සිහින අසපුව – 4 කොටස

සිය කාමරයට ගිය ආරාධ්‍යා නතර කළ තැනින් නවකතාව ලියන්නට සිතා කඩදාසි පිටු සහිත ලිපි ගොනුව අතට ගත්තාය. ‘සිහින අසපුව’…. කඩදාසි පිටු අතර උඩින්ම තිබූ කලාත්මක අකුරින් ලියන ලද  අකුරු පෙල දෙස බලා සිටින ඇගේ සිතට දැනුනේ කිසිවකු සිය හදවත කොනිත්තාගෙන සිටින්නාක් මෙන් වේදනාවකි. තමා විසින් අලුතින් ආරම්භ කරන ලද නවකතාවේ මුල් පිටු කිහිපය කියවා බැලූ මල්ලී මලීෂ, එයට ‘සිහින අසපුව’ යන නම යෝජනා කළා පමණක් නොව එය අලංකාර අකුරින් කඩදාසි පිටුවක ඇඳ දුන්නේය. මලීෂ බොහෝ කලා හැකියාවන්ගෙන් පරිපූර්ණ වූවෙකි. ගීත ගායනා කරන්නටත්, ගිටාරය වාදනය කරන්නටත්, චිත්‍ර අඳින්නටත් පමණක් නොව ඔහු රඟ පෑමට ද  නිසඟ හැකියාවක් දක්වන්නෙකි. මිතුරකුගේ පියා විසින් අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍යයක මලීෂ ගායකයකුගේ චරිතය රඟ පෑ බව දැන සිටි නමුදු එම ටෙලි නාට්‍යයෙහි නම පවා හෙලි කරන්නට ඔහුට උවමනාවක් නොවීය. දේශපාලනය කෙරෙහි උනන්දුවක් නොදැක්වුවද, අපේ රට දැන් වැටී ඇති තැන පිළිබඳව ඔහු මහත් වේදනාවෙන් කතා කිරීම රට හැදීමට යාමක් බව අම්මා නිතර ඔහුට චෝදනා කළාය.

“අම්මා කියන විදියට මට රට හදන්න උවමනාවක් නෑ. ඒ වුනාට මං කැමතියි මේක විනයක් ඇති රටක් වෙනවා දකින්න. පාරට බැස්ස තැන ඉඳලම දකින්නෙ විනයක් නැති මිනිස්සුන්ගෙ ක්‍රියාකලාපයන්. පාර දිගටම කුණු… පොලිතීන්… ප්ලාස්ටික් බෝතල්… බුලත් කෙළ…මෙව්වා දැක්කම මගේ ඇඟේ ලේ කකියනවා අක්කෙ.”

මලීෂ පවසන්නේ සත්‍යයක් වුවද, කිසිදිනෙක මිනිසුන්ගේ සිත් තුළ මුල් බැසගෙන ඇති ආකල්පයන් සහ චර්යාවන් වෙනස් කළ හැකිදැයි ආරාධ්‍යා කල්පනා කළාය. ඔහු පියාගේ නීතීඥ වෘත්තියට කැමැත්තක් නොදැක්වූවා පමණක් නොව ධීවර කාන්තාවන් සහ ළමුන් උදෙසා අම්මා විසින් පිහිටුවා ගත් රාජ්‍ය නොවන සංවිධානයට ද වෛර කළේය.

“පිටරටවල් වලින් එන සල්ලි වලින් සොච්චමක් අසරණ මිනිස්සුන්ට දීලා අපේ අම්මා සල්ලි පොදි ගහනවා. සැප විඳිනවා. මේවා පාප කරුම අක්කෙ.”

“ඇත්ත. ඒත් මේ කිසිම දෙයක් අපට වෙනස් කරන්න බෑ රත්තරං මල්ලි.”

මල්ලී ගැන උපන් ආදරයෙන් ඔහු හිස අත ගා තමා පැවසූ අයුරු ආරාධ්‍යාට සිහිපත් විය.

“බැරි නෑ. පුලුවන්. හැබැයි ඉතින් තම තමන් වෙනස් වුනොත් විතරයි.” 

