ධම්මිකා ක්ලීටස්ට කතාකරන්න හිතුවේ රොඩ්‍රිගු විසින් කියන්නට යෙදුන ඒ වචන හොඳට මතක තියාගෙනය.
“ඔය ප්‍රශ්නෙ පටන්ගත්තෙ ක්ලීටස් සර් නම් මැඩම් මොකටද මැඩම් මහත්තයගෙ උනත් කුණු ඇඟේ ගාගන්නෙ. මැඩම්ට ඕන නම්බු පිටින් ජීවත්වෙන්නනෙ. කලින් වතාවෙ මැඩම් වසන්තව ඇහැටවත් දකින්නෙ නැතුව ප්‍රශ්නෙ විසඳගත්තා වගේම මේ පාරත් මැඩම්ට ඕක කරන්න බැරිකමක් නෑ. මැඩම් ඒ කෙල්ලව හම්බුවෙන්න යන්නවත්, මැඩම් ඒ කෙල්ලට ත්‍රෙට් කරන්නවත් උවමනාවක් නෑ. කොටින්ම මැඩම් ඒ කෙල්ලගෙ ඇස් දෙක ඉස්සරහවත් මැඩම්ගෙ පුතාගෙ ඇස් ඉස්සරහවත් නරක ගෑණි වෙන්න ඕනත් නෑ. මැඩම්ට තියෙන්න සර් ලව්ව ඒ කෙල්ලට ඔය කතාව කියන එක විතරනෙ” කියා රොඩ්‍රිගු කියූ විදියට වැඩේ කිරීම තමන්ට හැමදාමත් ගේ ඇතුලේ පර්ෆෙක්ට් අම්මා කෙනෙක් වී ඉන්න ඉඩ සලසන්නට හේතු වෙන බව ධම්මිකා බොහෝ දුර හිතුවාය.
රොඩ්‍රිගු කියූ කතාව සහතික ඇත්තකි. කලින් වතාවේ වසන්තාව තමන්ගේ ජීවිතයෙන් ඈත් කරන්නට තමන්ට ඇයව හම්බෙන්න තියා එක වචනයක්වත් කියන්න උවමනා උනේ නැත. ක්ලීටස් තමන්ව ඔහුගේ ජීවිතයෙන් ඈත් කරන්න හදන්නේ වසන්තා නිසා බව කියා රොඩ්‍රිගු අතේ පණිවිඩයක යැවීම ප්‍රමාණවත් උන එකේ තමන් ප්‍රේමයක ගැලී සිටින්නේ තමන්ගේම සහෝදරයෙකු බව දැනගැනීමම ඒ කෙල්ලට මේ ප්‍රශ්නවලින් පැනලා යන්න උදව්වක් වෙන බව ධම්මිකා නැවත නැවත හිතුවාය.
“වරද පටන්ගත්තෙ මම නම් ඒ වරද හරිගස්සන එක කරන්න ඕනත් මම බව මම දන්නවා. වරද සම්පූර්ණයෙන්ම හරිගස්සන්න බැරිබවත් මම දන්නවා. මගෙ වැරදි හන්දා ඔයාගෙ ජීවිතේ විනාස උනා. මට ඒක ආයෙ හදන්න ආපස්සට යන්න බෑ. ඒත් මට පුලුවන් ධම්මි දරුවො වෙනුවෙන් ඕනම දෙයක් කරන්න
ඔයා මට කියන්න මම මොකද්ද කරන්න ඕන කියලා, මම ඔයා කියන ඕනම දෙයක් කරන්නම්” කියා එදා ක්ලීටස් කියූ දෙයින් ප්‍රයොජන ගන්න හොඳම වෙලාව මේක බව ධම්මිකා හිතුවේ ඒත් එක්කමය.
