නිම් නැති නිම්නය 28

කණාමැදිරි තිත් ගොන්නක් සරි ව විදුලි පහන් දැල්වුණ නගරය දෙස, මහල් පහළවක් ඉහළ සිට සෞභාග්‍යා බලා සිටියා ය. පසෙකින් රළ නගනා මහා සාගරය දිස් වේ. වෙරළේ සිට බලත්දී සේ නොව මේ ඉහළ මහලේ සිට බලත්දී සාගරය වෙනස් ය. රළ නැගීම ද වර්ණය ද වෙනස් ය. කාමරය දෙසින් කාශ්‍යප ගේ ගෙරවිලි හඬ ඇසේ. ඇය හැරී බැලුවා ය. වචන වලින් පැහැදිලි කළ නො හැකි නො රිස්සුම් සහගත බවකින් ඇගේ හිස පිරී ගියේ ය. 

ටික වෙලාවකට කලින් ඔහු ව තල්ලු කොට දමත්දී තමන් පාලනය කර ගත නො හැකි තරමට හිස එසවූ නො රිස්සුම ගැන ඇයට සිතා ගත නො හැකි ය. එය හිතේ කොතැනක ඉපිද නැගී සිටියක් ද කියා තේරුම් ගත නො හැකි ය. ඇගේ අතීත ප්‍රේමය ඈ වෙත ලැබී තිබේ. නමුත් සතුටක් කියා යමක් ශේෂ නො වූයේ ඇයි? ඔහු ළඟ සිටියදීත් ඇය පෙළන්නා වූ මේ නො සන්සුන් බව කුමක් ද? 

කාශ්‍යප අහිමි වී යාම සෞභාග්‍යා ගේ හදවත මත මරු පහරක් එල්ල කළ හේතුවක් වූයේ ය. ඇය සිය විවාහය කඩාකප්පල් කර ගත්තේ සැමියා ගේ වරදක් නිසා නොවේ. අලුත් තත්වයට හැඩ ගැසී ජීවිතය සතුටෙන් පිළි ගැනීමේ උවමනාවක් ඇති කර ගැනීමට ඇය මුළුමනින් අපොහොසත් වූවා ය. ඒ විවාහය ඔහුටත් නරකාදියක් බවට පත් කරවූයේ ඇගේ හිතුවක්කාර හා මුරණ්ඩු පිළිවෙත් ය. එය එක්තරා ආකාරයක පළි දැරීමේ චේතනාවක මුසු වූවකි. ඇයට කාශ්‍යප අහිමි වීම මත මුළු ලෝකයෙන් ම පලි ගැනීමේ වියරු කල්පනාවකින් එක යුගයක ඕ ආතුර වී සිටියා ය. ඒ විවාහය කඩා බිඳ ගෙන එළියට පැමිණීම, කූඩුවකින් නිදහස් වූ කිරිල්ලක ගේ මානසිකත්වයක් දනවන ලදී. ඒ නිදහස රිසි සේ විඳ ගනිමින් සිටිනා අතරේ ය ඕ කාශ්‍යප ගේ උපන් දිනයට සුබ පැතුමක් එක් කළේ. එදා එලෙස ඇරඹුණ දෙවන හමු වීම මේ තරම් දුර දිග යතැයි ඇය වුව සිතුවා නොවේ. 

කාශ්‍යප සිය දීගය කඩා ගෙන ඇය ළඟට ම පැමිණි පසු ය තව දුරටත් දේවල් පසක් වන්නට වූයේ. ඔහු හිමි වුණාය කියා තෘප්ත කළ නො හැකි විශාල පදාසයක් ඇගේ හදවතේ වන බව දැනෙන්නට ගති. ඔහු මොනවා කළත් සතුටු කළ නොහැකි කොනක් ඇගේ හිතේ තිබිණි. ඔහු කරනා කොයි දේකත් ඇදයක් දකින්නට ඈ සිත පුරුදු වෙමින් සිටියේ ය. ඒ ඇයි දැයි ඇතැම් විට සෞභාග්‍යා කල්පනා කළා ය. නමුත් ඇයට නිසි පිළිතුරක් ලැබුණේ නැත.

සෞභාග්‍යා හැම විටෙක ම කාශ්‍යප දෙස බැලුවේ සැකයෙනි. එදා රෝහලේ දී ප්‍රථම වතාවට ආරාධනා ව සජීවී ලෙස දකිත්දී, විශාල අගාධයක ඇය ගිලී යන්නා සේ දැනිණ. එදා සිට ආරාධනා  සිහිපත් වන හැම වෙලාවක ම ඒ ගිලා බැසීම සිදු වූයේ ය. කොයියම් හෝ මොහොතක කාශ්‍යප යළි සිය නීත්‍යානුකූල බිරිඳ වෙත යනු ඇත ය යන අසහනකාරී හැඟීම, මීදුමක් වන් පාරභාෂක පටලයක් ඇගේ සිත මත පා කරන්නට සමත් විය. ඇය තමන් සමග ම රණ්ඩු වූවා ය. තර්ක කළා ය. තනිව හැඬුවා ය. අනාගත දවසක සිදු වෙතැයි සිතූ දෙයක් මත වර්තමානයේ දී කාශ්‍යප සමග කෝප ගත්තා ය. ඔහු ව නො රිස්සුවා ය. ඔහු නිසා නො සන්සුන් වූවා ය. 

අද වෙනදා වෙලාවට වැඩ නිම වී කාශ්‍යප ගෙදර නො එත්දී ඒ සැකය හිත පුරා ඔඩු දුවන්නට විය. දික්කසාද නඩුව සඳහා පළමු වතාවට කැඳවීමෙන් පස්සේ ඔහු ගේ තත්වය ඇස් පනාපිට වෙනස් වෙන හැටි ඇය නො දුටුවා නොවේ. කාශ්‍යප අසහනයෙන් පෙළුණේ ය. ඇයට වෙනසක් නො හඟවන්නට ඔහු උත්සාහ කළ ද ඇය ඒ වෙනස දුටුවා ය. ඇය ඒ ඉව කළා ය. ඔහු ආරාධනා ට කතා කරනවා ඇත කියා ද දරුවන් බලන්නට යනු ඇත කියා ද සැකයෙන් හිටියා ය. ඔහු ඒ හැම දේ ම ඇගෙන් සඟවා ගෙන සිටිනු ඇත කියා ද සිතුවා ය. කාශ්‍යප බීමතින් වැනි වැනී ගෙට ගොඩ වෙත්දී ඇගේ කෝපය කෙසේ පුපුරා ගියේ ද කියා ඇයට ම සිහි කර ගත නො හැකි ය. කාශ්‍යප ගේ හිස බිත්තියේ වැදී සුළු තුවාලයක් සිදු විය. ලේ දකිත්දී ඇය තරමක් බිය වූව ද කලබලයක් ඇති කර නො ගෙන අයිස් කැටයක් තබා ලේ නතර කර ගන්නට තරම් ඇය දිරි වඩා ගත්තා ය. 

සෞභාග්‍යා දිග සුසුමක් හෙළුවා ය. ඒ සුසුම කරදිය සුළඟ සමග මුහු වී කොතැනක හෝ ගසා ගෙන ගියේ ය.

මධුරි හා චමල් සේනාසිංහ යුවළ පසු දා සැනසුම් පායට ආවේ බලාපොරොත්තුවක් ඇතිව ය. කාශ්‍යප ඔවුන් මලක් සේ සැදූ දියණිය දරු දෙදෙනෙකු ද සමගින් තනි කොට දමා වෙනත් ස්ත්‍රියක වෙත යාම මත, ඔවුන්ට කාශ්‍යප ගැන වූයේ බරපතල අප්‍රසාදයකි. නමුත් චින්තන විසින් මතු කොට දක්වන්නට යෙදුණු කාරණා වල ද සත්‍යයක් නැතැයි ප්‍රතික්ෂේප කරන්නට නුපුළුවන. පරිස්සමෙන් හදා වඩා ඉහළට උගන්වා දීග දුන් දියණියක මෙහෙම අවාසනාවකට මුහුණ දෙනවා දකින්නට වීම ඒ දෙමාපියන් ගේ ද අවාසනාව ය. චින්තන කීවා සේ දරු දෙදෙනෙකුත් සමගින් ඇය යළි සරණ පාවා ගන්නට එකඟ වෙන පිරිමියෙකු කවර ලෝකයකින් සොයා ගන්න ද? එසේ වුව හොත් සදාකාලික වැන්දඹුවක වන්නට ආරාධනා ට සිදු වේ. තවමත් තරුණ ගැහැනියක වන ඇය ඒ වියරු තනිකම සමගින් මුළු ජීවිතයක් සටන් කළ යුතු ද? කොයි තරම් කාලයක් ඇයට එසේ කළ හැකි වනු ඇත්ද? පිරිමි සෙවනැල්ලක් නො වැටෙනා ගැහැනිකට ලං වීමට මාන බලනා විෂම පිරිමි ඇස් වලින් වහං වී ඉන්නට ඇයට හැකි නොවනු ඇත. 

“කාශ්‍යප අපේ චින්තනටත් කතා කරල කියල තියනව ආයෙ සමාදාන වෙන්න කැමතියි කියල..කාශ්‍යප ගැන කිසිම පැහැදීමක් නැතත්…දුරට දිගට කල්පනා කරල බලද්දි…ආරාධනායි දරුවො දෙන්නයි වෙනුවෙන් දැන් අපිට පේන්න කියන හොඳම විසඳුම ඒකයි කියලත් හිතෙනව”

වැරැන්ඩා පුටු වල හිඳ තේ එකක් බොන ගමන් චමල් මාතෘකාවට ගොඩ වූයේ එහෙම ය. රාජිකා මැණිකේ ගේ මුහුණේ ගේ මුහුණ මත ආලෝක රැල්ලක් වැටිණ. ඇය හැමදාමත් පැතුවේ ඒ කුරුලු කූඩුව යළි එකලාස වන්නට ය කියා ය. නමුත් ආරාධනා වෙත එවන් බලපෑමක් කරන්න ට තරම් දිරියක් ඇයට වූයේ නැත.

“අපේ එකාට මං මුලින් ම ඕක කිව්ව සේනාසිංහ. රට්ටු හිනස්සන්නැතුව…දරුවන්ටත් අවනම්බු වෙන්න දෙන්නෙ නැතුව මේ හුටපට ගොඩිං බේරගමු කියල. කෝ ඒ වෙලාවෙ මං කියපු දේ ඇහුවද…දික්කසාද නඩුත් දැම්මට පස්සෙ දැං ඌට සමාදාන වෙන්න ඕන වුණා. මගෙ කටට එනව හොඳ ඒව ඉතිං..”

“එයා කැමති වුණාට මං එහෙම දේකට කැමති නෑ තාත්ත”

කතා බහ දුර දිග යන්නට පෙර ආරාධනා වහා සිය සිතැඟි හෙළි කළා ය. ඒ මොහොතේ ඇගේ මුහුණ රතු වී තිබිණ. ශෝකයක් නොව ස්ථිරසාර බවක් ඒ ඇස් මත සනිටුහන් වී තිබිණ.

“අපිට ඔයාව තේරෙනව පුතේ. ඇත්තටම මාත් කිසි කැමැත්තක් නෑ මේකට. ඒත් අද හෙට ගැන නෙවෙයි අපි තව ඉස්සරහ ගැන හිතුවොත්…ඔයාගෙ අනාගතේට මොකද වෙන්නෙ පුතේ…දරුවො දෙන්න ගැනවත් හිතල…”

“අම්ම..”

එවර ආරාධනා කතා කළේ තරමක් තදිනි.

“මගෙ දරුවො දෙන්නගෙ අනාගතේ ගැන බලා ගන්න මට පුළුවන්. අම්මල බයේ ඉන්නෙ ආයෙ මට කරගහන්න මනුස්සයෙක් හොයා ගන්න නැති වෙයි කියලනෙ. මිනිහෙක්ගෙ ඇඟේ එල්ලිල මට ආයෙ මගෙ ජීවිතේ ගොඩ දාගන්න ඕන කමක් නෑ අම්මෙ. එහෙම ඕනමයි කියල හිතන්න එපා තාත්තෙ. ගෑනියෙක් කියන්නෙ එච්චරම දුර්වල සත්වයෙක්ට නෙවෙයි. ගෑනියෙක් හිත හයිය කර ගත්තහම පිරිමි දහ දෙනෙක්ටවත් එහෙම හයියක් නෑ. ඔය දෙගොල්ලොම ඉන්නෙ අනේ මට ඕන දේකට. කාවි ඉන්නව..තාරා අක්ක ඉන්නව. අපේ අයියනං ගෑනු ළමයෙක්ගෙ ශක්තිය කවදාවත් හරියට තක්සේරු කරන මනුස්සයෙක් නෙවේනෙ. කවීශ්වර වුණත් දැන් අපි ගැන කොච්චර හොයල බලනවද…ඒ උදව් මටයි දරුවො දෙන්නටයි ඇති තාත්තෙ. මං දන්නව ඉතින්…හැම දාම අපි ගැන එහෙම බලන්න බැරි වෙයි. පුළුවන් කාලයක් අපි මෙහෙම ඇදන් යමු නේ…කොහොමත් මං දැන් වැඩිය දුර හිතන්න කැමති කෙනෙක් නෙවේ”

ආරාධනා කතා කරත්දී දිගට ම ඇගේ මුහුණ මත මඳ සිනහවක් විය. ඇතැම් විට එය ඈ හිතා මතා උවමනාවෙන් ඇති කර ගත්තක් වන්නට පුළුවන. නමුත් ඒ සිනහව ඇයට අමුතු ආත්ම විශ්වාසයක් ගෙනාවේ ය.

“ඔයාගෙ හිත අපිට තේරෙනව පුතේ. ඒත් අර අහිංසක පැටව් දෙන්නට තාත්ත කියල කෙනෙක් ඉන්න ඕන නේද…”

“අපි ඉතිං දුවට ඕව ගැන වැඩිය දැනමුතුකං දෙන්න ගියෙ නෑ නංගියෙ. මොකද අපේ එකානෙ වැරදි කළේ. එහෙම නැත්තං ඉතිං මේ පවුල ආයෙ සමාදාන වෙලා එකලස් වෙනවනං අපිත් ආස නැතුව නෙවේ”

මධුරි ගේ අදහසට රාජිකා මැණිකේ පොහොර දැමුවේ සිද්ධ වෙනවා නම් මේ වෙලාවේ විය යුතු හොඳ ම දේ එය යයි ඇගේ ගැහැනු හදවත ද පිළිගත් නිසාවෙනි.

“අම්මෙ”

ආරාධනා අම්මෙ කියා තනි වචනයෙන් ඇමතූයේ පොදුවේ අම්මලා දෙන්නා ට ම ය.

“පුංචි එවුන් දෙන්නට තාත්ත කෙනෙක් ඕන නෑ කියල මං කියන්නෑ. කවදාවත් අම්ම කෙනෙක්ට බෑ තාත්ත කෙනෙක් නිසා දරුවෙක්ගෙ හිතේ ඇති වෙන හැඟීම්..ඒ පෞරුෂය එයාලට දෙන්න. තාත්ත කෙනෙක්ටත් අම්ම කෙනෙක්ගෙ ආදරේ දෙන්න බෑ. ඒක මං පිළිගන්නව. ඒත් ඉතිං අපි මොනාද කරන්නෙ…තාත්තට දරුවො දාල යන්න ඉස්සෙල්ල ඒ ගැන හිතන්න තිබුණ නේද…දික්කසාද නඩු දාන්න ඊට පස්සෙ ස්කූල් ෆීස් ගැන බලමු කියල මෙසේජ් කරපු වෙලේ ඒ ගැන හිතන්න තිබුණ නේද…මගෙ දරුවන්ට එහෙම තාත්ත කෙනෙක්ව ඕනයි කියල ඕගොල්ලො තාම විශ්වාස කරනවද…ඒත් මං එහෙම හිතන්නෑ. මට පුළුවන් ඒ දෙන්න හදා ගන්න. එයාලගෙ තාත්ත ඒගොල්ලො ගැන වගකීමෙන් නිදහස් වෙලා ඒගොල්ලොංව දාල ගියාට මං එහෙම කරන්නෑ. මගෙ ජීවිතේ වටිනම වස්තුව දරුවො දෙන්න. අනිත් එක එක පාරක් විශ්වාසෙ කඩපු මනුස්සයෙක්ව ආයෙ විශ්වාස කරන්න කවදාවත් මට බැරි වෙයි. ආයෙ එක වහළක් යටට වෙලා බොරුවට කුළල් කාගන්න ඕන නෑ. ගිය සැරේ එයාටනෙ මාව එපා වුණේ. මේ සැරේ මට එයා එපා වුණොත් මොකද කරන්නෙ…ඒව ඕන නෑ තාත්තෙ. මේ විදිහ හොඳයි…”

ආරාධනා හිස කෙළින් තබා ගෙන සිය දේශනය නිමා කළා ය. තව වචන කෝටි ගණනක් අපතේ යැව්වත් ඇය ගේ අදහස වෙනස් කළ නො හැකි බැව් දෙපස දෙමාපියෝ දැන සිටියහ. එබැවින් ඒ ගැන තව දුරටත් කතාවක් සිදු වූයේ නැත. දවල් කෑමට කවීශ්වර ගෙදර ආ වෙලාවේ රාජිකා මැණිකේ ඒ සිදුවීම කුටු කුටු ගා ඔහු ගේ කනේ තැබුවා ය.