“ඒ වෙනස් වීම මේ ගෙදරින් පටන් ගන්නවා නම් මම කැමතියි. ඉස්සර වෙලා අපි තුන්දෙනා වෙනස් වෙලා ඉඳිමු.”

“ඒක කවදාවත් වෙන්නෙ නෑ. මං මේ ගෙදරින් යනවා අක්කෙ. මෙව්වා පේනකොට මගේ ඇඟේ ලේ රත් වෙනවා.”

“මල්ලි කොහේ යන්නද?”

“තැනක් නෑ. යනවා. හිත නතර වුනු තැනක මාත් නතර වේවි.”

“ඇයි? හිත නතර කළ තැනක් තියෙනවා නේද?”

ආරාධ්‍යා පැවසුවේ මලීෂගේ මිතුරියක සිහියට නගා ගනිමිනි. ඇගේ නම මතකයෙහි නොමැති වුව ද, සිහින් සිරුරින් සහ දිගු කෙස් කළඹක් සහිත පැහැපත් සොඳුරු යුවතිය කිසිදිනෙක මතකයට අමතක නොවන්නියකි. 

“තිබුනා. ඒත් ඒ හිත එක තැනක නතර වුනු හිතක් නෙමෙයි. හරියට මන්දගාමී දුම්රියක් වගෙයි කියලා මම දැනගත්තෙ පස්සෙ. හැම ස්ටේෂන් එකකම නවත්තනවා.”

මලීෂ නැගූ දුක් සිනාව ආරාධ්‍යාට සිහිපත් විය.

“ඔයා ගියොත් මට පාලුයි මල්ලි.”

“හිතන්න එපා අක්කෙ. ජීවිතේ එහෙමයි. මහා සෙනගක් මැද්දෙ හිටියත් හිතට තනිකමක් දැනිලා නැද්ද? අපි හැමෝම ඉන්නෙ තනියම තමයි. එකම ඇඳක නිදාගත්තත් එකම ගෙදරක හිටියත් හිත් තියෙන්නෙ වෙන වෙන තැන්වල.”

“හිත් කාටවත් පේන්නෙ නෑනෙ මල්ලි.”

“පේන්නෙ නැති එක හොඳයි. පේනවානම් එක එකා මේවෙනකොට මරාගෙන.”

මල්ලී සිනාසුනේය. නිතර සිනාසුණේ නැති වුව ද ඔහු ඉඳහිට නගන සිනාව පියකරුය. 

“මං ගෙදරින් ගියාට ඉඳහිටලා හරි අක්කා බලන්න එනවා.”

එදිනම අම්මාත්, තාත්තාත් නිවසින් පිටව ගිය පසු තම ඇඳුම් කැඩුම් සියල්ලත්, ගිටාරයත් පොදි බැඳගත් මලීෂ නිවසින් පිටව ගියේය. ආරාධ්‍යා හැඬුවාය. ඇති තාක් හැඬුවාය. අම්මාත්, තාත්තාත්  නිවසට පැමිණි පසු මල්ලී නිවසින් ගිය පුවත පවසන්නේ කෙසේදැයි ඇය කල්පනා කළාය.

“මලීෂ ගෙදරින් ගියා.”

රාත්‍රී කෑම මේසයේදී ඇය පැවසුවේ අම්මාට හෝ තාත්තාට නොව රන්වන් වාටියකින් යුත් සුදු පිඟානටය.

“අරුමයක් නෙමෙයි. මං දැනගෙන හිටියා. පවට පින් දෙන්න බෑ.”

අම්මා පැවසුවේ එපමණකි.

“අයියා හරි. මාත් දවසක යන්න යනවා. කරුමෙකට මේ ගෙදර ඉපදුනාට අපට උරුම තැන් කොහේ හරි තියේවිනෙ.”

ශබ්ද නගා හැඳි ගෑරුප්පු හසුරවන විහාරා පැවසුවාය.

“යනවා ඉතින්.”

අම්මා පැවසුවේ ඇසෙන නෑසෙන හඬිනි.

