ඔබේ අවධානය පවත්වා ගන්න උපකාරී වෙන ආහාර වර්ග 07 ක් 

ෆේස්බුක් එකේ දැක්ක වීඩියෝවක්, යාළුවෙක්ගේ එහෙමත් නැත්නම් පවුලෙ ප්‍රශ්නයක් නිතරම මතක් වෙලා එදිනෙදා අධ්‍යාපන කටයුතු , කාර්‍යාලයේ වැඩ කටයුතු අතපසු වෙන අත්දැකීම් ඔබටත් තියෙනවද? 

අපි කරන දේට අවශ්‍ය අවධානය යොමු නොවීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න පුළුවන් කාරණාවක් වුනත් මේ දේ දිගින් දිගටම සිදුවීම නම් අපේ එදිනෙදා ජීවිතේට ගොඩක් අපහසුතා ඇති කරන්න පුළුවන්. 

එක් දෙයක් කෙරෙහි අවධානය දිගින් දිගටම පවත්වා ගන්න හැකියාවක් නොමැති කම නිසා අපේ අතින් සිද්ධ වෙන මඟහැරීම්, වැරදි සමහර විට කවදාකවත් නිවැරදි කරන්න බැරි වෙන්න පුළුවන්. 

අන්න ඒ නිසා, අපේ අවධානය පවත්වා ගැනීම ඉතාම වැදගත්. අපේ ආහාර රටාව  වගේම අපි ගන්නා සමහර ආහාර වර්ග අපේ අවධානය පවත්වා ගන්න ලොකු බලපෑමක් කරනව කියල ඔබ දැනන් හිටියද?

එහෙනම්, ඔන්න අද smart lady අපි මේ ලිපියෙන් ඔබට කියන්න යන්නෙ අවධානය පවත්ව ගන්න උපකාරී වෙන ආහාර වර්ග මොනවද කියලයි. 

ඒ ගැන දැනගන්න, මේ ලිපියෙන් අපිත් එක්ක එකතු වෙන්න කියල අපි ඔබට ආරාධනා කරනවා. 

Omega 3 අඩංගු මාළු වර්ග

සැමන්, හුරුල්ලන්, සාඩින්, හාල්මැස්සන් වැනි Omega 3 වලින් සංතෘප්ත මාළු වර්ග ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමෙන් අවධානය පවත්වා ගන්න, මතකය වැඩි දියුණු කරන්න වගේම මොළයේ සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගන්නත් ලොකු සහයෝගයක් ලබා දෙනවා. 

මිනිසාගේ මොළය Omega 3 වැනි මේද වර්ග වලින් සමන්විත වීම මෙවැනි ප්‍රතිඵල ලබාදෙන්න හේතුව විදිහට හඳුනාගන්න පුළුවන්. 

හිතන්නකෝ ඔබ නිර්මාංශ කෙනෙක් කියල,  එහෙමනම් ඔබට මේ මාළු වර්ග කන්න හැකියාවක් නෑනෙ. ඔබට ඊට විසඳුමක් විදිහට Algae oil / ඇල්ගී තෙල් පරිභෝජනය කරන්න පුළුවන්.

බීජ සහ ඇට වර්ග

නිර්මාංශ ඔබට පරිභෝජනය කරන්න පුළුවන් මාළු හා බොහෝ දුරට සමාන ගුණ දෙන තවත් ආහාර වර්ගයක් විදිහට බීජ සහ ඇට වර්ග හඳුනාගන්න පුළුවන්. 

මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරණ අත්‍යාවශ්‍ය මේද අම්ල වලින් බීජ සහ ඇට වර්ගත් සමන්විත වෙනවා. 

වයසට යාමේදී අවධානය සහ මතකය අඩුවීම ස්වභාවිකව සිද්ධ වෙන්න පුළුවන් ක්‍රියාවලියක් වුනත් බීජ සහ ඇට වර්ග වල මේද අම්ල වලට අමතරව අඩංගු වෙලා තියෙන විටමින් E නිසා ඒ තත්වය අවම කරගන්න අපිට හැකියාව තියෙනවා. 

ආමන්ඩ්, හේස්ල්නට්, සූරියකාන්ත ඇට වගේ වර්ග මේ සඳහා උදාහරණ විදිහට හඳුන්වන්න පුළුවන්. 

ටෝෆු සහ අනෙකුත් සෝයා නිෂ්පාදන

Tryptophan (ට්‍රිප්ටෝෆාන්) සහ serotonin (සෙරොටොනින්) කියන්නේ මොළයේ අවධානය සහ සාන්ද්‍රණය පවත්වා ගන්න උදව් වෙන ස්නායු සම්ප්‍රේෂක වර්ග 02 ක් කියල සමහරවිට ඔබ දන්නව ඇති. 

මේ සම්ප්‍රේෂක වල ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගන්න සෝයා නිෂ්පාදන හොඳ සහයෝගයක් ලබාදෙන නිසා ඒවා ඔබේ ආහාර වේලට එකතු කරගන්න ඔබට පුළුවන්. 

බිත්තර

බිත්තර කියන්නෙ ඉතාම ගුණදායක ආහාරයක් කියල අපි කොහොමත් දන්න කාරණාවක්නේ. 