“පොඩි පුතත් පොඩ්ඩක් කියල බලන්න ආරාධනාට. දැන් දැන් එයා පුතා කියන දේවල් ටිකක් අහනව. ඒ වෙලාවෙත් කිව්වනෙ කවීශ්වර එයයි දරුවො දෙන්නයි ගැන හරියට වද වෙනව කියල”

ඒ කතාවට නම් කවීශ්වර ට හයියෙන් ම සිනහ ගියේ ය. රාජිකා මැණිකේ මූණ හකුළා ගත්තා ය.

“ඔච්චර හිනා වෙන්න දෙයක් මං කිව්වෙ නෑනෙ”

“හිනා යන්නැද්ද අම්මෙ…ආරාධනා ගෙ හිත වෙනස් කරන්න මට කතා කරන්න කියනකොට…ආරාධනා කියන්නෙ යකෙක්ටවත් වෙනස් කරන්න පුළුවන් ගෑනියෙක් නෙවෙයි”

“ඒක මං දන්නව. ඒත් එක පාරකට ඔයා කතා කරල බලන්නකො”

එදා ආරාධනා පන්තිය වෙනුවෙන් සේනාසිංහ මැදුරට යන බව දැන සිටි රාජිකා මැණිකේ, ඒ ගමනේ අතර මගක දී කවීශ්වර ඒ ගැන උත්සාහයක් ගනු ඇත කියා ද විශ්වාස කළා ය.

“අද ගෙදරින් ආවලු නේද…”

කවීශ්වර ඒ කතාවට ගොඩ වූයේ හුඟක් කල්පනා කොට පරිස්සමෙන් වචන තෝරා ගෙන ය. එක පුංචි අතපසු වීමක් මත ආරාධනා දුම්මල වරම අතට ගන්නට බැරි නැත. උදේ මව් පිය හතර දෙනා ම එකට තබා ඇය දේශනයක් දුන් බව ද අම්මා ගෙන් ඔහු ට දැන ගන්නට ලැබිණ.

“හ්ම්. ආයෙ කාශ්‍යප එක්ක සෙට්ල් වෙන්න කියන්න. කාශ්‍යප අපේ අයියට කතා කරල”

කවීශ්වර රිය පැදවූයේ ඉදිරිය බලා ගෙන ය. ඊළඟට කිව යුතු වචන ටික තෝරා ගන්නට ඔහු තමන් සමග සටනක් කළේ ය.

“ඉතිං…ඔයා හිතන්නැද්ද…”

“අනේ ප්ලීස් කවීශ්වර…”

ඔහු ට කියා නිම කරන්නට ලැබුණේ නැත. කවීශ්වර එක මොහොතකට හැරී බැලුවේ ය. ආරාධනා ගේ ඇස් වඩාත් තියුණු බැල්මකින් ඔහු දෙස බලා සිටියේ ය.

“ඕගොල්ලොන්ට දැනටමත් මාව කරදරයක් වෙලා නං තියෙන්නෙ…මං ලෑස්තියි සැනසුම් පායෙන් යන්න. හරි මං දන්නව…හැමදාම ඕගොල්ලොන්ට වුණත් බෑ මේක කරන්න. ඔයා මේ තරං කාලෙ ගත කර ගෙන පෙට්‍රල් පුච්චගෙන මෙහෙම මාව එහෙට මෙහෙට අදින්නෙ වුණත් පුළුවන් කමකට නෙවේ කියල මං දන්නව. මං ජීවිතේට මොකක් හරි කර ගත්තොත් ඒකත් ඕගොල්ලොන්ට අමතර ප්‍රශ්නයක් නිසා. හොඳම දේ ආයෙ මං කාශ්‍යප එක්ක සෙට්ල් වෙන එකයි කියල කවුරුත් හිතන්නෙ ඒකයි. මගෙයි පැටව් දෙන්නගෙයි වගකීම එයාලගෙ කර පිට වැටෙයි කියල. අපේ අයිය වුණත්…”

“ඇති ඇති නවත්තගන්නයි කිව්වෙ ඕක”

උන් හිටි ගමන් පුපුරා ගිය ඒ අකුණ කුමක් දැයි ආරාධනා ට එක වර පහදා ගත නො හැකි වූ තරමි. කවීශ්වර මාර්ගයේ පසෙකට කොට රිය නතර කළේ ය. ඒ කේන්තිය ඔහු ට ඔහුගේ පාලනය ද දුරු කරනා එකක් බව දැනුණ නිසාවෙනි. ස්ටියරින් වීල් එක තද කොට අල්වා ගෙන සිටිනා කවීශ්වර ගේ අත වෙව්ලනා දෙස ආරාධනා නෙත් පිය නො සලා බලා සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles