කඩින් කඩ හුස්ම ඇර ඇර බොහොම අමාරුවෙන් කතා කරපු සේනාදීර දිහා මම බලාගෙන හිටියෙ පුදුමයෙන්. විජය කුමාරතුංග වගේ කඩවසම් දේහධාරී සේනාධිරට මොනවද මේ වෙලා තියෙන්නෙ කියන එක මට හිතාගන්න බැරුව ගියා. තවත් කතා කර කර සේනාධිරව වෙහෙස වන එකේ තේරුමක් නැහැයි කියලා මට හිතුනා.
“කෝ සේනා අප්පු.. ඇයි උඹ මේ තනියම ඉන්නේ.. මෙච්චර දෙයක් වෙනකම් උඹ වසන්තිට කිව්වේ නැත්තේ ඇයි.. “
මම කතා කරපු කිසි දේකට ප්‍රතිචාරයක් දක්වපු නැති සේනාධිර පණ පිටින් මැරුණු මනුස්සයෙක් වගේ ඇස් දෙක වහගෙන හිටියා.
මෙතන වෙලා තියෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න මට ඕන හින්දා සේනාධිර කියපු ඒ ලාච්චුව ඇරලා කොළ මිටිය මම එළියට ගත්තා.
ආපහු සැරයක් යන්තම් ඉර එළිය වැටීගෙන ආවත් තාමත් එළිය ඝන මීදුමකින් පිරිලා තිබුණා.සේනාධිරගේ කාමරයේ තිබිච්ච තවත් ඉටිපන්දමක් පත්තු කරගෙන මම සාලෙන් ඉඳගත්තා.
“සර්”
කවුරුහරි කතා කරපු සද්දෙට මම එකපාරටම පිටිපස්සේ බලනකොට තමයි දැක්කේ සේනාධිරගේ තනි නොතනියට උදව්වට ඉන්න එකම මනුස්සයා අප්පු බුලත් විට පිරිච්ච කට ඇතුලෙන් මට කතා කරපු බව..
“ආ.. අප්පු නේද …”
“එහෙමයි…”
” මං දැන් ඇවිල්ල කොච්චර වෙලාද.කොහෙද අප්පු මෙච්චර වෙලා හිටියේ…මම ඉස්සරහ දොර ළඟට වෙලා කොච්චර කතා කළාද..කවුරුත් නැති තැන තමයි මම තනියම දොර අරගෙන ඇතුලට ආවේ..”
“සර්.. සුදු ආප්ප කන්න මනාපයි කියලා අපේ ලොකු සර් කිව්වා.මං පහළ නෙයිනගෙ ගෙදර ගියා ආප්ප ගේන්න… අද මාර මීදුමක් නෙ සර්… එන්න පරක්කු උනේ ඒකයි “…
මගේ හිත ඇතුලෙන් මට තනියම හිනාගියා.. කොයි තරම් මීදුම තිබුනත් සේනාව තනියම දාලා අප්පු ගිහින් හිටපු හින්දා ඉක්මනට එන්න පුරුදු වෙන්න ඕනේ කියලා මට හිතුණා. එකත් එකටම මූ නෙයිනගෙ ආප්ප තාච්චියෙ බුදියන්න යන්න ඇති..
“සර්… මහන්සිත් ඇතිනේ මම තේ එකක් හදාගෙන එන්නම්..අර කාමරේ තමයි සර්ගේ..නාන කාමරේ ඇතුලෙ උණුවතුර වැඩ කරනවා… “
අප්පු එහෙම කියලා මගේ බෑග් එක කාමරය ඇතුලෙන් ගිහින් තියෙනකොට මම අප්පු දිහා බලාගෙන හිටියා.ජීවිතය පළවෙනි වතාවට හම්බවෙච්ච මේ මනුස්සයාව ඇයි මට මේ තරම් හුරු පුරුදු බවක් දැනෙන්නේ කියලා හිතාගන්න බැරුව ගියා.
සමහර වෙලාවට එහෙම වෙන්න පුළුවන්නේ..ඕන තරම් මිනිස්සුන්ව අපිට හිතෙන්නේ මෙයාව නම් කොහේදි හරි දැකලා තියෙනවා කියලා..සමහරවිට මේකත් එහෙම වෙන්න ඇති.
අප්පු කිව්වා වගේම හොදට දත කට මැදලා උණු වතුරෙන් හොඳට නාලා අලුත් ඇඳුමක් ඇඳගත්තම දැනුනේ පුදුම සනීපයක්…නාලා එළියට එනකොට උණුසුම් බෝතලයක් ඇතුළේ ඉතාමත් රස ප්‍රණීත කිරි තේ එකක් සුදු ආප්ප ලුණු මිරිස් කෙසෙල් පැණි එක්ක වටිනා කියන කෑම මේසයක් අප්පු ලෑස්ති කරලා තිබුණා..
“අපේ ලොකු සේර්ව බලාගන්න මට ඕන තරමේ පුළුවන්..කොහෙද ඉතිං අපේ ලොකු සර්ට ඕනෙ වුණානේ මහත්තයව ඔච්චර දුරු රටක ඉඳලා මෙහාට ගෙන්න ගන්න..”
එහෙම කිය කියා අප්පු මට උණු වතුර වීදුරුවට වැක්කෙරුවා..
“දැන් අප්පු ලොකු සර් ගාවට ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද..”
” අනේ සර්..මම මෙහෙට වැඩට ආවේ මම පොඩි කොල්ල කාලේ..එතකොට හිටියේ ලොකු සර්ගේ තාත්තා.. මං එදා ඉඳලම හිටියේ මේ බංගලාවේ..ඒ උත්තමයා නැතිවුණාට පස්සේ තමයි සේනාදීර සර් ගාවට ආවේ..
මුදලි සර්.. අපේ ලොකු සර්..රත්තරං මනුස්සයා … “
” මුදලි සර් නැති උනේ මොනා වෙලාද අප්පු…”
“බීම තමයි ඉතින් හෙනේ..දැන් මේ අපේ සර්ට උනත් පේන්නෙ නැද්ද..ගෑනියෙක් නෑ ළමයෙක් නෑ..උදේ හිට රෑ වෙනකම් බෝතලයක් හුරතල් කරන එක තමයි වැඩේ..”
“ඉතින් අප්පු ටිකක් කියලා බැලුවේ නැද්ද..”
“හහ්… සර් දන්නේ නෑනේ අපේ සේනා සර්ගෙ හැටි…ඕවා කියන්න ගිහිල්ලා නේනනම් වසන්ති නෝනත් මේ ගෙදරින් ගියෙ..”
අප්පුගේ උදේ කෑම සංග්‍රහයෙන් පස්සේ මට ඕන උනා සේන මොනවද උදේට කන්නේ කියලා දැනගන්න.. ඒත් මම ඒ ගැන අහන්න සේනගේ කාමරයට යනකොට සේනාට හොඳටම නින්ද ගිහිල්ලා තිබුණා.ආපහු සැරයක් ඇහැරවලා කරදර කරන්න ඕනේ නැහැයි කියලා හිතලා කුස්සිය පැත්තට ගියේ මම අප්පුගෙන් අහන්න සේනට මොනවද කන්න දෙන්න කියලා දැනගන්නයි.
” සර්… නාන වෙලාවෙ මං මාමයිට් එකක් පෙව්වා.. “
අප්පු මොනවා හරි සේනාට කන්න දීලා නිසා සේන මට දීපු කොළ ටිකත් අරගෙන මම කාමරයට ගිහිල්ලා ඇඳට වැටුනේ එකින් එක ඒවා කියවන්නම් කියලා හිතාගෙන.එක පාරටම එළියේ මොකෙක් හරි කෑගහන සද්දෙකට මට ගැස්සිලා ඇහැරෙනකොට හැන්දෑවේ තුනත් පහුවෙලා තිබුණා.
දෙයියනේ … එච්චර වෙලාවක් මට නින්ද ගියාද…මට එහෙම හිතුණා.මම හිටපු මහන්සියත් එක්ක සමහරවිට මට හොඳටම නින්ද යන්න ඇති..නාල කාලා හිටපු හින්දා වගේම කිසිම සද්දයක් ඇහෙන්න නැති හින්දත් සමහර විට නින්දට බාධා නොවෙන්න ඇති ඇති….
ඒ උනාට තවමත් ඔලුව බර ගතියක් දැනුන හින්දා මට උනු තේ එකක උවමනාව දැනුනා . කුස්සියේ අප්පු ඉන්නවා ද බලන්න යනකොට අප්පු සේනා ගෙ කාමරයේ ඉදන් එලියට එනවා දැක්කා ..
” ආ..සර්… නැගිට්ටා ද… මං තේ එක විජානියට ගේන්නං.. දැන් තමයි අපේ සර් බත් ටිකක් කෑවෙ..
ඉන්නකො ඉක්මනින් ගේන්නං”
අප්පු එහෙම කියලා කුස්සියට යනකොට මට පුදුම හිතුණා.මම තේ එකක් ඉල්ලන්න ආවේ කියලා අප්පු කොහොමද දන්නේ?…
අනේ මන්දා මේ ගෙදර ඔක්කොම විකාරයක් වගේ මට දැනෙන්න පටන් ගත්තා.අප්පු තේක හදාගෙන එනකන් දැන් මට භාරවෙලා තියෙන ලොකුම වැඩේ මේ කොළ ටික කියවිල්ල හින්දා ඒක පටන් ගන්න ඕනේ කියලා හිතුනා. සාලේ තිබුණු සැප පුටුවකින් ඉඳගෙන ඔලුව එක අරමුණකට අරගෙන කොළ ටික කියවන්න පටන් ගත්තා.ඒ වෙලාවේ ආපහු සැරයක් හීනියට වහින්න පටන් අරන් තිබුණු හින්දා අප්පු දර පෝරණුව පත්තු කරලා තිබුණා…
කොලෙන් කොලේ දිග ඇරලා බලනකොට මම දැක්කේ දවස ගානේ තමන්ට වෙච්ච සිද්ධි ඒ කොලවල ලියලා තියෙනවා කියන එකයි.පුටුවට හේතු වෙලා මම ඒ ටික කියවන්න පටන් අරන් තිබුණා.
ලංකා..අපේ මහ පොළොවේ මට ඉන්න විශ්වාසම මනුස්සයා උඹ විතරයි.උඹෙන් පිටතට මේ කතාව එළියට යයි කියලා මම හිතන්නේ නෑ.මේ සිද්ධිය ගැන කියල කලබල කරලා වසන්තිව ආපහු ඇමරිකාවෙන් මෙහේ ගෙන්නන්න උවමනාවක් නැහැ.මම මැරුණහම වත්ත පහළ තියෙන මම කපපු වලට මාව ගෙනිහින් දාලා එතන මඩුවේ ගොඩ ගහලා තියෙන දර ටික වලට දාලා ඒ තියෙන පෙට්‍රල් කෑන් එක සම්පූර්ණයෙන්ම හලලා දාලා ගිනි තියන්න .. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම වල වහලා දාන්න.
උඹ නොදන්නවා උනාට වසන්තියි මමයි වෙන් වෙලා දැන් අවුරුදු දෙකකටත් වැඩියි. අපි ආදරය කරපු කාලේ වගේ නෙමෙයි.මගේයි එයාගේයි දෙන්නගෙම නොගැලපීම් එකට එකතු වුණහම එතන හැමදාම ඇති වුණේ රණ්ඩුවක්.. ඒ හින්දා තමයි එයා දරුවාවත් අරගෙන ඇමරිකාවට ගියේ.. ජීවිතයේ සමහර දේවල් තිබුනා මට විරුද්ධ වෙන්න බැරි..සමහරවිට ඒකත් එහෙම වෙන්න ඇති..
ඒ හින්දා මගේ මරණය ගැන එයා ඒ තරම් කලබල වෙන එකක් නැහැ. සමහර විට අපි ආදරෙන් හිටපු කාලයේදී මෙහෙම දෙයක් සිද්ධ වුණා නම් මේ සිද්ධිය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා.ඒත් දැන් එහෙම නෑ..මගේ දේපළ සම්පූර්ණයෙන්ම මම එයාටයි පුතාටයි ලියල නිසා මේ ප්‍රශ්නය මෙතනින් ඉවර වෙන බව මම දන්නවා…. ඒ හින්ද උඹ කිසිම දේකට බය වෙන්න එපා..
මේ සිද්ධිය මොකක්ද කියන්න මටත් හරියටම තේරෙන්නෙ නෑ.මොනවා වුනත් මේ ලෝකයේ තවමත් විශ්වාස කරන්න බැරි දේවල් පිරිලා තියෙනවා කියන එක මට තේරුම් ගියා. විශේෂයෙන්ම නග්‍රැක් කියලා කියන්නේ විශ්වාස කරන්න බැරි අද්භූත දේවල් පිරිච්ච තැනක් කියලයි මට හිතෙන්නේ.මේ කතාව හරියටම මෙන්න මෙතනිනුයි පටන් ගන්නේ කියලා කියන්න මට තේරෙන්නේ නැහැ..මං උබට මේ සිද්ධියට අඬගැහුවේ මට ඉන්න විශ්වාසවන්තම පුද්ගලයා උඹ හින්දා..සමහර විට මේක අවිශ්වාස කරලා උඹ බොහොම සරලව මේ ගැන හිතන්න ගියොත් මේ ප්‍රශ්නයේ ගොදුරක් වෙලා තමයි උඹත් නවතින්නේ..ඒ හින්ද දෙයියන්ගේ නාමයෙන් මේක බොරුවක් කියල හිතන්න එපා.
මං උඹෙන් ඉල්ලන එකම දේ මම කියන දේ විශ්වාස කරපන්…එච්චරයි ..
*****