සෝයා නිෂ්පාදන වල විතරක් නෙමෙයි බිත්තර වල අඩංගු ප්‍රෝටීන වලටත් රුධිරයේ tryptophan (ට්‍රිප්ටොෆාන්) මට්ටම සැළකිය යුතු ආකාරයකට ඉහළ නංවන්න පුළුවන් කියල සොයාගෙන තිබෙනවා. 

ඊට අමතරව මානසික ශක්තිය පවත්වා ගන්න, වේගවත් ප්‍රතික්‍රියා දක්වන්න සහ චිත්තවේග පාලනයටත් බිත්තර වලින් ලැබෙන්නෙ හොඳ සහයෝගයක්. 

බ්ලූබෙරි

බ්ලූබෙරි කියන්නෙ ප්‍රතිඔක්සිකාරක, ඇන්තොසියානින්, කැටචින්, තන්තු සහ ඉලාජික් අම්ලය බහුලව අඩංගු වෙලා තියෙන පළතුරු වර්ගයක්. 

මේ ප්‍රතිඔක්සිකාරක සහ සං‍යෝග නියුරෝන වල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරන්න වගේම මොළයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගෙන යන්න ඉතා හොඳ සහයෝගයක් ලබාදෙන බව සොයාගෙන තිබෙනවා. 

බ්ලූබෙරි වල අඩංගු ප්‍රතිඔක්සිකාරක කාලයත් සමඟ ඔබේ මොළයේ එකතුවන බවත් පර්‍යේෂණ මඟින් සොයාගෙන තිබෙන නිසා බ්ලූබෙරි දැක්ක තැන මිලදී ගන්න අමතක කරන්න එපා.

රතු අල / බීටෲට්

සෞඛ්‍ය සම්පන්න ආකාරයට සකසන ලද රතු අල වල නයිට්‍රේට් බහුලව අඩංගු වෙනවා.

අපේ ශරීරයට නයිට්‍රේට්, නයිට්‍රික් ඔක්සයිඩ් බවට පත්කිරීමේ හැකියාව තිබෙනවා. 

නයිට්‍රික් ඔක්සයිඩ් කියන්නෙ, රුධිර පීඩනය අඩු කරන්න, රුධිර ප්‍රවාහය වැඩි දියුණු කරන්න සහ රුධිර නාළ පුළුල් කරන්න උදව් වෙන අණු වර්ගයක්. 

රුධිර ප්‍රවාහය වැඩිදියුණු වීම මඟින් මොළයට පෝෂ්‍ය පදාර්ථ සහ ඔක්සිජන් ලැබීම වැඩි වී මතකය, තීරණ ගැනීම, අවධානය සහ මොළයේ සාන්ද්‍රණය ක්‍රමවත්ව පවත්වා ගන්නත් වැඩි දියුණු කරන්නත් හේතු වෙනවා. 

ජලය 

ජලය කියන්නෙ ආහාරයක් විදිහට නොසලකන දෙයක් වුනත්, ජලය කියන්නේ ආහාර වේලක් සම්පූර්ණ කරන්න ඉතාම තීරණාත්මක කාර්‍යභාරයක් ඉටු කරන පානයක්. 

ඔබේ මොළයේ සෛල ප්‍රමාණවත් ලෙස සජලනය නොවී ඇති විට මොළය මඟින් ඉටුකරන අවධාරණය, සන්නිවේදනය, අවධානය සහ අනෙකුත් ක්‍රියාකාරකම් සැලකිය යුතු මට්ටමකින් පහත වැටෙන බව සොයාගෙන තිබෙනවා. 

ඒ නිසා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම අතිශයින්ම වැදගත් කියලත් සඳහන් කළ යුතුමයි. 

කෙටි කාලීනව සහ ඉක්මණින් අවධානය ලබා ගන්න කෝපි සහ පැණිරස ආහාර භාවිතා කිරීමට බොහෝ දෙනෙක් පෙළඹිලා හිටියත් ඒවා ලබා ගැනීම මඟින් දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටළු ඇති කරන්න පුළුවන්. 

කෝපි සහ අනෙකුත් කැෆේන් නිෂ්පාදන දිගින් දිගටම භාවිතයෙන් කෝටිසෝල් මට්ටම ඉහළ නංවන නිසා මානසික පීඩනය ඉහළ නැංවීම, සංජානන දුර්වලතා, මතකය දුර්වල වීම සහ චිත්තවේග පාලනය දුර්වල වීමේ අවදානමක් වගේම, පැණිරස ආහාර වැඩිපුර ගැනීම රුධිරගත සීනි මට්ටම ඉහළ නැංවීමට, මොළයේ ක්‍රියාකාරීත්වය සහ මනෝභාවය අඩාල කිරීමටත් හේතු වෙන්න පුළුවන්. 

ඒ නිසා ක්ෂණික විසඳුම් ලබාගැනීමට විවිධ පියවර අනුගමනය කරන්න කලින් ඒවගෙන් ඇතිවෙන්න පුළුවන් පසුකාලීන ප්‍රතිඵල ගැනත් සැළකිලිමත් විය යුතුමයි කියල අපි ඔබට ආදරෙන් මතක් කරන්න කැමතියි. 

එහෙනම්, මේ වගේම වැදගත් ලිපියකින් නැවත ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අපි අද ඔබෙන් සමුගන්නවා.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles