“අපේ අම්මයි තාත්තයි දෙන්නම දරුවො හැදුවට ඒ දෙන්නම බලාපොරොත්තුවෙලා තියෙන්නෙ තමන්ගෙ සන්තෝසෙ විතරයි නේද කියල හිතන එක හරිද වැරදිද මං දන්නෙ නෑ නදී. මට දරාගන්න බැරි උනේ අපේ අම්මා ඔයා වත්තක කෙල්ලෙක් කියල බඳිනවට විරුද්ධ වෙච්ච එකවත්, අපේ තාත්තට ඔයාගෙ අම්මත් එක්ක අෆෙයාර් එකක් තිබ්බ එකවත් නෙවෙයි. මට දරාගන්න අමාරු අපේ අම්මල තාත්තල එක්කහු වෙලා අපිව මෙහෙම රවට්ටපු එක. අපි ඉස්සරහ බොරු වෙස් මූණු දාගෙන රඟපාපු එක.
ඒ රඟපෑමෙන් ඒ දෙන්නම අපි හැමදාම රැවටෙයි කියල බලං උන්නු එක කොච්චර වැරදිද?” කියා කියූ දවසේ සිට මියුරු උත්සහ කලේ නදී එක්ක කැනඩා යන්නට ක්‍රමයක් හදාගන්නය. ඒ අනුව නදීට මාස්ටර්ස් එකක් කරන්නටත් ඒ අනුව මියුරුව ඩිපෙන්ඩන්ට් දමා යන්නටත් ක්‍රමයක් හොයාගන්නට කල් ගියත් මියුරු උත්සහය අතෑරියේ නැත. නදීව වඩා පරිස්සම් කරගත යුත්තේ නොපෙනෙන මිනිස්සුන්ගෙන් හෝ බලවේගවලින් වලින් නොව තමන්ගේ නිවස ඇතුලෙන්ම ගොඩනැගෙන්නට හැකි බලවේග වලින් බව දන්නා නිසාම මියුරු කොළඹ හතේ රදන්පොල නිවසින් මහාබිනිශ්ක්‍රමණය කල නදීත් චන්ද්‍රකාන්තිත්, විල්සනුත් ජීවත්වෙච්ච ගෙදරට පදිංචියට ආවේය.
“බඳින්න කලින් කෙල්ලගෙ ගෙදර කොල්ලා බින්න බහින එකට වෙන වෙලාවක උනානම් මං කැමතිවෙන්නෙ නෑ මහත්තයො. ඒ උනාට දැන් මේ අපිට වෙලා තියෙන්නෙ එසේ මෙසේ කතන්දර නෙවිනෙ. මහත්තය මේ කාමරේ බුදියන්න” කියා කියන්නට චන්ද්‍රකාන්ති කටයුතු කලාය. නදීට කරදරයක් කරනවා යන්නෙහි තේරුම ඒ කරදරයම මියුරුටත් වන බව දන්න හන්දාම ධම්මිකාට කරබාගෙන ඉන්න සිද්ද උනත් ධම්මිකාව මානසික උපදේශනය සඳහා අරගෙන යන්න දැනටමත් පරක්කු බව ක්ලීටස් තේරුම් ගත්තේය. ධම්මිකා උන්නේ පවුලේ නම්බුව බිඳිච්ච එක ගැන කෝපයෙනි. දැවෙමිනි.
මේ සියල්ල මැද්දේ අමයුරු උන්නේ වෙනම ගෙදරක් අරගෙන බිරිඳ එක්ක ඒ ගෙදර තනිවම පදිංචියට යන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමිනි. මෙච්චර රහස් තිබිච්ච, ප්‍රශ්න තියෙන ගෙවල්වල ජීවත්වෙන එක මානසිකව කොච්චර වදයක්ද කියා නොහිත ඉන්න වගේම දවස පුරාම ඇහෙන අම්මාගෙත් තාත්තාගෙත් කෙලවරක් නැති රණ්ඩු සරුවල් තවත් දරාගෙන ඉන්න පුලුවන්කමක් අමයුරුට තිබ්බේ නැත.
“ගෙයක් කියන්නෙ ලොකුවට, සැපපහසුකම් දාහක් එක්ක, ලක්ශුරියස් විදියට තියෙන්න ඕන තැනක් නෙවෙයි මල්ලි. සන්තෝසෙ, සැනසීම, ආදරේ පිරිච්ච තැනක්” කියා අමයුරු කිව්වේ බිරින්දෑ එක්ක නදීවත් මල්ලිවත් බලන්න ඒ ගෙදරට ගිය වෙලාකය. විල්සන් ට දැන් ලැබී තියෙන්නෙ එක බෑණෙක් නොවේ දෙන්නෙක් හන්දාම කයිය ගහන එක පුරුද්දකට ගිහින් ය. කොච්චර තමන්ට වඩා නූගත් මනුස්සයෙක් උනත් ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න නදීගේ තාත්තාව ආදරයෙන්ද උපේක්ශාවෙන්ද පිළිගන්න අමයුරුටත් මියුරුටත් බැරි වූයේ නැත. ආච්චි අම්මා පිසින කරවල බැදුමත්, පරිප්පුවත්, හතු කරියත් එක්ක බත් පිඟන් ගිලිමින් කොල්ලො දෙන්නා තමන්ගේ කෙල්ලො දෙන්නා එක්ක දහසක් ප්‍රශ්න මැද්දේ උනත් මොහොතකට හෝ ඇත්තටම හිනා වෙන්න පටන් ගත්තේ ඒ සමාගමය මැද්දේය.
තමන් නදීව කසාද බැඳ කැනඩා යන බව අම්මාටත් තාත්තාටත් දැනුම් දෙන්න මියුරු මහගෙදරට ගියේ නදීවත් අයියා සහ අක්කාවත් කැටුවය. ඒ අම්මා මොන පිස්සුව නැටුවත් මේ අන්තිම මොහොතේ අම්මාට කර කියාගන්න දෙයක් නැති බව දන්න හන්දාමය.
“උඹයි උඹේ අම්මයි එක්කහුවෙලා මගෙ පවුලෙ නම්බුව කෑව. හැතිරියො. උඹ මොකටද මේ ගෙදරට පය ගහන්න ආවෙ. උඹල කොහොමද යකෝ අපේ ගෙවල්වලට පය ගහන්නෙ. උඹල කන්නෙ බොන්නෙ අපේ පය හෝදන වතුරෙන්” කියා ධම්මිකා ආවේස වී කෑගහද්දී ක්ලීටස් විත් ධම්මිකාව කාමරයකට දමා දොර වහද්දීත් මියුරු බයවෙන්න එපා කියන්න මෙන් තමන්ගේ අත අල්ලන් උන්නාට නදී උන්නේ බයකින් නොවේ දුකකිනි. ධම්මිකා ගැන දුකකිනි.
“අපේ අම්මා එච්චර නපුරු ගෑණියෙක් කියල මං කවදාවත් හිතුවෙ නෑ” කියා මියුරු එදා රෑ නදීට කියා බත් කවාගන්න අතරේ කියද්දී පවා නදී දුක්වුණේ ධම්මිකා ගැන හිතාය.
“අම්මා ගැන එහෙම හිතන්න එපා මහත්තයො. මොන දේ උනත් ඔයාගෙ අම්මාට එහෙම උනේ ඔයාගෙ තාත්තයි අපෙ අම්මයි එක්කහු වෙලා කරපු වැරදි හන්දා කියල නොහිත ඉන්න අපිට බෑ. ඔයාගෙ අම්මා නරක ගෑණියෙක් නෙවෙයි. මට කරදර කරන්න හැදුවා කියන එක වරදක් උනාට, එයා ඒ හැමදේම කලේ ඔයාව ඔයාගෙ තාත්තව පවුල ගැන හිතලා කියන එක අපිට අමතක කරන්න බෑ නේද?
ඔයාගෙ අම්මා කියන්නෙ ඔයාගෙ තාත්තගෙවත් ආදරේ නොලැබිච්ච ගෑණියෙක්. එහෙම ගෑණියෙක් තමන්ගෙ දරුවො දෙන්න තමයි තමන්ගෙ ලෝකෙම කියල හිත හිත ඉඳලා ඒ දරුවො දෙන්නත් ඒ ලෝකෙන් පිටමං උනයින් පස්සෙ හැම පැත්තකින්ම අසරණ වෙනව නේද?” කියා නදී කිව්වේ අන්න ඒ නිසාමය.
කැනඩා ගමන යන වෙලාවේ විල්සන්ටත් චන්ද්‍රකාන්තිටත් අඬන්න ඕන තරම් හේතු තිබ්බත් “දරුවට හොඳක් වෙනවනෙ” කියා හිතා ඒ දුක හිත අස්සේම වාවගන්න දෙන්නම කටයුතු කලහ. මියුරු යන්න කලින් නදීට ක්ලීටස් අරන් දුන්නු ගෙදර චන්ද්‍රකාන්තිගේ නමට හරවන්න අමතක කලේ නැත. මෙච්චර කාලයක් ඉතුරු කරගෙන උන් සල්ලිවලින් කොටසක් චන්ද්‍රකාන්ති අතට දුන් මියුරු රස්සාවක් හම්බෙච්ච හැටියේ කීයක් හරි එවන්න පොරොන්දු වුණාට විල්සන් නම් ඒකත් එපා කියා කිව්වේය. “අපිට දුක් විඳලා පුරුදු එකේ ඉස්සෙල්ල මහත්තයල එහෙ ගිහින් සෙට්ල් වෙන්නකො” කියා විල්සන් කිව්වේ මියුරුගේ උරහිසට ත තබා හීන් සැරේ තට්ටුවක් දාමිනි.
කැනඩාවේ ජීවිතේ මුල් කාලේ ලේසි උනේ නැති එක ඇත්තක් උනත් පාට් ටයිම් රස්සාවල් කීපයක් කර අවසානයේ ෆුල් ටයිම් ජොබ් එකක් හොයාගන්න මියුරුට බැරිවුනේ නැත. සාධාරණව ජීවත්වෙද්දි දුක් විඳින්න වෙන බව දන්නවා උනත් ඒ දුකම සැනසුමක් බව මියුරු තේරුම් ගත්තේ ඒ කාලයේය. සියල්ලටම වඩා වටින්නේ කවදාවත් සල්ලි දීලා ගන්න බැරි මානසික සහනය බව මියුරු හීන් සැරේ වටහා ගත්තේය.
ඒ වටහා ගැනීම් සියල්ල අස්සේ මියුරු පෙම් වසන්තය හීන් සැරේ ගලා ගියේය.
————————————————————————————————————————-
චන්ද්‍රකාන්ති දෙව්ලොව බලා ගියේ නදීත් මියුරුත් කැනඩාවේ පදිංචියට විත් අවුරුදු පහක් ගෙවිච්ච තැනය. කාලය ගෙවී ගියේ හිමිවීම් අහිමිවීම් සියල්ලකම යථාර්තය සියල්ලන්ටම පැහැදිලි කරවමිනි.
චන්ද්‍රකාන්තිගේ අභාවයෙන් පස්සේ විල්සන් ආපහු අල්විස් වත්තේ තමන්ගේ සුපුරුදු ජීවිතයට යන්නට අවසර ඉල්ලූ තැන එයට විරුද්ධ වෙන්න නදී හිතුවේ නැත. ඕනම ගහක් පැළවෙන්න ආස තමන්ට පුරුදු තැනය.
මානසික උපදේශනයෙන් පස්සේ ධම්මිකා ටිකෙන් ටික හිත එකලස් කරගත්තත් දරුවන් දෙදෙනාම නැති ගෙදර ධම්මිකා උන්නේ කූඩුවක හිරවෙච්ච කිරිල්ලියකගේ හැඟීමකිනි. ක්ලීටස් දවස තිස්සේ පුස්තකාල කාමරයට වී මත්පැන් වීදුරුව අතේ තබාගෙන කල්පනා කරද්දී ධම්මිකා බණ අහන්නට, බණ පොත් කියවන්න කාලය වැය කලේ ඒ ඔස්සේ ලැබෙන සැනසීමෙන් සැනසෙන්නේ තමන්ගේම හිත කියා තේරුම්ගත්ත හන්දාය.
ඒ වෙද්දී මිලින්ද උන්නේ තමන්ගේ ටැටූ බිස්නස් එක ඇත්තටම හොඳට කරං යමිනි. ටැටු ශොප් එකේ වැඩේ සාර්තක වෙච්ච තැන අල්ලපු කඩෙත් එක්කාසු කර ශොප් එක තව පොඩ්ඩක් වර්ධනය කරගත්ත මිලින්ද කඩේ වැඩට තව කොල්ලන් දෙතුන් දෙනෙක්ද ගත්තේය.
ඒ සල්ලිවල බලෙන් “තාත්තා ආයෙ ඔය ලැට් හෝදන්න යන්න ඕන නෑ, ගෙදෙට්ට වෙලා ඉන්න, මං කන්න අඳින්න දෙන්නං” කියා කියන්නට පුළුවන් වෙච්ච එකම මිලින්ද ලබපු ජයග්‍රහණයක් බව මිලින්දට කිව්වේ විල්සන් ය.
“උඹත් දැන් පිලිවෙලක් වෙයං” කියා විල්සන් කියද්දී “ඇයි මොකද්ද මගේ අවුල” කියා මිලින්ද ඇහුවේය.
“උඹ කසාදයක් කරගනිං. මිනිහෙක් පිළිවෙල වෙන්නෙ කසාදෙකින් පස්සෙ” කියා විල්සන් කියද්දී “අනේ හරි පිළිවෙල මිනිහා ඒක කියන්නෙ” කියා කෝචෝක් එකක් දාන්න හිතුවත්, මොක උනත් මේ යකා ඕන දේකට තමන් ළඟ ඉන්න බව දන්න හන්දාත්, විවාහ ඇතුලේ මේ මිනිහාත් රැවටිච්ච එකේ හිත රිද්දන්නෙ මොකටද කියා හිතුණ හන්දාත් මිලින්ද ඒක කිව්වෙ නැත.
“ඒවට තව කල් තියෙනවා”
“උඹ සීනි තාත්තෙක් වෙන්නද ඉන්නෙ තව නාකි වෙලා”
“කසාද බඳින්න ඕන වෙච්ච් හැටියෙ ගෑණු ළඟට එන්නෙ නෑනෙ, හරියන එකෙක් සෙට් වෙනකං ඉන්න ඕන” කියා මිලින්ද කිව්වේය.
“ඔව් ඒක ඇත්ත. උඹ මේ පාර හැබැයි අනුන්ගෙ ගෑණුන්ව නම් සෙට් කරගෙන බෙටි සීන් ඇඟේ ගාගන්න එපා පුතෝ” කියා විල්සන් කිව්වේ කෝචෝක් හිනාවක් එක්කය.
“ඌ ඊටපස්සෙ හැබැයි ආයෙ සද්දෙ දාන්න ආවෙ නෑ නේද?”
“වීඩියෝ එක තියෙනව කිව්වයින් පස්සෙ ඌ බය වුණා”
“උඹ ලඟ ඒක තාම තියෙනවනෙ” කියා විල්සන් ඇසුවේ දෑස් කොණකින් මිලින්ද දෙස බලමිනි.
“සීන් කෝන් එක කියන්නෙ ඒක දාපු පෙන් එක මිසින් නෙ විල්සන් අයියා”
“උඹට එහෙම එකක්වත් පරිස්සං කරගන්න බැරිවුණානෙ, නෙදකින්. ඒකට කමක් නෑ. ඒ යකා ඒක දන්නෙ නෑනෙ. උඹ ඌ ආයෙ සද්දෙ දාන්න ආවොත් ඌට කියපං වැඩිය නටන්න ආවොත් වීඩියෝ එක එලියට දාන්න කියල. හැබැයි එහෙම කියල නිකන් ඉන්න එපා”
“එහෙනං?”
“උඹ උගේ පුක පුච්චපං බෙටි දාන්න බැරිවෙන්න” කියා විල්සන් කියද්දී ඒ හිනාවටම කොක් හඬලමින් එක්වෙන්න මිලින්දට පුලුවන් උනේය.
—————————————————————————————————————————
ඉතින්
මෙච්චර දවසක් අල්විස් වත්තෙ රවුම් ගහන්න මාත් එක්ක එක්කහු වෙච්ච හැමෝටම බොහොම ස්තුතියි!
අලුත් කතාවකින් ඉක්මනට එන තුරු,
එහෙනං කෙල්ලනේ අපි ගියා!