සතුටු මන්තර 09

තිලකා සිය බාල දියණිය ගේ ගෙදරට යන්නට සූදානම් වූයේ ඒ තරම් කැමැත්තනින් නොවේ. ඊට හේතුව එක ම පුතා වන ගිම්හාන් සිය ධනය වියහියදම් කොට අලුතෙන් ම තැනවූ මේ නිවෙසයි. දැන් ගිම්හාන් නැත. ඔහු හරි හම්බ කළ සියල්ල කොහේවත් සිටි ගැහැනියකට අයිති විය යුතු නැත ය යන්න තිලකා ගේ පටු මනසෙහි දැනට වන සිතිවිල්ලයි. ඒවා ගැන අයිතියක් දෙමව්පියන් වශයෙන් ඔවුන්ට ද ඇතැයි ඇය සිතන්නී ය. විවාහ වූ පුද්ගලයෙකු ගේ නමින් වන සියල්ල ඔහු ගේ හෝ ඇය ගේ මිය යාමෙන් පසු දරුවන් හා සහකරු අතරේ පමණක් බෙදී යන ලෙස පවතින නීතිය ගැන අදහසක්වත් ඇයට නැත. ගිම්හාන් ගේ දෙණ මිහිදන් කිරීමෙන් පස්සේ ද ඇය ලේලිය ට තනි රකින මුවාවෙන් ඒ ගෙදරට වී සිටියේ පුතා ගේ දේපළ බලාගෙන ය. ගිම්හාන් ගේ ජීවිත රක්ෂණයට අදාල මුදල් පවා සයුරංගනා ගේ ගිනුමට වැටෙන බව දැනගත් වෙලාවේ ඇය උදහස් වූවා ය. කෙසේ හෝ මෙතැනට වී සිට සයුරංගනාව පාලනය කරගෙන සිය අරමුණ ඉටු කර ගන්නට අවසන ඇය සිතුවා ය. 

ශක්‍යා ගේ දරුවන් දෙදෙනා අවුරුදු හතර හා අවුරුද්දක් ලෙස වේ. දරුවන් දෙදෙනෙකු එක් වූ කල හතර දෙනෙකුගේ දාංගලය හා වැඩ කොටසක් ගොඩ ගැසේ. ඇගේ සැමියා උදේ රැකියාවට ගොස් අඳුරත් එක්ක ගෙදර එන නිසා ශක්‍යා ට තනිව ගෙදර බලා ගත නො හැකි ය. මුල සිට ම ඇය පුරුදු වූයේත් අම්මා ගේ උදව් ඇතිව දරුවන් බලා ගැනීමට ය. 

“උදේට ළමයි දෙන්නත් එක්ක මෙහෙ එන්නකො”

පෙර දා අම්මා දුවට කීවා ය. නමුත් ශක්‍යා ඊට එකඟ නොවුණේ ළමයින් දෙන්නාත් කැටිව දිනපතා අයියා ගේ ගෙදරට යාම් ඊම් කරන්නට සිදු වීම වෙනම යුද්ධයක් වන බැවිනි. අවසානයේ තිලකා ට එහි යන්නට සිදු විය.

ගෙනැවිත් තිබූ ඇඳුම් කැඩුම් කිහිපයක් බෑග් එකක ඔබා ගෙන ඇය යන්නට සූදානම් වෙත්දී සයුරංගනා ට දුකක් නො දැනුණා නොවේ. කවුරුන් හෝ ගෙනත් දමා අගු පිලේ රැකවරණයට ආ බළල් පැටවෙකු ගැන වුව ටික දිනක ඇවෑමෙන් අපේ හදවත් වල බැඳීමක් ඇති වේ. බැඳීම් කියන්නේ එහෙම දෙයකි. ඇතැම් විට අප අකමැති ම කෙනෙකුගෙන් වුව වෙන් වීමේදී අපට රිදීමක් දැනෙන්නේ ඒ බැඳීම් බිඳී යන බැවිනි. මොනවා වුණත් ඒ ගිම්හාන් ගේ මවු නිසා ඇය කෙතරම් හිත රිදවූව ද සයුරංගනා වචනයක් කීවේ නැත. එය මිය ගිය සැමියාට කරනා ගෞරවයක් සේ ඇය සැලකුවා ය.

ජයරත්න පාරෙන් ත්‍රීරෝද රියක් නවතා ගත්තේ ය. ගේට්ටුව ළඟ දී සයුරංගනා නැන්දම්මා ට වැන්දා ය.

“හ්ම් හ්ම් මං රෑට එනවනෙ”

තිලකා නො රිස්සුම හඟවන්නට දෙවරක් නො සිතුවා ය. ලේලිය මේ ඇයට වඳින්නේ නික්ම යන සතුටට කියා සිතන්නට ඇයට ඕනෑ විය. බුදු සරණයි කියා හෝ නොකී නැන්දම්මා ට මින් පසු නම් පිටව යත්දී වඳින්නේ නැතැයි සයුරංගනා සිතා ගත්තා ය.

ඇය රැගත් ත්‍රිරෝද රිය නික්ම ගිය පසු ගෙතුළට පැමිණි සයුරංගනා ට දැනුණේ නිදහස පිළිබඳ පුදුම හැඟීමකි. ගිම්හාන් ගේ අම්මා ගැන ඇගේ අහිතක් නැත. නමුත් ඇය හැම දේට ම අත පොවනා එක  මහත් හිසරදයකි. උයන්නට ගන්නා එළවළුවක් ගැන වේවා සයුරංගනා ට විරුද්ධ අදහසකින් ඇය දමා ගසයි. කිසිවක හොඳක් දකින්නේ ද නැත. හැම දේ ගැන ම කියවයි. ඇය සිටියදී ශබ්ධ පෙට්ටියක් බඳු වූ ගෙදර දැන් හදිසි ගැඹුරු නිහැඬියාවකට එළඹ තිබේ. ඒ ගිම්හාන් සිටියදී දවල් කාලය පුරා ගෙදර පැවතියා වූ සාමකාමී නිහැඬියාව බඳු තත්වයකි. 

ඒ නිශ්ශබ්ධතාවය තුළ කැළතී ඇති සතුටු කැබලිති වලට කන් දෙමින් ඇය ගේ දොර අස් පස් කළා ය. ජයරත්න මිදුලේ මිරිස් පාත්තියක් කෙටුවේ ය. රිය පුහුණුකරවන්නිය එන විට සයුරංගනා දවල් ආහාර පිසීම සඳහා සියල්ල කපා කොටා වසා තබා ද අවසන් ය. අප්පච්චිට නිවුණු කෑම දිය නො හැකි යයි සිතා පුහුණුවෙන් පසු ගෙදර විත් ඒවා පිසගන්නට ඇය තීරණය කළා ය. රිය පුහුණුවෙන් පසු ඇවිත් උයා නිම වන විට ම එසඳි එන පාසල් සේවා රිය නලා හැඬවී ය. සයුරංගනා දිව ගොස් ගේට්ටුව ඇරියා ය. ඊට පස්සේ එසඳි එක්ක ගෙවිය යුතු කාලයයි. වැඩ වලින් පිරී යන විට දවස ගත වෙනවා දැනෙන්නේ නැත. දැන් පෙරදීටත් වඩා වැඩ වලින් සතුටක් හොයන්නට සයුරංගනා පෙළඹෙයි. නැත්නම් හදවත ශෝක වලාවකින් අඳුරු වී යන බැවිනි. එතකොට හිතෙන්නේ ඇඳට වැටී සිටින්නට යි. සිරුරේ පණ නැති බවක් දැනෙන්නට ගනී. හිතේ කිසිවක් කිරීමේ උනන්දුවක් නැති වී යයි. නමුත් එසේ සිටීමෙන් කිසිවක් ආපසු හැරවිය නො හැකි ය. ඒ නිසා දැන් ඇයට ඕනේ දුක දෙබෑ කරගෙන ඉන් මතුපිටට එන්නටයි. මඩේ පිපුණ නෙළුමක් සේ දුකක් නො පෙන්වා ඉන්නටයි.

“අදනං හොඳයි”

බත් කන ගමන් එසඳි ලස්සන සිනහවකින් අම්මාත් සීයාපච්චිත් දෙස මාරුවෙන් මාරුවට බලමින් ඇසුවා ය.

“ඒ මොකෝ පැංචියෙ…අද කන්න ගොඩක් ආස දෙයක් තියනවද…”

සියාපච්චි ඇසුවේ ය. සයුරංගනා දියණිය ගේ මුව වෙතට තවත් බත් පිඬක් ලං කර ගෙන සිටියා ය.

“නෑ සීයාපාචි…අද ආච්චි අම්ම නෑනෙ. එයා ඉන්නකොට… අයියෝ…කෑගහනව කෑගහනව ඉවරයක් නෑනෙ”

“සුදූ…මොනාද ඔය කියන්නෙ…”

සයුරංගනා පුංචි තරවටුවක් කළා ය. ඒ ජයරත්න ගේ හිත රිදේවියි බියට ය. නමුත් ඔහු සිනහ වූයේ ය.

“පුංචි එවුං කියන්නෙ ඇත්ත. උන්ට ඇත්තටම දැනෙන දේ”

“ඒ වුණාට…පොඩි ළමයින්ට පැහිච්ච කතා ඕන නෑනෙ අප්පච්චි. ආයෙ ඔහොම කතා කියන්නෑ එසඳී. ඒ ඔයාගෙ අපාචිගෙ අම්මනෙ”

“අපාචි කෝ අම්ම…තාමත් නෑනෙ. දැන්නං එයා හුඟක් පරක්කුයි. එසඳි බබාට හුඟක් කේන්ති ගිහිල්ලයි ඉන්නෙ. තව පරක්කු වුණොත් ඉතිං අපාචි ට දුක හිතෙන දෙයක් වෙයි”

“මොකද්ද පුතේ අපාචිට දුක හිතෙන දේ…”

“යශෝදර අංකල් අපාචි වගේම මට ස්වීට්ස් ගේනවනෙ. මට කේන්ති ගියොත් මං එයාට අපාචි කියනව. එතකොට ඉතිං අපාචි ආපු දවසක දුක හිතන්න තමයි වෙන්නෙ”

සයුරංගනා ජයරත්න දෙස හෝ බැලුවේ නැත. සිය මුහුණේ පේශීන් ගල් ගැසී එන සෙයක් ඇයට දැනිණ. එසඳි යශෝදර ට බැඳෙනා එක ගැන තිලකා කිහිප වරක් ම ඇනුම්පද කීවා ය. නමුත් පොඩි දරුවන් බැඳෙන්නේ ඔවුන්ට ආදරයක් දැනෙනා තැනට ය. ගිම්හාන් ඉන්න කාලේදීත් යශෝදර දැරියට බෙහෙවින් ආදරය කළේ ය. එය වූ කලී ව්‍යාජ ආදරයක් නොවේ. ඒ ආදරය එසඳි ගේ ළදරු සිත හොඳින් හඳුනයි.

හැන්දෑවේ පාරමී ගෙට ගොඩ වූවා ය. පසු ගිය දින වල ඇය හෝ මල්කාන්ති මේ පැත්තට නෑවිත් සිටියේ තිලකා ගේ වචන ඔවුන්ට ඇනුම්පද සේ දැනුණ නිසා ය. සයුරංගනා පාරමීටත් එක්ක තේ හැදුවා ය.

