ඒකපාර්ශ්වික – 42

” වසරේ නිරූපණ ශිල්පියා ” ට හිමි සම්මානය තම දෝතට ගැනීම සඳහා අහස් වේදිකාවට ගොඩ වූයේ මේඝා සිහි කරමිනි. මෙම ජයග්‍රහණයේ සතුට බෙදා ගන්නට ඇය පේන මානයක හෝ හිටියා නම් මොන තරම් හොඳ දැයි අහස් ට තදින්ම සිතුනි. මේඝා සම්පූර්ණයෙන්ම හිත හදාගන්නා තුරු ඇය ගෙන් ඈත්වී සිටීමට තමා ගත් තීරණය කොයි තරම් දවසක් ක්‍රියාත්මක කළ හැකි වේදැයි ඔහු වත් දැන උන්නේ නැත. 

” මම දැනගෙන හිටියා මේක උඹට හම්බ වෙනවාම තමයි කියලා ” 

සම්මානය දෝතට තුරුලු කර ගත් අහස් නැවත තම අසුනට එන විට විශ්මිත ඔහුව වැළඳ ගනිමින් කීවේය. මේ ජයග්‍රහණය අහස්ට අනිවාර්යයෙන්ම ලැබෙන බව අහස්ට වඩා විශ්වාස කළේ විශ්මිත ය. තමාගේ තත්ත්වය රැක ගෙන නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරියට යාම සඳහා අහස් කළ කැපකිරීම බොහෝ දුරට දන්නේද විශ්මිත පමණි. එනිසා මේ ජයග්‍රහණයේ සතුට ඔහුද තමා මෙන්ම හදවතින්ම භුක්ති විඳින බව අහස් දුටුවේ ය.

” උඹට අවෝඩ් එක හම්බුනා කියලා මේඝා ට කියන්නේ නැද්ද ? ” 

විශ්මිත ඇසුවේ අහස් ගේ කනට කර ය.ඇත්තටම අහස් ඒ මොහොත ගත කරමින් උන්නේ ඒ ගැන සිතමින් නිසා ඔහුට දැනුනේ පුදුමයකි.

” මම ඔය ගැන හිතුවා විතරයි බං. හැබැයි… ” 

අහස් නතර විය.

” ඇයි ? ” 

” එයා බලයි මම එක පාරටම කෝල් කරලා මේක ඇයි එයාට කියන්න කියලා ” 

” කිසිම දෙයක් නොතේරෙන්න මේඝා පොඩි බබෙක් නෙමෙයිනේ බං. ඔන්න ඔහේ ගනින් කෝල් එකක් ” 

අහස් සම්මානය දිනා ගත් බව මේඝා ඒ වන විටත් මුහුණු පොත හරහා දැන ගෙන සිටි අතර අහස්ට කතා කර සුභ පැතීමට ඇයට උවමනා විය. නමුත් මේ මොහොතේ අහස් බොහෝ කාර්යබහුල විය හැකි බැවින් නිසා මේඝා ඒ සිතුවිල්ල යටපත් කර ගත්තේ ආයාසයෙනි. සම්මාන උළෙල සඳහා Rainbow Eye නියෝජනය කිරීමට මේඝා ඇතුළු කිහිප දෙනෙකුටම ආරාධනා පත්‍ර ලැබී තිබුණත් මේඝා එයට සහභාගී වූයේ නැත. මෙවැනි සෙනඟ ගැවසෙන ස්ථාන වල රැඳී සිටීමට පෙර දින වල ලොකු කැමැත්තක් නැති නිසා මේඝා උළෙලට යාම ප්‍රතික්ෂේප කළාය. නමුත් එයට සහභාගී වූවා නම් අහස් මුණ ගැසීම ඔහුට සුබ පතන්නට තිබුණා යැයි මේඝාට සිතුනාය. අහස් ගෙන් දුරකථනය ඇමතුමක් පැමිණියේද මේඝා ඒ සිතුවිල්ල අතර එහා මෙහා යමින් උන් මොහොතේ ය.

” මේඝා. මට අවෝඩ් එක ලැබුනා ” 

අහස් ගේ හඬෙහි ගැබ් වී තිබුණේ උතුරා යන තරම් සතුටකි. මේඝාට ඒ මොහොතේ සතුටක් දැනුනේ අහස් ට සම්මානය හිමි වීම නිසාම පමණක්ම නොවේ. ඒ තරම් කාර්යබහුල මොහොතක වුවත් ඒ සතුට තමා හා බෙදා ගැනීමට ඔහුට සිහි වූ එක ගැනය.

”  Congratulations අහස් . ඔයා වගේ දක්ෂයෙකුට මේක හම්බ වෙන්නම ඕනේ ” 

” මං ඔයාට ගන්නම් මේඝා . මෙතන සද්දෙ නිසා මට ඇහෙනවා අඩුයි. මේක කියන්න ඕනේ නිසා ගත්තේ ” 

අහස් ඇමතුම අවසන් කර වේදිකාව දෙස බැලුවේය. මේ තමාට තමාගේ ජීවිතයේ ලැබුණු වටිනාම අවස්ථාවකි. වසර ගණනාවක් නිරූපණ ක්ෂේත්‍රයේ අපමණ සංඛ්‍යාවක වැඩ කිරීමෙන් පසුව ලැබුණු ඇගයීමකි. මෙය විවිධ දුක් කම්කොටලු රැසක් මැදින් ආ ගමනකි.  අනතුරුව අහස් බැලුවේ තමාගේ කරට තවමත් අත දමා ගෙන සිටින විශ්මිත දෙසය. ජීවිතයේ ඕනෑම දේකට සිටි හොඳම මිතුරා තමාගේ ජයග්‍රහණයේ සතුට භුක්ති විඳින්නේය. මෙතැන මේඝාත් සිටියා නම් මේ සතුට සම්පූර්ණ යැයි අහස් ට ආයෙ ආයෙම සිතුනේය.

අහස් ලැබූ ජයග්‍රහණය පිළිබඳව නිම්නාද දැනගත්තේ ද මුහුණු පොත හරහාය. ඒ වන විට නිම්නාද තම උපන් ගමට ගොස් පාදය සුව කර ගැනීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වී උන්නේය. මේ මොහොතේ මේඝා අනිවාර්යයෙන්ම ඇත්තේ අහස් සමඟ බව සිතා නිම්නාද ඒ වනවිට පැවැත්වෙමින් තිබුණු සම්මාන උළෙලේ ඡායාරූප සොයා පිරික්සමින් සිටියේ හදවත වේදනාවෙන් පුපුරු ගසද්දීය. මේඝා තමා සමග සිටි කාලයේද තමාගේ ඕනෑම දේකට ඉදිරිපත් වී උදව් කළ ආකාරය නිම්නාද සිහි කළේ එම වේදනාවෙන්ම ය. මේඝා යනු තම සහකාරයාට තමාගේ උපරිම සහයෝගය දෙන සුන්දර තැනැත්තියක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ නිසා මේ වන විට මේඝා අහස්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුට සුබ පතමින් ඔහු ලඟ රැඳී සිටිනවා විය යුතු ය. 

නිරූපණ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු පළ කර තිබූ ඡායාරූප එකකවත් අහස් අසල මේඝා දකින්නට සිටියේ නැත. සමහරවිට ඔවුන් දැන්ම ඔවුන්ගේ සම්බන්ධය පිළිබඳව ලෝකයට හෙළි නොකර සිටීමට තීරණය කර තිබෙනවා විය හැක. හෙට දිනයේ සම්මාන උළෙලේ නිල ඡායාරූප නිකුත් කළ විට මේඝා දැක ගත හැකි වනු ඇතැයි නිම්නාද සිතුවේය.

මේඝා ගැන දැනෙන මේ වේදනාව සහ උනන්දුව , ඇය ගැන දැන් දැනෙන හැඟීම පෙරදී දැනුනා නම් තමාට මෙවන් දරුණු වේදනාවක් කිසි විටකත් අත් වන්නෙ නැත. වර්ෂා නොඉඳ තමා මේ අනතුරට ලක් වූවා නම් මේඝා අනිවාර්යයෙන්ම තමාව  ආදරයෙන් රැක බලා ගනු ඇත. එසේ නම් තමාට මෙවැනි ශාරීරික සහ මානසික වේදනාවකින් කල් ගෙවීමට සිදුවන්නේ නැත. නමුත් දැන් මේ කිසිවක් නිවැරදි කිරීමට නොහැකි ලෙස සිදුවී ඇත.

මේඝා තමාට ආදරය කළ ආකාරයට තමන් ඇගේ සිතේ නොඉන්නට විදියක් නැත. මේඝා යනු එසේ ආදරයක් ලේසියෙන් අමතක කරන ජාතියේ කෙල්ලක නොවේ. සමහර විට තමා නැවත ඇයට කතා කළහොත් ඇයගේ සිත වෙනස් වීමට ඉඩ තිබෙනවා විය හැක. තමාගේ ජීවිතය දැන් වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ගත හැක්කේ මේඝාට පමණක්ම බව නිම්නාද සිතුවේය. 

දුරකථනය නාද වන විට මේඝා උන්නේ නාන කාමරයේ ය. ඇය එහි සිට දිව ආවේ ඒ ඇමතුම අහස් ගෙන් විය හැකි යැයි සිතමිනි. නමුත් ඒ ඇමතුම නිම්නාද ගෙන් බව මේඝා දුටුවේ දුරකථනය අතට ගත් පසුවය. මේඝා මොහොතක් ඒ දෙස බලා සිටි අතර ඇමතුම විසන්ධි වී ගියේය. නිම්නාද තමා අමතන්නට ඇත්තේ කුමකටදැයි සිතමින් සිටියදී යළිත් ඇමතුමක් ආවේය. මේඝා දෙගිඩියාවෙන් යුතුව ක්‍රියාත්මක කළාය.

” හෙලෝ ” 

මේඝා එසේ කියද්දී පපුවට පිහියකින් ඇන්නාක් මෙන් හැඟීමක් නිම්නාදට දැනුනේ ඒ හඬෙහි වූ දුරස් බව නිසාය.

” කොහෙද ඉන්නේ මේඝා ? ” 

නිම්නාද ඇසුවේ සුපුරුදු ලෙන්ගතුකම පාන්නටය. එහෙත් මේඝා එයින් බිඳක් වත් සසැලුනේ නැත.

” ගෙදර ” 

මේඝා පිළිතුරු දුන්නේ තනි වචනයෙනි. ඇය කතා කරන්නේ අකැමැත්තක් හිතේ තියාගෙන බව නිම්නාදට නොදැනුනා නොවේ. නමුත් ඇය නිවසේ සිටින බව දැන ගැනීම නිසා නිම්නාද හට දැනුනේ මද අස්වැසිල්ලකි.

” අවෝඩ් සෙරමනි එකට ගියේ නෑ ?” 

” නෑ ” 

” ඇයි ඒ ? ” 

” නිකන් ” 

” අහස් ඔයාව එක්කගෙන ගියේ නැද්ද ? ” 

නිම්නාද ඇසූ ඒ ප්‍රශ්නයට මේඝා ට දැනුනේ කෝපයකි. මෙවැනි දේ අසන්නට දැන් නිම්නාදට පැන නැගී ඇති වුවමනාව කුමක්ද ? 

” මොකටද අහස් මාව එක්කගෙන යන්නේ ? ” 

” නෑ මම නිකං ඇහුවේ ” 

” කවුරුත් මාව කොහෙටවත් එක්කගෙන යන්න ඕනෙ නෑ. මට ඕනේ නම් මම යනවා ” 

” ඔයාට ඔෆිස් එකටම invitation එන්නත් ඇතිනේ කොහොමත් ” 

” ඒක තමයි මම කිව්වෙ මට ඕනෙ නම් යනවා නැත්තං නොයා ඉන්නවා කියලා ” 

” තරහෙන් කතා කරන්නේ ඇයි මේඝා ? ” 

නිම්නාද ඇසුවේ හැකි තරම් ඉවසීමෙනි. මේඝාව නම්මා ගැනීමට නම් ආදරය සහ කරුණාව පෙන්වීම ප්‍රමාණවත්ය. එය ඇයගේ දුර්වලම තැන බව නිම්නාද දනී.

” කිසිම තරහක් නෑ. ඔයා ඇයි කතා කළේ මේ වෙලාවේ ? ” 

” ඔයාගේ තීරණේ වෙනසක් නැද්ද මේඝා ?” 

” මොන තීරණයක් ගැනද ඔයා අහන්නේ ? ” 

” ඔයාගේ ජීවිතේ කවුරුත් නැත්නම් ඇයි අපිට බැරි ඉස්සර වගේ ඉන්න ?” 

” අපිට එහෙම ඉන්න බෑ. මගෙන් ඔය ප්‍රශ්නේ ආපහු අහන්න එපා නිම්නාද ” 

මේඝා පිළිතුරු දුන්නේ ඇත්තටම කෝපයෙනි.

” මම මැරෙනවා මේඝා ” 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles