තිලකරත්න මැදුරේ පිටුපස උද්‍යානයට අලලා තනා තිබුන කුඩා නිවෙස රතු ගලින් නිමවූවකි. ලලිත් තිලකරත්න තමන්ගේ ගෘහ අලංකරන කාර්‍යාලය පලමුවෙන්ම ආරම්භ කලේ එහිය.
කාලයත් සමග ව්‍යාපාරය් දියුණු වෙද්දී ඒ කාර්‍යාලය නිවසින් බැහැර ගොඩනැගිල්ලකට ගෙන ගිය පසු නිවස පසෙකින් තනා තිබුන මේ කුඩා නිවහන වසා දමා තිබුනේ අනවශ්‍ය දේ ගොඩගසාය.
සුමධුර සිසිමාධවී සමග එකතු වී ඒ කෑල්ල අස්පස් කර දැමුවේය. සිසිමාධවීගේ පරණ ගෙදර තිබුන ඇඳකුත්, කබඩයකුත් තාවකාලිකව එහි ගෙනත් සවිකරන්න එහෙම ලොකු ගැටලුවක් ඇති උනේ නැත. උත්පලාත් නිලන්තත් වැඩට ගොස් සිටි වෙලාවක ගෙදර ගිය සිසිමාධවී තමන්ගේත් දරුවන්ගේත් අත්‍යවශ්‍ය බඩු ටික මල්ලක දමාගෙන රැගෙන ආවාය.
තමන් සැදූ නිවසේ සිට තිලකරත්න මැදුරේ පසෙක වූ නිවහනකට කෝසලද ජායාරූපයක් වී ආවේ සිසිමාධවීගේත් දරුවන් දෙදෙනාගේත් තනිකම මකාලනු පිණිසය.
පොත් පත් ද, ඇඳුම් පැලඳුම් ද, අනෙකුත් බඩු බාහිරාදියද ගෙන ආ පසු ඒ නිවහන ගෙයක් කරගන්නට පුලුවන් වූ නමුත් සිසිමාධවී උන්නේ ඇත්තටම හිත එකලස් කරගන්න බැරුවය.මොන දේ උනත් ඒ ගෙවල් දොරවල් හදන්න මහන්සි වුනේ කෝසලය. ඔහුගෙන් කියා දෙයක් ඉතුරු වුනානම් ඒ, ඒ කුඩා නිවස පමණකි. ඒ නිවස මහගෙදර වත්තේ තැනක හදන්නවට වුවත් ඒ නිවසේ අත්තිවාරයේ සිට වහල දක්වාම තිබෙන්නේ කෝසලගේ දාඩිය මහන්සිය බව අමතක කරන්න සිසිමාධවීට නොහැක. එහෙත් කෝසලත් නැති තැනක ඔහුගේ මව් දෙමව්පියන්ගේ, සහෝදර සහෝදරියන්ගේ ඇණුම් බැණුම් මැද තවදුරටත් එතන නිවිහැනහිල්ලේ හිඳින්න පුලුවන්කමක් නැත.
සිසිමාධවී නිලන්ත සමග කිසිදු ආකාරයක අයතා සබඳතාවයක් නැතිබව අමුතුවෙන් පුශ්පලතාට කියන්න කරුණු කාරණා උවමනා උනේ නැත. සිසිමාධවී වනාහී එවන් ස්ත්‍රියක නොවන බව පුශ්පලතා හොඳටම දනී. එහෙත් දැන් තමාගේ කුසින් බිහි කල එක් දරුවෙක්ගේ ජීවිතය විනාශ වී අහවරය. ජීවත් වී හිඳින අනිත් එකම දරුවාගේ ජීවිතයද ලේලිය නිසා විනාශ කරගන්නට ඉඩක් තබන්නට නොහැක. පුශ්පලතා සිසිමාධවීට කතා කරන්න හිතුවේ ඒ හන්දාමය.
