සාම්ප්‍රදායික රසට තෝර මාළු ජාඩි හදමු

ආහාර අරපිරිමැස්මෙන් භාවිත කරන ආහාර වලට ගරු කරන සහ ආහාර නාස්තිය දැඩිව ප්‍රතික්ෂේප කරන ආහාර සංස්කෘතියක් ශ්‍රී ලාංකීය අපේ මුතුන් මිත්තන් පැරණි කාලයේ ඉඳලම පවත්වගෙන ආව කියල ඔබ දන්නවනේ. 

ඉතුරුම් බත් වලින් හදපු  අග්ගල, වැලි කොස් ඇට, ලුණු දෙහි, දුම් ගසා වේලපු මස් මාළු, අව්වේ වේලල තියාගත්ත කොස් වගේ ආහාර කල්තබා ගැනීමේ ක්‍රම ඒ සඳහා ඕනෑතරම් උදාහරණ අපිට පෙන්නල දෙනව. 

මේ අතරින් එක් ආහාර කල්තබා ගැනීමේ ක්‍රමයක් විදිහට මාළු ජාඩි දැමීම හඳුනාගන්න පුළුවන්. 

මුහුදු මාළු අස්වැන්න සරු කාලයේදී විකුණාගන්න නොහැකිවෙන මාළු නිස්කාරනයේ ඉවත නොදමා මාළු අස්වැන්න අඩු කාලයන් වලදී ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහට කල්තබා ගන්න මේ ක්‍රමය අනුගමනය කරා කියලයි මාළු ජාඩි දැමීමේ ඉතිහාසය හොයාගෙන යද්දී අපිට වාර්තා වෙන්නෙ. 

ඉතිං අපි අද ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ සාම්ප්‍රදායික විදිහට නිවැරදිව තෝර මාළු ජාඩි දාන්නේ කොහොමද කියලයි. 

මුලින්ම අපි අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගෙන ඉමු. 

වෙනද වගේ මේ අමුද්‍රව්‍ය වල ප්‍රමාණයන් මේ මේ විදිහට කියල හරියටම සඳහන් කිරීම අපහසුයි. ඒ නිසා ඔබ ගන්න මාළු ප්‍රමාණය මත අවශ්‍ය අනෙක් අමුද්‍රව්‍ය වල ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න කියල මුලින්ම අපි ඔබට මතක් කරන්න කැමතියි. 

අවශ්‍ය ද්‍රව්‍ය 

පෙති කපාගත් තෝර මාළු 

කැට ලුණු 

වියළාගත් ගොරකා කැබලි (අලුත් ගොරකා නම් වඩා ගැලපේ)

කහ කුඩු 

වතුර 

මාළු ඇසිරීමට ප්‍රමාණවත් සෝදා වතුර වියළාගත් මැටි වළඳක් 

වළඳේ කට වැසීමට ප්‍රමාණවත් පොලිතීන් කැබැල්ලක් සහ පිරිසිදු රෙදි කැබැල්ලක්

ලණු කැබැල්ලක් හෝ රෙදි පටියක් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, තෝරා මාළු පෙති හොඳින් සෝදා පිරිසිදු කර මාළු කැබලි වැසෙන සේ වතුර දමා පසෙකින් තබාගන්න. (විනාඩි 10 ක් 15 ක් පමණ) 

ඊළඟට, මැටි වළඳේ අඩියට ලුණු කැට සහ ගොරකා කැබලි 05 ක් 06 ක් අතුරා ගන්න. 

ඊට උඩින් වතුර භාජනයෙන් ඉවතට ගත් මාළු කැබලි කීපයක් අතුරා ගන්න. 

මාළු කැබලි වැසෙන සේ ලුණු කැට අතුරා නැවත තැනින් තැන වියළි ගොරකා දමා ගන්න. 

කහ කුඩු ටිකක් ලුණු උඩින් ඉස ගන්න.

මාළු පෙගීමට දමාගත් වතුර වලින් ටිකක් අත්ලට ගෙන තැනින් තැන ඉසගන්න. 

නැවත මාළු අතුරා මාළු උඩින් ලුණු කැට, ගොරකා, කහ කුඩු සහ වතුර ඉසගන්න. 

අවසාන මාළු කැබලි ටික අසුරාගත් පසු ඊට උඩින් අතුරාගන්නා ලුණු කැට තට්ටුව තරමක් ඝනකමට අතුරාගන්න. 

ඊට උඩින් ගොරකා කැබලි 10 ක් 12 ක්, කහ කුඩු සහ වතුර ඉසගන්න. 

වළඳ මඳක් හැරවූ පසු වතුර ස්වල්පයක් භාජනයේ පැත්තකට එකතු වෙන ප්‍රමාණයට වතුර තිබිය යුතුයි.

දැන් මේ වළඳේ කට වැසෙන සේ මුලින්ම පොලිතින් ආවරණයෙන් ද ඊට උඩින් රෙදි කැබැල්ලෙන්ද හොඳින් වසා රෙදි පටිය ආධාරයෙන් තදින් ගැටගසා ගන්න. 

(රෙදි කැබැල්ල බුරුල් නැතිව ඇඳී තිබිය යුතුයි.) 

දැන් සාමාන්‍ය කාමර උෂ්ණත්වය ඇති තැනක දින 14 ක් තබා ඉන්පසු වළඳ විවෘත කර ආහාරයට ගන්න ඔබට පුළුවන්. 

දින 14 කට පෙර වළඳ විවෘත කිරීමෙන් ඉහඳ පණුවන් ජාඩි බඳුන තුළ වර්ධනය වීම සිදුවෙන නිසා දින 14 කට පෙර භාජනය විවෘත නොකිරීම අනිවාර්ය බවත් මතක් කළ යුතුමයි. 

ජාඩි වල ලුණු රස ඉවත්වීම සඳහා පිසගැනීමට පෙර සුළු වේලාවක් වතුරේ ගිල්වා තබන්නත් පුළුවන්. 

එහෙනම් හොඳ තෝර මාළු ටිකක් හම්බුනොත් මේ විදිහට ජාඩි දාල ඒ අත්දැකීම කොහොමද කියල අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා. 

මේ වගේම රසවත් කෑමකින් අපි නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyReply allForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles