විසිවෙනි සියවසේ ලොව ධනවත්ම කාන්තාව – ඔප්රා වින්ෆ්‍රී

වර්ෂ 1954 මිසිසිපි හිදී උපත ලද ඔප්රා වින්ෆ්‍රී විසිවැනි සියවසේ ධනවත්ම කාන්තාව ලෙස නම් ලබා ඇත. මානව හිතවාදිනියක් ලෙසින් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ඇය ලොව විශිෂ්ටතම කළු ජාතික මානව හිතවාදිනිය ද වේ. රූපවාහිනී නිෂ්පාදිකාවක්, නිවේදිකාවක්, රංඟන ශිල්පිනියක් ආදී ලෙසින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සාර්ථකත්වයක් අත්පත් කරගෙන සිටින ඔප්රා ළමා හිංසනයට විරුද්ධව පෙනී සිටිමින් සිය අත්දැකීම් පවා විස්තර කරයි.

ඔප්රා උපත ලබන්නේ පියා නැති දරුවෙකු ලෙස ය. ඇයව හදාවඩා ගන්නේ ඇගේ මිත්තනිය විසිනි. ඒ කාලයේ ඇයට හුඟක් දුක් විඳින්නට සිදු වූ බව ඇය කියයි. ඇයට අඳින්නට ලැබුණේ අලගෝනිවලින් මැසූ ඇඳුම්ය. ඒවා නිසා පාසලේ ළමයින්ගෙන්   උසුළු විසුළුවලට පවා ලක් වන්නට ඇයට සිදු විය.


කරදර ඇරඹීම නවතින්නේ නැත.ඇයව මුල් වරට දූෂණය වන්නේ වයස අවුරුදු නමයේ දී ය. ඒ තමන්ගේම පවුලේ කෙනෙක් අතිනි. යලිත් පවුලේ කෙනෙකු අතින් දූෂණය වී ඇය ගැබිණියක් බවට පත් වන්නේ වයස අවුරුදු දාහතරේදී ය. ඒ දරුවා අඩුවයස් දරුවකු ලෙස උපත ලබා මිය යයි.

ඇගේ අවාසනාවන්ත කාලය මැකී යන්නේ අවුරුදු දහහතෙන් පසුවයි. ඔප්රාගේ ජීවිතය වෙනස් මඟකට යොමුවන්නේ ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලැබීමත් සමඟය. ඒ ඇගේ කථන දක්ෂතා නිසා ය.ටෙනිසීස් රාජ්‍යයෙන් ඇයට ඒ සඳහා පූර්ණ ශිෂ්‍යත්වයක් පිරිනමයි. අවුරුදු දහ හතේදී ඇය ටෙනිසීස් කළුජාතික සුරූපිනිය ලෙසින් කිරුළු දරයි. WVOL ගුවන්විදුලියට ඇයව බඳවා ගන්නේ ඒ කාලයේදී ය. පසුව ඔප්රා රූපවාහිනී නිවේදිකාවක් සහ නිෂ්පාදිකාවක් බවට ක්‍රමයෙන් පත් වෙයි. සුරූපී ඔප්රා ඉන්පසුව රංගනය කරා යොමු වෙයි.බැරක් ඔබාමාගේ ඡන්ද සටනට සහයෝගය දුන් වැදගත්ම චරිතයක් ලෙස ඈ හැඳින්විය හැක්කේ ඇයගේ “ඔප්රා වින්ෆ්‍රී ෂෝ” නම් රූපවාහිනී සංවාද වැඩසටහන ඇමරිකාවේ ඉතා ජනප්‍රිය වූ නිසා ය.

ඇය ප්‍රබල සමාජ සේවිකාවක් ද වේ. ඇය පිළිබඳව කතා කිරීමේදී “විසිවන සියවසේ ධනවත්ම අප්‍රිකානු ඇමරිකානු ජාතික කාන්තාව” “උතුරු ඇමරිකාවේ ප්‍රථම කළු ජාතික මිලියනපතිනිය” සහ “ඇමෙරිකානු ඉතිහාසයේ විශාලතම කළු ජාතික දානපතිනිය” වැනි  විරුදාවලි ඇයගේ විශිෂ්ටත්වය ලොවටම කියා පාන බව සඳහන් කළ යුතුම ය.ඇගේ ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 2.6ක් ලෙස සඳහන් වේ.එසේම ලොව වැඩිම ධනාත්මක වෙනසක් කළ හැකි කාන්තාව ලෙස ද ඇය වරෙක නම් කර ඇත.

ඔප්රා බොහෝ වතාවකදී සම්මාන සඳහා නිර්දේශ වී ඇති අතර තිස් අට වතාවක් විවිධ සම්මානයට පාත්‍ර වී තිබේ. Harpo Production සහ Oprah Winfrey Network හි ප්‍රධාන විධායක නිලධාරිනිය ද වන්නේ ඇය ය.කැලිෆෝනියා හි අක්කර ගණනක ඉඩමක මනරම් නිවසක හිමිකාරිය ද ඇය යි


ඔබට ජීවිතය ලබා දී ඇති දේවල් පිළිබඳව ස්තූතිවන්ත වෙන්න. ඔබට අහිමි දේ  ගැන  ලතවෙන්නට පටන් ගත් විට ඔබ කිසි දිනෙක කිසිවක්ම නොලබනු ඇත.

ඔප්‍රා පවසා ඇති බොහෝ කතා අතරින් මේ කතාවට ඉහළ තැනක් හිමි වෙන බව නොරහසක්. ඇගේ මුළු ජීවිත කතාවම හෙළි කරන්නට සමත් මේ වැකිය හොඳින් කියවා බලන්න. ජීවිතය ඇයව නොයෙක් වර ඔසවා පොළොවේ ගැසුවත් ඇය නිර්භීත ගැහැණියක් සේ ජීවත් වෙයි. 


සැබෑ ස්මාර්ට් බව එය නොවේද?

Related Articles

Don't Miss


Latest Articles