“අම්මා මං ගැන මොනව හිතන් ඉන්නවද දන්නෙ නෑ අම්මෙ. හැබැයි කවුරු මං ගැන මොන කතාව කිව්වත් මට අම්මට කියන්න තියෙන්නෙ මේ ජීවිතේ ගෙවෙන තුරු කෝසලගෙ මූණෙ දැළි ගෑවෙන විදියෙ දෙයක් කරන්න මං හිතලවත් නෑ. එහෙම දෙයක් මගෙ අතින් වෙන්නෙත් නෑ. අම්මා මාව අවිශ්වාස කරාට කමක් නෑ. ඒත් මං කෝසලට වරදක් කරන්නෙ නෑ අම්මෙ. නිලන්ත අයියා එහෙම ආවෙ ඇයි ද කින්ද මන්ද කියල මං විස්තර කියල මං වරදක් කලේ නෑ කියල හගිස්සවන්න ඕන කියල මං හිතන්නෙ නෑ අම්මෙ. මොන දේ උනත්, කවුරු මොනව කිව්ව කරත් මම දන්නවනෙ මං වරදක් නොකල බව”
“අනේ මන්ද ළමයො මට හිතාගන්න බෑ මේ මට මේ නහින දෙහින කාලෙ අහන්න කරන්න වෙන්නෙ මොනවද කියල. මට ඇත්තටම තේරෙන්නෙ නෑ කාව විශ්වාස කරන්නද එපාද කියල” කියමින් පුශ්පලතා දියාරු හුස්මක් හෙලුවාය.
එහෙත් සිසිමාධවී උන්නේ පුශ්පලතා ඉස්සරහදිවත් සැලෙන, තමන් නිවැරදිකරු යැයි කියා වැලපෙන අන්දමේ දුර්වල මානසිකත්වයක නොවේ. හිත ඇතුලෙන් නැගී ආ “මං වරදක් කලේ නැත” කියන අදහස සිසිමාධවීව වඩ වඩාත් ශක්තිමත් කර තිබුණාය.
“මට තේරෙන්නෙ නෑ ලමයො ගෙවල් දෙකේ මිනිස්සු නයි පොලොංගු වගේ ඉද්දි මේ එකම ඉඩමක, එකම වත්තෙ කුලල් කාගන්නෙ නැතුව අපි ඉන්නෙ කොහොමද කියල? මං ඉන්නකම් රණ්ඩු සරුවල් බේරුණාය කියල හිතමුකො. මං නැති කාලෙක හරිහමං පිරිමියෙක්වත් ගෙදර නැතුව ඔය ළමය කොහොම ඉහ ගහන් ඉන්නද?”
පුශ්පලතාගේ ඒ කතාව අස්සේ හැංගී තිබෙන්නෙ පල නොකියා පලා බෙදීමක් බව අඳුරගන්න සිසිමාධවීට බැරි නැත. අම්මා ඔය කතාව කියන බව සිසිමාධවී දැන උන්නේ උත්පලා අක්කා දාහක් දේ කියද්දිත් වෙනදා මෙන් අම්මා පැමින තමන් සමග හිත හොඳින් කතා කරන්නට නොසිතුව නිසාය. එකාතකින් අම්මා කෙනෙකු ලෙස ඇය එසේ සිතීම වරදක් නොවේ. ඇයට දැන් දරුවෙකුට කියා සිටිනේ උත්පලා පමණකි. හොඳ වේවා නරක වේවා ගෙදරට පිරිමියකු කියා සිටින්නේ නිලන්ත පමණකි. සැමියා මිය ගොස් දරුවන් දෙදෙනකු සමග අසරණ වූ ලේලියට වඩා ඒ දුව සහ බෑණාගෙන් ලැබෙන හයිය වඩා ශක්තිමත් බව ඇය සිතීමේ වරදක් අසාධාරණයක් නොමැත.
අන්තිමේ බලද්දි කිසි වරදක් නොකර හැම අතින්ම අසරණ වී තිබෙන්නේ තමන් ය.
“මං වරදක් කරේ නෑ කියන එක ඔප්පු කරන්න විදියක් නැති එකයි අම්මෙ මට තියෙන ප්‍රශ්නෙ”
“ඔය ලමයා වරදක් නොකරය කියල ඔප්පු කරත් මේ ප්‍රශ්න විසඳෙයි කියල ඔය ලමය හිතනවද? ඔය ළමය වරදක් කරේ නෑ නිර්දෝසී කියල ඔප්පු කරොත් අන්තිමේ වරදකාරයා වෙන්නෙ නිලන්ත. එහෙම උනොත් උත්පලා බෝම අමාරුවෙන් කරගත්ත ඔය කසාදෙ අහවර කරල දාවි. ඔය ළමය හිතන්නෙ ලෝකෙට හරි කවුද වැරදි කවුද කියල ඔප්පු කරන්න ගිහින් මට මගෙ කුසෙන් බිහි කරපු තව දරුවෙක්ගෙ ජීවිතේ අමාරුවට ඇදල දාන්න කියලද ළමයො?
ගෑණියෙකුයි මිනිහෙකුයි දෙන්නෙක් එක්කහු වෙලා වරදක් කලාය කියන කතාව සමාජෙ මිනිස්සු හොඳයි කියල පිලිගන්නව ළමයො මිනිහෙක් ගෑණියෙක් පස්සෙන් යනවය කියන කතාවට වඩා. මොකෝ එතනදි සම්පූර්ණ වරද වැටෙන්නෙ මිනිහගෙ ඇඟ උඩට. ගෑණියෙකුයි මිනිහෙකුයි දෙන්නම එක්කහු වෙලා වරදක් කරාම ඒ වරදෙ බර බෙදිල එක්කෙනෙක්ගෙ ඇඟ උඩට වැටෙන්නෙ අඩු කොටහක්.
මං මෙහෙම කියන එක වරදක් වෙන්නැති. මොන දේ උනත් මේ කෝසල බෝම අමාරුවෙන් නැහිල උස්සපු ගේ පොඩ්ඩ. මං ඔය ළමයට යන්න කියන එක වරදක්. ඒ උනාට මට මෙතනදි වෙන කරන්න දෙයක් නෑ ළමයො. මහ ගෙදර ඉඩමයි ගෙදරයි දෙකම මම ලියල තියෙන්නෙ උත්පලාට. මටත් බැරි කාලෙක වැටිල ඉන්නයි වතුර උගුරක් දෙන්නයි ඉන්නෙ උත්පලා විතරයි.
අනෙක මේ වගේ කාර්ණාවකදි තමන් හරිය කියල ඔප්පු කරන්නෙ කොහොමද ළමයො? කොහොම කරත් රටේ ලෝකෙ මිනිස්සු කැමතියි මේ වගේ කාර්ණාවකදි ගෑණියෙක් වැරදියි කියල හිතන්න. මොකෝ එතකොට තමයි උන්ගෙත් මඩිස්සල පුරවගන්න පුලුවන් වෙන්නෙ.
අන්තිමේ බැලුවම පිරිමියෙක් නැති උනාම විතරක් නෙවෙයි ලමයො ගෑණු අසරණ වෙන්නෙ පිරිමියෙක් ඉන්න එකත් ගෑණියෙක්ට අසරණ වෙන්න හේතුවක්. ඔය ළමය විතරක් නෙවෙයි අපෙ උත්පලත් අසරණයි ළමයො.
ඔය ළමයට මෙතනින් ගිහින් හරි අලුත් ජීවිතයක් පටන් ගන්න පුලුවන්. උත්පලාට මුලු ජීවිතේම ගෙවන්න වෙන්නෙ ඔය තුවාලෙ හිතේ තියාගෙනනෙ” කියා පුශ්පලතා බොහෝ දිග කතාවක් සිසිමාධවීට කියා නික්ම ගියාය.
තමා තවදුරටත් මෙහි රැඳී ඉන්නවට මහගෙදර කිසිවෙකුත් කැමති නැති බවත්, තමන්ට තමන්ගේ කියා කිසිවෙකුත් නැති බවත් සිසිමාධවී තේරුම්ගත්තේ එලෙසිනි. කෝසලගේ මහගෙදර වත්තේ සිට තිලකරත්න මැදුරේ කුඩා නිවහනට සිසිමාධවීටත්, දෙව්මි සහ චනුකටත් පාර කැපුණේ එලෙසිනි.
ඒ වනාහී තව බොහෝ කයි කතන්දර කියන්නාට හේතුවක් වනු ඇතිබව දැන උන්නද තමා ජීවත්වන්නේ හෘද සාක්ශියට එකඟවනම්, තමාට අනුව තමා යහපත් නම් මිනිසුන් කියන කතා තඹ සතේකට මායිම් නොකල යුතු බව සිසිමාධවී සිතුවාය. තමා කෙදිනක හෝ මේ තීරණ ගැන දුක් විය යුත්තේ දරුවන් දෙදෙනා තමන් ගැන වරදක් හිතුවොතින් විතරක් බවත් ඇය ඒ මොහොතේම සිතුවාය.
කෙනෙකුට අනුව ඒ තමන්, තමන්ට උවමනා දේ කරන අතරම, තමන් හොඳ යැයි සිත සුද්ධ කරගැනීමක් විය හැකි නමුත් ජීවත්වෙනවා යන්නෙහි සැබෑ අරුත තමන්ට තමන්ගේ හිත සුද්ධ යැයි කීමට හැකිවීම බව හිතන්නට තරම් ගෙවුණු කාල වකවානුව තුළ සිසිමාධවී පරිණත වී තිබුණාය.