“මට මොකක් හරි ජොබ් එකක් හොයාගන්න ඕන පාරමී”

තේ බොන ගමන්, පසු ගිය දින ටිකේ ම හිතේ බරක් වී තිබි කාරණය ඇය පිටතට දැමුවා ය.

“ඉස්සරහට අපි ජීවත් වෙන්නෙ කොහොමද නැත්තං…අකවුන්ට් එකේ ඉතුරු වෙලා තියන සල්ලි ටික හැමදාම තියෙන්නෑනෙ…දන්න අයගෙන් පොඩ්ඩක් අහල බලනවද පාරි…”

“හ්ම්. අහන්නනං පුළුවං. ඒත් ඔයා ජොබ් එකකට යන්නෙත් කොහොමද…මොනා වුණත් එසඳි ළඟ දැවටි දැවටි ඉන්න ඔයත් නැති වුණොත් එයාට හුඟක් ඒක බලපායි නේද…”

“මට තේරෙනව. ඒත්…ගෑනියෙක් විදිහට මට කරන්න ඉතුරු වෙලා තියන හොඳම දේ ඒක. එහෙම නැතුව වෙන කසාදයක් කර ගන්න එකවත්…”

“රංගි. ඔයාට ඉන්කම් එකක් හදා ගන්න ඕනම තමයි. ඒක වෙනම දෙයක්. හැබැයි ඉතිං කවදහරි දවසක ඔයාට ආයෙ මැරි කරන්න වුණොත්…ඒකට ඉඩ නොදී ඉන්න කිසි හේතුවක් නෑ හරිද…ඔයා ලස්සන තරුණ කෙල්ලෙක්නෙ. අනික ඔයාටත් කාගෙ හරි රැකවරණයක් ඕනනෙ”

“මට ආයෙ කසාද ඕන නෑ පාරි. කෙල්ල හදාගෙන කාටවත් අත නොපා ඉන්නයි ඕනෙ. අනික…මේ අහිංසක කෙල්ලට මොන හේතුවක් නිසාවත් දුකක් දෙන්න මට ඕන නෑ”

“හරි හරි අපි ඒව පස්සට කතා කරන්න තියමුකො. දැන් ඕනෙ ජොබ් එකක් නේ…ම්…ජොබ් එකකට යනවට වඩා ගෙදර ඉඳන් කරන්න පුළුවන් දෙයක් නැද්ද රංගි…එසඳිවත් බලාගෙනම…”

යතුරුපැදියක් නැවතෙන හඬ ඇසුණේත් ගේට්ටුව ඇරුණේත් එතකොට ය. සයුරංගනා ජනේල තිර රෙද්ද මෑත් කොට බැලුවා ය. යශෝදර ඇතුළට එමින් සිටියේ ය. එසඳි දිව ගොස් ඔහු ගේ ඇඟේ එල්ලුණා ය. යශෝදර ඇය වඩා ගෙන ජැකට් එක ඇතුළෙන් ගත් රසකැවිලි මල්ලක් දුන්නේ ය.

“මගෙ හොඳ අපා…”

කියවෙන්නට ගිය වචනය එසඳි විසින් නවතා ගනු ලැබූයේ අම්මා ගේ මූණ දුටු විට ය. නමුත් ඒ ආදරණීය වචනයෙන් දැරිය ඔහු අමතත්දී යශෝදර ගේ බඩ පපුව අතරේ අමුතුම මිහිරියාවක් හිර වූවා සේ ය. 

“මගෙ එසඳි මැණික අද වත්ත උඩහ නැති නිසා මං ඔන්න බලල යන්න ගෙදරටම ආව”

“තැන්කූ”

ඇය ඔහු ගේ හිස පිරිමැද්දා ය. 