“ගිහින් රුපියල් දහ දාහක්, විසිපන්දාහක්, පනස් දාහක් ඕන කිය කියා සල්ලි ඉල්ලනකොට මේන් කියලා මිනිස්සු දේවි.”

විහාරා සෘජුව අම්මාගේ මුහුණ දෙස බලා සිටියාය. ඇගේ දිදුලන දෙනෙත් වල වූයේ වෛරයක්දැයි ආරාධ්‍යාට සිතිණ.

“මට සල්ලි කියන දේ චුවින්ගම් එකක් තරම්වත් වටින්නෙ නෑ. ඒ වුනාට මං ඔය මැඩම්ගෙන් සල්ලි ඉල්ලන්නෙ හේතුවක් ඇතිව.”

හැන්දක් භාවිතා නොකර හොඳි පිඟානෙන් අඩක්ම පිඟානට හලා ගත් විහාරා දෙස අම්මා බලා සිටියේ අප්‍රසන්න බැල්මකින් යුතුවය.

“අහලා තියෙනවා නේද ඌරගෙ මාලු ඌරගේ පිටේ තියලා කපන්නෙ කියලා. සුහේල්ව නැති කරානම් එයාව හොයා ගන්න මං වියදම් කරන්නෙ එයාව නැති කරපු එවුන්ගෙම සල්ලි කියලා මතක තියාගත්තොත් හොඳයි.”

“කාටද ඔය ගැරඬියව නැති කරන්න ඕන. තමුන්ට පිස්සු.”

“ඔව්. මට පිස්සු.”

විහාරා බෙදාගත් කෑම පිඟාන අනෙක් පසට හැරවූවාය. පිඟානෙහි වූ හොදි මේසය පුරා ගලා ගියේය. 

“මොකක්ද තමුන්ට වෙලා තියෙන්නෙ?”

එතෙක් නිහඬව සිටි තාත්තා සිය කටහඬ අවදි කළේය.

“මේක උසාවියක් නෙමෙයි.”

විහාරා නැගිට්ටාය. මේසය දිගේ වැගිරුණු හොදි ඇගේ සුදු පැහැති ඇඳුමේ පදාසයක්ම කහ පැහැ ගන්වා තිබිණ.

“ස්වාමීනි… මෙම විත්තිකාරිය සුහේල් නම් මගේ ආදරවන්තයා චේතාන්විතව අතුරුදහන් කළ වරදට මැය ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතිව සිර ගත කළ යුතුයි.”

විහාරා නික්ම ගියේ ඇය හිඳගෙන සිටි පුටුවට පාපහරක්ද එල්ල කරමිනි.

“වලිගෙ පාගගෙන.”

අම්මා තරහෙන් පැවසූ අයුරු ආරාධ්‍යාට සිහියට නැගිණ.

ජංගම දුරකතනයෙන් වට්ස්ඇප් පණිවිඩයක් පැමිණ ඇති බව හඟවන සංඥාව ඇසිණ. ආරාධ්‍යා වහා එය රැගෙන බැලුවාය. දුරකතන අංකයේ අවසානයට ඇති අංක දෙක 77 වූයෙන් එය හසිත්ගෙන් පැමිණි පණිවුඩයක් බව ඇය දැන සිටියාය.

මුහුදු රළ විසින් තෙමා දමන ලද ගවුම මිරිකමින් සිටින තම ඡායාරූපයක් ඔහු එවා තිබිණ.

“හොරෙන් අරන්. පැපරාසියෙක්.”

මුවගට සිනාවක් නගා ගත් ඇය ඡායාරූපය දෙස බලා සිටියාය.

“කලාත්මකයි.”

ආරාධ්‍යාට සිතිණ. සිනාමුසු මුහුණින් යුතුව දුරකතනය පසෙක තැබූ ඇය නවකතාව ලිවීමේ අරමුණෙන් පෑන අතට ගත්තාය.

                    *

සුහර්ෂා සූරියබණ්ඩාර තමා ඉදිරියෙහි හිඳගෙන සිටින තරුණයා දෙස බලා සිටියේ ප්‍රසන්න දෑසින් යුතුවය. හසිත් තමා අත ඇති ලිපි ගොනුව දෝතින්ම ඇයට පිරිනැමුවේය. රන් වළලු පිරුණු දෑතින් ලිපි ගොනුව ගත් සුහර්ෂා එය පසෙක තැබුවාය.

“ස්වයං රැකියා කරන ධීවර කාන්තාවන් විසි එක් දෙනෙක්ගෙ විස්තර ඔතන තියෙනවා මැඩම්. ෆීල්ඩ් ඔෆිසර්ස්ලා විස්තර මට දුන්නෙ අද උදේ.”

“මං ඒක පස්සෙ බලන්නම්. ණය දෙන්න සුදුසුකම් තියෙන අය තෝරලා ඒගොල්ලන්ට ඇප්ලිකේෂන්ස් යවන එක හසිත් කරන්න.”

“මං කරන්නම් මැඩම්. ගෑනු අය වැඩි දෙනෙක්ම කරවල පැකට් කරන අය. ලණු අඹරන කීපදෙනෙකුත් ඉන්නවා.”

“උන්ට ණය දෙන්නම තමයි තියෙන්නෙ. ණය අරගත්තට පස්සෙ මිනිස්සුන්ට බොන්න සල්ලි දෙනවා. මිනිස්සු බීලා වීරයො වගේ හැන්දෑවට කෑගහනවට උන් ආසයි. මීට කලිනුත් ඔය වගේ දේවල් වෙලා තියෙනවනෙ.”

“එහෙම එක්කෙනෙක් දෙන්නෙක් ඇති. ඒවුනාට බහුතරයක් අහිංසක මිනිස්සු මැඩම්.”

“හසිත් මිනිස්සු ගැන මොනවද දන්නෙ?”

සුහර්ෂා ඉදිරියට නැමුනාය. ඇගේ දෙනෙත් වලින් ආරාධ්‍යාගේ දෙනෙත් දුටු ඔහු තිගැස්සුනේය.

“ලොකු දෙයක් දන්නෙ නෑ මැඩම්. මිනිස්සු කියන්නෙ හරිහැටි නොදන්න භාෂාවකින් ලියලා තියෙන පොත් වගෙයි. මම තවම ස්ටඩි කරනවා.”

“මාවත්?”

සුහර්ෂාගේ දිළිසෙන දෙනෙත් දෙස බලන්නට හසිත්ට බියක් දැනිණ. වටපිට බැලූ ඔහුගේ දෙනෙත් නතර වූයේ එක පෙළට තබා ඇති සුහර්ෂා විසින් මෙතෙක් ලබා ගන්නා ලද සම්මාන දෙසටය.

“නෑ. මං කිව්වෙ ධීවර ගම්මානෙ අය ගැන.”

“හසිත් බොරු කියනවා.”

කඳ සෘජු කොට හිඳ ගත් සුහර්ෂා සිනාසුනාය.

“මම බොඩි ලැන්ග්වේජ් ගැන දන්නවා. හසිත් දැන් ඉන්නෙ කවුරු හරි ගැන ආදරෙන්. දැන් කිව්වෙ මේ මොහොතෙත්.”

“අපොයි නෑ මැඩම්. ආදරේ කරන්න කලින් කරන්න කොච්චර දේවල් තියෙනවද?”

“ඔව්. ගෙයක් හදන්න. කාර් එකක් ගන්න. නේද?”

සුහර්ෂා මුහුණට වැටෙන දුඹුරු පැහැ ගැන්වූ කෙස් රොද අතින් සකස් කළ නමුදු එය නැවතත් මුහුණට වැටිණ.

“මට එක දෙයක් අහන්න තියෙනවා. හසිත් අද බ්‍රෙක්ෆස්ට් ගන්න ගිහින් පමා වෙලා ඇවිත් තියෙන්නෙ. මොකක්ද එච්චර වෙලාවක් කරේ?”

හසිත්ගේ සිත ගැස්සිණ. ආරාධ්‍යා සමග මුහුදු වෙරළෙහි කතා කරමින් සිටියදී කාල වේලාව ඉක්ම ගිය බවක් නොදැනිණ. සුහර්ෂා එය දැනගන්නට ඇත්ද?

“ඔව් මැඩම්. බයික් එක ලෙඩ දුන්නනෙ.”

“දැන් ඔය කසිකබල් බයික් එක විසි කරලා දාන්න කාලෙ හොඳයි.”

“විසි කරලා?”

“කාර් එකක් ගන්න.”

“එව්වා හීන මැඩම්.”

“සමහර හීන හැබෑ වෙනවා. මං මේ මගේ හීන සැබෑ කරගෙන ඉන්නෙ.”

“ඒ මැඩම්ගෙ වාසනාව…”

“මගේ වාසනාව හසිත්ගෙත් වාසනාව වුනොත්?”

හසිත් තිගැස්සුනේය. වායු සමනය කළ කාර්යාල කාමරය තුළ වුව ද ඔහුට දැඩි දාහයක් දැනිණ.

“මොකෝ මේ දාඩිය දාලා? ඒසී එක වැඩි කරන්නද?”

“එපා මැඩම්. මං දැන් යන්න ඕන.”

“හොඳයි.”

සුහර්ෂා දෑස් කුඩා කර සිනාසුනාය.

“කාර් එකක් ගත්තා කියලා හිතාගන්න. තව දෙයක් අහන්න තියෙනවා. ගෙදර ගියාම අපේ ළමයි හමු වුනේ නැද්ද හසිත්ට?”

“අයියො නෑ මැඩම්. ගෙදර ගියාට මිස්ලා කවදාවත් දකින්න නැහැනෙ. උඩටම වෙලා ඉන්නවා ඇති.”

“හ්ම්…”

සුහර්ෂා හිස සැලුවාය. හසිත් සෙමෙන් පුටුව පසුපසට කර නැගී සිටියේය.

“අපට ලබන මාසෙ නෙදර්ලන්ඩ් ටුවර් එකකුත් තියෙනවා. ඒ ගැන අපි පස්සෙ කතා කරමු.”

“යන්නම් මැඩම්…”

හසිත් සුහර්ෂාගේ කාර්යාලය තුළින් පිටතට පැමිණියේය. 

“ඇති යන්තම්.”

සිතට සහනයක් දැනුනද පිටත පවතින දැඩි අව් රස්නය ඔහුගේ ගතට පීඩාවක් සේ දැනිණ. මෑතක සිට සුහර්ෂා සූරියබණ්ඩාර තමා ගැන විශේෂ සැලකිල්ලක් දක්වන බව දැනෙමින් තිබුණද, එම සිතිවිල්ලට පවා ඔහු බිය විය. වායු සමනය කළ සුවපහසු කාමර වල නවාතැන් ගෙන සිටින සංවිධානයේ සේවක සේවිකාවන් සන්ධ්‍යා කාලයේදී සිය දෛනික වැඩකටයුතු නිමා වූ පසු තැන් තැන් වල සිට පවසන වදන් සත්‍ය නම් සුහර්ෂා තම සිත් ගන්නා ඕනෑම දෙයක් බලහත්කාරයෙන් හෝ අත්පත් කර ගන්නියකි. අනෙක් සේවකයින් ඉදිරියෙහි සිනාවකින් පවා තොරව සිටින ඇය තමා අභියසදී දක්වන මුදු බව සිත තුළ බිය උපදවයි.

“බොරු බයක්. මැඩම්ගෙ පුතා ගෙදර නැති නිසා පුතෙකුට වගේ මට ආදරේ කරනවා වෙන්න බැරිද?” යි සිතන්නට හසිත් උත්සාහ කළේය. එහෙත් යටි සිතට දැනෙන ඉව එසේ සිතා බැහැර කළ හැකි දෙයක් නොවේ. ඔහු මාලු ටැංකිය අසළ නතර වූයේ කැළඹුණු සිත සන්සුන් කර ගැනීමේ අරමුණෙන් යුතුවය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles