙන් බැස්සුවේ චනුකය.
සිසිමාධවීත් සුමධුරත් දුවගෙන ආවේ කල්පනාගෙ කෑගැහිල්ල අසාය. ඔවුන් දෙදෙනාම පිටුපස්සෙන් අයිරාංගනී තිලකරත්නද රෝද පුටුව තල්ලු කරගෙන ආවාය.
“මොකද කල්පනා කෑගහන්නෙ?” අයිරාංගනීගේ හඬ කල්පනාට වඩා උස්ව තිලකරත්න නිවස පුරා දෝංකාර දුන්නෙ තවමත් මේ ගෙදර අයිතිකාරිය තමන් බව නොකියා කියන්නට මෙනි.
“කෑගහන්නෙ? කෑගහන්නෙ මේ ගෙදර දැන් මේ වෙන දේවල් දැක්කම අම්ම කියන්නෙ සද්ද නැතුව ඉන්න කියලද? තමන් ගේ අස්සට රිංග ගත්ත මදිවට දැන් මේ හිඟන පැටව් වගේකුත් මේක අස්සට දාගෙන. කාගෙ කණෙන් රිංගුවත් මගෙ කණෙන් නම් රිංගන්න පුලුවන් වෙයි කියල හිතන්න එපා. හීන් සැරේ එන්නෙ මොනව බලාපොරොත්තුවෙන්ද කියල මේ ගෙදර ඉන්න මිනිස්සුන්ට නොතේරුනාට මට නම් තේරෙනව. අම්මලටත් පිස්සුනෙ, සර්වන්ට්ලව ඒ ඒ තැන්වල තියාගන්නෙ නැතුව ඕනවට වඩා කරට ගත්තම මෙහෙම වෙනව කියල දැනගන්න ඕන” කියා කල්පනා කියද්දි දෙව්මිගේත් චනුකගේත් මුහුණු වල ඇඳී තිබුණ බියපත් බව දුටු සිසිමාධවී වහා දරුවන් දෙදෙනාව කැටුව ගෙදර පිටිපස්සේ උද්‍යනයට ගියාය. ඒ පැත්තට කල්පනාවත් වෙන කිසිම කෙනෙකුවත් කතා කරන දෙයක් නොඇසෙන නිසාවෙන් හිතන්නට නිදහස ඕන තරම් තිබුණාය.
“ඇයි අම්මේ ඒ නැන්දා කෑගැහුවෙ?” චනුක ඇසුවේ නංගිගේ අතෙන් අල්ලාගෙන ඉන්නා අතරමය.
“නැන්දා කියන්න එපා පුතේ, අපෙ නැන්ද නෙවෙයිනෙ එයා, නෝනා කියන්න” සිසිමාධවී කිව්වේ දෙව්මිගේ හිස අතගාමිනි.
“ඉතින් අත්තම්මයි මාමයි කියල කතා කරද්දි එයාට නෝන කියන්න හොඳද?” කියා චනුක අහද්දී සිසිමාධවී කියන්න දෙයක් නැති නිසාම චනුකගේ හිස අතගෑවාය. ලෝකය වැඩකරන හැටි, මිනිසුන් හිතන හැටි වටහා ගන්නට, වටහා දෙන්නටා තරම් දරුවන් දෙදෙනාම පොඩි හන්දා මේ මොහොතේ එයට දෙන්නට ඇති එකම පිළිතුර අනතුරුව වදන් කරගත්තාය.
“එහෙම තමයි පුතේ, අත්තම්මයි මාමයි දෙන්න වගේ නෑ හැමෝම”
සුමධුර උන්නෙ ඇත්තටම කෝපයෙනි. නංගී මේ කරන්නේ තමන්ට කිසිසේත්ම අදාල නොවන දෙයක් මහා විසල් මාතෘකාවක් කරගෙන ප්‍රශ්නයක් ඇති කරන්නට හැදීම බව තේරුම් ගන්නට සුමධුරට අපහසු නැත.
අනෙක් අතට හදවතක් ඇති මනුස්සයෙක්ට, ඒ සියල්ලටම වඩා අම්මා කෙනෙකුට තවත් දරුවන් දෙදෙනෙකුට ඔහොම සලකන්න, හිඟන පැටවුන් යැයි අපහාස කරන්න හැකිද යන සාධාරණ ප්‍රශ්න සුමධුර තමන්ගෙන්ම අසමින් උන්නේය.
“කල්පනා, යූ මයින්ඩ් යුවර් වර්ඩ්ස්. අම්මා කෙනෙක් නේද? තව ගෑණියෙක්ගෙ දරුවන්ට ඔහොම කතාකරන්න කලින් පොඩ්ඩක් හිතල බලනවා තමනුත් අම්මා කෙනෙක් නේද? තමන් කැමතිද ඔහොම තමන්ගෙ දරුවන්ට කවුරුවත් ඔහොම කතා කරනවට කියල හිතල බලනවා”
“ආහ් මෙයාටනෙ මේ කොහෙවත් ඉන්න මිනිහ මැරිච්ච ගෑණියෙක්ගෙ ළමයි ගැන අනුකම්පාව හිතිල තියෙන්නෙ? අයියෙ මේ මොකාටද එන්න හදන්නෙ කියල මම දන්නෙ නෑ කියලද හිතන් ඉන්නෙ?”
“මම මොකාට ආවත් තමුන්ට ඒක ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑනෙ. මමයි අම්මයි ඉන්නෙ මගෙ ගෙදර. තමුන්ට මෙහෙ ඇවිල්ල එහෙම මමයි අම්මයි ගත්ත ඩිසිශන්ස් වලට විරුද්ධව සද්දෙ දාන්න අයිතියක් නැති බව කරුණාකරල තේරුම් ගන්න.
ඔයාගෙ මේ විකාර ඇත්තටම අපේ ඔලුවට පුදුම කරදරයක්. තමන්ගෙ ගෙදර අපිට නිදහසේ ඉන්න විදියක් නෑනෙ” කල්පනා කොච්චර කට වාචාල කමට කැගැහුවද සුමධුර කතා කරේ බොහෝ ඉවසිලිවන්තව තමන්ට ආවේණික, තමන්ට හුරුපුරුදු උපශාන්ත හඬින්මය.
“නිදහස? හහ්. නිදහස නම් තමයි දැන් හැමෝටම ඕන වෙලා තියෙන්නෙ කියල මටත් තේරිලා තියෙන්නෙ.
මනුස්සය මැරිච්ච ගෑණියෙක්ට ඉතින් ඕනවටත් වඩා නිදහස තියෙනවනෙ. අනේ අපිට නම් පුරුදු නෑ ඔය ලැජ්ජ නැති වැඩ. අම්මටත් ඉතින් ගාණක් නැතුව ඇති ඥෝඥා ඥෝඥා ගගා බටර් පාර ගාගෙන ඉද්දි.
තව කල් ගියාම ඉතින් ගෙදර වැඩකාරි ලේලි කරගන්න වුණාම තමයි අම්මටත් තරු පේන්නෙ. හහ්” කල්පනා කියන්නට පටන් ගත්තේ අනවශ්‍ය දෙයක් බව තේරුනද සුමධුර ඉවසීමේ මායිමටත් එහා ඉවසුවේය. මේ මොහොත කලබලකාරීව තරණය කරගත නොහැකි බවට සුමධුරගේ පරිණත මනස හෙමින් සැරේ ඔහුට වටහා දුන්නේය.
“මොනවද කල්පනා උඹ මේ කියන්නෙ? හැබැටම ලැජ්ජ නැද්ද? වැදගත් තැනක ගෑණියෙක් වගේ හැසිරෙන්න”
“වැදගත් තැනක විදියට හැසිරෙන්න කියල අම්මා මට නෙවෙයි මෙන්න මෙයාට කියල දෙන්න, අගුපිල්වලින් ගෑණු ගන්න හදන්නෙ මෙයානෙ තමන්ගෙ පවුලෙ වැදගත්කම අමතක කරල. කෙල්ලෙක් නම් තව කමක් නෑ. ළමයි ඉන්න මිනිහ මැරිච්ච ගෑණියෙක්. තමන්ට ඉස්සෙල්ල මතක තියෙන්න ඕනනෙ තමන් වැදගත් පවුලක මිනිහෙක් බව. තමන් ඉස්සරහ රෙදි ගලවන්න ලෑස්ති වෙන හැම ගෑණිවම කසාද බැඳගන්න ඕන නෑ, ඒව කරගෙන උන්ව එලියට දානව කියල අම්මා මෙයාට කියල දෙන්න” කල්පනාවට කතාව අවසන් කරගන්නට බැරි වුණේ ඒ වචන අවසන් වන්නට පෙර සුමධුර ශක්තිමත් දෑත විත් ඇගේ කම්මුලක් මත පතිත වූ නිසාවෙනි.
කල්පනා වේදනාවෙන් “ආආ” කියා කිව්වත්, අයිරාංගනී “පුතා” කියා කිව්වත් සුමධුර ඒ පහර සමග කියන්නට නියමිත වචන පෙල මුවෙන් අතාරින්න අමතක කරේ නැත.
“ඔව් මම මාධවීට කැමතියි. ළමයි දෙන්නත් එක්කම මට ඕන නම් මම මාධවීව භාරගෙන මේ ගෙදරට ගේනව තමයි, ඇයි උඹ මොනව කරන්නද?”
කල්පනා උන්නෙ කන් අගුල් වට්ටවාගෙනය.
තිලකරත්න මැදුර මොහොතකට ඒ වචන සමග දෙදරා ගියාය.