“අයියෙ මෙන්න මෙයා ජොබ් එකකට යන්න හදනව”

මේ හදිසියේ පාරමී එය යශෝදර ට කියාවීයි සයුරංගනා සිතුවේ ම නැත.  ඍජු බැල්මක් සයුරංගනා දෙසට හෙළමින් ම යශෝදර එසඳි ව බිමින් තැබුවේ ය. ඊළඟට සුසුමකින් ම ජැකට් එක ගැලවූයේ ය. 

“ඉඳගන්න යශෝදර. මං තේ එකක් ගේන්නං”

සයුරංගනා ඉක්මන් ගමනින් මුළුතැන්ගේ දෙසට ගියා ය. යශෝදර පාරමී දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයෙනි.

“ජොබ් එකක් හොයල දෙන්න බලන්නලු. පව් අප්ප. මට මාර දුකයි මේ කෙල්ල ගැන. ඇත්තටම මේ පැත්ත පලාතක එයාගෙයි කියන්න කිසි කෙනෙක් නෑනෙ අප්ප. මට වුණොත් මං මොනා කරයිද මන්ද…පිස්සු හැදෙයි”

පාරමී හිස දෙපසට සෙලවූයේ සැබවින් ම එවැනි අත්දැකීමක බර දරා ගත නො හැකිව ය. යශෝදර ගේ මුහුණෙහි වූයේ බැරෑරුම් බවකි. හුරු පුරුදු සිනහව කොහේදෝ පලා ගොස් තිබිණි. සයුරංගනා අතින් ඔහු තේ කෝප්පය ගත්තේ ද කල්පනාවෙනි. ඇයව මේ විදිහට ජීවිතය මැද්දේ අසරණ කොට නික්ම යන්නට සිදු වෙතැයි ගිම්හාන් සිහිනයෙන් හෝ නො සිතූ බව යශෝදර තරම් දන්නා වෙන කෙනෙකු නැත. ඔහු ඒ තරම් සයුරංගනා ට සැලකුවේ මුල් සම්බන්ධය බිඳ වැටීමත් එක්ක ඇති වූ මානසික තත්වය නිසා ය. පෙර යුවතිය මෙන් සයුරංගනා ඔහු දමා නොයන සේ හැකි සියල් ආරක්ෂක විධිවිධාන ගිම්හාන් විසින් යොදනා ලදී. ඇයට කිසිදු අඩුවක් නො කිරීම ඒ අතරින් එකකි. මෙහෙම යන්නට වේ යයි දැන ගෙන සිටියා නම් ඔහු ඇය වෙනුවෙන් මොනවා නො කරනු ඇත්ද? 

“මීට කලින් ඔයා ජොබ් එකක් කරල නෑනෙ සයුරංගනා…”

කල්පනාව අතරින් තේ උගුරක් බී යශෝදර විමසී ය.

“නෑ යශෝදර. අපේ ගෙදර ළමයි ගොඩක් එක්ක තිබුණ ආර්ථික ප්‍රශ්න නිසා…ගිම්හාන් අහපු ගමං ගෙදරින් මාව බන්දල දෙන්න කැමති වුණා. ඒ වෙලාවෙ මාත් හිතුවෙ ගෙදරට උදව්වක් වෙන්න පුළුවන් එක ගැන විතරයි. කැම්පස් සිලෙක්ට් වෙච්ච ලෙටර් එක එනකොට මං බැඳලත් ඉවරයි”

සයුරංගනා බිම බලා ගෙන යටි තොල් පට සපා ගත්තා ය. යශෝදර ගේ දෑස් ඇය ළඟ නතර වී තිබිණ. නිශ්චිත තීරණයක් වෙනුවට ඔහු ගේ පපුව පිරී තිබුණේ සුසුමකිනි. 

💜️වෙනදා වාගේ ම ඔබේ ආදරය ලියා තියා යන්න. නොකඩවා ලියනා මේ ලිවීමේ දී හෙට කොටස ලියන්නට ඔබේ ආශිර්වාදය මහා ශක්තියක් වන්නේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles