සංකේත් හදිසි රිය අනතුරකට මුහුණ දීලා මේ ගෙවෙන්නේ තුන් වෙනි සතිය. අද තමයි සති තුනකට පස්සේ සංකේත්ව ගෙදර එක්කගෙන ආවේ. දිලිනි කාමරේ තිබුන වැඩිපුර බඩු ඔක්කොම සාලෙට දාලා කාමරේ නිදහස් වෙන්න හැදුවේ මල්ලිවත් උදව්වට ගෙන්නගෙන. සංකේත්ට ඇවිදින්න, තමන්ගේ වැඩ තනියම කරගන්න පුලුවන් මට්ටමක වෙනුවෙන් සෑහෙන්න කැපකිරීමක් කරන්න වෙන බව වෛද්‍යවරු කියලයි තිබුනේ. දිලිනි විශ්වාස කලා අනිවාර්‍යෙන්ම තමන්ට සංකේත්ව සුවපත් කරගන්න පුලුවන් බව. ඒ හින්දාම දිලිනි හිටියේ සම්පූර්නයෙන්ම ධනාත්මක මානසිකත්වයක.
සංකේත්ගේ වැඩ ටිකට උදව් කරලා , උදේ කෑමත් කවලා, දවල්ට කෑමත් බෙදලා ලඟින් තියලා, කුඩා ශීතකරනයට දාලා තියෙන දේවල් ගැනත් කියලා දිලිනි පාසලට යන්න සූදානම් වුනා.
” ඔයා කවදා ඉඳන්ද ඔසරි අඳින්න පටන් ගත්තේ …?”
සූදානම් වෙලා එලියට බහින්න හදන දිලිනිගෙන් සංකේත් එකපාරටම එහෙම ඇහුවා. දිලිනි සංකේත්ගේ කම්මුලක් ඉම්බා.
” ඔයා මං ලඟ හිටියේ නැති කාලේ …”
එහෙම කියලා ආයෙම සංකේත්ට පරෙස්සමින් ඉන්නත් කියලා දිලිනි ස්කූටරේ පණ ගන්වගත්තා. දිලිනි පිට වෙලා ගිය මොහොතේ ඉඳන් සංකේත්ගේ හිත තිබුණේ කියා ගන්න නොවැටහෙන කලබලයක. ඔහු තමා ගැනම ඉපදුණු ශෝකයකින් ඔද්දල් වෙන්න පටන් අරගෙන තිබුණා. දිලිනි තමන්ට නොවැටහෙන පාරක යන්න පටන් අරගෙනද කියන සැකයේ බීජය සංකේත්ගේ හිතේ පැලවුණා.
ඊට පස්සේ සංකේත් දිලිනි එනකල් හිටියේ ඇවිලි ඇවිලි. කිහිප වතාවක්ම දිලිනිට ඇමතුම් අරගෙන එකිනෙකට නොගැලපෙන කාරණා විමසන්නත් සංකේත් කටයුතු කලා. දිලිනි ඒ ඇමතුම් භාරගත්තේ ආදරෙන්. සංකේත්ට එක තැනකට වෙලා ඉන්න එක පහසු නැති බව දිලිනිත් දන්නවා. ඒත් මේ අපහසු කාලය පහු කරගන්න දෙන්නාම කැප කිරීම් කරන්න වෙන බවත් දිලිනි හිතුවා.
සති දෙක තුනක් ගෙවිලා ගියා. සංකේත්ගේ හිතේ තිබුණ සැකයේ බීජය මහා වනස්පතියක් වෙලා පැතිරෙන්න අරගෙන තිබුනේ. ඔහු ඉවසීමෙන් ගෙවන්න උත්සාහ කල හැම තත්පරයක් ගානේම ඒ සැකයේ වෘක්ෂයේ මල් පිපුනා.
දිලිනි ගෙදර එනකොට දෙක හමාරට කිට්ටුයි. පාසැලේ ඉඳන් ගෙදරට එන්න ගත වෙන්නේ විනාඩි පහලොවක් කියලා සංකේත් දන්නවා. ඒත් අද මෙතරම් පරක්කු වීම ස්කේත්ගේ හිතේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් විදියටයි සිද්ද වුනේ.
දිලිනි ඇඳුම් මාරු කරගෙන සංකේත්ගේ කාමරේට ආවේ පළතුරු සැලඩ් එකත් හදාගෙනමයි. ඇය ප්‍රමාද වුනේ පළතුරු මිලදී ගන්න වෙළඳසැල් කිහිපයකටම යන්න වුන නිසා.
” ඔයා බත් එක ඉතුරු කරලනෙ සංකේත් .. මම ආයේ බත් එකක් බෙදලා කවන්නද?..”
“එපා..”
සංකේත් මුහුණ හරවගෙන කිව්වා. දිලිනි සංකේත්ගේ ඒ හැසිරීම වටහා ගන්න බැරුව වගේ බලාගෙන ඉඳලා පලතුරු සලාද කෝප්පෙත් අරගෙන ළඟින් වාඩි වුණා.
” එහෙනම් සැලඩ් එක කාලා ඉමු ..”
“මට එපා…”
” එපා කියලා බෑනේ සංකේත් .. නොකා නොබී කොහොමද සනිප වෙන්නේ?..”
” මං සනීප නොවී ඉන්න එකනේ තමුසෙට හොඳ… නිකන් බොරුවට පෙන්නන්නේ නැතුව ඉන්නවා…”
සංකේත් එහෙම කියාගෙන දිලිනිගේ ඇඟට කඩාගෙන පැන්නා. දිලිනි සංකේත් දිහා බලාගෙන හිටියේ ඇස් වල කඳුලු පුරවගෙන.
” ඌද කිව්වේ ඔසරි ඇන්දාම හොඳයි එහෙම අඳින්න කියලා ..?”
සංකේත් කඩාගෙන පැන්නා. ඔහුට තවදුරටත් ඉවසගෙන ඉන්න පුලුවන් වුනේ නැහැ.
“සංකේත් ??..”
අවුරුදු හයක ප්‍රේම සම්බන්ධතාවයක්, අවුරුදු තුනක විවාහ ජීවිතයක් ඇතුලේ කිසිම දවසක සිදු නොවුන දෙයක් වෙනුවෙන් සංකේත් අර අදින එක දිලිනිට හිතා ගන්නවත් පුලුවන් වුනේ නැහැ. ඇය උන්නේ කිසිම දෙයක් ගලපාගන්න බැරි මානසිකත්වයක. ඒ හැසිරීමත් සංකේත් ගලප ගත්තේ නුහුරට.
” මාව අබ්බගාතයා කරලා තියලා ඌත් එක්ක නාඩගම් නටන්න හිතාගෙන ඉන්නවා නම් එව්වා සුම්මා දිලිනි … හෙට ඉඳන් උඹ ඇරලවන්නයි ගන්නයි මාත් එනවා..”
” ඔයාට විකාරද සංකේත් ..? මේ ඉන්න තත්වෙන් ඔයා කොහොමද එහෙ මෙහෙ යන්නේ?..”
දිලිනි එහෙම කිව්වාට සංකේත් සැලසුමක් හිතේ තියාගෙන හිටියේ. ඔහුට ඇයව අහිමි කරගන්න නොහැකි බව තදින්ම දැනුනා. දෙන්නා ඒ දවස ගෙවුවේ වෙන වෙනම ඇවිලෙන ගින්දර එක්ක.
පහුවෙනිදා දිලිනි පාසැලට යන්න සූදානම් වෙනකොට සංකේත්ගේ මිතුරෙක් නිවසට ආවා.
” සමන් අයියේ ?.. මේ වෙලාවේ..”
” සංකේත් කතා කරලා එන්න කිව්වා දිලිනි … “
දිලිනිට හැමදේම වැටහුනා. සංකේත් සමන්ට හැමදේම කියනවාත් දිලිනි අහගෙන හිටියා. දිලිනි සාලේ සෙටියට වැටුනේ අඬාගෙන.
සංකේත් රිය අනතුරට මුහුන දුන්නාට පස්සේ දිලිනිට කාලය ගැන ලොකු ගැටලුවක් තිබුණා. උදේ නැගිටලා සංකේත්ගේ කෑම ටික හදලා, මල්ලි අතේ රෝහලට යවලා, පාසැලට යනයක් ඇය මැශින් එකක් වගේ වැඩ කලේ. ඒ අතරට සාරියක් අඳින්න වැය වෙන පැය භාගේ දිලිනිට හරිම කරදරයක් වුනා.
” මේ ඔයා මේඩ් අප් ඔසරි ටිකක් හදාගමු ..”
පාසැලේ මිතුරියක් තමයි ඒ යෝජනාව ගෙනාවේ. දිලිනිට ඔසරිය ඇඳගන්න විනාඩි පහක්වත් ගියේ නැහැ. ඒ නිසා ඇය තිබුන සාරි පහලොවක් විතරම ඔසරි විදියට සකස් කරවගත්තා.
ඒත් සිද්ද වෙලා තියෙන්නේ හීනෙකින්වත් නොහිතපු දෙයක් බව දිලිනිට වැටහෙනවා. එදා දිලිනි පාසල් නොගිහින් නිවාඩුවක් දැම්මා. සංකේත් ඒකත් ගත්තේ නුහුරට. ඔහු කෑ ගසමින් ඇයට බැණ වැදුනා. සමන් දෙන්නාට සමුදුන්නේ සංකේත්ව මුණ ගැහෙන්න ආයෙම එන්න පොරොන්දු වෙලා. ඒ යන ගමන් සංකේත්ගේ මල්ලිව මුණ ගැහිලා උදේ සිද්ද වුන දේ කියන්නත් සමන් අමතක කලේ නැහැ.
විශ්ව විද්‍යාලේ අවසාන වසරේ ඉගෙන ගනිමින් උන්න සංකේත්ගේ මල්ලි සංකේත්ව මුන ගැහෙන්න ආවේ කෝපයෙන්. සංකේත් අසනීප වෙලා උන්න දවස් ටිකේ දිලිනි හැමදේම කරගත්තේ කොයි තරම් නම් අපහසුවකින්ද කියලා සංකේත්ගේ මල්ලී හොඳටම දන්නවා.
උදේම ඇහැරිලා, සංකේත් වෙනුවෙන් කෑම හදලා, ඔහුගේ ඇඳුම් සකස් කරලා බෑග් වල අසුරලා, තමන්ටත් කෑම එකක් හදලා දීලා, ඉන් පස්සේ පාසැල් ගිහින්,පාසැල් නිම වෙලා ගෙදර ඇවිලා සංකේත්ට සවස සහ රෑ කෑම සකස් කරගෙන රෝහලට ඇවිල්ලා, අන්තිම තත්පරේ වෙනකල් සංකේත් ළඟ ඉඳලා, රෑ හතත් පහු වෙලා ගෙදර ඇවිල්ලා, ගෙවල් අස් කරලා, සංකේත්ගේ රෙදි සෝදලා, පාසැලේ වැඩත් අවසන් කරලා රෑ දොලහත් පහු වෙලා නින්දට යන දිලිනි ගැන මල්ලී සංකේත් ට කිව්වා. ඒ වගේම උදේට කාලේ ඉතුරු කරගන්න ඕනිවට සාරි ඔසරි කරලා හදවගත්තේ තමන්ගේ සරසවි මිතුරියකට කියලත් මල්ලි සංකේත්ට කිව්වේ කෝපයෙන්. සංකේත් මල්ලි දිහා බලාගෙන හිටියේ කිසිම දෙයක් හිතාගන්න බැරුව.
දිලිනි අඬ අඬා පැත්තකට වෙලා හිටියා.
” අයියේ .. තමුසේ මොක කිව්වත් දිලිනි අක්කට තමුසෙව එපා කියලා දාලා යන්න ඕනි හැටියේ පුලුවන් . ඒක කන්ට්‍රෝල් කරන්න තමුසේට බෑ..අක්කා එහෙම වෙන් වෙන්න ඕනි කිව්වොත් මාත් අක්කගේ පැත්තේ .. මොකද මට තමුසෙගේ මේ ක්‍රියාකලාපේ අප්‍රසන්නයි .”
මල්ලි කාමරෙන් එලියට ගියේ එහෙම කියාගෙන. සංකේත් ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා. දිලිනි මල්ලීට බැන බැන ඇවිල්ලා සංකේත්ගේ ළඟින් වාඩි වුනා. සංකේත් දිලිනි දිහා බැලුවා.
” මම ආයේ ඔසරි අඳින්නේ නැතුව ඉන්නම් ..”
දිලිනි හෙමින් කිව්වා.
” මට සමාව දෙන්න එපා දිලිනි ..”
සංකේත් ඊටත් වඩා හෙමින් කිව්වා.
” මට තේරෙනවා. ඔයා මේ එක තැනක හිර වෙලා ඉන්නකොට මම ඇඳලා කරලා එලියට බැහැලා එනකොට ඔයාට නානාප්‍රකාර දේවල් හිතෙන්න පුලුවන්.. අපි අහලා දැකලා තියෙන දේවල් එක්ක ඒක එහෙමයි කියලා මට තේරෙනවා .. ඒත් සංකේත් , මම කවදාවත් ඔයාගේ විශ්වාසේ බිඳලා නෑ නේද? මම ඔයාට කොයි තරම් ආදරේද කියලා ඔයා දන්නවා නේද?.. අඩුම තරමේ ඔයාගේ හිතේ ඔහොම සැකයක් පැහැව පැහැවා තිබුනා නම් ඔයාට මා එක්ක කතා කරන්න තිබුනා නේද ?
සංකේත් ඔලුව වැනුවා.
ජීවිතේ කිසිදවසක ඒ වගේ වරදක් සිද්ද වෙන්න දෙන්නේ නැහැ කියලා තරයේම හිතාගත්තා.
අපේක්ශා ගුණරත්න