“ක්ලීටස් මට කතාකරන්න ඕන. මියුරු අද හවස එන්න පරක්කු වෙනවා කිව්වා. ඔයා ක්ලබ් එකට ගිහින් කලින් එන්න” කියා ධම්මිකා ක්ලීටස්ගේ දුරකතනයට කෙටි පණිවිඩයක් යැව්වේ ඒ අනුවය.
එදා ධම්මිකා ඉල්ලූ පරිද්දෙන්ම ධම්ම්කා ගෙදර එද්දීත් ක්ලීටස් ඇවිත් උන්නේය. ඒ ධම්මිකා කතා කරන්නට යන්නේ කුමක් ගැනද කියා අහගන්න තිබුන හදිස්සිය නිසාවෙන් ය.
“අතීතෙ අපි මොන වැරැද්ද කරත් සමහරවෙලාවට අපි වර්තමානයෙදි ඒ ගැන පසුතැවෙනවානෙ ක්ලීටස්. ඒක ඔයා උනත් මම උනත් එහෙමයි. අපිට අපේ අතීතෙ සහමුලින්ම අමතක කරලා අද දවසේ ජීවත්වෙන්න බෑ. අතීතෙ සමහරවෙලාවට ඇවිත් අපි ඉස්සරහ හොල්මන් කරන්න පටන් ගන්නේ අපි නොහිතන වෙලාවක නොහිතපු විදියට. හැබැයි එහෙමයි කියල අපිට පුලුවන්කමක් නෑ ක්ලීටස් අපේ වැරදිවලට අපේ දරුවන්ට වන්දි ගෙවන්න දුක් විඳින්න ඉඩ දෙන්න. අපි වැරදි කලේ තරුණ වයසෙදි උනත් අපි දැන් කරදඬු උස් මහත් වෙච්ච දරුවො ඉන්න අම්මලා තාත්තලා. එහෙම එකේ හැමදේටම වඩා අපිට වටින්න ඕන අපේ දරුවන් ව. අපි තව කාලෙකින් මැරිලා යයි. ඒත් අපේ දරුවො ජීවත්වෙන්න ඕන තව කාලයක්. අපේ වැරදි හන්දා උන්ගෙ නම්බුව හේදිලා ගියොත් අපි අම්මල තාත්තල විදියට උන්ව උස් මහත් කල එකේවත් තේරුමක් නෑ නේද?” කියා ධම්මිකා කතාවට එළඹියේ වෙනස්ම ආකාරයේ හැඟීම්බර, වේදනාබර වෙස් මුහුණක් පැලඳගෙනය. ක්ලීටස් හිතුවේ ඒ වේදනාබර මුහුණ යට සැඟවී හිඳින්නේ සැමියා විසින් රවටනු ලැබූ අසරණ බිරිඳක කියා නමුත් තමන් මේ මෙතැන කරන්නේ රංගනයක් පමණක් බව දැන උන්නේ ධම්මිකාම පමණකි.
ක්ලීටස්ව නම්මාගන්නටත්, ඒ ඔස්සේ තමන්ට උවමනා දෙය තමන්ගේ දෑතේ කුණු ගාගන්නේ නැතුවත් කරන්න හැකි එකම විදිය මේ පීඩාවට පත් වූ බිරිඳකගේ භුමිකාව ක්ලීටස් ඉස්සරහා රඟ පෑම පමණක් බව ධම්මිකා හොඳින් තේරුම්ගෙන උන්නාය.
“මියුරු කියන්නෙ අපේ දරුවා ක්ලීටස්. ඒ වගේම නදී කියන්නෙත් ඔයාගෙ දරුවෙක්. මේ දරුවො දෙන්නම ඔයාගෙ. ඔයා මට මොන වරද කරත් මට බෑ ඔයාගෙ ලෙයින් බිහිවෙච්ච දරුවො දෙන්නෙක් මත්තෙන් ඒ තරහ යවල පිරිමහගන්න.
ඔයා හොඳටම දන්නවනෙ අපිට පුලුවන්කමක් නෑ එයාලගෙ සම්බන්ධෙට එකඟ වෙන්න. ඒ වගේම වෙන කිසි හේතුවක් කිව්වත් මම හිතන්නේ නෑ මියුරු කැමති වෙයි කියලා ඒ හේතු මොක උනත් ඒ ගර්ල්ව අතාරින්න.
අමාරුවෙන් උනත් සමහර වෙලාවට අපිට මේ වගේ තීරණ අරගන්න වෙනවනෙ. අපිට දැන් කරන්න තියෙන්නෙ එකම එක දෙයයි ක්ලීටස්. ඔයා මට රිද්දපු හැම වෙලාවෙම මම ඒක දරාගෙන හිටියා වගේ මේ වතාවෙත් මම ඔයා වෙනුවෙන් හැමදේම දරාගන්නම්. මම තව අවුරුදු සීයක් ජීවත්වෙන්නෙ නෑනෙ. එහෙම එකේ දරුවො වෙනුවෙන් මේ වගේ දෙයක් දරාගන්න එක අම්මා කෙනෙක්ට මහ දෙයක් නෙවෙයි” කියා ධම්මිකා දෙනෙත් ඔසවා බලද්දීත් ක්ලීටස් උන්නෙ එක එල්ලේම ධම්මිකා දෙස බලාගෙනය. ධම්මිකා මේ වගේ ඉවසීමක් තියෙන ගැහැණියක් විදියට අඳුනගන්න තමන්ට බැරිවුණේ ඇයිද කියා ක්ලීටස් ඒ වතාවේ දහස් වෙනි වතාවටත් හිතුවේය. ධම්මිකාගෙන් තමා බලාපොරොත්තු වෙච්ච විදියේ ආදරයක් නොලැබුණ නිසාවෙන්ම තමන් වසන්තාට ලං වුණ බව ඇත්තක් උනත් උත්සහ කරා නම් තමන්ට ධම්මිකාට ආදරය කරන්න බැරිවෙන්නේ නැ නේදැයි කියාත් ක්ලීටස් හිතුවේය. මොන දේ අද තමන් ළඟ ඉන්නේ තමන් විසින් වසන්තා විෂයෙහි අනෙක වාරයක් රවටනු ලැබූ විවාහක ස්ත්‍රියම පමණකි. තමන් අතීතයේදී අහිමි කරගෙන තිබෙන්නේ එහෙම ගැහැණියක බව හිතෙද්දි හිත හෝස් ගා යන එක නවත්තාගන්න විදියක් ක්ලීටස් දැන උන්නේ නැත.
“මම දන්නේ නෑ මියුරු මේ ප්‍රශ්නෙට කොයි විදියට උත්තර දේවිද කියලා. ඒ ළමයගෙ හිත සැහෙන්න කැඩේවි. ඒක සාධාරණයි ඉතින් ඒ දරුවන්ගෙ පැත්තෙන් ගත්තොත්. එහෙම බැලුවම මොක උනත් මියුරුට නමට හරි අම්මයි තාත්තයි ඉන්නවා. අර දරුවාට තාත්තා කෙනෙකුත් නැතුව කොහොම ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයිද?”
අපි අපේ දරුවා ගැන විතරක් හිතල බෑ ක්ලීටස්. මේ ප්‍රශ්න විසඳුනා නැතා ඒ දරුවා ගැනත් හිතන්න ඕන. මොන දේ උනත් ඔයා ඒ දරුවගෙ තාත්තා” කියා ධම්මිකා ආයෙම වරක් හැඟීම්බර බව ඕනවටත් වඩා රැඳිච්ච වෙස් මුහුණෙන් ක්ලීටස් දෙස බලද්දී ක්ලීටස් උන්නේ ජනේලයෙන් එපිට පෙනෙන අන්ධකාරය දෙස බලමින් වේගවත්ව ඇසිපිය සලමිනි. ඒ නෙත අවහිර කරන්න එක කඳුලක් වලක්වාගන්න දරන වෑයමක් බව තේරුම්ගියත් දුකක් දැනුනේ ධම්මිකාගේ හිතට නොවේ.
ඔය වෑයම පෙන්වන්නේ තමන් ක්ලීටස්ගේ අල්ලන්න ඕන හරිම නිලය අල්ලා තිබෙන බවකි.
“වෙච්ච දේවල් ගැන ඔයා ඕනවටත් වඩා රිග්‍රෙට් කරන බව මම දන්නවා ක්ලීටස්. වැරදි උනා, ඒව දැන් අපිට ආයෙ හදන්න බැරිබව ඇත්ත. ඒත් ආයෙම වරදක් නොවෙන්න ජීවත්වෙන්න අපිට පුලුවන්. මට උවමනා නෑ මියුරු ඉස්සරහ මේ කතාව කියන්න ගිහිල්ලා ඔයා ලැජ්ජ වෙනවට. මියුරු අන්තිමේ කොහොම උනත් මේක දැනගන්න එක ඇත්ත. ඒ උනාට මේ හැමදේම ගැන මියුරු එක්ක මම කතාකරන්නම් ක්ලීටස්. මට මේ ලෝකෙ නැතිකරගන්න බැරි එකම දේ මගෙ පවුල ක්ලීටස්. ඒත් මේ වෙලාවෙ පවුල රැකගන්න කියල හිතාගෙන නොවිය යුතු දෙයක් වෙන්න දෙන්න මට පුලුවන්කමක් නෑ. පුතාලා දෙන්නෙක් ඉස්සරහ තාත්තා කෙනෙක්ට තමන්ගෙ නම්බුව, පිරිමිකම නැතිකරගන්න බැ. මට ඒක වෙන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා මම මියුරුට මේ හැමදේම කියන්නම් ක්ලීටස්. මම ඔයාව නොසලකා හැරිය හන්දයි ඔයාගෙ අතෙන් එහෙම වරදක් උනේ කියල මම කියන්නම්
ඔයා වෙනුවෙන්, අපි වෙනුවෙන් මට ඒක කරන්න බැරිකමක් නෑ”
“ඔයා මං වෙනුවෙන් ඕනවටත් වඩා දුක් වින්ද ගෑණියෙක් ධම්මි. මං හින්ද ඔයා අපෙ දරුවා වත් වෙන දරුවෙක් ඉස්සරහවත් ලැජ්ජ වෙන්න ඕන නෑ. මම දන්නවා ඔයා මේ හැමදේම කරේ මේ පවුල බේරගන්න, පවුල රැකගන්න කියලා. මං හින්දා ඔයා කොච්චර දුක් විඳින්න ඇද්ද?
එහෙම එකේ ඔය ඇත්ත අපේ දරුවො දැනගෙන මේ පවුල සී සී කඩ විසිරිලා ගියාම ඔයා කොයි වගේ දුකක් විඳීවිද කියල මට අමුතුවෙන් කියන්න ඕන නෑ. මෙච්චර මං වෙනුවෙන් දුක් වින්ද ඔයාට තව දුකක් දෙන්න මට උවමනාවක් නෑ ධම්මි.
ඔයාට මේ පවුල නැතිනොවෙන විදියට මම මේ ප්‍රශ්නෙ විසඳලා දෙන්නම්. මම මෙහෙම කියන එක තේරුමක් තියෙනවද කියන්න මම දන්නෙ නෑ. ඒත් ජීවිතේ අන්තිම වතාවට හරි මාව විශ්වාස කරන්න”
“ඔයා මොකද්ද ක්ලීටස් කරන්න යන්නේ?”
“මියුරුට මේ ප්‍රශ්නෙ ගැන මුකුත් කියන්න එපා ධම්මි. මම වසන්තගෙ දරුවා එක්ක මේ හැමදේම කතාකරන්නම්”