“කොල්ලෙක් ඉපදුණානම් හොඳයි, කෙල්ලො හරි කරදරයි පරිස්සම් කරගන්න” කියන කතාව අදටත් අපේ සහ ඉන්දියාවෙ වගේ ආසියාතික රටවලට අමුතු නැහැ. ඕනම පවුලක් කැමතියි පුතාලා ඉපදෙනවට. මේව අතෑරල දාන්න ඕන වැරදි මත උනත් ඒව වෙනස් කරන එක අපිට එකපාරින් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.
ඉතින් අද අපි කතාකරන්න යන්නෙ ටිකක් අමුතු කතාවක් ගැන. ඉපදෙන ගැහැණු දරුවන්ව කිරිවල ගිල්වල මරා දමන පුතාලාට විතරක් ජීවත්වෙන්න ඉඩ දෙන අසහනයෙන් පිරිච්ච පිරිමි ඉන්න ගමක් ඇතුලෙ අන්ත දුක්ඛිත ජීවිතයක් උරුම කරගත්ත අසරණ කෙල්ලෙක්ගෙ කතාවක්.
මේ කතාව කියවෙන්නෙ Mathrubhoomi කියන ඉන්දියානු චිත්‍රපටයේ. Matrubhoomi: A Nation Without Women කියන්නෙ Manish Jha විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද 2003 ආව ඉන්දියානු dystopian ඛේදවාචක චිත්‍රපටයක් . මෙම චිත්‍රපටය ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වෙලා ගැහැණු දරුවන් ඉපදුණ ගමන් ඝාතනය කරන සහ එහි ප්‍රතිඵලයක් ලෙස බිහිවෙච්ච සමාජයේ ස්ථාවරත්වය සහ ආකල්ප විමර්ශනය කිරීමක් කරනවා.ඉන්දියාවේ සමහර ප්‍රදේශවල සහෝදර බහු විවාහ සහ මනාලිය මිල දී ගන්න සත්‍ය සිදුවීම් මේ චිත්‍රපටයට හේතු පාදක කරගෙන තියෙනවා.
කතාව පටන් ගන්නෙ බිහාර් කියන ගමේ තරුණියකට ගැහැණු දරුවෙක් ඉපදෙන තැනකින්.පිරිමි දරුවෙක්ව බලාපොරොත්තුවෙන් උන්නු තාත්තා ගමේ තියෙන පොදු උත්සවයකදි මේ අලුතෙන් ඉපදිච්ච පොඩි ගැහැණු ළමයව කිරි භාජනයක ගිල්ලල මරල දානවා. අවුරදු ගණනාවක් තිස්සෙ කාගෙවත් බලපෑමක් නැතුව කෙරීගෙන ආව මේ චාරිත්‍රය නිසා දැන් මේ ගම මූණ දීල ඉන්නව ලොකු ප්‍රශ්නෙකට. මොකද දැන් විවාහ වෙන්න සුදුසු වයසෙ මේ ගමේ ඉන්න කිසිම පිරිමි කෙනෙකුට බඳින්න සුදුසු ගැහැණු ළමයෙක් මේ ගමේ නෑ. ඒ නිසාම මේ ගමේ ඉන්න පිරිමි අයත් සෑහෙන අසහනයකින් තමයි ඉන්නෙ.
මේ අසහනය නැති කරගන්න කට්ටිය එක්කහු වෙලා අසභ්‍ය චිත්‍රපට බලනවා, ඊට අමතරව ගැහැණු විදියට ඇඳගත්ත පිරිමි අය එක එක සරාගී නැටුම් ඉදිරිපත් කරනවා වගේ හරිම නොහොබිනා දේවල් ගොඩක් මේ ගමේ සිද්ද වෙනවා.ඒ වගේම තමන්ගෙ මේ අසහනය නැති කරගන්න සහ සහකාරියක් සොයාගන්න මෙයාලා ඕනම දෙයක් කරන මට්ටමකට තමයි ඇවිල්ලා ඉන්නෙ.
ඉතින් මේ ගමේ එක පවුලක මනුස්සයෙක් ඉන්නවා රාම්චරන් කියලා. මේ රාම්චරන්ට ඉන්නවා පුතාලා පස් දෙනෙක්. තමන්ගෙ පුතාලා පස්දෙනාට කසාද බන්දල දෙන්න මේ රාම්චරන් සල්ලි දීලා වෙන ගමකින් ගෑණු ළමේක්ව අරගෙන එනවා. ඒ ගෑණු ළමයගෙ නම කල්කි. ඉතින් මේ ගෑණු ළමයට සිද්ද වෙනවා මේ පිරිමි ළමයි පස් දෙනා එක්කම විවාහ වෙන්න.ඒ විතරක් නෙවෙයි කල්කිට සිද්ද වෙනවා සතියෙ දවස් ටික බෙදාගෙන තමන්ගෙ සැමියන් පස් දෙනා එක්ක වගේම තමන්ගෙ මාමණ්ඩිය වෙච්ච රාම්චරන් එක්කත් අඹු සැමි සබඳතාවයක යෙදෙන්න.මේ පිරිමි හය දෙනා මේ කල්කිගෙන් තමන්ට මෙච්චර කාලයක් ඉටු කරගන්න බැරිවෙච්ච අසහනකාරී හැඟීම් හැම එකක්ම ඉශ්ට කරගන්න කටයුතු කරනවා.
හැබැයි මේ පිරිමි ළමයින්ගෙන් බාලම පිරිමි ළමය වුණ සුරාජ් විතරක් අනිත් අයට වඩා කරුණාවෙන් සහ ආදරයෙන් මේ ගැහැණු ළමයට සලකනවා.
මේ හේතුව නිසාම කල්කිගෙ හිතේ සුරාජ් ගැන ආදරයක් ඇතිවෙනවා. ඕක දැනගන්න අනිත් පිරිමි ටික මොකද කරන්නෙ සුරාජ්ව මරල දානව. කල්කි තමන්ගෙ තාත්තගෙන් ඉල්ලා හිටිනවා තමන්ව මේ අපායෙන් බේරගන්න කියල. ඒත් ලැබිච්ච ලොකු දෑවැද්ද නිසා අන්ධ වෙලා ඉන්න කල්කිගෙ තාත්තා කල්කි කියන දේ අහන්නවත් කැමති වෙන්නෙ නෑ.
ඒත් මෙතනින් පැනල යන අරමුණු අමතක නොකරන කල්කි ගෙදර වැඩට ඉන්න පිරිමි ළමයෙකුගෙන් උදව් ඉල්ලගෙන පැනල යන්න හැදුවත් කල්කිව අල්ලගෙන එන එයාගෙ ස්වාමිපුරුෂයන් මොකද කරන්නෙ කල්කිව හරක් මඩුවක ගැටගහල තියෙනවා.
ඒ වගේම කල්කිට පැනල යන්න උදව් කරපු පිරිමි ළමයවත් මෙයාලා එක්කහු වෙලා මරල දානවා. ඒ පිරිමි ළමයගෙ මරණයට වගකියන්න ඕන කල්කි කියල දෝශාරෝපණය කරන ගමේ ඉන්න පහත් කුල සමාජයේ මිනිස්සු කල්කිව මරලා දාන්න තීරණය කරනවා.
ඒකත් සමූහ දූෂණය කරලා, එයාගෙන් පළිගන්න චේතනාවක් එක්ක.
මැරුණෙ නැති හන්දා, ආපහු කල්කි එයාලගෙ ස්වාමි පුරුෂයන් ළඟට යනවා. ඒ සුබ ද අසුබද කියල කියන්න නොතේරෙන ආරංචියක් එක්ක.
කල්කි අම්මා කෙනෙක් වෙන්නයි යන්නෙ.
ඒත් ඒ දරුවගෙ තාත්තා ඇත්තටම කවුද?
ස්වාමි පුරුෂයන් පහක් සහ මාමණ්ඩිය එක්ක එකට ජීවත් වුණ වගේම සමූහ දූෂණයට ලක්වෙච්ච කල්කිගෙ දරුවගෙ තාත්තා කවුරු වෙන්න පුලුවන්ද?
ඒ වගේම ඒ දරුවා කාගෙ උනත් ඒ දරුවත් කෙල්ලෙක් උනොත් එයාට අත්වෙන්නෙත් මරණයද? අම්මා කෙනෙක් විදියට කල්කි ඒකට ඉඩ දේවිද?
ඉතින් ඉතාම සංවේදී මේ Mathrubhoomi කියන චිත්‍රපටය බලන්න කියල මම ඔයාලගෙ ඉල්ලනව. අපේ රටේ මෙච්චරම දරුණු දේවල් නොවුනත් මේ හා සමාන දේවල් අපේ අල්ලපු රටේ වෙන බව චිත්‍රපටය බලද්දිත් ඔයාලට මතක් වේවි කියල මම හිතනවා.
ReplyForwardAdd reaction |